16 වන සියවසේ අනාවැකිකරුවෙකු වූ නොස්ට්‍රඩාමස්ගේ අනාවැකි තවමත් ජනප්‍රිය ඇයි?

A sketch of Nostradamus writing at a desk.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නොස්ට්‍රඩාමස් යනු වසංගත රෝගීන්ට ප්‍රතිකාර කළ ප්‍රංශ වෛද්‍යවරයෙකි. ඔහු Les Prophéties නමැති ග්‍රන්ථය රචනා කළ නිදහස් ජ්‍යෝතිර්වේදියෙකි.
    • Author, Global Disinformation Unit
    • Role, බීබීසී ලෝක සේවය

මෙම සතියේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අභාවප්‍රාප්ත වීමෙන් පසු, 16 වන සියවසේ විසූ ප්‍රංශ ජ්‍යෝතිර්වේදීයෙකු වූ නොස්ට්‍රඩාමස් පිළිබඳව බොහෝ පිරිසක් ඉන්ටර්නෙට් ඔස්සේ සෙවීමට පටන් ගත්හ. ප්‍රධාන ලෝක සිදුවීම් අතරතුර ඔහුගේ අනාවැකි මතු වූ පළමු අවස්ථාව මෙය නොවේ. අදටත් මෙම අනාවැකි කියන්නා කෙරෙහි උනන්දුවක් ඇත්තේ ඇයි?

නොස්ට්‍රඩාමස් ලෙස ප්‍රකට මයිකල් ඩී. නොට්‍රෙඩේම්, වසංගතයට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කළ ප්‍රංශ වෛද්‍යවරයෙකි. ඔහු 1555 දී ප්‍රකාශයට පත් කරන ලද 'Les Prophéties' නම් ග්‍රන්ථය රචනා කළ නිදහස් ජ්‍යෝතිර්වේදියෙක් ද විය. එහි අනාගතය පුරෝකථනය කළ බව ඔහු කියා සිටි ගුප්ත චතුර්ථක (පේළි හතරේ කවි) 942ක් අඩංගු වන අතර, බොහෝ විට ඒවා ව්‍යසනකාරී සිදුවීම් ගැන අනාවැකි පළ කර තිබිණි.

බොහෝවිට අපැහැදිලි ලෙස පෙනෙන නොස්ට්‍රඩාමස්ගේ කවියක් "ඉතා මහලු පාප්වරයෙකුගේ මරණය" ගැන සඳහන් කිරීමට පරිවර්තනය කර ඇත. මෙම සතියේ, ඇතැම් සමාජ මාධ්‍ය සටහන් සහ ලිපි මෙය ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මරණයට සම්බන්ධ කර ඇත.

කෙසේ වෙතත්, 1555 සිට පාප්වරුන් රැසක් මිය ගොස් ඇති අතර එබැවින් මෙය ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සම්බන්ධ විය යුත්තේ මන්දැයි පැහැදිලි නොමැත.

A black and white sketch of Nostradamus shows him working at a desk, with a dog lying next to him.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රභූ පැලැන්තිය අතර ඔහුගේ ජනප්‍රියත්වය නොතකා, නොස්ට්‍රඩාමස් ඔහුගේ සමකාලීනයන් කිහිප දෙනෙකු විසින් වංචාකාරයෙකු ලෙස සලකනු ලැබීය.

විද්‍යාත්මක සාක්ෂි නොමැති නමුත් තාරකාවලට මිනිස් ලොව සිදුවීම් සඳහා බලපෑම් කළ හැකි බව පවසන ජ්‍යොතිශ්‍යය 16 වන සියවසේදී ඉතා ජනප්‍රිය විය.

රැකියා, සබඳතා සහ සෞඛ්‍යය වැනි කරුණු පිළිබඳව ජ්‍යෝතීර්වේදීන් උපදෙස් ලබා දුන් අතර, ජ්‍යොතිශ්‍ය කාර්යාල සෑම තැනක ම පැවතිණි.

ඔවුන් අතර නොස්ට්‍රඩාමස් ද විය. ඔහු ධනවතුන්ට සහ බලවතුන්ට හඳහන් අර්ථකථනය කරන ජනප්‍රිය ජ්‍යොතිශ්‍ය සේවාවක් පවත්වාගෙන ගියේ ය.

