ඊශ්‍රායලය: බිහිවීම, පිහිටීම, ජනගහනය, ප්‍රාග්ධනය සහ තවත් තොරතුරු

ඡායාරූප මූලාශ්‍රය, stellalevi/Getty Images
- Author, මාර්යාම් සුල්තානා
- Role, බීබීසී බංග්ලා
මධ්‍යධරණී මුහුදේ වෙරළ තීරයේ පිහිටා ඇති ඊශ්‍රායලය, මෑතකදී මැද පෙරදිග දෙවන විශාලතම රට වන ඉරානය සමග ගැටුමක පැටලී සිටී.
ඉරානය සහ ඊශ්‍රායලය අතර හුවමාරු වන ප්‍රහාර සහ තුවාලකරුවන්ගේ ලැයිස්තුව වර්ධනය වෙමින් පවතී.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, ලොව පුරා විවිධ රටවල් තම පුරවැසියන් දෙරටෙන් ම ඉවත් කර ගනිමින් සිටී. විවිධ බලවත් රටවල් අර්බුදය විසඳීම සඳහා සාකච්ඡා ගැන කතා කරමින් සිටී.
'ඉරානය සහ ඊශ්‍රායලය පිළිබඳ නවතම පුවත්' මොනවා දැයි දැන ගැනීමට ලොව පුරා සිටින ජනතාව දැන් දැඩි අවධානයකින් පසුවෙති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඊශ්‍රායලයේ භූගෝලීය පිහිටීම
ඊශ්‍රායලය සැබවින් ම පිහිටා ඇත්තේ කුමන මහාද්වීපයේ ද? උතුරු දෙසට වන්නට, එය ආසියාවේ පිහිටා ඇත. වඩාත් නිශ්චිතව ම, එය මැද පෙරදිග පිහිටා ඇත. එය බටහිරින් මධ්‍යධරණී මුහුදෙන් සහ නැගෙනහිරින් ලෙබනනය, සිරියාව, ජෝර්දානය, ඊජිප්තුව සහ පලස්තීන භූමි ප්‍රදේශවලින් මායිම් වේ.
ඊශ්‍රායලය උතුරින් ලෙබනනය, ඊසාන දෙසින් සිරියාව, නැගෙනහිරින් ජෝර්දානය සහ නිරිත දෙසින් ඊජිප්තුවට මායිම් වේ.
ගාසා තීරයට නැගෙනහිරින් සහ උතුරින් ඊශ්‍රායලයට සම්බන්ධතා ඇත. නමුත් දැඩි මුරපොළවල් ඇත. ඊට අමතරව, දකුණින් ගාසා තීරය ඊජිප්තුව සමග මායිම් වන අතර, එහි රෆා හරස් මාර්ගය පිහිටා ඇත. ගාසා තීරය සඳහා ඇති එක ම දේශසීමා හරස් මාර්ගය මෙය යි.
කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ නැගෙනහිරින් මළ මුහුද පිහිටි බව සැලකිල්ලට ගත යුතු ය. මළ මුහුද ඊශ්‍රායලයේ, බටහිර ඉවුරේ සහ ජෝර්දානයේ මායිම් ප්‍රදේශයේ පිහිටා ඇත.

ශ්‍රී ලංකාවට වඩා කුඩා ඊශ්‍රායලය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඊශ්‍රායල රජයට අනුව, එ රටේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 22,145කි. අවබෝධ කරගැනීමේ පහසුව තකා අප සිතුවොත් එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවට වඩා තුන් ගුණයක් පමණ කුඩා බව සිතිය හැකිය. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 65,610 කි.
විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටින්නේ, ඔවුන්ගේ මුළු භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 21,671ක් ගොඩබිම් බව ය. එය කිලෝමීටර් 429ක් පමණ දිගින් සහ කිලෝමීටර් 11ක් පමණක් පළලින් යුක්ත වේ.
ඊශ්‍රායලය හිමිකම් කියන ප්‍රදේශයට ප්‍රධාන භූමිය, ගෝලාන් කඳුකරය, ජෙරුසලම, බටහිර ඉවුර සහ ගාසා තීරය වැනි ජාත්‍යන්තර වශයෙන් මතභේදාත්මක ප්‍රදේශ ඇතුළත් වේ.
