ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'යුද්දෙ ඉවර වෙලා අපි ළමයි දුන්නේ පණ පිටින්': හමුදා භාරයට ගැනීමෙන් පසු අතුරුදන් වූ බව කියන LTTE ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදකයා
- Author, සම්පත් දිසානායක සමග ෂර්ලි උපුල් කුමාර කිලිනොච්චියේ සිට
- Role, බීබීසී සිංහල
"ළමයට විතරක් මොක ද වුණේ කියලා කියන්න අපිට. අපි පණ පිටින්නේ දුන්නේ, මළ කඳක් දුන්නෙ නැහැ නේ" යැයි කිලිනොච්චියේ පදිංචි සෙල්වදොරෙයි පද්මා ප්‍රියදර්ශනී බීබීසී සිංහල වෙත පැවසුවා ය.
සෙල්වදොරෙයි ගෝපිනාත් නමැති ඇගේ පුත්‍රයා පාසල් ගුරුවරයෙකු වන අතර LTTE සංවිධානයේ ඉංගීසි පුවත් නිවේදකයෙකු ලෙස කටයුතු කර තිබේ.
16 වසරකට පෙර යුද්ධයේ අවසන් කාලසීමාවේ තම පුත්‍රයා යුද හමුදාව භාරයට ගැනීමෙන් පසු මෙතෙක් ඔහු ගැන තොරතුරක් නැතැයි ගෝපිනාත්ගේ මව බීබීසී සිංහල වෙත සඳහන් කළා ය.
ඇතැම් විට මෙම සිද්ධිය ද මෙරට නොවිසඳුණු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ සිද්ධි ගොන්නට වැටෙන තවත් එක් සිදුවීමක් විය හැකිය.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට අනුව ලෝකයේ නොවිසඳුණු බලහත්කාර අතුරුදන් කිරීම් වැඩි ම රටවල් අතුරින් දෙවන රට වන්නේ ශ්‍රී ලංකාවයි. එය දෙවැනි වන්නේ ඉරාකයට පමණි.
අතුරුදන් වන විට 27 වැනි වියේ පසු වූ සෙල්වදොරෙයි ගෝපිනාතන් කිලිනොච්චිය නගරයේ සිට මඳ දුරකින් පිහිටි, ආනන්දපුරම් ගම්මානයේ පදිංචිව සිට තිබේ.
නිස්කලංක පරිසරයක පිහිටි එම නිවස අඹ, කෙසෙල්, පොල් වැනි ගස්වලින් වටවී තිබිණි. අප නිවස වෙත ළඟා වන විට අපව පිළිගත්තේ ගෝපිනාත්ගේ මව වන සෙල්වදොරෙයි පද්මා ප්‍රියදර්ශනී ය.
පසුව ඇගේ සැමියා වන සුබ්‍රමනියම් සෙල්වදොරෙයි අප සමග කතා බහට එක්විය.
73 හැවිරිදි වියේ පසු වන ඔහු සතියක පමණ සිට එක් කනක ශ්‍රවණාබාධිත තත්ත්වයකට පත්ව සිටියි.
වෘත්තියෙන් ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන්නෙකු සහ රථවාහනවල ආසන කුෂන් කරන්නෙකු වශයෙන් රැකියා කළ ඔහු ශාරීරික අපහසුතා හේතුවෙන් දැන් විවේකීව නිවසේ කාලය ගත කරයි.
"මගේ පුතා සෙල්වදොරෙයි ගෝපිනාත් එයා ගුරුවරයෙක්.. අක්රායන් මහා විද්‍යාලයේ තමා ටීච් කළේ. එයා ඉංග්‍රීසි ගුරුවරයෙක්. එයාට හොඳට ම ඉංග්‍රීසි පුළුවන් නේ."
"එයා කොටින්ගේ TV චැනල් එකක් තියෙනවා නේ, විදර්ශනම් කියලා. එයාට ඒකේ නමයයි කාලට කොටින්ගේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති කියන්න කිව්වා. එයා ප්‍රවෘත්ති කියවන්න ඕනේ. රුපියල් දහ දාහක් පඩි දුන්නා," සුබ්‍රමනියම් පැවසීය.
