ඇෆ්ඝනිස්ථානයේ සිට ඉරානය දක්වා එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම් සාර්ථක ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, නොර්බෙර්තෝ පරීදීස්
- Role, බීබීසී මුන්ඩෝ පුවත්
මැයි මාසයේදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, මීට පෙර සිටි එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගේ මැදිහත්වීමේ විදේශ ප්‍රතිපත්ති තියුණු ලෙස හෙළා දැකීම මතභේදයට තුඩු දුන්නේය.
"ජාතිය ගොඩනගනවා කියලා කියාගත්ත අය ඔවුන් ගොඩනගපු ප්‍රමාණයට වඩා ජාතීන් රැසක් විනාශ කළා," පැහැදිලිව ම 2003 විවාදාත්මක ඉරාක ආක්‍රමණය ගැන සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කළේ ය.
"ඒ වගේම මැදිහත්වීම්කරුවන් ඔවුන්ට තේරෙන්නේවත් නැති සංකීර්ණ සමාජවලට මැදිහත් වුණා," වැඩිදුරටත් පැවසුවේ ය.
සෞදි අගනුවර වන රියාද් සංචාරය අතරතුර, ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් සමහර විශ්ලේෂකයින් යෝජනා කළේ අවම වශයෙන් ඔහුගේ දෙවන පරිපාලනය තුළ කලාපයේ එක්සත් ජනපද මැදිහත්වීම අතීතයට එක් විය හැකි බවය.
නමුත් මාසයකට පමණ පසු, එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාරයක් එල්ල කළ අතර, ඉරානය සහ ඊශ්‍රායලය අතර නවතම ගැටුමට වොෂින්ටනය ඈඳා ගැනුණි.
ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් නැවැත්වීමේ උත්සාහයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය මෙම ප්‍රහාරය දියත් කළහ.
"අපේ අරමුණ වූයේ ඉරානයේ න්‍යෂ්ටික බලගැන්වීමේ හැකියාව විනාශ කිරීම සහ ලොව ප්‍රමුඛතම ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන රාජ්‍යය විසින් එල්ල කරන ලද න්‍යෂ්ටික තර්ජනය මැඩපැවැත්වීම," යනුවෙන් ප්‍රහාරයෙන් ටික කලකට පසු ට්‍රම්ප් පැවසීය.
ඉතිහාසය පෙන්නුම් කරන්නේ ගැටළු "විසඳීමට" අභිප්‍රායන් තිබියදීත්, විදේශයන්හි බටහිර මැදිහත්වීම් බොහෝ විට සැලසුම් කළ පරිදි සිදු නොවූ බව ය.
ලන්ඩන් ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යා පාසලේ මැද පෙරදිග දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහාචාර්යවරයෙකු සහ ලෙබනන්-ඇමෙරිකානු කතුවරයෙකු වන ෆවාස් ගර්ජස් පවසන්නේ 1940 ගණන්වල අග භාගයේ සිට එක්සත් ජනපද මැදිහත්වීම මැද පෙරදිග ජාත්‍යන්තර සබඳතාවල ස්ථාවර ලක්ෂණයක් වී ඇති බවයි.
ඉරානයට මෑතකදී එල්ල කළ එක්සත් ජනපද ගුවන් ප්‍රහාර මෙම දිගුකාලීන ප්‍රතිපත්තියට තවත් පැහැදිලි උදාහරණයක් බව What Really Went Wrong: The West and the Failure of Democracy in the Middle East හි කතුවරයා බීබීසීයට පැවසීය.
එසේනම් එක්සත් ජනපදය මැදිහත් වී ඇත්තේ කොහේ ද සහ එහි ප්‍රතිවිපාක මොනවා ද?
ඉරානයේ කුමන්ත්‍රණය
1953දී ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ අගමැති මොහොමඩ් මොසාඩික්ව ඉරාන හමුදාව විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරන ලද අතර එය එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ සහාය ඇතිව සිදු කරන ලදී.
ඉරානයේ දැවැන්ත තෙල් සංචිත ජනසතු කරන බවට පොරොන්දු වෙමින් මොසාඩික් බලයට පැමිණියේ ඊට වසර දෙකකට පෙර ය.
ඉරානයේ තෙල් කර්මාන්තය ජනසතු කිරීමට මොසාඩික් ගත් පියවර බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය යන දෙකම බිය ගැන්වීය. ඔවුන්ගේ පශ්චාත් යුධ ආර්ථිකයන් ඉරාන තෙල් සඳහා ප්‍රවේශය මත දැඩි ලෙස රඳා පැවතීම නිසා, කොමියුනිස්ට්වාදයේ තර්ජනය ඔවුන්ගේ කනස්සල්ල වැඩි කළේ ය.