බටහිර ඉවුර (වර්ග කිලෝමීටර් 5,970) සහ ගාසා තීරය (වර්ග කිලෝමීටර් 365) පලස්තීන ජනගහනය බහුලව වෙසෙන ප්‍රධාන ප්‍රදේශ දෙක වේ. මෙම භූමි ප්‍රදේශ දෙක අතර දුර කිලෝමීටර් 40ක් පමණ වේ. මෙහිදී, බටහිර ඉවුර මෙම නමෙන් හඳුන්වනු ලබන්නේ, එය ජෝර්දාන් ගඟේ සහ මළ මුහුදේ බටහිර වෙරළ තීරයේ පිහිටා ඇති බැවිනි. එය ජෙරුසලම දක්වා විහිදේ.
මේ අතර, ඊශ්‍රායලයට කඳු, සාරවත් ඉඩම් සහ කාන්තාර මෙන් ම මුහුදු ද ඇතුළත් ය. මේ සියල්ල එකිනෙකට සමීපව පිහිටා ඇත.
උදාහරණයක් ලෙස, බටහිරින් මධ්‍යධරණී මුහුදේ සිට නැගෙනහිරින් මළ මුහුදට යාමට මෝටර් රථයකින් විනාඩි 90ක් පමණක් ගත වේ. ඊශ්‍රායලයේ උතුරු කෙළවරේ පිහිටි මෙටුල්ලා නගරයේ සිට දකුණේ එයිලාට් දක්වා මෝටර් රථයෙන් ගමන් කිරීමට පැය නවයක් පමණ ගත වේ.
ඊශ්‍රායලයේ ජනගහනය
ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් පර්යේෂණ සංවිධානයක් වන Worldometer හි දත්තවලට අනුව, ඊශ්‍රායලයේ මුළු ජනගහනය 9,512,394කි. ඒ අනුව, ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 450කටත් වඩා අඩු ය.
ඊශ්‍රායලය යුදෙව් රාජ්‍යයක් වුව ද, වෙනත් ආගම්වල බොහෝ දෙනෙක් ද එහි ජීවත් වෙති. Statista දත්ත ආයතනයට අනුව, යුදෙව්වන්ට පසු එහි වෙසෙන දෙවන විශාලතම ජන කණ්ඩායම වන්නේ, මුස්ලිම්වරුන් ය.
ඊට අමතරව, කිතුනුවන් සහ ඩෲස් ආගම් අදහන්නන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද එහි වාසය කරති.
Statista හි 2023 දත්තවලට අනුව ඊශ්‍රායලයේ යුදෙව්වන් මිලියන 7.1කට වඩා වැඩි සංඛ්‍යාවක් සහ මුස්ලිම්වරුන් මිලියන 1.77ක් පමණ සිටියහ. සාපේක්ෂව, කිතුනුවන් (180,500) සහ ඩෲස් (151,300) තරමක් අඩු ය.
කෙසේ වෙතත්, ලෝකයේ අනෙකුත් රටවල, විශේෂයෙන් බටහිර රටවල යුදෙව්වන් සැලකිය යුතු සංඛ්‍යාවක් වාසය කරති.
ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් පිව් පර්යේෂණ මධ්‍යස්ථානයට (Pew Research Center) අනුව, ලෝකයේ යුදෙව්වන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ඊශ්‍රායලයේ ජීවත් වෙති. ඉතිරි පිරිසෙන් වැඩි දෙනෙකු ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන අතර එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව සහ ප්‍රංශය යන රටවල ද කුඩා කණ්ඩායම් සිටිති.
කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ මුස්ලිම්වරුන් සහ ක්‍රිස්තියානි භක්තිකයන්ගෙන් බහුතරයක් පලස්තීන අරාබි සම්භවයක් ඇති අය වන අතර ඔවුහු වර්තමානයේ ඊශ්‍රායලයේ පුරවැසියන් ලෙස ජීවත් වෙති.