තිදරු පියෙකු වන සුබ්‍රමනියම් සෙල්වදොරෙයි පවසන පරිදි සිය දෙවන දරුවා වන ගෝපිනාත් LTTE ඉංග්‍රීසි පුවත් ඉදිරිපත් කිරීම සඳහා ගොස් ඇත්තේ, කැමැත්තකින් තොරව ය. ඒ, ඔහුට වෙනත් විකල්පයක් නොවූ බැවිනි.
ඊට අකමැති වුවහොත් LTTE සංවිධානයට බඳවා ගැනීම සඳහා රැගෙන යනු ඇතැයි බියෙන් ඔහු ඊට කැමති වූ බව ගෝපිනාත්ගේ දෙමව්පියෝ බීබීසී සිංහල වෙත පැවසූහ.
"මට පුතා ඇවිල්ලා කිව්වා මෙහෙම කතා කරනවා මොක ද කියන්නේ කියලා. මම කිව්වා අපිට මෙතනින් වෙන දිහාකට යන්න විදිහක් නැහැ. ඒ හින්දා ප්‍රවෘත්ති කියන්න. නැත්නම් කල්ලියට අරන් යනවා නේ කියලා."
"2006 ඉඳලා තමා පටන් ගත්තේ. ඉස්සර ම පටන් ගත්තේ කොටි නායක ප්‍රභාකරන් මහත්තයාගේ හැම අවුරුද්දෙ ම තියෙනවා නේ මහවිරු දිනේ ස්පීච් එකක්. එයාව ඇවිල්ලා අරන් ගියා. එයාගේ ප්‍රවෘත්තිය ට්‍රාන්ස්ලේට් කරන්න. මෙතනට ඇවිල්ලා තමා අරන් ගියේ වාහනේ නවත්තලා ඇවිත්. වාහනේ ආවා දෙන්නෙක්. එල්.ටී.ටී.ඊ. එකෙන් දෙන්නෙක් ඇවිල්ලා… ලොකු මිනිස්සු වෙන්න ඇති. ඇවිල්ලා කිව්වා අද ඇවිල්ලා ප්‍රභාකරන් මහත්තයාගේ ස්පීච් එක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ කියලා. මම කිව්වා යන්න. අපිට මුකුත් කරන්න බැහැ නේ ආයේ."
"පස්සේ 9ට විතර ගෙදරට ගෙනත් දැම්මා. ඉතින් එයා ඉස්කොලේ යනවා. එනවා. පස්සේ තමා පටන් ගත්තේ. එදා තමා ස්ටාට් එක. පස්සේ මිනිස්සු කිව්වා, ඔයාට හොඳට නිව්ස් කියන්න පුළුවන්. පෞරුෂය හොඳ යි. ඒ හින්දා ප්‍රවෘත්ති කියන්න ඕනේ කිව්වා. එයා කැමති නෑ තමයි. මුකුත් කරන්න බැහැ. යන්න ම ඕනේ. ලොකු පිරිස නේ ඉන්නෙ. ඒ මිනිස්සුත් එක්ක අපිට පොර අල්ලන්න බැහැ නේ. පස්සෙ කිව්වා කරන්න දෙයක් නෑ යන්න කිව්වා. ඉතින් නමයයි කාලට ප්‍රවෘත්ති කියලා. නමයා හමාරට දහයට විතර මෙතනට එනවා. අපි එනකන් පාරේ බලාගෙන ඉන්නෙ."
2009 වසරේදී "දිගට ම බෝම්බ වැටුණා. අපි මුල්ලිවයික්කාල් වල්ලිපුරම්වලට ගියා."
ගෝපිනාත්ට වැඩි මහල් සහෝදරියක් සහ බාල සහෝදරයෙක් සිටිති.
යුද්ධය තීව්‍ර වීමත් සමග ප්‍රදේශයේ සෙසු පවුල් සමග සුබ්‍රමනියම් සෙල්වදොරෙයිගේ පවුලේ සාමාජිකයින් ද කිලිනොච්චියේ ගම්බිම් අතහැර මුල්ලිවයික්කාල් වෙත ගොස් තිබිණි.
යුද්ධයේ අවසන් හෝරා කිහිපයේදී LTTE ග්‍රහණයෙන් මිදී මෙම පවුල වට්ටුවාකල් පාලම අසලට පැමිණ තිබිණි.
