'ඕනෑම ලිපියක් අපේ අවසාන ලිපිය වෙන්න පුළුවන්' - කාශ්මීර් මාධ්‍ය කෙරෙහි ඉන්දියාවේ මර්දනය

Fahad Shah stands in a doorway.

ඡායාරූප මූලාශ්‍රය, Mukhtar Zahoor

ඡායාරූප ශීර්ෂ වැකිය, මාධ්‍යවේදී ෆහාඩ් ෂා ත්‍රස්තවාදී චෝදනා මත මාස 18කට වැඩි කාලයක් සිරගතකර සිටියි
    • Author, යෝගිතා ලිමායේ
    • Role, බීබීසී පුවත්, ශ්‍රීනගර්

2022 අප්‍රේල් මස පස්වන දා මධ්‍යම ශ්‍රීනගර්හි බටාමලූ ප්‍රදේශයේ පිහිටි සුල්තාන් නිවස පුරා ප්‍රීතිමත් හැඟීමක් පැතිරගොස් තිබුණි.

එය ඉන්දීය පාලිත කාශ්මීරයේ හිරු එළිය සහිත වසන්තයේ දිනයක් වූ අතර, උසාවි සහ පොලිස් ස්ථාන වෙත යමින් ගත කළ වසර තුන හමාරකට පසු සුල්තාන් පවුලට සුබ ආරංචියක් ලැබී ඇත - ඒ, මාධ්‍යවේදියෙකු, ස්වාමි පුරුෂයෙකු, පියෙකු සහ පුතෙකු වන අසීෆ් සුල්තාන් ඇප මත මුදාහැර ඇතිබවට වන පුවත යි.

ඔහු ආපසු නිවස කරා එන තුරු ඥාතීහු එහි එක්රැස් වී සිටියහ. නමුත් පැය, දින ගණන්වලට පෙරළෙද්දී අසීෆ්ගේ පවුලේ සාමාජිකයෝ කාංසාවට පත්වූහ.

අප්‍රේල් 10 වන දා අසීෆ්ට එරෙහිව තවත් චෝදනාවක් ඉදිරිපත් කෙරිණි. ඔහු මුදා නොහළ අතර, හමුවීම ද දුෂ්කර කරමින් ඔහු කාශ්මීරයෙන් පිටත බන්ධනාගාරයකට මාරු කරන ලදී.

"අපි මහා දුකකින් ඉන්නේ, ඒත් අපි දිගටම උසාවියෙ දී සටන් කරනවා. එයා අහිංසකයෙක් කියලා හැමෝම දන්නවා. ඒ නිසා අපි අවසානයේ දිනාවි," ඔහුගේ පියා වන මොහොමඩ් සුල්තාන් පැවසීය. ඔහුගේ මිණිපිරිය වන අරීබා කාමරය තුළට දුවැවිත් ඔහුගේ උකුළේ හිඳගත්තා ය. ඇගේ පියා අත්අඩංගුවට ගන්නා විට ඇය මාස පහක ළදැරියකි.

Asif Sultan, journalist and editor of a local monthly magazine was arrested in 2018

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මොහොමඩ් සුල්තාන් විශ්වාස කරන්නේ, ඔහුගේ පුත් අසීෆ් (2018 වසරේ දී ගන්නා ලද ඡායාරූපයකි) ඔහුගේ වෘත්තීයමය කාර්යයන් නිසා ඉලක්කවූවෙකු බව ය

අසීෆ් සුල්තාන්ට පළමුවෙන් චෝදනා එල්ල වූයේ මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීරයේ සටන්කාමීත්වයට ආධාර කළ බවට ය. එම ප්‍රාන්තය 1989 සිට ඉන්දීය පාලනයට එරෙහිව සන්නද්ධ කැරැලිවල යෙදී තිබුණි.

ඇප ලබා ගැනීම අතිශයින් දුෂ්කර 'නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනත' (UAPA) නමැති ත්‍රස්ත විරෝධී නීතිය යටතේ ඔහුට චෝදනා එල්ල විය. ඔහුට එරෙහි දෙවන චෝදනාව, වසර දෙකක් දක්වා චෝදනා භාර දීමකින් තොරව රඳවා තබා ගැනීමට ඉඩ සලසන තවත් මතභේදාත්මක නීතියක් වන 'මහජන ආරක්ෂණ පනත' (PSA) යටතේ එල්ලවිය.

