ෂී ජින්පින් යළි බලයට පත්වීම ලංකාවට කෙසේ බලපානු ඇත්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය තුළ ඓතිහාසික වරමක් ලබමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් තුන්වන ධුරකාලය සඳහා බලයට පත්විය.
ඔහුගේ පත්වීම චීන - ශ්‍රී ලංකා සබඳතාවලට කුමන බලපෑමක් ඇතිකරයි ද?
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙන්නේ, මේ තත්ත්වය තුළ ඔහු කොමියුනිස්ට් පක්ෂය තුළ ඒකාධිපතීත්වය වර්ධනය කර ගනිමින් තවත් බලවත් වනු ඇති බව යි.
ෂී ජින්පින් බලය තහවුරු කරයි
චීන ජනාධිපති ෂී ජින්පින්ග් ඓතිහාසික තුන්වන ධුරකාලය සඳහා බලයට පත්වූ අතර, ඔහුට පක්ෂපාතී පිරිසකගෙන් සමන්විත නව නායකත්ව කණ්ඩායමක් පත්කර ගනු ලැබීය.
චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) ඉරිදා (ඔක්තෝබර් 23 වැනිදා) එහි දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුව එළිදක්වන ලද අතර, ෂී ජින්පින් නැවත මහලේකම් ලෙස තේරී පත්විය.
නිරීක්ෂකයින් පවසන්නේ ෂී ජින්පින් විසින් තෝරා ගන්නා ලද කණ්ඩායම, ඔහු විශේෂඥභාවය සහ අත්දැකීම් කෙරෙහි පක්ෂපාතීත්වය අගය කරන බව පෙන්නුම් කරන බවයි.
බෙයිජිං අගනුවර පැවති සතියක පක්ෂ සම්මේලනයකින් පසුව නව නිලධාරී මණ්ඩලය එළිදැක්වීම සිදුවිය.
නියෝජිතයින් 2,300කට වැඩි පිරිසක් විසින් විවිධ නායකත්ව කණ්ඩායම් තෝරා පත්කර ගත් අතර, දශක ගණනාවක් පුරා පැවති සම්ප්‍රදායෙන් බිඳී ෂී ජින්පින්ට පක්ෂය නව වරමක් ලබා දුන්නේ ය.
චීන කොමියුනිස්ට් පක්ෂ නිර්මාතෘ මාඕ සේතුං හැර වෙනත් කිසිදු පක්ෂ නායකයෙකු තුන්වන ධුරකාලයක් දරා නොමැත.
චීනයේ මිත්‍ර රටවල නායකයන් වන රුසියාවේ ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියාවේ කිම් ජොන් උන් චීන ජනාධිපති ෂී ජින්පින්ට සුබ පැතුම් එවූ පළමු නායකයින් අතර විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
නව නායකත්ව කණ්ඩායම හඳුන්වා දීමෙන් පසු, ෂී ජින්පින් පක්ෂය තමන් කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූති කරමින් කෙටි දේශනයක් පවත්වා, "සෑම පැත්තකින්ම චීන ජාතියේ මහා පුනර්ජීවනය" සාක්ෂාත්කර ගැනීමට පොරොන්දු විය.
දූෂණ විරෝධී ප්‍රධානී ෂාඕ ලෙජි සහ දේශපාලන න්‍යායාචාර්ය වැන්ග් හුනිං කණ්ඩායමට අලුතින් පත්වීම් ලැබූහ.
චීනයේ අංක දෙකේ නායකයා වන අගමැති ලී කෙකියැං ගැන මෙවර සඳහනක් නොවූ අතර ඔහු කමිටුවෙන් විශ්‍රාමගත් සිව්දෙනා අතරට අයත් වේ.
යම් කාලසීමාවකින් පසු ස්ථාවර කාරක සභාව සැලකිය යුතු ලෙස වෙනස් කිරීම සාමාන්‍ය දෙයක් වන නමුත් නිරීක්ෂකයින් සටහන් කර ඇත්තේ ලී කෙකියැං සහ අනෙකුත් අය ඉවත් කිරීමෙන්, ෂී ජින්පින් තමාට වෙනස් ඉදිරි දර්ශනයක් ඇති කිසිවෙකු ඇතුළත් කර නොමැති කණ්ඩායමක් පත් කරගෙන ඇති බවට සහතික වන බවයි.
