චීනය සහ තායිවානය: අර්බුදය පිළිබඳව සරල විග්‍රහයක්

චීනය, තායිවානය අවට ගුවනේ සහ මුහුදේ බැලස්ටික් මිසයිල ප්‍රහාර ද ඇතුලුව යුද අභ්‍යාසවල යෙදෙමින් මෙතෙක් ඔවුන් සිදු කළ විශාලතම හමුදා බලය ප්‍රදර්ශනය කිරීම සිදු කර ඇත.
චීනය මෙම යුද අභ්‍යාස පවත්වන්නේ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි දිවයිනේ කළ සංචාරයකින් අනතුරුව ය.
චීනය තායිවානය දකින්නේ තම රටෙන් බිඳී ගිය 'පළාතක්' ලෙස වන අතර, එය නැවතත් තමරටෙහි පාලනයට යටතට වනු ඇති බව චීනයේ විශ්වාසයයි.
කෙසේ වෙතත්, ස්වයං පාලනයක් සහිත දිවයින, තමන්ව සලකන්නේ, තමන්ගේම ව්‍යවස්ථාවකින් සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයින් සිටින, චීනයේ ප්‍රධාන භූමියෙන් වෙනස් වූ ස්වාධින භූමියක් ලෙසටයි.
චීනයේ ජනාධිපති ෂී ජිංපිං තායිවානය සමඟ 'යළි එක්වීමට' කටයුතු කළ යුතු බවට ප්‍රකාශ කර ඇති අතර තමන් ඒ සඳහා හමුදා බලය යෙදවීමේ ඉඩක් ඇති බව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර නො මැත.
තායිවානය පිහිටා ඇත්තේ කොහෙද?
තායිවානය යනු, ගිනිකොනදිග චීන වෙරළේ සිට සැතපුම් 100 ක් පමණ දුරින් පිහිටි දූපතකි.
එය එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියට තීරණාත්මකව බලපාන, එක්සත් ජනපද මිත්‍ර ප්‍රදේශ ලැයිස්තුවේ පළමු දූපත් දාමයේ පිහිටා ඇත.
චීනය විසින් තායිවානය අත්පත් කර ගත්තේ නම්, බටහිර පැසිෆික් කලාපයේ බලය පැතිරවීමට ඉඩ ලැබෙන අතර, ගුවාම් සහ හවායි තරම් දුරින් පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරුවලට ද එය තර්ජනයක් විය හැකි බව ඇතැම් බටහිර විශේෂඥයින් පවසති.
එහෙත් චීනය දැඩිව කියා සිටින්නේ තම අභිප්‍රායන් සම්පූර්ණයෙන් ම සාමකාමී බවයි.
තායිවානය සැමවිටම පැවතුනේ චීනයෙන් වෙන් වූ රටක් ලෙසට ද?
ඉතිහාස මූලාශ්‍රවලට අනුව මෙම දිවයින ප්‍රථම වරට පූර්ණ චීන පාලනයට නතු වන්නේ 17 වන ශතවර්ෂයේ ක්විං රාජවංශය එය පාලනය කරන සමයේදී යි. ඉන්පසුව, 1895 දී, පළමු චීන- ජපන් යුද්ධයෙන් චීනය පරාජය වීමෙන් පසුව දිවයින ජපානයට ලබා දීමට චීනය කටයුතු කර තිබුණි.
1945 දී ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වීමෙන් අනතුරුව, මෙම දිවයිනේ අයිතිය නැවතත් චීනය අතට පත් විය.
නමුත් චියැං කායි-ෂෙක්ගේ නායකත්වයෙන් යුත් ජාතිකවාදී රජයේ හමුදා සහ මාඕ සේතුංගේ කොමියුනිස්ට් පක්ෂය අතර සිවිල් යුද්ධයක් චීනයේ ප්‍රධාන භූමියේ හටගත්තේ ය.