ෂා මොහොමඩ් රේසා පහ්ලවි නැවත බලයේ පිහිටුවීමට සහාය දැක්වීමේ මහජන නැගිටීමක් ලෙස මුලින් ඉදිරිපත් පැවසූ මෙම නැගී සිටීමට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු බුද්ධි අංශවල සහාය ලැබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2000 දී, එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මැඩලීන් ඕබ්‍රයිට්, කුමන්ත්‍රණයේදී තම රට ඉටු කළ කාර්යභාරය ගැන විවෘතව කතා කළා ය.
2009 දී, එවකට ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා කයිරෝවේ පැවති දේශනයකදී, [ඉරානයේ] සිදු වූ දෙයට වොෂින්ටනය සිදුකළ දේවල් පිළිගත්තේ ය.
කුමන්ත්‍රණයෙන් වසර හැටකට පසු 2013 දී, 1953 දී ඉරාන අගමැති මොසාඩීක් බලයෙන් පහ කිරීම මෙහෙයවීමේදී තමන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බව CIA සංවිධානය ප්‍රථම වරට රහසිගත ලේඛන හරහා ප්‍රසිද්ධියේ පිළිගත්තේ ය.
"හමුදා කුමන්ත්‍රණය... ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ ක්‍රියාවක් ලෙස CIA හි මඟ පෙන්වීම යටතේ සිදු කරන ලදී," යනුවෙන් ජාතික ආරක්ෂක ලේඛනාගාරය විසින් නිකුත් කරන ලද ලේඛනවලින් උපුටා ගත් කොටසක් සඳහන් වේ.
එක්සත් ජනපදය සහ ඉරානය අතර වත්මන් ගැටුමේ මූලයන් එම රහසිගත මැදිහත්වීම තුළ ඇති බව මහාචාර්ය ගර්ජස් කියා සිටියි.
"නීත්‍යානුකූල, ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ අගමැතිවරයෙක්ව එළවලා ඉරානයේ ෂා කියන කුරිරු ඒකාධිපතියෙක් රටේ පාලකයා විදිහට පත් කිරීම සම්බන්ධයෙන් ඉරාන ජාතිකයන් කවදාවත් එක්සත් ජනපදයට සමාව දීලා නෑ," ඔහු පැහැදිලි කළේ ය.
"අද ඉරානයේ ඇමෙරිකානු විරෝධයට හේතුව දේශපාලන ප්‍රභූ තන්ත්‍රය විසින් ඉරාන දේශපාලනයේ ගමන් පථය වෙනස් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයට දොස් පවරන එක නිසා."
මහාචාර්ය ගර්ජස් පෙන්වා දෙන්නේ එක්සත් ජනපදය ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර්ගේ ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීමට සහ ඔහුගේ ජාතිකවාදී න්‍යාය පත්‍රය කඩාකප්පල් කිරීමට උත්සාහ කළ නමුත් එම උත්සාහයන් බොහෝ දුරට අසාර්ථක වූ බව ය.
ඇෆ්ඝනිස්ථානයේ ඉස්ලාම්වාදීන්ට හිමිවූ එක්සත් ජනපදයේ සහාය
1979 දී, සෝවියට් හමුදාව ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කළේ වසරකට පෙර බලයට පත් වූ ඛණ්ඩනය වෙමින් පැවති කොමියුනිස්ට් රජයට සහාය දැක්වීම සඳහා ය.
නමුත් සෝවියට් දේශය ඉක්මනින්ම මුජේහිදීන් ලෙස හැඳින්වෙන ඉස්ලාමීය සටන්කාමී ව්‍යාපාරයකට මුහුණ දුන්නේ ය.
කොමියුනිස්ට් රජයට විරුද්ධ ඉස්ලාමීය ජිහාඩ් අන්තවාදීන්ගෙන් සැදුම්ලත් මෙම කණ්ඩායමට ඇමෙරිකා එක්සත් ජනපදය, පකිස්ථානය, චීනය සහ සෞදි අරාබිය ඇතුළු අනෙකුත් රටවල සහාය හිමි විය.