මොහොමඩ් සුල්තාන් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. විශේෂයෙන්, 2018 අගෝස්තුවේ දී ඔහු අත්අඩංගුවට ගැනීමට මාසයකට පෙර අසීෆ් විසින් ලියන ලද ඉන්දීය-විරෝධී සටන්කාමියෙකු පිළිබඳ ලිපියක් ආදී ඔහුගේ වෘත්තීයමය කටයුතු හේතුවෙන් අසීෆ් ඉලක්කගත වූ බව ඔහු විශ්වාස කරයි.

"අසීෆ් කියන්නේ වෘත්තීයමය වාර්තාකරුවෙක්. එයාව හිරේ යවලා තියෙන්නෙ සටන්කාමීත්වය ගැන ලියපු නිසා. එයාට ඒගොල්ලො (සටන්කාමීන්) එක්ක කිසි සම්බන්ධයක් නෑ," ඔහුගේ පියා කියයි. "ඒගොල්ලන්ට [ආණ්ඩුවට] ඕන වෙලා තියෙන්නෙ, ආණ්ඩුව අනුමත කරන්නෙ නැති මාතෘකා ගැන කතා කරන එක වළකන්න ඔහුව ආදර්ශයක් විදිහට පෙන්නන්න යි."

එම කලාපය තුළ ජනමාධ්‍ය බිය ගැන්වීමට සහ නිහඬ කිරීමට ඉන්දීය රජය තර්ජනාත්මක සහ ක්‍රමානුකූල ව්‍යාපාරයක් ගෙන යනබවට එල්ලවී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා බීබීසීය වසරකට වැඩි කාලයක් ගතකර ඇත. අපට මාධ්‍යවේදීන් හමුවීමට සිදුවූයේ රහසිගතව වන අතර, පළිගැනීම්වලට ලක්වනු ඇතැ යි බියෙන් ඔවුන්ගේ නම් හෙළි නොකරන ලෙසට ඔවුන් ඉල්ලා සිටියේ ය.

සංචාරයන් කිහිපයක දී අප කතාබහ කළ මාධ්‍යවේදීහු 20 දෙනෙකුට අධික පිරිස අතර ප්‍රාදේශීය සහ ජාතික තලයේ මාධ්‍ය ආයතනවල මෙන්ම ස්වාධීනව ද සේවය කරන කතෘවරු, වාර්තාකරුවෝ සහ ඡායාරූප මාධ්‍යවේදීහු වූහ. රජයේ ක්‍රියාකාරකම් ඔවුන්ට කරනු ලබන තර්ජන ලෙස ඔවුන් සියලු දෙනා දකියි.

අසීෆ් මේ වන විට බන්ධනාගාරය තුළ වසර පහක් ගතකර තිබේ. 2017 වසරේ සිට අවම වශයෙන් කාශ්මීර් මාධ්‍යවේදීන් හත්දෙනෙකු සිරගත කර තිබේ. අසීෆ් ඇතුළු සිව් දෙනෙක් තවමත් සිරගතව සිටිති.

Fahad Shah

ඡායාරූප මූලාශ්‍රය, Umer Asif

ඡායාරූප ශීර්ෂ වැකිය, 2022 වසරේ දී ෆහාඩ් ෂා අත්අඩංගුවට ගත් අතර ත්‍රස්ත විරෝධී නීති යටතේ "ත්‍රස්තවාදය ප්‍රචාරය කිරීම" සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කෙරිණි

ඩිජිටල් සඟරාවක සංස්කාරකවරයෙකු වූ ෆහාඩ් ෂා 2022 පෙබරවාරි මාසයේ දී ත්‍රස්ත විරෝධී නීති යටතේ අත්අඩංගුවට ගත් අතර, "ත්‍රස්තවාදය ප්‍රචාරය කිරීම" සම්බන්ධයෙන් චූදිතයෙක් විය.

ඔහු අත්අඩංගුවට ගැනීමට මසකට පෙර, නිදහස් මාධ්‍යවේදී සජාඩ් ගුල් අත්අඩංගුවට ගනු ලැබුවේ කාශ්මීර වැසියන් පිරිසක් ඉන්දීය-විරෝධී සටන් පාඨ කියන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් පසුව ය. සජාඩ්ට අපරාධ කුමන්ත්‍රණ චෝදනා එල්ල විය. ඔවුන් ඇප මත මුදා හරින ලද සෑම අවස්ථාවක දීම නව චෝදනා යටතේ ඔවුන් යළි අත්අඩංගුවට ගැනිණි.