1949 දී කොමියුනිස්ට්වාදීන් එයින් ජයග්‍රහණය කළ අතර, ඔවුන් චීනයේ පාලනය අත්පත් කර ගත්හ.
කුඕමින්ටැන්ග් ලෙස හඳුන්වන, ජාතිකවාදී පක්ෂයෙන් ඉතිරි වූ පිරිස සහ චියැං කායි-ෂෙක් තායිවානයට පලා ගිය අතර, ඔවුන් ඊළඟ දශක කිහිපය තුළ තායිවානය පාලනය කළහ.
තායිවානය මුල සිටම චීනයේ පළාතක් බව පැවසීමට චීනය මෙම ඉතිහාස තොරතුරු යොදාගන්නා නමුත් තායිවානය තර්ක කරන්නේ ඔවුන් කිසි විටෙකත් 1911 විප්ලවයෙන් පසු පිහිටුවන ලද නූතන චීන රාජ්‍යයේ හෝ 1949 දී මාඕ යටතේ පිහිටුවන ලද මහජන චීන සමූහාණ්ඩුවේ කොටසක් නොවූ බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කුඕමින්ටැන්ග් යනු මුල සිට ම තායිවානයේ වඩාත්ම කැපී පෙනෙන දේශපාලන පක්ෂයකි. තායිවාන ඉතිහාසය සලකා බැලීමේදී, ඉන් වැඩි කාලයක් තායිවානය පාලනය කර ඇත්තේ එය විසිනි.
දැනට තායිවානය ස්වාධීන රටක් ලෙස පිළිගනු ලබන්නේ වතිකානුව හැරුණු විට රටවල් 13ක් පමණි.
තායිවානය ස්වාධීන රටක් ලෙස හඳුනා නොගන්නා ලෙස හෝ එය ස්වාධීන රටක් ලෙස පිළි ගන්නා කිසිවක් නො කරන ලෙසට චීනය වෙනත් රටවලට සැලකිය යුතු රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් කරමින් සිටී.
තායිවානයට තමන් ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිය හැකිද?
ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම වැනි යුදමය නොවන ක්‍රම මඟින්, තායිවානය යළිත් තමන් යටතට ගැනීමට චීනයට උත්සාහ කළ හැක.
එහෙත් ඕනෑම යුධ ගැටුමකදී, චීන සන්නද්ධ හමුදාව තායිවානයේ හමුදාව විනාශ කරනු ඇත.
එක්සත් ජනපදය හැර වෙනත් ඕනෑම රටක් සිය ආරක්ෂාව සඳහා කරන වියදමට වඩා වැඩි වියදමක් චීනය සිය ආරක්ෂාව සඳහා කරන අතර නාවික බලයේ සිට මිසයිල තාක්ෂණය, ගුවන් යානා සහ සයිබර් ප්‍රහාර දක්වා විශාල පරාසයක යුද බලයක් ඔවුන් සතු ය.
චීනයේ යුද බලයෙන් වැඩි ප්‍රමාණයක් වෙනත් ස්ථාන කෙරේ යොමුව ඇති නමුත්, සමස්තයක් ලෙස ගත කළ දෙපාර්ශවය අතර පවතින්නේ විශාල අසමබර බවකි. උදාහරණයක් වශයෙන් ක්‍රියාකාරී යුද රාජකාරියේ යෙදී සිටින පුද්ගලයින් සලකා බැලීමේදී දෙපාර්ශවය අතර සංඛ්‍යාත්මකව පවතින්නේ විශාල වෙනසකි.

ඇතැම් බටහිර විශේෂඥයින් පවසන්නේ යුද ගැටුමක් සිදුවන අවස්ථාවකදී තමන්ට එල්ලවන චීන ප්‍රහාර මන්දගාමී කිරීම, චීනයේ නාවික සහ පාබල හමුදා තම වෙරළට ගොඩබෑම වැළැක්වීමට උත්සාහ කිරීම සහ බාහිර උදව් බලාපොරොත්තුවෙන් සිටින අතරතුරදී ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම තායිවානයට කළ හැකි උපරිම දේ වනු ඇති බවයි.
