පකිස්ථානයේදී ඉරාන ප්‍රහායට ලක්වූ ජයිෂ් අල්-ඇඩ්ල් සටන්කාමීන් කවුද ?

ඡායාරූප මූලාශ්‍රය, JEISH ALADL
- Author, ෂුමයිලා ජැෆරි
- Role, බීබීසී පුවත්, ඉස්ලාමාබාද්
පකිස්ථානයේ ජයිෂ් අල්-ඇඩ්ල් (Jaish al-Adl) නමැති සටන්කාමී කණ්ඩායමට ඉරානය විසින් මෑතකදී එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග ආශ්‍රිතව පවතින ගැටුම් කලාපයෙන් ඔබ්බට පැතිරී යනු ඇතැයි බියක් මතු වී තිබේ.
පකිස්ථාන රජය තහවුරු කර ඇත්තේ, මෙම ප්‍රහාරවලින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ය.
මෑත කාලීනව එල්ල කරන ලද මිසයිල ප්‍රහාර "කිසිසේත් පිළිගත නොහැකි" බවත්, සිය ගුවන් සීමාව "සාධාරණීකරණය කළ නොහැකි" අයුරින් ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවටත් පකිස්ථානය අනතුරු ඇඟවීය.
ඉරානය චෝදනා කරන්නේ, පකිස්ථාන - ඉරාන දේශ සීමාවේ ක්‍රියාත්මක සුන්නි සටන්කාමී කණ්ඩායමක් වන ජයිෂ් අල්-ඇඩ්ල් කණ්ඩායමට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සහය දක්වන බව ය. මෙම සංවිධානය ඉරාන ආරක්ෂක හමුදා වෙත මීට පෙර එල්ල කළ ප්‍රහාර රැසක වගකීම භාරගෙන තිබේ.
මෙම සතියේ එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්ථානය දැඩි විවේචන එල්ල කළ ද, තමන්ට ඇති අවදානම ඉහළ මට්ටමක පවතින බව වටහාගෙන ඇති පකිස්ථානය, ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින බව විශ්ලේෂකයෝ පවසති.
ජයිෂ් අල්-ඇඩ්ල් - 'යුක්තියේ හමුදාව'
'යුක්තියේ සහ සමානාත්මතාවයේ හමුදාව' හෙවත් ජයිෂ් අල්-ඇඩ්ල් යනු ඉරාන රජයට එරෙහිව ක්‍රියාත්මක වන ආයුධ සන්නද්ධ සටන්කාමී කණ්ඩායමකි. එම කණ්ඩායම තමන්ව හඳුන්වා ගන්නේ, ඉරානයේ සිස්ටාන්-බලුචෙස්ථාන් පළාතේ "සුන්නි අයිතීන් සුරකින්නා" ලෙස ය.
2009 වසරේදී ඉරාන ආරක්ෂක හමුදාවන්ට බෝම්බ හෙලීම මෙන් ම, එක්සත් රාජධානියේ සහ ඇමෙරිකාවේ ඒජන්තයෙකු ලෙස ක්‍රියා කිරීමේ චෝදනාව මත, මීට පෙර ජුන්ඩුල්ලාහ් (දෙවියන්ගේ සොල්දාදුවෝ) ලෙස හැඳින්වූ සටන්කාමී කණ්ඩායමේ ප්‍රධානියා වූ අබ්දුල්මලෙක් රිගී, ඉරානය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 2010 වසරේදී ඔහු එල්ලා මරා දමන ලදී.
ඉරානයේ සේවය කළ පකිස්ථාන හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ මොහොමඩ් අබ්බාසි පැවසුවේ, රිගී අත්අඩංගුවට ගැනීම සඳහා පකිස්ථානය වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව ය.
2005 වසරේදී ඉරානයේ හිටපු ජනාධිපති මොහොමඩ් අහමඩිනෙජාඩ්ට එල්ල කළ ප්‍රහාරය ඇතුළු ප්‍රහාර සහ පිපිරීම් ගණනාවකට ජයිෂ් අල්-ඇඩ්ල් සම්බන්ධ වූ බව ඇමෙරිකානු බුද්ධි අංශ පවසයි.
ජයිෂ් අල්-ඇඩ්ල් කණ්ඩායමේ මෙහෙයුම් වැඩි ගණනක් සිදු කර ඇත්තේ, සිස්ටාන්-බලුචෙස්ථාන් පළාත ආශ්‍රිතව ය.