වඩාත් මෑතක දී මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගන්නා ලද්දේ මේ වසරේ මාර්තු මාසයේ දී ය. ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල ලිපි පළ කරන ඉර්ෆාන් මේරජ්ට, ත්‍රස්ත අරමුදල් සමග සම්බන්ධයක් ඇතැ යි චෝදනා කෙරිණි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ තවත් බොහෝ පිරිසකට එරෙහිව නඩු පවරා තිබේ.

එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ලෙස බීබීසී පුවත් සේවය ප්‍රාදේශීය පරිපාලනයෙන් සහ පොලිසියෙන් දිගින් දිගට ම ඉල්ලීම් කර ඇත. අප සම්මුඛ සාකච්ඡා ඉල්ලා ඇති අතර විශේෂිත ප්‍රශ්න සහිත ඊමේල් ද යවා තිබේ. අපට ප්‍රතිචාරයක් ලැබී නැත.

මැයි මාසයේ ශ්‍රීනගර්හි දී පැවති G20 සමුළුවේ දී අප කලාපයේ ඉහළ ම පරිපාලන නිලධාරියා වන මනෝජ් සිංහාගෙන් මාධ්‍ය මර්දනය හා සම්බන්ධ චෝදනා පිළිබඳව විමසුවෙමු. එහිදී ඔහු පැවසුවේ මාධ්‍ය "උපරිම නිදහසක් අත්විඳින" බව ය. "මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත්තේත්, රඳවා තබා ගත්තේත් ත්‍රස්තවාදී චෝදනා සහ සමාජයීය සමගියට බාධා එල්ල කිරීමට උත්සහ කිරීම් නිසා මිසක් මාධ්‍යකරණය හෝ ලිපි ලිවීම නිසා නෙවෙයි," ඔහු පැවසීය.

මෙම ප්‍රකාශය අසත්‍යබව පෙන්වන තවත් ප්‍රකාශයන් කීපයක්ම අපට අසන්නට ලැබුණි.

"මෙහේ මාධ්‍යවේදීන්ව පොලිසියට ගෙන්නන එක ඉතාම සාමාන්‍ය දෙයක්. ඒ වගේ ම, වාර්තාකරුවන්ව එයාලගෙ ප්‍රවෘත්ති වාර්තා නිසා රඳවා තබාගත් සිද්ධි ගොඩක් තියෙනවා," වාර්තාකරුවෙක් මට පැවසීය.

"මම ලියපු ලිපියක් ගැන පොලිසියෙන් මට කෝල් එන්න ගත්තා. මම ඒක ලිව්වේ ඇයි කියලා මගෙන් දිගින් දිගට ම අහන්න ගත්තා. පස්සේ මගෙන් පුද්ගලිකව ප්‍රශ්න කළා. ඒගොල්ලො කිව්වා මං ගැන යි මගේ පවුල ගැන යි ඔක්කොම දන්නවා කියලා. ඒකට මට ගොඩක් බය හිතුණා. මට දිගට ම හිතෙන්න ගත්තා, එක්කෝ මාව අත්අඩංගුවට ගනියි නැත්නම් ශාරීරිකව හානියක් කරයි කියලා."

මා කතාබහ කළ මාධ්‍යවේදීන්ගෙන් 90%ක් ම පැවසුවේ, ඔවුන් අවම වශයෙන් එක් වරක් හෝ පොලිසියට කැඳවා ඇති බව ය. බොහෝ දෙනෙකු ලිපි සම්බන්ධයෙන් කිහිප වරක් ම කැඳවා තිබිණි. පොලිසිය කතා කළ ආකාරය සුහදශීලී බව ඇතැමෙකු පැවසූමුත්, ඔවුන්ට පොලිසියේ දී කෝපයට සහ තර්ජනවලට මුහුණ පෑමට සිදුවූ බව තවත් සමහරුන් පැවසීය.

"අපේ ඕනෑ ම ලිපියක් අපේ අන්තිම ලිපිය වෙන්න පුළුවන් කියන බයෙන් තමයි අපි ඉන්නේ. ඊට පස්සේ ඉතින් හිරේ තමයි," මාධ්‍යවේදියෙක් පැවසීය.

"කාශ්මීරයේ ජනමාධ්‍යකරණය මැරිලා වළලලත් ඉවරයි," තවත් වාර්තාකරුවෙක් පැවසීය.