"කොටි ළඟ බේරිලා ඉඳලා හමුදාව ළඟට ගියා. එක තැනක ඔක්කොට ම වට වෙලා ඉන්න කිව්වා. ආපහු කිව්වා ආපු මිනිස්සු වෙන වෙන ම ඉන්න ඕනේ කිව්වා. අපි ඊට පස්සේ ඇඬුවා. ඇයි එහෙම කරන්නේ කියලා. අඬාගෙන ඉන්නකොට හමුදාව ඇවිල්ලා කිව්වා. පුතාලා හිටියොත් එන්න කියන්න කියලා. ඇයි අම්මා එන්න කියන්නේ කියලා ඇහුවා. මට ඒක කියන්න බෑ හරි දුකයි," ගෝපිනාත්ගේ මව වන සෙල්වදොරෙයි පද්මා ප්‍රියදර්ශනී සංවේදී වෙමින් පැවසුවා ය.
LTTE ඉංග්‍රීසි ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම නිසා තම පුත්‍රයාව බොහෝ දෙනෙකු හඳුනාගෙන සිටි හෙයින්, ඔහු මෙලෙස කැඳවන්නට ඇතැයි ගෝපිනාත්ගේ පියා සඳහන් කර සිටියේ ය.
"මම වරදක් කෙරුවේ නැහැ. අම්මා කිසි ම බොරුවක් කියන්න එපා. කිසි බොරුවක් කියන්න එපා. ඇත්ත වචනය කියන්න ඕනේ. කියලා එයා නිතර ම කිව්වා," යැයි මව පැවසීය.
"පුතා ඉස්කොලේ නතර වෙලා ඉන්නේ. සිකුරාදා හවස ගෙදර එන්නේ. සිකුරාදා ඇවිල්ලා හවස 6ට විතර යනවා ප්‍රවෘත්ති කියන්න. ගිහිල්ලා 10ට විතර එනවා. දවස් දෙකක් තමා මගේ පුතා ඒ කට්ටියට වැඩ කළේ. ප්‍රවෘත්ති කියන්න ගියේ සතියට දවස් දෙකයි."
"එයා කිව්වා අම්මා මට මේ වැඩ කරන්න බැහැ. ඒ කට්ටිය ආවොත් කියන්න, තාත්තටත් ඇස් පේන්නෙත් නැහැ, ඒකත් කරලා මේකත් කරන්න බැහැ කියලා. එහෙනම් මං ගන්න පඩියෙන් ටිකක් දෙන්නම් ඒ කට්ටියට..මං වෙනුවෙන් වෙන කාව හරි ගන්න කියලා මං පඩියෙන් ගාණන් දෙන්නම් කියලා"
"මුල්ලිවයික්කාල් යනකන් එයා අපිත් එක්ක ම හිටියේ. බස් එකේ නගිනකොට කිව්වා මං මගේ පුතා වැරැද්දක් කෙරුවේ නැහැ. පුතාත් විස්තරය කිව්වා."
"පුතා කාටත් අපරාධයක් කළේ නැහැ කියලා මං හමුදාවට කිව්වා."
"නැහැ නැහැ එයාගේ විස්තරේ අරගෙන එවනවා කියලා. ඒ අය කිව්වා."
"තව කෙනෙක් කිව්වා මෙයාගෙන් විස්තර ගන්න ඕනේ කියලා."
"නෑ නෑ එයාව ආරක්ෂා කරලා එයාව ගෙනත් අතහරිනවා. මුකුත් කරන්නෙ නෑ බය වෙන්න එපා. අපි එවනවා ඔයාගේ පුතාව කියලා කිව්වා."
"ඊට පස්සේ පුතා කිව්වා අම්මා අඬන්න එපා ID එක දෙන්න මං ගිහිල්ලා එන්නම් අම්මා, අඬන්න එපා අම්මා කියලා. බස් එකට නැගලා ගිහින් එන්නම් කිව්වා."
සිත තුළ යම් සැකයක් පැවතිය ද, තම පුතා තවමත් ජීවතුන් අතර සිටින බවට පද්මා ප්‍රියදර්ශනී තවමත් දැඩි විශ්වාසයකින් පසුවෙයි.
"පුතා ඉන්නවා කියලා හිතෙනවා. දෙයියෝ තමා දන්නේ."
