අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම: මෙතෙක් අනාවරණය වී ඇත්තේ මොනවා ද?

- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
අකුරේගොඩ සුපිරි වෙළෙඳසලක් අසලදී වෙඩි තබා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, සහෝදරයින් දෙදෙනෙකු වන මෙම සැකකරුවන් දෙදෙනා කොට්ටාව ප්‍රදේශයේදී බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙබ. 16 වන දින අත්අඩංගුවට ගන්නා ලද බව ය.
"ට්‍රාන්ස්පෝට් දීලා තියෙනවා එක්කෙනෙක්. අනිත් එක්කෙනා වෙපන් එක ට්‍රාන්ස්පෝට් කරන කොට ඒ කුලී රථයේ ඉඳලා තියෙනවා."
පැය 48කට රැඳවුම් නියෝග ලබා ගෙන සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන බව එම නිලධාරියා වැඩිදුරටත් බීබීසී සිංහල වෙත පැවසීය.
සැකකරුවන් සිව් දෙනෙක් හඳුනා ගැනෙති
මෙම සිද්ධියට සම්බන්ධ තුවක්කුකරුවන් දෙදෙනාට අමතරව තවත් සැකකරුවන් සිව් දෙනෙකු හඳුනාගෙන ඇතැයි සිදුවීම පිළිබඳව පරීක්ෂණ කරන ප්‍රධාන විමර්ශන නිලධාරී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, පෙබ. 15 වන දා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය. කෙසේ වෙතත් සැකකරුවන් පිළිබඳව වැඩිදුර තොරතුරු එම අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි බව විමර්ශන නිලධාරියා සඳහන් කළේ ය.
"දවසක් දෙකක් ඇතුළත මෙය විසඳගන්න බොහෝ දුරට පුළුවන් වේවි කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා," ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් සඳහන් කළේ ය.
ඝාතනයට ලක් වූ මෙම නීතිඥවරයාට මරණ තර්ජන තිබී ඇති බවට අනාවරණය වී ඇත්දැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, ඒ පිළිබඳව පොලිසියට වාර්තා වී නොමැති බව ය.
අපරාධකරුවන් පැමිණි මෝටර් රථය ගමන් ගත් මාර්ගය සහ අංක තහඩුව
අපරාධකරුවන් පැමිණි මෝටර් රථය ගමන් ගත් මාර්ගය පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි ප්‍රධාන විමර්ශන නිලධාරියා පැවසීය.
"සාමාන්‍යයෙන් කිලෝමීටර් 25ක් 30ක් වගේ දුරට මේ වාහනයේ ගමන් මග අපි හඳුනා ගෙන තියෙනවා. හොරණ වගේ ප්‍රදේශයට වෙනකම් අපි CCTV ඔස්සේ හඳුනාගෙන තියෙනවා," ඔහු පැවසීය.
කෙසේ වෙතත්, මෙම මෝටර් රථය හොරණ දක්වා අධිවේගී මාර්ගයේ ගමන් කර නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, තුවක්කුකරුවන් මෝටර් රථයේ නැගී පලා යන අතරතුර එය අනතුරට ලක්ව ඇති බව ත් එම අවස්ථාවේදී මෝටර් රථයේ අංක තහඩුවක් බිම වැටී ඇති බව ත් ය.
ඒ අනුව අනාවරණය වී ඇත්තේ, එය මෙම මෝටර් රථයට "අදාළ අංක තහඩුව නොවන" බව ය.
සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි
මෙම අපරාධය සිදු කිරීමට පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනා හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය පොලිස් වසම, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර ඇති බව දැනට සිදු කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලිසි පැවසීය.
ඒ අනුව, ඝාතනය සිදුවූ පෙබරවාරි 13 වන දින සවස් කාලයේ මෙම මාර්ගවල ගමන් ගත් රථවාහනවල සවිකර ඇති කැමරාවල සැකකරුවන් පැමිණ ඇති බවට සැක කෙරෙන EP KI 7738 දරණ කාර් රථය ගමන් කරන ආකාරය සටහන් වී ඇති දැයි පරීක්ෂා කර බලා ඒ බව 071 8598008 (නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ දිසාව) හෝ 071 8592279 (අධ්‍යක්ෂ / බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය) යන දුරකතන අංක වෙත දැනුම් දෙන පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
තොරතුරු ලබා දෙන්නන්නගේ පූර්ණ රහසිගතභාවය සුරකින බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
ඝාතකයින් පැමිණි බවට සැක මෝටර් රථයක් බද්දේගමින් සොයා ගැනේ

වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය බවට සැක කෙරෙන මෝටර් රථයක් ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිනි ගනිමින් තිබියදී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පැවසුවේ, මෙම මෝටර් රථය අපරාධකරුවන් භාවිත කළ මෝටර් රථය ම ද යන්න රස පරීක්ෂක වාර්තා ලැබෙන තෙක් තහවුරු කළ නොහැකි බව ය.
ඝාතනය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 12ක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොළඹ අපරාධ කොඨටාසය සහ විශේෂ විමර්ශන ඒකකය ඇතුළු කණ්ඩායම් 12ක් මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සඳහන් කළේ ය.
නීතිඥවරයාගේ දේහය පිටිගල නිවසට

ඝාතනයට ලක්වූ නීතඥ බුද්ධික මල්ලවආරච් සහ ඔහුගේ බිරිඳගේ දේහ ගොඩමුණ - පිටිගල පිහිටි නිවස වෙත ගෙනවිත් තිබේ.
නීතිඥවරු නඩු විභාග සඳහා පෙනී සිටීමෙන් වැළකෙති
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම ඝාතන සිද්ධියට විරෝධය පළ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතිඥවරු සඳුදා (පෙබ. 16) නඩු විභාග සඳහා පෙනී සිටීමෙන් වැළකී සිටියහ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු කැඳවූ අතර ඒවාට දින ලබා දීම පමණක් සිදුවිය.
උපරිමාධිකරණයේ ඇතැම් නඩු සඳහා කනිෂ්ඨ නීතිඥවරුන් පෙනී සිටිමින් ඒවාට දින ලබා ගන්නා ආකාරයක් ද දක්නට ලැබුණු බව අප වාර්තාකරු පැවසීය.
මේ අතර, සඳුදා පෙරවරුවේ කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට රැස්වූ නීතිඥවරුන් විශාල පිරිසක් මෙම ඝාතනය හෙළා දකිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගම් මූලස්ථානය වෙත පා ගමනින් ගමන් කළහ.
නීතිඥවරුන්ට සිය වෘත්තිය බියෙන් හා සැකයෙන් තොරව ඉටු කිරීමට සුදුසු පරිසරයක් තිබිය යුතු බවත් මෙම අපරාධයට වගකිව යුතු පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන කටයුතු කළ යුතු බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මාධ්‍යවලට කරුණු දක්වමින් අවධාරණය කළේ ය.
නීතිඥවරුන් නඩු විභාග සඳහා පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණ කටයුතු අඩාළ වී තිබූ ආකාරය දක්නට ලැබුණු අතර සියලු අධිකරණවල කටයුතු ඉතා කෙටි වේලාවකින් අවසන් වුණු බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.
