මේ අතර, පසුගිය වසරේ Statista වෙතින් නිකුත් කරන ලද තවත් ඇස්තමේන්තුවකින් ඊශ්‍රායලයේ මුළු ජනගහනය මිලියන 9.8 දක්වා වර්ධනය වී ඇති බවත්, ඔවුන් අතර අරාබි ජාතිකයින් 200,000කට වැඩි පිරිසක් සිටින බවත් සඳහන් විය. කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ වෙසෙන අරාබි ජාතිකයින් පැමිණිලි කරන්නේ රජය විසින් තමන්ට වෙනස්කම් කරන බව සහ දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකන බව ය.
යුදෙව් ඊශ්‍රායල ජාතිකයින්ගෙන් 82.7%ක් ඉරානයට පහර දීමට සහය දක්වන අතර අරාබි ඊශ්‍රායල ජාතිකයින්ගෙන් 67.9%ක් ද එසේ කරන බව හීබෲ විශ්වවිද්‍යාලය විසින් කරන ලද නව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. අරාබි ඊශ්‍රායල ජාතිකයින්ගෙන් 69.2%ක් ප්‍රහාරයකට බියක් දක්වන බවත්, 25.1%ක් කලකිරීමට පත්ව සිටින බවත් එම සමික්ෂණයෙන් හෙළිව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අගනුවර ආතතීන්
ඊශ්‍රායලයේ අගනුවර කුමක් ද? මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට උත්සහ කරන විට තවත් බොහෝ ප්‍රශ්න මතු වනු ඇත. මන්ද, කඩදාසි මත, ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම වන අතර ඊශ්‍රායලය ජෙරුසලම කෙරෙහි ස්වෛරී අයිතිවාසිකම් ඇති බව කියා සිටි යි.
1967 යුද්ධයේදී ඔවුහු නැගෙනහිර ජෙරුසලම අල්ලා ගත්හ. එතැන් සිට ජෙරුසලම ඔවුන්ගේ අගනුවර ලෙස සැලකූහ. මේ සඳහා 1980 දී ඊශ්‍රායලයේ නීතියක් සම්මත කරන ලදී.
එම නීතිය මගින් ජෙරුසලම ඊශ්‍රායලයේ "එක්සත් සහ බෙදිය නොහැකි අගනුවර" ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
නමුත් බොහෝ රටවල් ජෙරුසලම අගනුවර ලෙස නිල වශයෙන් පිළිගෙන නොමැත.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය සිය පරිපාලන, දේශපාලනික සහ අධිකරණ කටයුතු සිදු කරනු ලබන්නේ ඊශ්‍රායලයේ වැදගත් කාර්යාල බොහොමයක් පිහිටා ඇති ජෙරුසලමේ සිට ය.
මීට වසර කිහිපයකට පෙර, ඇමෙරිකා එක්සත් ජනපදය ද තම තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන ගියේ ය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම ක්‍රියාව පලස්තීනුවන්ගේ දැඩි කෝපයට හේතු විය.
ඒ, පලස්තීනුවන්ට නැගෙනහිර ජෙරුසලම ඔවුන්ගේ අගනුවර ලෙස අවශ්‍ය වන බැවිනි.
ඊශ්‍රායලය පිළිබඳ සාකච්ඡාවලදී පලස්තීන ප්‍රශ්නය නැවත නැවතත් මතු වී තිබේ.
නමුත් සෑම කෙනෙකු ම පලස්තීනය රටක් ලෙස පිළිනොගන්නා අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ද එය පිළිගෙන නොමැත.
කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිළිගැනීමක් නොලැබුණ ද, මෙම ලෝක සංවිධානයේ සාමාජික රටවලින් සියයට 70ක් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගෙන ඇත. (මහා මණ්ඩලයේ රටවල් 192කී).
2015 සැප්තැම්බර් මාසයේදී, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත පලස්තීන ජාතික ධජය එසවීම ද පිළිගනු ලැබීය.
ඇතැම් රටවල් ඊශ්‍රායලය රටක් ලෙස පිළි නොගනී. ඒවායින් බොහොමයක් මුස්ලිම් බහුතරයක් සිටින ජාතීන් වන නමුත් වෙනිසුවෙලාව, කියුබාව සහ උතුරු කොරියාව වැනි රටවල් ද ඒ අතර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඊශ්‍රායලයේ ප්‍රධාන නගර කීයක් තිබේ ද?
ඊශ්‍රායලයේ ජාතික පුස්තකාලයට අනුව, රට තුළ නගර 80ක් පමණ ඇත.