සීතල යුද්ධය අතරතුර, සෝවියට් අරමුණු වලට බාධා කිරීමට උත්සාහ කරමින්, ඇෆ්ඝනිස්ථානයට වැඩි වශයෙන් ආයුධ සහ මුදල් සැපයූ රටවල් අතර ඇමෙරිකා එක්සත් ජනපදය ද සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හෙළිදරව් වූ රහස් ලියකියවිලි, මාධ්‍ය ගවේෂණ සහ සාක්ෂිවලට අනුව පසුව හෙළි වූයේ, වියට්නාමයේ ඇමෙරිකාවේම අත්දැකීමට සමානව, ඇෆ්ගනිස්ථානයේ දීර්ඝ කාලීන, සම්පත් ක්ෂය වන යුද්ධයකට සෝවියට් සංගමය පැටලවීමට එක්සත් ජනපදය හිතාමතාම උත්සාහ කළ බව ය.
මෙම මෙහෙයුම Operation Cyclone ලෙස හැඳින්වූ අතර එකල පුවත්පත්වල එය "CIA ඉතිහාසයේ විශාලතම රහසිගත මෙහෙයුම" ලෙස විස්තර කරන ලදී.
එවකට ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ඕවල් කාර්යාලයේදී ජිහාඩ් නායකයින්ගේ දූත පිරිසක් පවා පිළිගත්තේ ය.
1988 දී, ආසන්න වශයෙන් දශකයක පසු සහ ජිනීවා ගිවිසුම්වල නියමයන් යටතේ, සෝවියට් සංගමයේ නායක මිහායිල් ගොර්බචෙව් ඇෆ්ඝනිස්ථානයෙන් හමුදා ඉවත් කර ගැනීම ආරම්භ කළ අතර, 1989 මුල් භාගයේදී අවසන් හමුදා කණ්ඩායම් පිටත්ව ගියහ.
කෙසේ වෙතත්, ප්‍රතිවාදී කණ්ඩායම් ගැටීමත් සමඟ රට ඉක්මනින් සිවිල් යුද්ධයකට ඇද වැටුණු අතර, අඛණ්ඩ සහයෝගය නොමැති වීමෙන් සෝවියට් සහාය ලත් රජය බිඳ වැටිණි.
මෙම කැලඹිලි තත්ත්වයෙන් මතු වූ තාලිබාන් සංවිධානය, ෂරියා නීතිය පිළිබඳ දැඩි අර්ථකථනයක් ප්‍රවර්ධනය කළ අතර, එහි නායකයින් බොහෝ දෙනෙක් මුජෙහිදීන් සංවිධානය තුළ සෝවියට් ආක්‍රමණයට එරෙහිව සටන් කළේ එක්සත් ජනපදය සහ අනෙකුත් සහය දුන් අය විසින් සපයන ලද ආයුධ භාවිතා කරමින් ය.
ඒ හා සමානව, සෝවියට්-ඇෆ්ඝන් යුද්ධය අවසන් වූ පසු, ඇෆ්ඝනිස්ථාන යුද ප්‍රවීණයන් පිරිසක් ඇෆ්ඝනිස්ථානයෙන් ඔබ්බට ඉස්ලාමීය අරගලය ව්‍යාප්ත කිරීම සඳහා අල්-කයිඩා සංවිධානය නිර්මාණය කළහ.
2001 සැප්තැම්බර් 11 වන දින එක්සත් ජනපදයට එල්ල වූ ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමට සහ සැලසුම් කිරීමට ඉඩ සලසමින්, තාලිබාන් සංවිධානය ඔසාමා බින් ලාඩන්ට සහ ඔහුගේ සංවිධානයට ආරක්ෂිත තෝතැන්නක් ලබා දුන්නේ ය.
ඇලබාමා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ මැද පෙරදිග පිළිබඳ අධ්‍යයන මහාචාර්ය වලීද් හස්බන් පෙන්වා දෙන්නේ සීතල යුද්ධය අතරතුර, කලාපයේ බොහෝ එක්සත් ජනපද මැදිහත්වීම් "සමතුලිත කිරීමේ උත්සාහයන්" ලෙස විස්තර කළ හැකි බවට ය.
"එයාලා එක්සත් ජනපදයේ සහ ඔවුන්ට සහයෝගය දක්වන අයගේ අවශ්‍යතාවලට විරුද්ධ ඕනෑම දේශපාලන බලවේගයකට එරෙහිව සටන් කරන්න උත්සාහ කළා," ඔහු බීබීසීයට පැවසීය.
මහාචාර්ය හස්බන් පවසන්නේ ගල්ෆ් යුද්ධයේදී (1990-1991) ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛත්වයෙන් සිදුකළ මැදිහත්වීම උදාහරණයක් ලෙස ඇති බව ය.