මා සමග කතාබහ කළ සෑම මාධ්‍යවේදියෙකු ම පැවසුවේ, පසුගිය වසර කිහිපය තුළ "සාමාන්‍ය පසුබිම් පරීක්ෂාවන්" සඳහා පොලිසිය ඔවුන් කිහිප වරක් ම කැඳවනු ලැබූ බව ය.

එවැනි දුරකතන ඇමතුමකට මම සාක්ෂිකරුවෙක් වීමි.

*අප හා සාකච්ඡා කළ මාධ්‍යවේදීන් හා මාධ්‍යවේදිනියන් සියල්ලන්ගේ අනන්‍යතාව හෝ ස්ත්‍රී පුරුෂභාවය හෙළි නොවනුවස්, සියල්ලන් සඳහාම 'ඔහු' යන සර්වනාමය භාවිතාකර තිබේ.

මා සමග සිටි මාධ්‍යවේදියාට ප්‍රාදේශීය පොලිස් ස්ථානයෙන් ඇමතුමක් ලැබිණි. ඔහු දුරකතනයේ ස්පීකරය ක්‍රියාත්මක කළේ ය. පොලිස් නිලධාරියා ප්‍රථමයෙන් තමා හඳුන්වා දුන් අතර මාධ්‍යවේදියාගෙන් ඔහුගේ නම, ලිපිනය සහ රැකියා ස්ථානය පිළිබඳව විමසා සිටියේ ය.

මේ විස්තර අවශ්‍ය කරන්නේ මන්දැ යි මාධ්‍යවේදියා විමසූ විට - නිලධාරියාගේ ස්වරය මිත්‍රශීලී වූ නමුත් - ඔහු මාධ්‍යවේදියා, ඔහුගේ පවුල, දෙමාපියන්ගේ රැකියා, ඔහුගේ පදිංචිය, ඔහුගේ සොයුරු සොයුරියන් ඉගෙගත් සහ රැකියා කරන ස්ථාන, සොයුරු සොයුරියන් සතු උපාධි සහ ඔහුගේ සොයුරු සොයුරියන්ගෙන් අයෙකු පවත්වාගෙන යන ව්‍යාපාරයක නම ආදී තොරතුරු දිගට ම කියාගෙන ගියේ ය.

එම දුරකතන සංවාදයෙන් පසු, ඔහුට කුමක් දැනුනේදැ යි මම මාධ්‍යවේදියාගෙන් ඇසීමි.

"ඒක හරි වධයක්," ඔහු පැවසීය. "මට දැන් හිතෙනවා, ඒගොල්ලෝ මා දිහා බලාගෙන ඉන්නව ද, මගේ පවුල දිහා බලාගෙන ඉන්නව ද, මේ කෝල් එකට හේතු වුණේ මොකක් ද, ඊළඟට වෙන්නේ මොකක් ද කියලා."

Security forces in Srinagar
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රශ්න කිරීම් සඳහා පොලිසියට කැඳවීම සාමාන්‍ය දෙයක් බව ශ්‍රීනගර්හි මාධ්‍යවේදීහු බීබීසී පුවත් සේවයට පැවසූහ

අනෙක් මාධ්‍යවේදීන් පැවසුවේ, ඔවුන්ට අයත් දේපළ, ඔවුන්ගේ බැංකු ගිණුම්, ඔවුන්ගේ ආගමික සහ දේශපාලන විශ්වාසයන් ඇතුළු තවත් පෞද්ගලික තොරතුරු ඔවුන්ගෙන් විමසා ඇති බව ය.

"කාශ්මීර්වල ඉන්න මාධ්‍යවේදීන්ට සලකන්නේ අපරාධකාරයන් විදිහට. ජාතිකවිරෝධීන්, ත්‍රස්තවාදීන්ට එකඟවෙන්නන් සහ පාකිස්ථාන හිතවාදී මාධ්‍යවේදීන් විදිහට අපට ලේබල් අලවලා තියෙන්නේ. එයාලා තේරුම් ගන්නේ නෑ අපේ රස්සාව හැම පාර්ශවයක් ම නියෝජනය කරන එක කියලා," මාධ්‍යවේදියෙක් පැවසීය.