එහි ජනගහනයෙන් 90%ක් නාගරික ප්‍රදේශවල ජීවත් වෙති. ඔවුන්ගෙන් බහුතරයක් විශාල නගරවල ජීවත් වන අතර, ඉතිරි අය කුඩා නගරවල දිවි ගෙවති. ජනගහනයෙන් 10%ක් පමණක් ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරති.
ජෙරුසලම ඊශ්‍රායලයේ විශාලතම නගරය යි. 2022 ඇස්තමේන්තුවට අනුව, එහි ජනගහනය ආසන්න වශයෙන් 970,000කි.
කෙසේ වෙතත්, එරට වැඩි ම ජනගහනය වාර්තා වන්නේ, ප්‍රධාන නගර 16කිනි. සාමාන්‍යයෙන්, විසි දහසක ජනගහනයක් සිටින ප්‍රදේශයක් එහි ප්‍රධාන නගරයක් ලෙස සැලකේ.
මෙම නගර බොහොමයක් ඊශ්‍රායලයේ ප්‍රධාන නගරවලින් එකක් වන ටෙල් අවිව් වටා පිහිටා ඇත.
ටෙල් අවිව් යනු ඊශ්‍රායලයේ ආර්ථික හා තාක්ෂණික මධ්‍යස්ථානය යි. ලොව පුරා බොහෝ රටවල් තම තානාපති කාර්යාල ජෙරුසලමේ නොව ටෙල් අවිව්හි පවත්වාගෙන යයි.
ජෙරුසලම සහ ටෙල් අවිව් නගරවලට අමතරව, හයිෆා, රිෂොන් ලෙසියන්, පෙටා ටික්වා, බෙර් ෂෙවා සහ නාසරෙත් ද රටේ වැදගත් නගර ලෙස සැලකේ.
හයිෆා ඊශ්‍රායලයේ වරාය නගරය සහ කාර්මික මධ්‍යස්ථානය ලෙස සැලකේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඊශ්‍රායලය බිහි වූ ආකාරය
20 සියවසේ ආරම්භයේ මුල් භාගයේදී පලස්තීනය, තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යයේ කොටසක් විය. එය මුස්ලිම්, යුදෙව් සහ ක්‍රිස්තියානි ආගම්වලට අනුව ශුද්ධ භූමියකි.
එකල යුරෝපයේ ජීවත් වූ යුදෙව්වන් දරුණු වෛරයකට හා පීඩාවකට ලක් විය. මෙය යුරෝපයෙන් පිටත යුදෙව් රාජ්‍යයක් නිර්මාණය කිරීම අරමුණු කර ගත් සියොන්වාදී ව්‍යාපාරයේ ආරම්භයට හේතු විය. මෙයින් ආභාසය ලැබූ බොහෝ යුරෝපීය යුදෙව්වන් පලස්තීනයට ගොස් ජනාවාස ඉදිකිරීමට පටන් ගත්හ.
නමුත් ඔවුන්ගේ සංක්‍රමණය, ඒ කාලයේ එහි බහුතරය වූ ස්වදේශීය අරාබිවරුන් සහ මුස්ලිම්වරුන් අතර අතෘප්තියක් ඇති කර තිබිණි.
පළමු ලෝක යුද්ධයෙන් පසු තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යය බිඳ වැටිණි. පලස්තීනයේ, අරාබි ජාතිකවාදීන් සහ සියොන්වාදීන් අතර සටන් ඇති වූ අතර, යුදෙව් සහ අරාබි සන්නද්ධ කණ්ඩායම් එකිනෙකා සමග සටන් කළහ.
දෙවන ලෝක යුද්ධය අතරතුර (the Holocaust) මිලියන සංඛ්‍යාත යුදෙව්වන් පිරිසක් ඝාතනය කිරීමෙන් පසු, ස්වාධීන යුදෙව් රාජ්‍යයක් නිර්මාණය කිරීමේ පීඩනය ඉහළ ගියේ ය.
ඔටෝමාන් අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු ගොඩනැගූ The League of Nations සංවිධානය පලස්තීනය පාලනය කිරීමට බ්‍රිතාන්‍යයට අවසර දී තිබිණි.