එම 'බාහිර උපකාර' තායිවානයට ආයුධ විකුණන එක්සත් ජනපදයෙන් ලැබීමේ ඉඩක් පවතී.
මෙවන් මොහොතක ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව වොෂිංටනය තවමත් පැහැදිලි ස්ථාවරයක් දන්වා නොමැත. එයින් පෙනී යන්නේ ප්‍රහාරයක් සිදු වූ විට තායිවානය ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳව එක්සත් ජනපදය පැහැදිළි ප්‍රකාශයක් සිදු කිරීමෙන් වැළකෙන බවයි.
රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් එක්සත් ජනපදය දැනට 'එක චීනයක්' හෙවත් එහි අගනුවර වූ බීජිං සිට චීනය පාලනය කරන රජය පමණක් පිළිගන්නා අතර, චීනය සමඟ පවත්වන සබඳතා තායිවානයත් සමඟ පවත්වන සබඳතාවලට වඩා විධිමත් ස්වරූපයක් ගනී.
නමුත් පසුගිය මැයි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, වොෂිංටනයේ ස්ථාවරය දැඩි කරන බවක් දකින්නට ලැබුණි.
එක්සත් ජනපදය, තායිවානය මිලිටරිමය වශයෙන් ආරක්ෂා කරන්නේ දැයි ඇසූ විට බයිඩන් පිළිතුරු දී තිබුණේ "ඔව්" යනුවෙනි.
ඇමරිකාව සිය ස්ථාවරය වෙනස් කර නොමැති බව ධවල මන්දිරය ද අවධාරණය කර තිබේ.
තත්ත්වය තව තවත් නරක අතට හැරෙමින් ද පවතින්නේ?
චීනය විසින් 'අතිශයින් භයානක' ලෙස හෙළා දකින ලද නැන්සි පෙලෝසිගේ සංචාරයෙන් පසුව, තායිවානය සහ චීනය අතර සබඳතා ඉතා නරක අතට හැරී ඇති බව පෙනෙන්නට තිබේ.
චීනය පවසන්නේ තම හමුදා අභ්‍යාස, තායිවානය අවට අවදානම් කලාප හයක් කෙරෙහි අවධානය යොමු වී ඇති අතර ඉන් තුනක් තායිවාන මුහුදු සීමාව හරහා වැටී ඇති බවයි.

තායිවානය පවසන්නේ මෙම යුද අභ්‍යාස හේතුවෙන්, නැව් සහ ගුවන් යානාවලට එම ප්‍රදේශ මඟහැර ගමන් කිරීමට සිදුව ඇති අතර, මෙම පියවර තම රටේ ස්වාධීන බව උල්ලංඝනය කිරීමක් වන බවයි.
එමෙන් ම ඉදිරි දිනවලදී දැඩි සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇති බවට තායිවානය සිය දිවයිනේ සමාගම්වලට අනතුරු අඟවා තිබේ.
චීනය සහ තායිවානය අතර ඇති නොසන්සුන්කාරී බව වැඩි වෙමින් පවතී.
2021 දී, චීනය තායිවානයේ ගුවන් ආරක්ෂක කලාපයට හමුදා ගුවන් යානා යැවීමෙන් මෙම නොසන්සුන් බව තවදුරටත් වැඩි කළ අතර, ජාතික ආරක්ෂාව සඳහා බව කියමින් එම ප්‍රදේශ හරහා පියාසර කරන විදේශීය ගුවන් යානා හඳුනාගෙන, අධීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට ද කටයුතු කර තිබුණි.