සමස්ත කාශ්මීර් කලාපය සඳහා ඉන්දියාව සහ පාකිස්ථානය අයිතිවාසිකම් කියන අතර, එම දෙරට මෙන් ම චීනය ද එහි කොටස් පාලනය කරයි. ඉන්දීය පාලිත කාශ්මීර කලාපයේ ක්‍රියාත්මක වන සටන්කාමී කණ්ඩායම් පකිස්ථානය පදනම්කර ගත් ඒවා ය. ඒවාට පකිස්ථානයේ බුද්ධි අංශවල සහාය ඇතැ යි බොහෝ කලක සිට පැවත එන චෝදනාව, පාකිස්ථානය තරයේ ප්‍රතික්ෂේප කරයි.

කාශ්මීරයේ සිටින ඉන්දීය ආරක්ෂක හමුදාවන් මානව හිමිකම් උල්ලංඝණය කර ඇතැ යි ද දිගු කාලයක් තිස්සේ චෝදනා එල්ල වන අතර, එය ඉන්දියානු පාලනයට එරෙහිව කෝපය අවුළුවාලීමට සහ කලාපයේ ඇතැම් ප්‍රදේශවල පාකිස්ථාන හිතවාදී කැරලිකාර කණ්ඩායම්වලට සහාය ලැබීමට හේතු වී තිබේ.

ඉන්දියානු රජය බෙදුම්වාදී ව්‍යාපාර සහ සටන්කාමී කණ්ඩායම්වලට අදාළ වාර්තාකරණය යටපත් කිරීමට උත්සහ කරනවා පමණක් නොව, එදිනෙදා සිවිල් ගැටලු සම්බන්ධයෙන් වුව ද ආරක්ෂක හමුදා හෝ පරිපාලනය විවේචනය කරන ඕනෑ ම වාර්තාවක් යටපත් කරන බව මාධ්‍යවේදීන් පවසයි.

2018 දී අසීෆ් සුල්තාන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව තමන් වැඩි වශයෙන් පරීක්ෂා කෙරෙනබව දැනෙන්නට පටන් ගත් බවත්, 2019 අගෝස්තු මාසයේ සිට තත්ත්වය දැඩි ලෙස දුෂ්කර වී ඇති බවත්, මා කතාබහ කළ මාධ්‍යවේදීන්ගෙන් වැඩි දෙනෙකු පැවසුවේ ය. ඉන්දියාව එම කලාපයේ විශේෂ තත්ත්වය ඉවත් කර, එරට මුස්ලිම් බහුතරයක් වෙසෙන එක ම ප්‍රාන්තය දෙකකට බෙදා, හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය (BJP) නායකත්වය දෙන ජාතික රජයේ පාලනයට පත්කළ පසු මෙම තත්ත්වය උද්ගත වී තිබේ. මෙම පියවරවල නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට නඩුවක් විභාග කරමින් සිටියි.

වසර පහක් තිස්සේ, මෙහි ඡන්දයෙන් තෝරා පත්කර ගැනුණු ප්‍රාන්ත රජයක් නැත. මැතිවරණය පවත්වන්නේ කවදාදැ යි අගවිනිසුරුවරයා මේ සතියේ රජයෙන් විමසූ විට, "ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කිරීම වැදගත්" බව සඳහන් කළ රජය, ඊට නිශ්චිත කාලසීමාවක් ලබා දිය නොහැකි බව පැවසුවේ ය.

"අපට හමුවෙන්න පුළුවන් විදියේ ඡන්දයෙන් තේරුණ නියෝජිතයෙක් නැති හින්දා, ආණ්ඩුව දඬුවම් නොලබාම ප්‍රශ්නවලින් ගැලවෙනවා," මාධ්‍යවේදියෙක් පැවසීය.

ඔවුන් ඉන්දියාවෙන් පිටව යාම (රජය විසින්) නවත්වනු ලැබූ බවට කාශ්මීර් මාධ්‍යවේදීන් අවම වශයෙන් සිව් දෙනෙකු ප්‍රසිද්ධියේ පවසා තිබේ. කිසිදු හේතු දැක්වීමකින් තොරව ආගමන නිලධාරීන් විසින් ඔවුන්ගේ ගුවන් යානා පිවිසුම් බලපත්‍රවල "අවලංගු කරන ලදී" යනුවෙන් මුද්‍රා තබා තිබුණි. ඉන් එක් අයෙක් පුලිට්සර් සම්මාන උළෙලට සහභාගි වීමට නොහැකි වූ, එම උළෙලේ ත්‍යාගලාභී ඡායාරූප ශිල්පියෙකි.