හමුදාව, පොලිසිය හා බන්ධනාගාර පසුපස ගොස් තොරතුරක් නොලැබූ පසු වෙහෙසට පත් මෙම දෙමව්පියන් පේන කියන්නන් වෙත පවා යොමු වී ඇති අතර; ඒ අනුව ඉන්දියාවේ සිට පැමිණි පේන කියන්නෙකු සිටින දේවාලයක් වෙත ද ගොස් තිබේ.
ඔහු මෙන් ම ඔවුන් සොයා ගිය සෙසු පේන කියන්නන් ද තම පුත්‍රයා ජීවතුන් අතර සිටින බව පැවසුවත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැයි සුබ්‍රමනියම් සෙල්වදොරෙයි කඳුළු පිරි දෙනෙතින් පැවසීය.
ගෝපිනාත්ගේ මව වන සෙල්වදොරෙයි පද්මා ප්‍රියදර්ශනී අපව නිවසේ කාමරයක් වෙත කැඳවා ගෙන ගොස් ගෝපිනාත් පාවිච්චි කළ පෞද්ගලික බඩු බාහිරාදි ද අපිට පෙන්වීය.
"මම රත්තරං බඩුත් දාලා, පුතාගේ බඩු ටික ආපහු ගෙනාවා. මේ තියෙන්නේ එයා පාවච්චි කරපු දේවල්," සූට් කෙස් එකක් විවෘත කරමින් ඇය අප වෙත පෙන්වූවා ය.
හැඩි දැඩි සිරුරකින් යුත්, ගෝපිනාත් ශරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමට මහත් සේ උනන්දුවක් දැක්වූ වූ බව ද ඔහුගේ දෙමව්පියන් අප වෙත පැවසුවේ, ඔහු ශාරීරික ව්‍යායාමවල නිතර වන අතරතුර ගත් පැරණි ඡායාරූප කිහිපයක් පෙන්වමිනි.
එම ඡායරූප අපට පෙන්වද්දී යළිත් සංවේදී වූ මව අතුරුදන්ව සිටින සෙසු තරුණයින් ගැන ද තමා කම්පා වන බව අප වෙත කියා සිටියා ය.
"බටලන්ද ගැන කියන කොට හරි දුක හිතෙනවා. අපේ ළමයිටත් මොකක් හරි වෙන්න ඇති ද කියලා හිතලා"
"යුද්දෙ ඉවර වෙලා අපි ළමයි දුන්නේ පණ පිටින්. යුද්දෙ ඉවර වුණාට පස්සෙනෙ අපි දුන්නේ. එතකොට කියලා ගියේ මොකක් ද? විස්තර අහලා එවන්නම් කියලා නේ. අන්න ඒක තමයි අපි අහන්නේ. අපිට සල්ලි ද ඉඩම් ද මුකුත් එපා. ළමයට විතරක් මොක ද වුණේ කියලා කියන්න අපිට. පණ පිටින් දුන්නේ, මළ කඳක් දුන්නෙ නැහැ නේ," ඇය මදක් ආවේගශීලී ස්වරයෙන් අවධාරණය කළා ය.
"දැන් බලන්න එයාගේ තාත්තටත් හරි ම අමාරු යි."
ඇය කියා සිටියේ, වෙනත් කඳවුරක සිටි තම හිතවතුන් පිරිසක් තම පුත්‍රයාව දැක තිබූ බව ය.
"රාමනාත් කෑම්ප් කියලා කඳවුරක් තිබ්බා. ගොඩක් මිනිස්සු අපිව හොඳට දන්නවා නේ. ඒ ගොල්ලෝ කිව්වා ඔයාගේ පුතාව දැක්කා. හොඳට ඉන්නවා. වතුර ගන්න පයිප්පයක් ළඟ කතා කර කර හිටියා. රතු පාට ටීෂර්ට් එකක් ඇඳගෙන කළු පාට කලිසමක් ඇඳගෙන පුතා හිටියා කියලා. හතර දෙනෙක් කිව්වා, අතේ පොඩි තුවාලයක් වගේ මෙතෙන අත බැඳලා තියෙනවා කියලා කිව්වා. ඊළඟට පොඩි ළමයෙකුත් කිව්වා මේ මාමාව දැක්කා කියලා. දැකපු මිනිස්සු අපිට කිව්වා පුතාව දැක්කා කියලා."
