කාශ්මීරයේදී ලිංගික අතවරවලට ලක්වූවන් පිළිබඳව සිදු කළ ප්‍රකාශ ගැන වැඩිදුර තොරතුරු දෙන්නැයි ඉන්දීය පොලිසිය රාහුල් ගාන්ධිට කියයි

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock
කාශ්මීරයේ ලිංගික අතවරවලට ලක්වූවන් පිළිබඳව සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය එරට විපක්ෂ දේශපාලනඥ රාහුල් ගාන්ධිගෙන් තොරතුරු ඉල්ලා සිටියි.
ඒ සම්බන්ධයෙන් නීත්‍යනුකූලව නොතීසි ලබා දීම සඳහා නිලධාරීහු ඔහුගේ නිවසට ගොස් එහි පැය දෙකක කාලයක් රැඳී සිටියහ.
මතභේදයට තුඩු දී ඇති ඉන්දීය රජය යටතේ පාලනය වන ප්‍රදේශයේ දී ඔහු කතා බහ කළ වින්දිතයන් පිළිබඳ තොරතුරු තමන්ට අවශ්‍ය බව ත් ඒ ඔස්සේ ඔවුන්ට [වින්දිතයින්ට] යුක්තිය ඉටු කළ හැකි බව ත් ඔවුහු පැවසූහ.
රාහුල් ගාන්ධි මෙම ක්‍රියාව පෙර නොවූ විරූ ක්‍රියාවක් ලෙස විස්තර කළ නමුත් දින 10ක් තුළ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ප්‍රතිචාරයක් ලබා දෙන බව පැවසීය.
පොලිස් නිලධාරීන් රාහුල් ගාන්ධිගේ නිවසට ගියේ, පසුගිය දා එක්සත් රාජධානියේ කළ සංචාරයකදී ඔහු ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් විනාශ වීම පිළිබඳව නිකුත් කළ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් වෙන ම දේශපාලන මතභේදයක් ඇති වීමෙන් පසුව ය.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ප්‍රබල ව්‍යාපාරිකයෙකු අතර මෑත කාලීන සම්බන්ධකම් විවේචනය කිරීම ඇතුළු විවිධ කාරණා පිළිබඳ ඔහුගේ ස්ථාවරය සමග පොලිසිය ඔහු වෙත නොතීසි නිකුත් කිරීම සහ එම නිලධාරීන්ගේ පැමිණීමේ කිසිදු සම්බන්ධයක් නොමැති යැයි තමා අපේක්ෂා කරන බව ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හෙතෙම පැවසීය.
ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානිගේ ව්‍යාපාරික ආධිපත්‍යයට එරෙහි වංචා චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට විමර්ශනය කරමින් සිටියි. අදානි එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
තම රජය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වන බව පැවසීම සම්බන්ධයෙන් මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ගාන්ධිව දැඩි ලෙස විවේචනය කර තිබේ.
පොලිස් නිලධාරීන්ගෙන් පැමිණීමෙන් පසුව, කොංග්‍රස් පක්ෂය කියා සිටියේ, භාරතීය ජනතා පක්ෂය "අපේ නායකයින්ට සහ ප්‍රකාශකයින්ට හිරිහැර කිරීමට" නිලධාරීන් යැවීම ඇතුළුව "කළ හැකි සෑම නීච ක්‍රියාවක්ම කරමින් සිටින" බව ය.
"මේ හැමදේම අපි අදානි වංචාව ගැන හෙළි කරන එක නවත්තන්න. ඒත් අපිට උත්තර ලැබෙන තුරු අපි පසු බහින්නේ නෑ!" පක්ෂය පැවසීය.
ජනවාරි මාසයේදී ඉන්දීය රජය විසින් පාලනය කරනු ලබන කාශ්මීරයේ කාන්තාවන් ලිංගික අතවරවලට ලක් වන බවට ඔහු කළ ප්‍රකාශ පිළිබඳ තොරතුරු ඉල්ලා නොතීසි ලබා දීමෙන් පසු නිලධාරීහු නව දිල්ලි අගනුවර පිහිටි ගාන්ධිගේ නිවසේ පැය දෙකක් රැඳී සිටියහ.
ඔහු සඳහන් කළ වින්දිතයන් සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීම සඳහා මෙම තොරතුරු අවශ්‍ය බව ඔවුහු පැවසූහ.
කාශ්මීරය යනු, ඉන්දියාව සහ පකිස්තානය යන දෙපාර්ශවය ම හිමිකම් කියනු ලබන හිමාලයේ ඇති මතභේදයට තුඩු දී ඇති කලාපයකි. ඉන්දියාව සහ පකිස්තානය වසර 70කට වැඩි කාලයක් එහි පාලනය සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගෙන තිබේ.