ඉන්දියාවෙන් පිටතට යාමට අවසර නැති කාශ්මීර් මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවේ නම් දුසිම් ගණනක් ඇතිබව බීබීසීය අධ්‍යයනය කර තිබේ. එහෙත් මෙම ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කර නැත. නිල භාෂා ව්‍යවහාරයක් භාවිත කර ඇති බැවින්, මෙම "පොලිස් සෝදිසි චක්‍රලේඛවල" නීතිමය පදනම පිළිබඳව අපි පොලිසියෙන් විමසුවෙමු. ඊට ප්‍රතිචාරයක් නොලැබිණි.

කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීමට ඉල්ලුම් කළ විට මාධ්‍යවේදීන්ගේ නව විදේශ ගමන් බලපත්‍ර ද රඳවා තබාගෙන ඇත. පසුගිය සති කිහිපයේ දී ඇතැම් මාධ්‍යවේදීන්ට නිකුත්කර තිබූ විදේශ ගමන් බලපත්‍ර ද අවලංගු කර තිබේ. රජයේ ආරංචි මාර්ග පවසන්නේ, මාධ්‍යවේදීන් ඉන්දියාවේ "ආරක්ෂාවට තර්ජනයක්" ලෙස සලකන බව ය.

"අපට දැනෙන්නේ බෙල්ල මිරිකගෙන, හුස්ම හිර කරගෙන ඉන්නවා වගේ," මාධ්‍යවේදියෙක් පැවසීය. "අපි හැමෝම ස්වයං වාරණය කරනවා. මං මගේ රිපෝට් එක එක පාරක් කියවනවා මාධ්‍යවේදියෙක් හැටියට. ඊට පස්සේ ඒක පොලිස් නිලධාරියෙක් හැටියට කියවලා ඒකේ තියෙන දේවල් අයින් කරලා තනුක කරන්න පටන් ගන්නවා. දැන් කිසි ම මාධ්‍යකරණයක් සිදු නොවෙන ගාණ යි. ඒක බොහෝදුරට රජයේ මහජන සම්බන්ධතා වැඩක් වගේ වෙලා."

බොහෝ විට ආවරණය කළ යුතු මාතෘකා සහ අත්හැරිය යුතු මාතෘකා පිළිබඳව පරිපාලනයෙන් ඔවුන්ට උපදෙස් ලැබෙන බව කතුවරුන් අපට පවසා ඇත. සන්නද්ධ සටන්කාමීන් හැඳින්වීමේ දී "සටන්කාමියා" වෙනුවට "ත්‍රස්තවාදියා" යන වචනය භාවිත කරන ලෙස ඔවුන්ට උපදෙස් ලැබී තිබේ.

ප්‍රාදේශීය මාධ්‍ය ආයතන රජයේ දැන්වීම් මත දැඩි සේ යැපෙන අතර, ඔවුන් අනුගත නොවන්නේ නම් මේ අරමුදල් සියල්ල කපා හරින බවට තර්ජන එල්ලවී තිබේ.

"මං හැම දා ම කරන දේට මං වෛර කරනවා, ඒත් මගේ යටතේ වැඩ කරන අයට මොක ද කරන්නේ? මේක වහලා දැම්මොත් ඒ අයට මොනවා වෙයි ද?" කතුවරයෙක් අපගෙන් ඇසීය.

ඔබ ප්‍රාදේශීය පුවත්පත් කියවන විට, මෙහි ජනමාධ්‍යයට සිදුවී ඇත්තේ කුමක් ද යන්න පැහැදිලි වනු ඇත.

මම කාශ්මීරයේ ප්‍රකාශයට පත් කරන ලද පුවත්පත් දුසිම් ගණනක් සහ රජයේ දෛනික මාධ්‍ය නිවේදන සසඳමින් තෙදිනක් ගත කළෙමි.

ආසන්න වශයෙන් සෑම පුවත්පතක් ම පාහේ එම නිවේදන මුල් පිටුවේ පළකර තිබිණි. ඇතැම් පුවත්පතක ඒ නිවේදන සංස්කරණය කර තිබුණු අතර, සෙසු පුවත්පත්වල වචනයක් හෝ වෙනස් නොකර පළකර තිබිණි.

මුල් පිටුවල ඉතිරි කොටස් රජයේ හෝ ආරක්ෂක හමුදාවල නිවේදනවලින් පිරී තිබිණි. විශේෂාංග ලිපි රැසක් තිබුණ ද, රජයේ වගවීම ඉල්ලන කිසිදු මාධ්‍යකරණයක් එහි නොවීය.