උපරිමය ලෙස එක් දිනක් තුළ ගුවන් ආක්‍රමණ 56ක් සමඟින්, 2021 ඔක්තෝම්බර් මාසයේදී මේ තත්ත්වය වඩාත් උග්‍ර වූ අතර, තායිවානයේ ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ වසර 40ක කාලයක් චීනය සමඟ පැවති සබඳතාවල නරක ම කාලයට ඔවුන් එළඹ ඇති බවයි.
තායිවානය 2020 දී, ගුවන් යානා ආක්‍රමණය පිළිබඳ දත්ත ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු කළේ ය.
තායිවානය සෙසු ලෝකයට වැදගත් වන්නේ ඇයි?
තායිවානයේ ආර්ථිකය ඉතා වැදගත් ය.
වත්මන් ලෝකයේ එදිනෙදා භාවිතා වන දුරකථනවල සිට ලැප්ටොප්, ඔරලෝසු සහ ක්‍රීඩා කොන්සෝල දක්වා ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියාත්මක වන්නේ තායිවානයේ නිෂ්පාදිත පරිගණක චිප් මඟිනි.
එක් මිනුම් දර්ශකයකට අනුව, තනි තායිවාන සමාගමක් වන Taiwan Semiconductor Manufacturing Company (TSMC ) ලෝක වෙළඳපොලෙන් අඩකට වඩා හිමි කරගෙන තිබේ.
TSMC යනු සාමාන්‍ය පාරිභෝගිකයින්ට මෙන් ම මිලිටරි ගනුදෙනුකරුවන් වෙනුවෙන් ද චිප් නිෂ්පාදනය කරන සමාගමකි. එය 2021 දී ඩොලර් බිලියන 100 ක් හෙවත් රුපියල් බිලියන 36900 ක පමණ වටිනාකමක් තිබූ විශාල කර්මාන්තයකි.
චීනයට තායිවානය අත්පත් කර ගැනීම මඟින් ලොව වැදගත්ම කර්මාන්තයක් කෙරෙහි යම් බලපෑමක් සිදු කිරීමේ හැකියාව තිබේ.
තායිවාන ජනතාව ඉන්නේ බියෙන්ද?
චීනය සහ තායිවානය අතර මෑතකදී ඇති වූ නොසන්සුන් බව එසේ ම තිබියදීත් බොහෝ තායිවාන වැසියන් සාපේක්ෂව දුෂ්කරතාවලින් තොරව සිටින බව පර්යේෂණවලින් පෙනී ගොස් තිබේ.
2021 ඔක්තෝම්බර් මාසයේදී තායිවානයේ මහජන අදහස් පදනම එරට වැසියන්ගෙන් මත විමසුමක් කළ අතර, චීනය සමඟ යුද්ධයක් ඇති වේ යැයි ඔවුන් සිතනවාද යන්න එහිදී අසා තිබුණි.
එහිදී තුනෙන් දෙකක් (64.3%) ම ඔවුන් එසේ නො සිතන බවට පිළිතුරු ලබා දී තිබුණි.
වෙනත් පර්යේෂණවලින් පෙනී යන්නේ තායිවානයේ බොහෝ පුද්ගලයන් මේ වනවිට තමන් 'තායිවාන ජාතිකයන්' ලෙස අනන්‍යතාවයක් වැළඳ ගනිමින් සිටින බවකි.
ජාතික චෙංචි විශ්ව විද්‍යාලය විසින් 1990 ගණන්වල මුල් භාගයේ සිට කරන ලද සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ තමන් 'චීන හෝ චීන - තායිවාන' යන දෙ ආකාරයෙන් ම හඳුනා ගන්නා පුද්ගලයින්ගේ අනුපාතය කෙමෙන් පහත වැටී ඇති අතර බොහෝ මිනිසුන් මේ වනවිට තමන් තායිවාන ජාතිකයන් ලෙස සැලකීමට පටන්ගෙන ඇති බවයි.
ඔබ මේ පිළිබඳවත් උනන්දු විය හැක..