"ඉරාකයේ කුවේට් ආක්‍රමණයට එරෙහිව මෙම පියවර ගත්තා වගේ ම ඒකට කුවේට් ස්වෛරීභාවය යථා තත්ත්වයට පත් කිරීමට පුළුවන් වුණා. සීතල යුද්ධයෙන් පස්සේ, එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කලාපීය නායකයින් ඔවුන්ගේ පොදු ආරක්ෂක ගැටළු විසඳීමේ ක්‍රම ගවේෂණය කිරීම සඳහා සාකච්ඡාවල නිරත වුණා."
කෙසේ වෙතත්, ක්ලින්ටන් පාලනය යටතේ තවත් ප්‍රවේශයක් ආරම්භ වූ බව මහාචාර්ය හස්බන් විශ්වාස කරයි.
"ඉලක්කය වුණේ එක්සත් ජනපද අවශ්‍යතා ඉදිරියට ගෙන යන සහ කලාපයේ පිළිවෙල පවත්වා ගැනීම සඳහා එහි දැක්මට සහාය වන ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කිරීමයි," ඔහු සඳහන් කළේ ය.
"මේකට එක් අතකින්, සාමය ඇතිකිරීමේ ක්‍රියාවලිය සහ අරාබි-ඊශ්‍රායල සබඳතා සාමාන්‍යකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ඇතුළත් වුණා. එතකොට සියලු ම අරාබි රටවලට, ඇමෙරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමග එකතු වෙන්න පුළුවන් වගේ ම මිලිටරි ක්‍රම සහ සම්බාධක මගින් ඉරානය සහ ඉරාකය පාලනය කිරීම ද ඇතුළත් වුණා."
සමහර අවස්ථාවලදී, එක්සත් ජනපද මැදිහත්වීම් සමග ඊශ්‍රායලයට ලැබෙන සහයෝගය ද එක් වී ඇති අතර, එක්සත් ජනපද නායකයින් එය "කොන්දේසි විරහිත සහ නොසැලෙන" එකක් ලෙස විස්තර කර ඇත.
දෙවන ලෝක යුද්ධයේ සිට, ඊශ්‍රායලය එක්සත් ජනපදයේ විදේශ ආධාර ලබන විශාලතම රට බවට පත්ව ඇති අතර, වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක් ලබා ගනියි.
තාලිබාන්වරුන් පසුපස හඹා යමින් ඇෆ්ඝනිස්ථානයට නැවත පැමිණීම
2001 ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපදය ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීමට නායකත්වය දුන්නේ ය. සැප්තැම්බර් එල්ලවූ ප්‍රහාරවලින් පසු තාලිබාන්වරුන් පලවා හැරීම, ප්‍රජාතන්ත්‍රවාදයට සහාය වීම සහ අල්-කයිඩා තර්ජනය තුරන් කිරීම සඳහා මෙය සිදු කරන බව එහි සඳහන් විය.
වොෂින්ටනය වේගයෙන් ඇෆ්ඝනිස්ථානයේ අගනුවර වන කාබුල් අල්ලා ගත්තේ ය.
2003 සිට, නේටෝ භට පිරිස් රට තුළ රැඳී සිටිමින්, සටන් මෙහෙයුම් සඳහා සහභාගී වෙමින් සහ ඇෆ්ඝන් ආරක්ෂක හමුදා පුහුණු කරමින් සිටියහ.
වසර තුනකට පසු නව ඇෆ්ඝන් රජයක් බලයට පත් විය. නමුත් තාලිබාන්වරුන්ගේ ලේ වැකි ප්‍රහාර දිගටම පැවතිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2009 දී, එවකට එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා තාලිබාන්වරුන් තාවකාලිකව පලවා හැරීමට හමුදා භට පිරිසක් එක් කරන බව නිවේදනය කළේ ය.
2001 වසරෙන් පසු යුද්ධයේ වඩාත් ලේ වැගිරුණු වසර වූ 2014 දී, නේටෝ හමුදා ඔවුන්ගේ මෙහෙයුම අවසන් කර ආරක්ෂක වගකීම ඇෆ්ඝන් හමුදාවට භාර දුන්හ.
මෙය තාලිබාන්වරුන් වැඩි භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට හේතු විය.
ඊළඟ වසරේදී, මේ කණ්ඩායම අඛණ්ඩව ශක්තිමත් වෙමින් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් දියත් කළේ ය. කාබුල්හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට සහ අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසලට එල්ල වූ ප්‍රහාරයන්ගේ වගකීම ඔවුහු භාර ගත්හ.