ජූනි මාසයේ දී, ඉන්දීය හමුදා භටයින් දකුණු කාශ්මීරයේ පුල්වාමාහි පිහිටි මුස්ලිම් පල්ලියකට ඇතුළු වී හින්දු ආගමික ගායනයක් වන "ජයි ශ්‍රී රාම්" (රාම්ට ජය වේවා) යනුවෙන් කෑගැසූ බවට චෝදනා එල්ල විය.

සාමාන්‍ය තත්ත්ව යටතේ දී, පුල්වාමාහි සියලු ම මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීහු මේ තොරතුරුවල සත්‍යතාව තහවුරුකර ගැනීමටත්, ලිපි ලිවීමටත් සිද්ධියට සම්බන්ධ භූමියේ සෑම පාර්ශවයකට ම කතා කරනු ඇත්තේ ය.

නමුත් ඊට පසු දින පුවත්පත් අතලොස්සක් පමණක් මේ පුවත පළ කර තිබූ අතර, ඒ සියලු ම පුවත්පත් පවා එය වාර්තා කළේ, සිද්ධිය ගැන විමර්ශනයක් ඉල්ලා සිටි ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වන මෙහ්බූබා මුෆ්ටිගේ උපුටා දැක්වීමක් හරහා ය.

Locked door

ඡායාරූප මූලාශ්‍රය, Mukhtar Zahoor

ඡායාරූප ශීර්ෂ වැකිය, බීබීසී කතාබහ කළ මාධ්‍යවේදීහු සටන්කාමීන් මෙන් ම ඉන්දීය රජය කෙරෙහි ද බිය පළකළහ

ඊළඟ දින කිහිපය තුළ තවත් පුවත්පත් එය පළකර තිබූ නමුත්, ඒ, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය යුද හමුදාව විමර්ශනය කරනබවට පමණි. එහි, භූමියේ සිට කෙරෙන වාර්තාකරණයක් තිබුණේම නැති තරම් ය.

මා සමග කතාබහ කළ බොහෝ මාධ්‍යවේදීන් රජයේ පළිගැනීම්වලට බියෙන් පසුවන බව පැවසූ නමුදු, ඇතැමුන් කියා සිටියේ ඔවුනට සටන්කාමීන්ගෙන් ද තර්ජනයක් ඇතැ යි දැනෙන බව ය.

සටන්කාමී කණ්ඩායම් මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් ඔවුන්ගේ වෙබ් අඩවිවල ප්‍රකාශ නිකුත් කළ අවස්ථා තිබේ.

මම එවැනි තර්ජනයකට ලක්වූ මාධ්‍යවේදියෙකු සමග කතාබහ කළෙමි.

"කාශ්මීර්වල මාධ්‍යවේදියෙකුගේ ජීවිතය පිහි තලයක් උඩ අවිදිනවා වගේ වැඩක්. හැම වෙලේම බයෙන් ජීවත් වෙන්නේ," ඔහු පැවසීය.

ඔහු බියෙන් පසුවන්නේ මොනවාටදැ යි මම ඇසීමි.

"මට වෙඩි තියයි කියලා බය යි. මගේ ළඟින් මෝටර් සයිකලයක් නැවත්තුවොත්, ඒකෙ යන කෙනා තුවක්කුවක් අරන් මට වෙඩි තිය යි කියලා මට බය හිතෙනවා. ඒක කළේ කවුද කියල කිසි කෙනෙක් හොයාගන්න එකක් නෑ," ඔහු පැවසීය.

2018 වසරේ දී ප්‍රධාන පෙළේ කතෘවරයෙකු වූ සුජාත් බුඛාරි ශ්‍රීනගර්හි පිහිටි ඔහුගේ කාර්යාලයෙන් පිටත දී වෙඩි තබා ඝාතනය කෙරුණු අතර, එය සටන්කාමීන්ගේ ක්‍රියාවක් බව පොලිසිය පවසයි. දැන් වසර පහක් ගතවී ඇතත්, ඔහුගේ ඝාතනය සම්බන්ධ නඩු විභාගය තවමත් ඇරඹී නැත.