බ්‍රිතාන්‍ය ජනවරම පලස්තීනුවන් සහ යුදෙව්වන් අතර බෙදී ගිය අතර, මේ මත පදනම්ව, 1948 මැයි 14 වන දින ඊශ්‍රායලය නිර්මාණය කරන ලදී.
ඊශ්‍රායලය නිර්මාණය වූ දිනට පසු දින, ඊජිප්තුව, ජෝර්දානය, සිරියාව සහ ඉරාකය එම ප්‍රදේශයට පහර දුන් අතර, පළමු අරාබි-ඊශ්‍රායල් යුද්ධය ආරම්භ විය.
යුදෙව් ජනතාව එය නිදහසේ යුද්ධය ලෙස හඳුන්වන අතර යුද්ධයෙන් පසු, පලස්තීනයේ අරාබි රාජ්‍යයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සැලසුම් කළ භූමියෙන් අඩක් ඊශ්‍රායලය විසින් පාලනය කරන ලදී. පලස්තීන ජාතික ව්‍යසනය ආරම්භ වූයේ මේ අවස්ථාවේදී ය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙය 'නක්බා' හෙවත් ව්‍යසනය ලෙස හැඳින්වේ. යුදෙව් හමුදාව ඔවුන්ට ඉන් පිටවීමට බලපෑම් කළ අතර, පලස්තීනුවන් 750,000කට පමණ තම නිවෙස් අතහැර අවට රටවල ආරක්ෂාව සොයා යාමට සිදු විය.
මෙය ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දීර්ඝ ගැටුමක ආරම්භය විය.
වසර ගණනාවකට පසුව 1967 වසරේදී අරාබිය සහ ඊශ්‍රායලය අතර දින 06ක යුද්ධය ඇති විය.
ජුනි 5 සිට ජුනි 10 දක්වා පැවති යුද්ධය අනාගතයට ප්‍රධාන බලපෑම් ඇති කර තිබිණි. ඉන් ඊශ්‍රායලය පහසුවෙන් ජයග්‍රහණය කරන ලදී.
ඉන්පසු ඔවුන් එක් අතකින් ඊජිප්තු පාලනය යටතේ පැවති ගාසා සහ සිනායි අර්ධද්වීපය අත්පත් කරගෙන තිබිණි. අනෙක් අතින් නැගෙනහිර ජෙරුසලම ඇතුළු බටහිර ඉවුර ජෝර්දානයෙන් අල්ලාගෙන තිබිණි. සිරියාවෙන් ගෝලාන් කඳුකරය ද අල්ලා ගන්නා ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස තවත් පලස්තීනුවන් ලක්ෂ 5කට තම නිවෙස්වලින් පලා යාමට සිදුවිය.
අරාබි-ඊශ්‍රායල් ගැටුමේ ඉතිහාසයේ ඊළඟ යුද්ධය යොම් කිපූර් යුද්ධය ලෙස හැඳින්වේ. 1973 ඔක්තෝබර් මාසයේ පැවති මෙම යුද්ධයේදී ඊජිප්තුව සහ සිරියාව එක් පසෙකින් ද, ඊශ්‍රායලය අනෙක් පසින් ද සටන් වැදිණි.
යුද්ධයේදී ඊජිප්තුව සිනායි අර්ධද්වීපයේ අහිමි වූ භූමි ප්‍රදේශයෙන් කොටසක් නැවත ලබා ගත් නමුත් ඊශ්‍රායලය ගාසා තීරයෙන් හෝ ගෝලාන් කඳුකරයෙන් පලවා හැරීමට නොහැකි විය.
නමුත් යුද්ධයෙන් වසර හයකට පසු ඓතිහාසික සාම ගිවිසුමක් අත්සන් කරන ලදී. ඊශ්‍රායලය සමග සාම ගිවිසුමක් අත්සන් කළ පළමු අරාබි රාජ්‍යය ඊජිප්තුව යි. ජෝර්දානය ද එය අනුගමනය කර තිබිණි.
නමුත් එයින් අදහස් වන්නේ, ඊශ්‍රායලයේ පලස්තීනුවන් සමග යුද්ධය අවසන් වී ඇති බවක් නොවේ. එය තවමත් සිදුවෙමින් පවතී.
අතිරේක වාර්තාකරණය බීබීසී සිංහල














