පකිස්ථානයට සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයට ඉන්දියාව එල්ල කළ ප්‍රහාරය ගැන අප මෙතෙක් දන්නා දේ

A picture showing an explosion in the background. It is night, and the lights from homes and street lamps can be made out but it is dark so not much is clear

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ මුසෆරාබාද් නගරයේ දසුනක්
    • Author, ෆ්ලෝරා ඩ්රූරි
    • Role, බීබීසී පුවත්

ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේදී සංචාරකයින්ට සටන්කාමීන්ගෙන් එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් සති දෙකකට පසු, ඉන්දියාව පකිස්ථානයේ සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන වෙත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

"ඔපරේෂන් සින්දූර්" ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේ, ඉන්දියානුවන් 25 දෙනෙකු සහ නේපාල ජාතිකයෙකු මරණයට පත් කළ අප්‍රේල් 22 ප්‍රහාරයට "වගකිව යුතු" අයට එරෙහිව පියවර ගන්නා බවට දුන් "පොරොන්දුවේ" කොටසක් ලෙස ය.

නමුත් පසුගිය මාසයේ එල්ල වූ මෙම ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් ඇතැයි යන්න ප්‍රතික්ෂේප කළ පකිස්ථානය, මෙම ප්‍රහාර "සාධාරණ හේතුවක් නොමැතිව" එල්ල කළ ප්‍රහාර ලෙස විස්තර කර ඇති අතර, අගමැති ෂෙබාස් ෂරීෆ් පැවසුවේ, "මෙම සාහසික ආක්‍රමණශීලී ක්‍රියාවට දඬුවම් නොලැබෙන්නේ නැති" බවයි.

සැබවින් ම සිදු වූයේ කුමක් ද? - ඉන්දියාව සහ පකිස්ථානය මෙවැනි තත්ත්වයකට පත් වූයේ කෙසේ ද?

ඉන්දියාව පහර දුන්නේ කිනම් ප්‍රදේශවලට ද?

Attack map.

බදාදා (මැයි 7) අලුයම ඉන්දීය රජය ප්‍රකාශ කළේ, පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සහ පකිස්ථානයේ විවිධ ස්ථාන නවයක් ඉලක්ක කර ගත් බවයි.

මෙම ස්ථාන ප්‍රහාර "සැලසුම් කර මෙහෙයවන ලද ත්‍රස්තවාදීන්ට අයත් ස්ථාන" බව ඔවුහු පැවසූහ.

තමන් කිසිදු පකිස්ථාන හමුදා පහසුකමකට පහර දී නොමැති බව ඔවුන් අවධාරණය කළේ, තම ක්‍රියාව "නිශ්චිතව, සැලසුම් කරන ලද සහ ගැටුම් උත්සන්න නොවන ආකාරයේ" ප්‍රහාරයක් බව ද පවසමිනි.

පකිස්ථානයට අනුව, වෙනස් ප්‍රදේශ තුනකට ප්‍රහාර එල්ල වී ඇත: පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ මුසෆරාබාද් සහ කොට්ලි සහ පකිස්ථාන පන්ජාබ් පළාතේ බහවල්පූර් එම ප්‍රදේශ වේ.

පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් ජියෝ ටීවී (GeoTV) වෙත පැවසුවේ ඉන්දියාව "ත්‍රස්තවාදී කඳවුරු ඉලක්ක කරගත්" බවට කරන ප්‍රකාශය අසත්‍ය බව ද ඒවා සිවිල් ප්‍රදේශවලට එල්ල වූ බවද පවසමිනි.

පකිස්ථාන හමුදා ප්‍රකාශක අහමඩ් ෂරීෆ් පසුව බීබීසීයට පැවසුවේ, ප්‍රහාරවලින් ළමුන් දෙදෙනෙකු ඇතුළු හත් දෙනෙකු මිය ගොස් ඇති බවයි.

ඉන්දියාව ප්‍රහාරය එල්ල කළේ ඇයි?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සංචාරක ආකර්ෂණය දිනා ගත් සුන්දර නගරයක් වන පෙහෙල්ගාම්හිදී සිදුවුණු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ මෙම අසල්වැසි රටවල් දෙක අතර සති ගණනාවක් තිස්සේ ඉහළ යමින් පැවති ආතතියෙන් පසුව මෙම ප්‍රහාරය එල්ල කෙරිණි.

අප්‍රේල් 22 වන දින සටන්කාමීන් කණ්ඩායමක් විසින් එල්ල කරන ලද එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගිය අතර, දිවි ගලවා ගත් අය පැවසුවේ සටන්කාමීන් හින්දු පිරිමින් ඉලක්ක කර ගත් බවයි.

දශක දෙකකට පසු කලාපයේ සිවිල් වැසියන්ට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය වූ අතර, එය ඉන්දියාව පුරා බොහෝ දෙනෙකු කෝපයට පත් කිරීමට හේතු විය.

"පෘථිවියේ කෙළවර දක්වා ම" සැකකරුවන් පසුපස හඹා යන බව ත්, ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කළ පිරිසට "සිතාගත නොහැකි තරම් දඬුවම් ලැබෙනු ඇති" බව ත් අගමැති නරේන්ද්‍ර මෝදි පැවසීය.