ගැටුම් බහුල වූ කලාපයක, මාධ්‍යවේදීන්ට නිදහසේ මුණ ගැසීමට, ලිපි ගැන සාකච්ඡා කිරීමට සහ ඔවුන්ගේ ප්‍රශ්න බෙදා ගැනීමට ඉඩ තිබූ අවකාශයක් වූයේ, මධ්‍යම ශ්‍රීනගර්හි පිහිටි 'කාශ්මීර් ජනමාධ්‍ය සමාජය යි' (Kashmir Press Club). එය කාර්යාල නොතිබූ නිදහස් මාධ්‍යවේදීන්ට ද පිළිසරණක් විය.

එහෙත්, එය එපමණක් නොවීය. එය කලාපයේ මාධ්‍ය අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන ආයතනය ද විය.

Press club after it was converted into a police office
ඡායාරූප ශීර්ෂ වැකිය, මධ්‍යම ශ්‍රීනගර්හි පැවති කාශ්මීර් මාධ්‍ය සමාජය තිබූ ගොඩනැගිල්ල පොලිස් කාර්යාලයක් බවට පත්කර තිබේ

පසුගිය වසරේ දී රජය එය වසා දැමීය. ලිපි සඳහා අමිල ප්‍රාදේශීය තොරතුරු ලබා ගැනීමට මා නිරන්තරයෙන් ආගිය එම ගොඩනැගිල්ලෙහි දැන් ඇත්තේ පොලිස් කාර්යාලයයකි.

තමන්ට තර්ජනයක් එල්ලවී ඇතැ යි දැනෙන විට යාමට තැනක් නොමැති බව මාධ්‍යවේදීහු පවසති.

විදෙස් මාධ්‍යවේදීන්ට කාශ්මීරයේ සංචාරය කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයක් අවශ්‍ය වන අතර, එය ඔවුන්ට ලැබෙන්නේ කලාතුරකිනි. පසුගිය වසර කිහිපය තුළ විදෙස් මාධ්‍යවේදීන්ට ශ්‍රීනගර්හි සංචාරය කිරීමට අවසර දෙන ලද පළමු අවස්ථාව වූයේ මැයි මාසයේ පැවති G20 සමුළුවකි. එහෙත්, ඔවුන්ට සංචාරය කළ හැකි ප්‍රදේශ මොනවා ද, ආවරණය කළ හැකි මොනවා ද ආදී සීමාකිරීම් හරහා ඔවුන්ගේ ප්‍රවේශය දැඩි සේ පාලනය කර තිබිණි.

පසුගිය දශකය තුළ, මුළු ඉන්දියාව ම මාධ්‍ය නිදහසේ බරපතළ පරිහානියක් අත්දැක තිබේ. එය ගෝලීය ශ්‍රේණිගතකිරීම්වල පසුබැසීම්, මාධ්‍යවේදීන්ට එරෙහි නඩු සහ මාධ්‍ය ආයතනවලට එරෙහි වැටලීම්වලින් පිළිබිඹු වෙයි. එහෙත්, කාශ්මීරයේ පරිහානියේ ප්‍රමාණය බරපතල ය - මෙහි මාධ්‍ය නිදහස සෝදාපාළුවට ලක්වී ඇති බවට සාක්ෂි අපට හමු වී ඇත.

සුල්තාන් නිවස තුළ, අසීෆ් සුල්තාන් ලිපි සැපයූ සඟරාව වන Kashmir Narrator සඟරාවේ පිටපතක් සාලයේ ඇති රාක්කයක අභිමානයෙන් රැඳී සිටියි.

නිතර පරිහරණය කරන බවට සලකුණු ඇති සඟරාව ගත් ඔහුගේ පියා, උපවගන්තිය සමග ඇති අසීෆ්ගේ ඡායාරූපය දෙසට ඇඟිල්ල යොමු කළේ ය. එම ඡායාරූපයේ සිටින්නේ කවුදැ යි මොහොමඩ් ඔහුගේ මිණිපිරියගෙන් ඇසීය.

"මගේ තාත්තා. එයා ඉන්නෙ හිරේ," අරීබා ප්‍රතිචාර දැක්වූවා ය.

අරීබා ඇගේ පියාට සිදුවූ දේ වැටහෙන වයසකට පැමිණීමට පෙර අසීෆ් නිදහස ලබනු ඇති බව මොහොමඩ් අපේක්ෂා කරයි.

"මම දැන් වයසට යනවා," ඔහු පැවසීය. "ඒත් එයාට සීයා කෙනෙක් විතරක් නෙවේ තාත්තා කෙනෙක් වෙන්නත් මම උත්සහ කරනවා. මට ඒක තව කොච්චර කාලයක් කරන්න පුළුවන් වෙයි ද?"