අවසානයේදී, එක්සත් ජනපදය විසින් මෙහෙයවූ ආක්‍රමණයෙන් වසර 20 කට පසු, 2021 අප්‍රේල් මාසයේදී බයිඩන් පරිපාලනය ඇෆ්ඝනිස්ථානයෙන් තම හමුදා ඉවත් කර ගැනීමට තීරණය කළේ ය.
එය මතභේදාත්මක තීරණයක් වූ අතර මේ නිසා කාබුල් නගරය තලේබාන්වරුන් අතට වේගයෙන් පත්වීම සිදුවූ අතර 1975 දී දකුණු වියට්නාමයේ සිදුවූ සිදුවීම්වලට සමාන දෙයක් සිදුවිය.
"මේ [එක්සත් ජනපද ජනාධිපති] ජෝ බයිඩන්ගේ සයිගොන්," යැයි රිපබ්ලිකන් කොංග්‍රස් සභික එලිස් ස්ටෙෆානික් සමාජ මාධ්‍යයේ සටහනක් යොදා තිබිණි. "ජාත්‍යන්තර තලයේ කවදාවත් අමතක නොවන විනාශකාරී අසාර්ථකත්වයක්."
එහි ප්‍රතිඵලයක් ලෙස, තාලිබාන් සංවිධානයට හමුදා උපකරණ හිමි වූ අතර ඒවා බොහෝ දුරට එක්සත් ජනපදය විසින් අරමුදල් සැපයූ ඒවා බව නිර්නාමිකව සඳහන් නොකළ හිටපු ඇෆ්ඝන් නිලධාරියෙක් බීබීසී වෙත පැවසුවේ ය.
2023 එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් පෙන්නුම් කළේ තාලිබාන් සංවිධානය විසින් අත්අඩංගුවට ගත් එක්සත් ජනපද අවිවලින් 20% ක් දේශීය නිලධාරීන්ට රඳවා ගැනීමට අවසර දී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස කළුකඩ වෙළඳපොළ දියුණු වූ බවත් ය.
ඉරාකය ආක්‍රමණය කිරීම
1990 අගෝස්තු මාසයේදී, එවකට ජනාධිපති සදාම් හුසේන්ගේ අණ යටතේ ඉරාක හමුදාව විසින් දේශසීමාව තරණය කර කුවේටයට ඇතුළු වූ අතර, ආක්‍රමණයට විරුද්ධ වූ සිය ගණනක් මිනිසුන් මරා දැමූ මරාදමමින් කුවේට් ආණ්ඩුව සෞදි අරාබියට පිටුවහල් කිරීම සිදුවිය.
බොහෝ දෙනෙකුට අනුව මෙය මැද පෙරදිග ඉතිහාසයේ දීර්ඝතම හා කැලඹිලි සහිත කාල පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කළේ ය.
අනතුරු ඇඟවීම් කිහිපයකින් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකින් පසුව, දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු කළ විශාලතම සහ ප්‍රධාන වශයෙන් එක්සත් රාජධානියේ සහ සෞදි අරාබියේ සහාය ඇතිව, ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයක් 1991 ජනවාරි 17 වන දින කුවේටයෙන් ඉරාක හමුදා පලවා හැරීමේ මෙහෙයුමක් දියත් කළේ ය.
පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 687 වන යෝජනාව සම්මත කළ අතර, එමඟින් ඉරාකයට සියලු මහා විනාශකාරී අවි - න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක සහ රසායනික අවි මෙන්ම දිගු දුර බැලස්ටික් මිසයිල විනාශ කිරීමට නියම කරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1998 දී ඉරාකය එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකවරුන් සමඟ සහයෝගීතාවය නැවැත්වූ අතර, 2001 දී ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරවලින් පසුව, හිටපු එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ඉරාකය ආක්‍රමණය කිරීම සඳහා සූදානම් වීම ආරම්භ කළේ ය.
සදාම් හුසේන් අඛණ්ඩව මහා විනාශකාරී අවි නිෂ්පාදනය කර ගබඩා කරන බවට ජනාධිපති බුෂ් චෝදනා කළ අතර ඉරානය සහ උතුරු කොරියාව මෙන් ම ඉරාකය ජාත්‍යන්තරයේ "ත්‍රස්තවාදයට සහය දක්වන" කොටසක් ලෙස නම් කළේ ය.