ස්ථාවර කමිටු සාමාජිකයින්ගේ නිලතල තහවුරු කරනු ලබන්නේ ලබන වසරේ චීන ජාතික මහජන කොංග්‍රස් රැස්වීමේ දී වන අතර, එහිදී ෂී ජින්පින් නැවත ජනාධිපති ලෙස තහවුරු කෙරෙනු ඇත.
මෙවර පක්ෂ සමුළුවේ දී සිදුවූ විශේෂ සිද්ධියක් වූයේ චීන හිටපු ජනාධිපති හූ ජින්කාවෝ පක්ෂ සමුළුවෙන් ඉවත් කිරීම යි. සමුළුව අතරතුර ඔහුව පිටතට රැගෙන යන අයුරු දැක්වෙන දර්ශන නිකුත් කර තිබුණි.
නව නිලධාරීන් කවුද?
චීන කොමියුනිස්ට් පක්ෂය ඉදිරි වසර පහ සඳහා චීනය පාලනය කරන නිලධාරීන් මණ්ඩලය හෙළිදරව් කළ අතර, එහි දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුව චීනයේ කැබිනට් මණ්ඩලයට සමාන වේ.
පක්ෂය තුළ ඔවුහු ප්‍රභූ පැලැන්තියක් ලෙස සලකනු ලබන අතර, ඉහළට යාමට බොහෝ විට කීර්තිමත් දේශපාලන වාර්තාවක් පමණක් නොව, අභ්‍යන්තර එදිරිවාදිකම් පිළිබඳ දක්ෂ උපායමාර්ග ද අවශ්‍ය බව විචාරකයියෝ පෙන්වා දෙති.
ජනාධිපති ෂී ප්‍රමුඛ චීනයේ බල කේන්ද්‍රයේ නව නායකයින් මෙසේ ය:
ලී චැන්ග්
වයස: 63
වත්මන් දේශපාලන තනතුර: ෂැංහයි පක්ෂයේ ලේකම්
ජනාධිපති ෂී ජින්පින්ගේ විශ්වාසවන්තම කනිෂ්ඨ සගයා ලෙස සැලකෙන ලී චැන්ග් චීනයේ මීළඟ අග්‍රමාත්‍යවරයා වනු ඇතැ යි විශ්වාස කෙරෙයි.
ෂාඕ ලෙජි
වයස: 65
වත්මන් දේශපාලන තනතුර: විනය පරීක්ෂණ සඳහා වූ මධ්‍යම කොමිසමේ ප්‍රධානියා
ෂාඕ ලෙජි චීන නායකත්වයේ නැගී එන තරුවක් ලෙස සලකනු ලබයි. වයස අවුරුදු 42 දී ආණ්ඩුකාරයකට පත්වන ඔහු පළාත් ආණ්ඩුකාරවරයෙකු බවට පත්වූ ලාබාලම පුද්ගලයා බව සැලයි.
දූෂණ විරෝධී ආයතනයේ ප්‍රධානියා ලෙස ෂාඕ පක්ෂයේ විනය පවත්වාගෙන යාමේ වගකීම දරන අතර, වසර ගණනාවක් පුරා අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් සම්බන්ධයෙන් වාර්තා කර ඇත.
වැන්ග් හුනිං, කයි චී, ඩින්ග් ෂුහීෂියාන්ග්, සහ ලී ෂී චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුවේ සෙසු සාමජිකයෝ වෙති.
නව පත්වීම ලංකාවට බලපාන්නේ කොහොමද?
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හසිත කන්දඋඩහේවා කියා සිටියේ ෂී ජින්පින්ගේ නව පත්වීම යටතේ "එක් තීරයක් එක් මාවතක් හෙවත් (BRI) එක යටතේ තියෙන ලංකාවේ ව්‍යාපෘති, කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය වගේ ව්‍යාපෘති කඩිනම් වෙන්න පුළුවන්," යනුවෙනි.
"අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් නැවතිලා තියෙන යම් යම් චීන ආයෝජන ව්‍යාපෘති වේගවත් වෙන එක. දැනට යෝජනා වෙලා තියෙන ඒවා වර්ධනය වෙයි," ඔහු පැවසීය.