අනතුරුව මෙම පවුල රඳවා සිටි කඳවුරේ සංචරණ නීති ලිහිල් කිරීමෙන් පසු, කඳවුරෙන් පිටතට ගොස් නෑ හිතවතුන් බැලීමට යාම සඳහා අවසර පත්‍රයක් ලබා දී තිබිණි. එම අවසරයෙන් ගෝපිනාත්ගේ පියා කඳවුරෙන් පිටතට ගිය බව බිරිඳ අප සමග පැවසුවා ය.
එම අවස්ථාවේ ඔහු බස් රථයකින් ගමන් ගන්නා අවස්ථාවේදී වවුනියාව ඔරලෝසු කණුව ආසන්නයේදී සුදු පැහැති වෑන් රථයක හතර දෙනෙක් සමග තම පුත්‍රයා සිටින අයුරු දුටු බව සුබ්‍රමනියම් සෙල්වදොරෙයි පැවසීය.
ඔවුන් CID නිලධාරීන් බව සුබ්‍රමනියම් සෙල්වදොරයි පැවසූ නමුත් එය ස්වාධීනව තහවුරු කර ගැනීමට අපට නොහැකි විය.
බස් රථයෙන් බැස තමා එම ස්ථානයට යන විට වෑන් රථය එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබූ බවද ඔහු අප සමග කියා සිටියේය.
"අනුරාධපුර බන්ධනාගාරේ ගෝපිනාත් කියලා කෙනක් ඉන්නවා කියලා පත්තරේක තිබුණා. මම ගියා ඒ බලනකොට එයා නෙමෙයි. එයා LTTE සංවිධානයේ හිටපු කෙනෙක්," ගෝපිනාත්ගේ පියා සඳහන් කළේ ය.
'ජනාධිපති මහත්මයව දකින්න ඕනේ'
"ඔක්කොම කියනවා පුතා ඉන්නවා ඉන්නවා කියලා."
"අපි පණ තියෙනකම් බලාගෙන ඉන්නවා පුතා එයි කියලා. පුතාගේ බඩු එකක්වත් විනාශ කළේ නැහැ. මං ඒවා හැම තැනට ම ඇදගෙන ගිහිල්ලා, මං ඔක්කෝම ගෙනාවා. මගේ රත්තරන් බඩුත් දීලා. මගේ පුතාගේ දේවල්, පොත් තියෙනවා, ඇඳුම් ගෙනාවා, එයාගේ ටූත් බ්‍රෂ් එකත් ගෙනවා, සෙරෙප්පු හිටන් ගෙනත් තියාගෙන ඉන්නෙ."
"අපි මේ ජනාධිපති මහත්මයව දකින්න ඕනේ. එයා ළඟ මෙහෙම ඉඳලා කතා කරන්න ඕනේ. ජනාධිපතිලා දැන් කීදෙනක් අවිල්ලා ගියා ද? ජනාධිපතිලා කීදෙනක් ආවා ද? අපිට නිදහසක් නෑ නේ, මොනව හරි ඉවරයක් තියෙන්න ඕනේ. මොනවත් වුණේ නැහැ නේ."
"මේ කතාව කතා කරන්නෙ ම නෑ, එහෙම දෙනෙවා මෙහෙම දෙනවා කියනවා යනවා. දැන් මේ ජනාධිපති කිව්වා, ආවට පස්සේ අපි මේ ප්‍රශ්නෙ ඉවර කරනවා… කතා කරනවා කියලා කිව්වා. තවත් නෑ. දැන් ඇවිල්ලා මාස ගාණක් විතර වෙන්න යනවා. තවත් නෑ."
"අපිට සල්ලි මුකුත් එපා. අපිට අපේ ළමයට මොනව ද වුණේ? පණ පිටින්නේ අපි දුන්නේ. අම්මා කියලා ID එක ඉල්ලගෙන ගියේ."
"එයා කන කෑම අපි උයන්නේ නෑ ගෙදර. අපිට එයාව මතක් වෙන නිසා."
'දෙමව්පියන් කියන දේ මත ම උත්තරයක් දෙන්න බැහැ'
යුද්ධය අවසන් වී වසර 16ක් ගතව ඇති මේ අවස්ථාව වන විට උතුරේ මෙන් ම දකුණේ ද යුද්ධයේ වින්දිත පවුල් තම ප්‍රියයන්ගේ දුක් සෝසුසුම් හා උණුසුම් මකයන් මැද තවමත් දිවි ගෙවති.
පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූවන් අසරණ වී සිටින අතර, අර්ධ වශයෙන් ආබාධිතවූ පුද්ගලයින් නොයෙකුත් අභියෝගතා මත තම ජීවන ගමන ඉදිරියට ගෙන යාමේ අරගලයක නිරතව සිටිති.
පිරිසක් කිසිදු නඩු විභාගයක් නොමැතිව තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටියි.
යුද්ධය අවසන් වීමෙන් පසු, හමුදා භාරයට පත්වූ එල්.ටී.ටී.ඊ. මාධ්‍ය ප්‍රධානී දයා මාස්ටර්, ජාත්‍යන්තර මූල්‍ය කටයුතු ලෙස ප්‍රධානී ලෙස කටයුතු කළ KP හෙවත් කුමරන් පද්මනාදන් වැනි එල්.ටී.ටී.ඊ. ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෝ ද කිසිදු නීතිමය අවහිරයකින් තොරව මේ වන විට සිය ජීවිත ගත කරති.
එවන් පසුබිමක හමුදාභාරයට පත්වූයේ යැයි කියන, එල්.ටී.ටී.ඊ. ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස කටයුතු කළ ගෝපිනාත්ට සිදුවූයේ කුමක් ද? ඔහු යුද හමුදාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැනි වෙනත් ආයතනයක් වෙත පත්වූයේ දැයි අපි සොයා බැලීමක් කළෙමු.
ඒ අනුව, මුල්ලිවයිකාල් සිට පැමිණීමෙන් පසුව හමුදා භාරයට ගත් බව කියන සෙල්වදොරෙයි ගෝපිනාත් පිළිබඳව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේගෙන් බීබීසී සිංහල පළමුව විමසා සිටියේ ය.
හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ, "දෙමව්පියන් කියන දේ මත ම උත්තරයක් දෙන්න බැහැ. අපිට දුන්න ද ගත්ත ද කියන එක ගැන දැනුවත් වීමක් නැහැ," යනුවෙනි.
"යුද හමුදාව ගත්ත කට්ටය ඔක්කොම අපි පුනරුත්ථාපනය කළා. යුද හමුදාවට අරගත්ත කිසි ම කෙනෙක් මිසින් වුණේ නැහැ. අතුරුදන් වුණේ නැහැ."
'යුද හමුදාවට භාර වුණු සියලු ම කට්ටිය පුනරුත්ථාපනය කරලා අපි සමාජයට මුදා හැරියා'
එවැනි පිරිස් 10000-15000කට අධික පිරිසක් පුනරුත්ථාපනය කළ බව ද හමුදා ප්‍රකාශකවරයා පැවසීය.
"යුද හමුදාවට භාර වුණු සියලු ම කට්ටිය පුනරුත්ථාපනය කරලා අපි සමාජයට මුදා හැරියා."
"අපිට ඒ ගොල්ලන්ට වෙන ම හිරිහැර කරන්න අවශ්‍යතාවක් වුණේ නැහැ. මොක ද අපි ඒ ගොල්ලන්ව පුනරුත්ථාපනය කරලා අපි එතනින් කොටසක් හමුදාවටත් බඳවා ගත්තා."
"EX-LTTE කට්ටිය හමුදාවෙත් රාජකාරි කළා යුද හමුදාවට බැඳිලා. විශේෂයෙන් යාපනය සහ කිලිනොච්චිය ප්‍රදේශයේ කට්ටිය යුද හමුදාවේ සේවය කළා."
"ඔවුන් කැමැත්තෙන් යුද හමුදාවට බැඳුණා. අපිත් එක්ක එකතු වෙලා පුනරුත්ථානය වුණාට පස්සේ අර අපි ගැන තියෙන විශ්වාසය මත ඒගොල්ලෝ අපිත් එක්ක එකතු වුණා."
"අපි භාරගෙන පුනරුත්ථානපය කළ කිසි කෙනෙක්ව අතුරුදන් වුණා කියලා කොහොන්වත් චෝදනාවක් නෑ. කිසි ම චෝදනාවක් නැහැ. සියලු දෙනා ම නිසි පරිදි පුනරුත්ථානය කරලා සමාජයට මුදා හැරලා තියෙනවා."