කෙසේ වෙතත්, කිසිවිටක ජ්‍යොතිශ්‍යය හැදෑරූ විධිමත් පුහුණුවක් ඔහුට නොතිබූ අතර, ඇතැම්හු ඔහු වංචාකාරයෙකු ලෙස ප්‍රතික්ෂේප කළහ. එසේ තිබියදීත්, ඔහුගේ කෙටි ගුප්ත කවි එකල මහ ජනතාව අතර විශාල ජනප්‍රියත්වයට පත්වූ අතර ඒවාට වැඩි ම අලෙවියක් පැවතිණි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

16 වන සියවස බොහෝ යුරෝපීයයන්ට දුෂ්කර කාල පරිච්ඡේදයක් වූ අතර, ඔවුන් යුද්ධ, වගා අසාර්ථකත්වයන් සහ සාගතයට මුහුණ දුන් අතර, වසංගත නිසා නගර විනාශ වී තිබිණි.

මෙම සියලු අවුල්සහගත තත්ත්වයන් අතරතුර, නොස්ට්‍රඩාමස්ගේ අනාවැකි මිනිසුන්ට අනතුරු ඇඟවීමක් සහ අමුතු ආකාරයේ සැනසීමක් ලබා දුන්නේ ය.

"මිනිස්සු හරි ම කනස්සල්ලෙන් හිටියා," ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥ ආචාර්ය මිෂෙල් ෆෙෆර් පවසයි.

"මේ වගේ දැඩි අවිනිශ්චිත කාලවලදී, මිනිසුන් පිළිතුරු සොයනවා, මඟ පෙන්වීම සොයනවා සහ වඩා හොඳ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට සහතිකයක් සොයනවා."

වර්තමානයේ මිනිසුන් හඳහන් කියවා ගන්නා සේ, එකල නොස්ට්‍රඩාමස් අනුගමනය කළ අය ඔහුගේ කෘති භාවිතා කළේ අවුල්සහගත ලෝකයක් තේරුම් ගැනීමට සහ වෙනසක් සිදුවන බව දැනීමට ය.

වසර සිය ගණනකට පසු ඔහුගේ අනුගාමිකයින් කියා සිටින්නේ, ලෝක යුද්ධ දෙක ම, හිරෝෂිමා සහ නාගසාකි න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර, හිට්ලර්ගේ නැගීටිම සහ කොවිඩ්-19 පැතිරීම ඇතුළු ඓතිහාසික සිදුවීම් රාශියක් ඔහු පුරෝකථනය කළ බව ය. නමුත් ඔහු කිසි විටෙකත් මෙම සිදුවීම් ගැන කිසිවක් කියා තිබුණේ නැත.

නොස්ට්‍රඩාමස්ගේ අනාවැකි ඉතා අපැහැදිලි බව මහාචාර්ය ජොයෙල් රොලෝ-කොස්ටර් පවසයි. ඒවා ඉතා අපැහැදිලි බැවින්, මිනිසුන්ට ඒවා ඕනෑ ම තත්ත්වයකට ගැලපෙන පරිදි සකස් කළ හැකි ය.

එසේ තිබියදීත්, ඔහුගේ නම සහ අනාවැකි මහජන පරිකල්පනය තුළ නොනැසී පවතී.

නොස්ට්‍රඩාමස්ගේ අනාවැකි බොහොමයක නිශ්චිත දිනයන් ඇතුළත් නොවන නිසා, ඒවා කාලානුරූපී බවක් පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔහුගේ කෘති පැහැදිලි කරන පොත් ඉතා හොඳින් අලෙවි වී ඇති අතර, ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් විවිධ මාතෘකා 100කට වඩා ලියැවුණු ග්‍රන්ථ තිබේ.

ඔහුගේ අනාවැකි ලෝක සිදුවීම් සමග සම්බන්ධ කළ නව පොත්, 20 වන සියවසේ නොස්ට්‍රඩාමස් ජනප්‍රියව තබා ගැනීමට උපකාරී විය.

සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු, අනුගාමිකයන් ඔහුගේ අනාවැකි සිදුවීම්වලට සම්බන්ධ කිරීම නිසා, නොස්ට්‍රඩාමස්ගේ පොත් වැඩියෙන් ම අලෙවි වන පොත් බවට පත්විය.

නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ, ප්‍රහාරයෙන් පසු, වේගයෙන් සංසරණය වූ ඊමේල් සටහනක නොස්ට්‍රඩාමස්ගේ ලේඛනවල කොටස් ව්‍යාජ වචන සමග මිශ්‍ර කර, ඔහු සිදුවීම් පුරෝකථනය කළ බවක් පෙනෙන්නට සැලැස්වූ බව ය. එය ඔහු ප්‍රහාර පුරෝකථනය කරන බවට යෝජනා කරන පණිවිඩයක් නිර්මාණය කළ අතර, "ගින්න මහා නව නගරයට ළඟා වේ /නිව් යෝර්ක් නගරයේ, මහා කඩාවැටීමක් සිදුවනු ඇත" වැනි වාක්‍ය ඛණ්ඩ ද ඇතුළත් විය.

ඇපලෝ යානය චන්ද්‍රයා මත ගොඩබෑම, චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලයේ ව්‍යසනය සහ දෙවන එලිසබෙත් රැජිණගේ මරණය පවා පුරෝකථනය කළ බව ඔහුගේ ආධාරකරුවන් පවසා තිබේ.

වර්තමානයේ බොහෝ අය ඔහුගේ මුල් ලේඛන පරිශීලනය නොකරන නමුත් ඔහු පිළිබඳව දැනගන්නේ ඉන්ටර්නෙට් ලිපි හෝ සමාජ මාධ්‍ය හරහායි.

A customer browses through a book of prophecies by Nostradamus at a bookstore in Bangalore on 18 September 2001.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2001 සැප්තැම්බර් 18 වන දින බැංගලෝරයේ පොත් සාප්පුවකදී නොස්ට්‍රඩාමස්ගේ අනාවැකි පොතක් පිරික්සන පුද්ගලයෙක්.

පාප් වහන්සේ පිළිබඳ තවත් අනාවැකි නැවතත් ඉන්ටර්නෙට් හරහා හුවමාරු වෙමින් පවතී.

සේන්ට් මලාකි නමැති අනාවැකි පළ කරන්නා කළ බව පිළිගැනෙන පාප්වරුන්ගේ අනාවැකිය, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අවසාන පාප් වහන්සේ විය හැකි බවට යෝජනා කිරීමට සමහරුන් වටහාගෙන තිබේ. විද්වත්හු මෙම පාඨයේ සැබෑ මූලාරම්භය ප්‍රශ්න කර ඇති අතර එය දේශපාලන හේතු මත නිර්මාණය කරන ලද බව පවසති.

"අනාවැකි සිත්ගන්නාසුලු යි, බොහෝ අය ප්‍රධාන ධාරාවට වඩා වෙනස් අදහස්වලට ඇදී යනවා. එය අප කවුරුන් ද යන්නෙහි කොටසක් පමණ යි," මියාමි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්ය ජෝසෆ් උසින්ස්කි පවසයි.

"සමහර විට විනෝදාස්වාදයන් මිනිසුන්ව විශ්වාසයන් කරා රැගෙන යනවා, සමහර විට සුවපහසු හෝ සැනසිලිදායක අදහස් අනුගමනය කරනවා."

අවිනිශ්චිතතාවන් බහුල වූ යුගයක, නොස්ට්‍රඩාමස් සහ අනෙකුත් පුද්ගලයින්ගේ අනාවැකි ජනප්‍රියව පැවතීම පුදුමයක් නොවන බව විශේෂඥයෝ පවසති.

"දුෂ්කර කාලවලදී, ජ්‍යොතිශ්‍යය සහ පේන කීම (අනාගතය පුරෝකථනය කිරීමට හෝ සැඟවුණු දැනුම අනාවරණය කර ගැනීමට උත්සහ කිරීම) ඉතා ආකර්ශණීය යි," ආචාර්ය පෆෙෆර් පවසයි.

"මිනිසුන් අවිනිශ්චිතතාවයෙන් පෙළෙන අතර, ඉතිහාසය පුරා ම ජ්‍යෝතිර්වේදීන් සහ අනාගතය කියන්නන් ඔවුන්ට දැඩි තීරණ ගැනීමට සහ විශාල සැලැස්මක් ක්‍රියාත්මක වන බව යෝජනා කිරීමෙන් සැනසීමක් ලබා ගැනීමට උපකාර කර ඇත."