ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චෙම්මනි සමූහ මිනීවළ: කැණීම් ස්ථානයේ ජලය පිරීමෙන් කැණීම් කටයුතු ලබන වසරට කල් දමයි
- Author, බීබීසී සිංහල
චෙම්මනි සමූහ මිනීවළෙහි කැණීම් ස්ථානය ජලයෙන් පිරී තිබීම හේතුවෙන් කැණිම් කටයුතු 2026 වසරේ ජනවාරි 19 වන දා දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
චෙම්මනි සමූහ මිනීවළ කැණීම් ස්ථානය පරීක්ෂා කිරීම ( නොවැම්බර් 03 වන දා) යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්, කැණීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන් ඇතුළු පිරිසක් විසින් සිදුකෙරිණ.
ජනවාරි 19 වන දා අදාළ ස්ථානය නැවත පරීක්ෂා කොට ඉදිරි සැලසුම සකස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
චෙම්මනි සමූහ මිනීවළෙහි කැණීම් ස්ථානය කුඹුරු ආසන්නයේ පැවතීම හේතුවෙන් වර්ෂාවත් සමග කැණීම් කටයුතු කළ ස්ථානය වෙත ජලය පිරී ඇති අයුරු දැක ගැනීමට හැකි ය.
සමූහ මිනීවළේ මීළඟ අදියරේ කැණීම් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන අනුමත වී ඇති අතර කැණීම් ස්ථානය ජලයෙන් පිරී තිබීම කැණීම් කටයුතු සිදු කිරීමට බාධාවක් බව කැණීම් කණ්ඩායම සඳහන් කළේ ය.
චෙම්මනි සමූහ මිනීවළේ කැණීම්
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළේ පස්වන අදියරේ කැණීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වන දා නවතා දැමිණි.
ඒ, දින 13 ක කැණීම් කටයුතුවලින් අනතුරුව ය.
කැණීම් නිළධාරීන් පැවසුවේ, සමස්ත කැණීම් තුළින් මේ වන විට මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් මතු කරගෙන ඇති බව ය.
ඉන් මිනිස් සිරුරු 239කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇත.
සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගනිමින් මීළඟ අදියරේ කැණීම් කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බව ද කැණීම් නිලධාරීහු පැවසූහ.
යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැණීම් කටයුතු සිදුකළහ.
සමූහ මිනීවළ තුළින් හමුවූ අස්ථි කොටස් හා සමූහ මිනීවළ තුළින් හමුවූ භාණ්ඩ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් භාරයේ තබා ඇත.
සමූහ මිනීවළ පස්වන අදියරේ කැණීම්
සමූහ මිනීවළේ පස්වන අදියර 2025 අගෝස්තු 25 වන දා ආරම්භ කළ අතර, පස්වන අදියරේ කැණීම් තුළින් මිනිස් සිරුරු 90කට අදාළ අස්ථි කොටස් මතු කරගෙන තිබිණි.
සමූහ මිනීවළ පස්වන අදියරේ කටයුතු සම්බන්ධයෙන් 2025 සැප්තැම්බර් 18 වන දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබී ය.
ස්කෑන් පරීක්ෂණ වාර්තා
සමූහ මිනීවළෙහි අස්ථි කොටස් හමුවූ ස්ථානයට ආසන්න ස්ථානයන්ගේ ස්කෑන් පරීක්ෂණයක් පැවැත්වීම 2025 අගෝස්තු 04 වන දා හා 05 වන දා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය තාක්ෂණික පීඨයේ විශේෂඥ කණ්ඩායමක් සිදුකළ අතර, ස්කෑන් පරීක්ෂණ වාර්තාව 2025 අගෝස්තු 14 වන දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
චෙම්මනි සුසාන භූමිය ආසන්නයෙන් අස්ථි කොටස් මතුවීම
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයක සිදුකළ කැණීමකින් මළ සිරුරු 5කට අයත් අස්ථි කොටස් කිහිපයක් හමුවූ බව යාපනය පොලිසිය පැවසුවේ ජූනි 2 වන දා ය.
මෙම සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී එහි සේවයේ නිරත වූ පිරිසකට 2025 පෙබරවාරි මස 20 වන දා පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබිණි.
අදාළ අස්ථි කොටස් හමුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසිය දැනුවත් කිරීමට සංවර්ධන කටයුතු භාර නිලධාරීන් පියවර ගෙන තිබුණු අතර ඉන් අනතුරුව එහි කැණීම් කටයුතු ආරම්භ විය.
පැවති වැසි තත්ත්වය මත අදාළ ස්ථානයේ කැණීම් කටයුතු කිරීමට නොහැකි වූ අතර, වැසි තත්ත්වය අඩු වීමෙන් පසු යාපනය පොලිසිය, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග මත අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් සිදුකිරීමට නියෝගයක් ලබා ගත්තේ ය.
උතුරු පළාතෙන් හමුවී ඇති සමූහ මිනීවළවල්
සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු පළාතේ ස්ථාන කිහිපයකින් සමූහ මිනීවළවල් හමුවූ අතර, අදාළ ස්ථානයන්හි කැණීම් කටයුතු විටින්විට සිදු කෙරිණි.
2013 වසරේදී මන්නාරම, තිරුකේදීශ්වරන් ප්‍රදේශයෙන් සමූහ මිනීවළක් හමුවූ අතර, අදාළ සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 88කට ආසන්න ගණනකට අයත් අස්ථි කොටස් ගොඩ ගැනිණි.
ඉන් අනතුරුව මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල ආසන්නයෙන් සමූහ මිනීවළක් 2018 වසරේ මතු කර ගත් අතර, ඒ තුළින් මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් ගොඩගැනිණි. 2018 මාර්තු 26 වන දා සිට 2019 මාර්තු 07 දක්වා සමූහ මිනීවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීය.
මන්නාරම සමූහ මිනීවළ සම්බන්ධයෙන් ඇමෙරිකානු රසායනාගාර තුළ කාබන් පරීක්ෂාවන් සිදුකළ අතර, එහිදී අනාවරණය වූයේ අදාළ අස්ථි කොටස් වර්ෂ 1450ත් 1650ත් අතර කාලයකට අයත් බව ය.
මන්නාරම සමූහ මිනීවළ පරීක්ෂණයන්ගෙන් අනතුරුව මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් සමූහ මිනීවළක් හමුවූ අතර, 2023 ජූනි 29 වන දා සමූහ මිනීවළ සම්බන්ධයෙන් වාර්තා විය. 2024 ජූලි 15 වන දා දක්වා කොක්කුතුඩුවායි සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැණීම් සිදුකරනු ලැබීය.
එහිදි මිනිස් සිරුරු 52 කට අදාළ අස්ථි කොටස් මතු කර ගත් අතර, අදාළ සමූහ මිනීවළ 1994 හා 1996 දක්වා කාලයකට අයත් විය හැකි බවට කැණීම් නිලධාරීහු නිගමනය කළහ.
කොක්කුතුඩුවායි සමූහ මිනීවළ හමුවීමෙන් පසුව යාපනය, චෙම්මනෙයි ප්‍රදේශයෙන් අස්ථි කොටස් කිහිපයක් සොයා ගැනිණි.