"ඔය දෙමව්පියෝ කියන එක සම්බන්ධයෙන් ඕක තමා කියන්න තියෙන්නේ. අපි භාර ගත්තා කට්ටිය සියලු නිසි පරිදි පුනරුත්ථාපනය කරලා තියෙනවා. දැන් අපි ගාව කවුරුත් නැහැ," යනුවෙන් හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප්‍රතිචාරය
සෙල්වදොරෙයි ගෝපීනාත්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස් මිරාක් රහීම්ගෙන් ද බීබීසී සිංහල විමසීමක් කළේය.
ඔහු කියා සිටියේ, බීබීසී සිංහල ලබා දුන් තොරතුරු අනුව තම කිලිනොච්චි කාර්යාලයේ නිලධාරීන් ගෝපිනාත්ගේ පියා සමග සම්බන්ධ වී ඇති බවයි.
ඒ අනුව මීළඟ විමර්ශන වටයේදී මෙම සිද්ධිය පිළිබඳ සලකා බලන බව ඔහු සඳහන් කළේය.
'ලෝකයේ නොවිසඳුණු බලහත්කාර අතුරුදන් කිරීම් වැඩි ම සංඛ්‍යාව ඇති දෙවන රට ශ්‍රී ලංකාව'
2025 සැප්තැම්බර් 22 සිට ඔක්තෝබර් 3 දක්වා පැවැත්වෙන 29 වන සැසිවාරයේදී බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනය කරනු ලැබීමට නියමිත ය.
ඊට පෙර ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වාර්තාවක් ඉදිරිපත් කරමින් අනාවරණය කළේ, යුද්ධය අවසන් වී වසර දහසයක් ගත වී ඇතත්, ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ගොදුරු වූ දහස් ගණනක් සත්‍යය, යුක්තිය සහ වන්දි බලාපොරොත්තුවෙන් තවමත් දුක් විඳින බවයි.
ලෝකයේ නොවිසඳුණු බලහත්කාර අතුරුදහන් කිරීම් ඇති දෙවන විශාලතම රට වන්නේ ශ්‍රී ලංකාව යැයි, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් එම වාර්තාවේ සඳහන් කර තිබේ.
එම සංවිධානයට අනුව එය දෙවැනි වන්නේ ඉරාකයට පමණි.
බලහත්කාරයෙන් හෝ ස්වේච්ඡාවෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම (WGEID) ඉදිරියේ තවමත් ඉතිරිව ඇති සිද්ධිවලට අනුව, 2024 අවසන් වන විට බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සම්බන්ධ සිදුවීම් 6,264ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.
2017 වන විට, 1980 ගණන්වල සිට ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ සිද්ධි අවම වශයෙන් 60,000ක් සහ 100,000ක් පමණ සිදුවී ඇති බවට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇස්තමේන්තු කර ඇත.
1983 සිට 2009 දක්වා දශක තුනකට ආසන්න කාලයක් පැවති අභ්‍යන්තර සන්නද්ධ ගැටුමේදී, ශ්‍රී ලංකා රජයේ හමුදා සහ ඒ ආශ්‍රිත සන්නද්ධ කණ්ඩායම් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය (IHRL) සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) දඬුවම් ලැබීමකින් තොරව උල්ලංඝනය කර ඇති අතර, ඒවාට නීතියට පිටින් සිදුවන ඝාතන, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ LTTE සංවිධානය සමඟ සම්බන්ධකම් ඇති බවට සැක කෙරෙන දෙමළ ජනතාවට වධහිංසා පැමිණවීම් ඇතුළත් යැයි එම වාර්තාවේ සඳහන් වේ.
LTTE සංවිධානය ද ජාත්‍යන්තර නීතිය යටතට ගැණෙන අපරාධ සිදුකර ඇති බවත් බස් රථ සහ දුම්රිය ස්ථාන වැනි සිවිල් ඉලක්ක වෙත ඉවක් බවක් නොමැතිව මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම, දේශපාලනඥයින් සහ විවේචකයින් ඝාතනය කිරීම සහ ළමයින් සටන්කරුවන් ලෙස බලහත්කාරයෙන් බඳවා ගැනීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ද සිදු කර ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක් වේ.