කෙසේ වෙතත්, පෙහෙල්ගාම් ප්‍රහාරය සිදු කළ බවට සැක කරන කිසිදු කණ්ඩායමක් ඉන්දියාව නම් කර නොමැති අතර එය කළේ කවුරුන් ද යන්න තවමත් පැහැදිලි නැත.

නමුත් ප්‍රහාරකයින් දෙදෙනෙකු පකිස්ථාන ජාතිකයන් බවට ඉන්දීය පොලිසිය චෝදනා කර ඇති අතර, ඉන්දීය රජය පකිස්ථානය සටන්කාමීන්ට සහය දක්වන බවට චෝදනා කරයි. කෙසේ වෙතත්, පකිස්ථාන රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. අප්‍රේල් 22 ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට ඔවුහු පවසති.

එතැන් සිට ගත වුණු සති දෙකක කාලය තුළ, දෙපාර්ශවය ම එකිනෙකාට එරෙහිව පළිගැනීමේ ක්‍රියාමාර්ග ගෙන තිබුණේ, රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරිමින්, වීසා බලපත්‍ර අත්හිටුවවමින් සහ දේශසීමා හරස් මාර්ග වසා දැමීම් ඇතුළු ක්‍රියාමාර්ග ගිනිමිනි.

නමුත් බොහෝ දෙනෙකු අපේක්ෂා කළේ එය 2019දී ඉන්දීය පැරාමිලිටරි භටයින් 40 දෙනෙකු මිය ගිය පුල්වාමා ප්‍රහාරයෙන් පසුව දක්නට ලැබුණු ලෙස යම් ආකාරයක දේශසීමා ප්‍රහාරයක් දක්වා වර්ධනය වනු ඇති බවට ය.

කාශ්මීරය ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුම් ඇවිළෙනසුලු ස්ථානයක් වන්නේ ඇයි?

කාශ්මීරය සම්පූර්ණයෙන් ම තමන්ට හිමි විය යුතු බවට ඉන්දියාව සහ පකිස්ථානය පවසන නමුත් 1947 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එම රටවල් දෙක බෙදී ගිය දා සිට එක් එක් රජය විසින් පරිපාලනය කරනු ලබන්නේ එය අර්ධ වශයෙන් පමණි.

ඒ වෙනුවෙන් ඔවුන් යුද්ධ දෙකක් දියත් කොට තිබේ.

නමුත් මෑතකදී එල්ලවූ සටන්කාමීන්ගේ ප්‍රහාර හේතුවෙන් රටවල් දෙක ම දැන් ගැටුමක් ඇති වීමේ ආසන්නයට පැමිණ තිබේ. ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ 1989 සිට ඉන්දීය පාලනයට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් ඇති වී ඇති අතර, සටන්කාමීන් ආරක්ෂක හමුදා සහ සිවිල් වැසියන් යන දෙපාර්ශවය ම ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරති.

2019දී ඉන්දියාව කාශ්මීරයට අර්ධ-ස්වයං පාලන තත්ත්වය ලබා දුන් 370 වන වගන්තිය අවලංගු කිරීමෙන් පසු සිවිල් වැසියන්ට එල්ල වූ පළමු විශාල ප්‍රහාරය මෙය විය.

මෙම තීරණයෙන් පසුව, කලාපය තුළ විරෝධතා දක්නට ලැබුණු නමුත් සටන්කාමී කටයුතු අඩු වූ අතර කලාපයට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් ද දක්නට ලැබිණි.

2016දී, ඌරිහිදී ඉන්දීය සොල්දාදුවන් 19 දෙනෙකු මිය යාමෙන් පසු, ඉන්දියාව සහ පකිස්ථානය අතර නිල නොලත් දේශසීමාව වන පාලන රේඛාව (LOC) හරහා ඉන්දියාව සටන්කාමී කඳවුරු ඉලක්ක කර ගනිමින් "ඉතා සූක්ෂමව සැලසුම් කරන ලද ප්‍රහාරයක්" එල්ල කළේ ය.

2019දී, ඉන්දීය පැරාමිලිටරි භටයින් 40 දෙනෙකු මිය ගිය පුල්වාමා බෝම්බ ප්‍රහාරය බාලාකෝට් ප්‍රදේශය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම දක්වා දුර දිග ගිය අතර එය 1971න් පසු පකිස්ථානය තුළ සිදු වූ පළමු එවැනි සිදුවීම විය. අවසානයේ එය පළිගැනීමේ ප්‍රහාර සහ ගුවන් සටන් ඇති වීමට හේතු විය.

එය මහා පරිමාණ ගැටුමක් දක්වා වර්ධනය නොවූ නමුත් එය සිදුවුවහොත් සිදුවිය හැකි අනතුර පිළිබඳව ලෝකයේ බොහෝ දෙනෙක් අවධානයෙන් පසුවූහ. වත්මන් තත්ත්වය උත්සන්න වීම නැවැත්වීමට ලොව පුරා විවිධ රටවල් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් උත්සහ දරා ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් දැනටමත් "උපරිම සංයමයෙන්" කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අතර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ සටන් "ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි" තමන් බලාපොරොත්තු වන බවයි.