"සැකයක් තියෙනවා යම් කිසි විදිහකින් චීනය අපේ ත්‍රිකුණාමලය වරාය සම්බන්ධයේ අවධානය යොමු කරයි ද කියලා."
"දැනට තියෙන (BRI) එක යටතේ ආසියාව, අප්‍රිකාව, යුරෝපය සම්බන්ධ කෙරෙනවා. මං හිතනවා ඉදිරි කාලය වන විට ලතින් අමෙරිකාව සහ බටහිර අප්‍රිකානු රටවලුත් මේ ගොල්ලෝ BRI එක යටතට ගනියි," ඔහු පෙන්වා දුන්නේ ය.
"මේකෙන් වෙන්නේ අමෙරිකාව, ඉන්දියාව වගේ රටවල් මේකට ප්‍රතිරෝධය දක්වන්න පුළුවන්," ඔහු සඳහන් කළේ ය.
"පහුගිය කාලේ ලංකාවයි චීනය අතරයි හොඳ සබඳතාවක් තිබුණේ නැහැ. නමුත් නව ජනාධිපතිවරයා උත්සහ කළා චීනය සමග සම්බන්ධතා ගොඩනඟා ගන්න. මේක දැනට ඇතිවෙමින් පවතිනවා. යූවාන් වැන්ග් 5 නෞකා සිද්ධියේ ඉදලාම අපි බැලුවේ චීනය සමග මිත්‍රශීලීව යන්න. අපි හොඳට ගියොත් අපිට සලකන්න පුළුවන්."
ණය ප්‍රතිව්‍යුගතකරණයට මොකද වෙන්නේ?
ෂී ජින්පින් යළි බලයට පත්වීමත් සමග ශ්‍රී ලංකාව හා චීනය අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයට කුමක් සිදුවෙයිද යන පැනයට ආචාර්ය කන්දඋඩහේවා මෙසේ පිළිතුරු දුන්නේ ය: "ඉන්දියාව නැතිවුණොත් අපිට චීනයෙන් ඒ අවශ්‍යතාවයන්ට මුදල් හම්බවෙන්නේ නැහැ. චීනය අපිට ආධාර දෙන්නේ නැහැ. දෙන්නේ ණය."
ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩසටහන සඳහා චීනයේ සහය අත්‍යාවශ්‍ය බව යි.
"අපිට චීනය නැතිව බැහැ. IMF දෙසැම්බර් වෙනකොට ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනය එකඟවෙන්න ඕනේ," ඔහු පවසයි.
"සාමාන්‍යයෙන් චීනයේ ණය සම්ප්‍රදාය තමා ණය කපාහරින්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුගතකරණයකට යන්න පුළුවන්. ණය කපාහරින එකක් කරන එකක් නැහැ. නමුත් චීනය අලුතින් ණය දෙයි. චීනය දෙන්නේ වාණිජ ණය. ඒ පොලිය වැඩියි.
"ඉදිරි වසර පහ තුළ ලොකු වෙනස්කම් වෙන්න පුළුවන්. ෂී ජින් පින් බලයට පත්වන්නේ තුන්වන වරට, මාවෝ සේතුංගෙන් පස්සේ. මේක යාවජීව නායකත්වයක් ඇති කිරීමේ පළමු පියවර. ෂී ජින්පින් බලයට පත්වනවාත් සමග තමාට සමීපතමයින් කිහිපදෙනෙක් දේශපාලන මණ්ඩලයට පත්කර ගන්නවා. ඒ හරහා පෙන්වනවා පක්ෂය තුළ එයා දේශපානිකව හා මූලෝපායික වශයෙන් ශක්තිමත් කියලා.
"මේ තත්ත්වය තුළ කොමියුනිස්ට් පක්ෂය තුළ ඒකාධිපතීත්වය වර්ධනයකර ගනිමින් ෂී ජින්පින් බලවත් වෙයි. ෂී ජන්පින් බලයට පත්වෙනවා කියන්නේ BRI එක, හැම දෙයක්ම වේගවත් වෙනවා කියන එක තමා," ආචාර්ය කන්දඋඩහේවා සඳහන් කළේ ය.