ඉරානය පකිස්ථානයට පහර දුන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, REUTERS
ගුවන් ප්‍රහාරය එල්ල වූයේ, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) ඉරාකයේ සහ සිරියාවේ ඉලක්ක වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් දිනකට පසුව ය.
එම ප්‍රහාරය ගැන පකිස්ථානය මවිතයට පත්වූ බව පකිස්ථානයේ හිටපු අමාත්‍යවරයෙකු සහ විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන මුෂහිඩ් හුසේන් සයෙඩ් පැවසීය.
"මගේ විග්‍රහය අනුව, ඒක ඔවුන්ගේ මූලික සංවිධානය වන - ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ - රහසිගත මෙහෙයුමක් වගේ පේනවා. ඒක පුළුල් කෝණයකින් බැලිය යුතු යි," හිටපු අමාත්‍යවරයා පැවසීය.
එම ප්‍රහාරය ද්විපාර්ශ්වික ගිවිසුම් සහ ජාත්‍යන්තර සම්මුති උල්ලංඝනය කිරීමක් බවත්, "ගාසා තීරයේ ජන සංහාරයක් සිදුවෙමින් පවතී" යැයි පිළිගැනෙන අවස්ථාවක ඉස්ලාමීය එකමුතුවේ ජීවගුණය හෑල්ලු කිරීමක් බවත් සයිඩ් පැහැදිලි කළේ ය.
තම කෝපය ඊශ්‍රායලය දෙසට යොමු කරනවා වෙනුවට ඉරානය, පැය විසි හතරක් තුළ මුස්ලිම් රටවල් තුනකට පහර දී ඇති බව ඔහු පැවසීය.
"මේ වගේ කුහකකම් සහ දෙබිඩි ප්‍රතිපත්ති දැඩිව හෙළා දැකිය යුතු යි," ඔහු වැඩිදුරටත් පැවසීය.
පකිස්ථාන - ඉරාන ගැටුම්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඓතිහාසික වශයෙන්, පකිස්ථානය සහ ඉරානය අතර සබඳතා වරින් වර වෙනස් වනසුලු අවිනිශ්චිත තත්ත්වයක පවතී.
1947 වසරේදී පකිස්ථානය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගත් පළමු රට ඉරානය වූ අතර, පකිස්ථානයේ පළමු විදේශ රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලය සඳහා සත්කාරකත්වය දැක්වීය. සීතල යුද්ධය පැවති සමයේ රටවල් දෙක එකිනෙකාට සහය දැක්වූ අතර, භූ දේශපාලනික වශයෙන් ඔවුහු පුළුල් ලෙස එක්ව සිටියහ.
1965 වසරේ අගෝස්තු මස සිට සැප්තැම්බර් මස දක්වා, පකිස්ථානය සහ ඉන්දියාව අතර පැවති සන්නද්ධ ගැටුමේදී ඉරානය පකිස්ථානයට සහය පළ කළේ ය.
කෙසේ වෙතත්, 1979 සිදුවූ ඉරාන විප්ලවය සහ (ඇෆ්ගනිස්ථාන ගැටුමෙන්) පකිස්ථානයේ පෝෂණය වූ සෞදි අරාබියේ ආකර්ෂණයෙන් වර්ධනය වූ වහාබි ඉස්ලාමයේ බලපෑම හේතුවෙන් ඉරානය සහ පකිස්ථානය අතර අවිශ්වාසය වැඩි විය.
1990 දශකයේදී, ඉරානය, පකිස්ථානයේ නිකායවාදය සහ ෂියා සාමාජිකයින් දිරිමත් කරන බවට චෝදනා එල්ල වූ අතර, එම දශකය තුළ කාබුල් පදනම් කර ගත් තලේබාන් රජයට පකිස්ථානයේ සහයෝගය හිමිවීම සම්බන්ධයෙන් ඉරානයට ගැටලු පැවතිණි.
ඉරානය ඉන්දියාව සමග සබඳතා වැඩි කර ගැනීමත්, පකිස්ථානය ඇමෙරිකාව සමග උපක්‍රමික සබඳතා ඇති කර ගැනීමත් ඔවුන් තවදුරටත් ඈත් වීමට හේතු විය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
2018 වසරේදී ඉරානයට අයත් චබහාර් වරායේ කොටසක පාලනය ඉන්දියාවට පැවරීමට ඉරානය ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කළ විට, පකිස්ථානය ඒ පිළිබඳව සැක පළ කළේ ය.
චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝවේ කූටප්‍රාප්තිය වූ ග්වාදාර් වරායේ මූලෝපායික වැදගත්කම අඩු කිරීම සඳහා ඉන්දියාව සහ ඉරානය කළ ප්‍රතිවාදී ක්‍රියාවක් බවට මෙම තත්ත්වය පකිස්ථානය අර්ථකථනය කළේ ය.
මෙවැනි ගැටලු පැවතිය ද, දෙරට කිසි විටෙක බරපතළ ආරවුලක නියැලී නැති වුව ද, එම රටවල් දෙක ම සිය ද්විපාර්ශවික සබඳතාවල පූර්ණ ශක්තිය ප්‍රයෝජනයට ගෙන නැත.
ඉස්ලාමාබාද්හි මූලෝපාය සැලසුම් අධ්‍යයන ආයතනයේ පර්යේෂිකාවක වන අර්හාමා සිද්දිකා පවසන පරිදි, 2021 වසරේ සිට දෙරට අතර සබඳතා ධනාත්මක මාවතකට පිවිස තිබේ.
කෙසේවෙතත්, පකිස්ථානය මෙම තත්ත්වය සුපරික්ෂාකාරී ලෙස නිරීක්ෂණය කරමින් සිටී.
"පකිස්ථානයට භෞමික අඛණ්ඩතාව පිළිබඳ සම්මුතියක් ඇති කර ගන්න බැහැ. ඒත් ඒ එක්ක ම වෙන පෙරමුණක් විවෘත කරන්න ඔවුන්ට අවශ්‍යතාවකුත් නැහැ. ඉන්දියාව සහ ඇෆ්ඝනිස්ථානය එක්ක තියෙන සබඳතා ව්‍යාකූල යි. තවත් අසල්වැසියෙකුගේ හොඳහිත පළුදු කර ගන්න පකිස්ථානයට අවශ්‍යතාවක් නැහැ," අර්හාමා බීබීසී පුවත් සේවයට පැවසීය.
ආරක්ෂක විශ්ලේෂකයෙකු වන ඉක්රම් සේඝල් බීබීසී පුවත් සේවයට පැවසුවේ, ඉරානය සමග ප්‍රමාණවත් සබඳතා පවත්වා ගැනීමට පකිස්ථානය සමත් වී ඇති බව ය.
විශේෂයෙන්, 2015 වසරේදී සෞදි අරාබිය ප්‍රමුඛ සුන්නි සභාගය යේමනයේ සිවිල් යුද්ධයට මැදිහත් වූ විට සහ පකිස්ථානය එහි කොටස්කරුවෙකු වීම ප්‍රතික්ෂේප කිරීම වැනි අවස්ථාවලදී පකිස්ථානය "සෞදි කඳවුරේ" කොටසක් ලෙස ක්‍රියා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
රට තුළ සුන්නි සහ ෂියා ජනගහනය අතර නව වැරදි බෙදීම් නිර්මාණය කළ විය බව හැඟෙන නිකායික කලාපීය ගැටුමකට සහභාගී වීමේ අනතුර පකිස්ථානය දුටුවේ ය.
කෙසේ වෙතත්, ඉරානය සහ සෞදි අරාබිය අතර මෑතකාලීනව පවතින සමගි සන්ධානය හේතුවෙන් එවැනි බලපෑම් ලිහිල් වී තිබේ.
කලාපීය ගැටුම් කිහිපයකට සම්බන්ධව සිටින අතරතුර තම අසල්වැසියා සමග තවත් ගැටුමක් ආරම්භ කළ නොහැකි බව ඉරානය වටහාගෙන ඇතැයි සේඝල් විශ්වාස කරයි. ඇමෙරිකානු සම්බාධක හේතුවෙන් ද එරට පීඩාවට පත්ව සිටී.
ඔහු යෝජනා කරන්නේ, පකිස්ථානය සටන්කාමී කණ්ඩායම්වලට එරෙහිව කටයුතු කළ යුතු අතර, සිය භූමිය වෙනත් රටවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිත කිරීමට ඉඩ නොදිය යුතු බව ය.
"ඉරානය ඒ වගේ විනාශකාරී ක්‍රියාවලින් වැළකී සිටිය යුතු යි. ඔවුන් සන්නිවේදනය සහ සම්බන්ධීකරණය කළ යුතු යි. එහෙම නැති වුණොත්, එවැනි ක්‍රියා නිසා ජනතාවට දරා ගත නොහැකි තවත් යුද්ධයක කලාපය ඇද දැමීමේ හැකියාව තියෙනවා," සේඝල් සඳහන් කළේ ය.