2003 දී එවකට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් කොලින් පවෙල් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැවසුවේ ඉරාකය සතුව ජීව විද්‍යාත්මක අවි නිෂ්පාදනය කිරීමට භාවිතා කරන "ජංගම රසායනාගාර" ඇති බව ය.
නමුත් 2004 දී ඔහු පිළිගත්තේ සාක්ෂි "එතරම් ස්ථිර නොවන බව" බවට ය.
එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව සහ පෝලන්තය ආක්‍රමණයට ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ එක් වූ නමුත් ජර්මනිය, කැනඩාව, ප්‍රංශය සහ මෙක්සිකෝව ඇතුළු බොහෝ රටවල් එයට විරුද්ධ වූහ.
එවකට ප්‍රංශ විදේශ අමාත්‍ය ඩොමිනික් ඩි විලෙපින් අනතුරු ඇඟවූයේ මිලිටරි මැදිහත්වීම "හැකි නරකම විසඳුම" වනු ඇති බවට වන අතර නේටෝ සාමාජිකයෙකු සහ ඉරාකයේ අසල්වැසියෙකු වන තුර්කිය, එක්සත් ජනපදයට සහ ඔවුන්ට සහය දක්වන්නන්ට එහි ගුවන් හමුදා කඳවුරු වෙත ප්‍රවේශ වීම ලබාදීම ප්‍රතික්ෂේප කළේ ය.
එක්සත් ජනපදය පාලන තන්ත්‍ර වෙනසක් අපේක්ෂා කරන බවත් එමගින් [මැදපෙරදිග] කලාපයේ ආරක්ෂාව පිළිබඳ තමන්ගේම දැක්ම පටවන බවත් මහාචාර්ය හස්බන් බීබීසීයට පැවසුවේ ය.
බීබීසීහි අන්තර්ජාතික සංස්කාරක ජෙරමි බෝවෙන්ට අනුව, ආක්‍රමණය ඉරාකයට සහ එහි ජනතාවට ව්‍යසනයක් බවට පත් වූ අතර, දශක ගණනාවක් තිස්සේ රට කැලඹිලි සහිත තත්ත්වයකට ඇද දැමී ය.
ආක්‍රමණයේ 20 වන සංවත්සරය සනිටුහන් කරමින් 2023 දී කරන ලද විශ්ලේෂණයකදී ඔහු ප්‍රකාශ කළේ, "2003දී පුපුරලා ගිය අවුල් සහගත හා ම්ලේච්ඡත්වයේ වසර ගණනාව ඇතුළේ ඔසාමා බින් ලාඩන්ගේ සහ ජිහාඩ් අන්තවාදීන්ගේ දෘෂ්ටිවාදය විනාශ කිරීම වෙනුවට, ජිහාඩ් ප්‍රචණ්ඩත්වය තවත් උග්‍ර වුණා," යනුවෙන් ය.
2003 ආක්‍රමණයේ එක් ප්‍රධාන ප්‍රතිඵලයක් වූයේ අල්-කයිඩාවේ නැවත නැගිටීම වූ අතර එය අවසානයේ ස්වයං-ප්‍රකාශිත ඉස්ලාමීය රාජ්‍යය [සංවිධානය] බවට පරිණාමය විය. ආක්‍රමණයෙන් ඉරාකයේ ඇති වූ මරණ සංඛ්‍යාව නිශ්චිතවම නොදනියි.
ආක්‍රමණයෙන් පසු සිවිල් මරණ නිරීක්ෂණය කරන Iraq Body Coun (IBC) ව්‍යාපෘතියට අනුව, 2003 සිට 2022 දක්වා කාලය තුළ ඉරාක සිවිල් වැසියන් 209,982ක් මිය ගොස් තිබේ.
මහාචාර්ය හස්බන් ප්‍රකාශ කළේ දැන් අවශ්‍ය වන්නේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් කලාපීය මුලපිරීම් සඳහා එක්සත් ජනපදයේ සහයක් බව ය.
"එක්සත් ජනපදය සහ ඔවුන්ට සහය දක්වන්නන් මිලිටරි බලය භාවිතා කරමින් [මැදපෙරදිග] කලාපය පාලනය කිරීමට උත්සාහ කිරීම වෙනුවට, කලාපයේ රටවල් එක්ව දේවල් ආරක්ෂිතව හා සාමකාමීව තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව එකඟතාවයකට පැමිණියහොත් එක්සත් ජනපදයට වඩා වැඩි ප්‍රතිලාභලබන්න පුළුවන්," ඔහු පැවසුවේ ය.














