රතු මුහුදේ හූති තර්ජන නිසා ගෝලීය වෙළෙඳාම නව 'අර්බුදයකට' මැදිවීමේ අවදානමක්

A Houthi helicopter and landing team on a ship

ඡායාරූප මූලාශ්‍රය, getty

ඡායාරූප ශීර්ෂ වැකිය, රතු මුහුදේ දී වාණිජ නැව්වලට එල්ල කළ ප්‍රහාර කිහිපයක වගකීම හූතිවරු භාරගෙන ඇත

යේමනයේ හූති කැරලිකරුවන් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් රතු මුහුද මඟහැර වෙනත් මාර්ග භාවිත කිරීමට නෞකාවලට සිදුවුවහොත්, රූපවාහිනී යන්ත්‍ර සහ ක්‍රීඩා පාවහන් වැනි එදිනෙදා භාවිතයට ගන්නා භාණ්ඩවල මිල දැඩි ලෙස ඉහළ යා හැකි බව විශේෂඥයින් බීබීසීයට පවසා තිබේ.

රතු මුහුදේ දකුණු ප්‍රවේශය ආසන්නයේ ඇති බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධියේ දී වාණිජ නෞකාවලට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පසු ප්‍රධාන පෙළේ නැව් සමාගම් ඒවායේ නෞකා බොහොමයක් මෙම මාර්ගයේ යාත්‍රා කරවීම නතර කර ඇත.

ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් ගත් කළ මෙම මාර්ගයට ඇත්තේ තීරණාත්මක වැදගත්කමකි: දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි ලොව බහාලුම්වලින් 30%ක් ද ඇතුළුව, ලොව වෙළෙඳාම් කටයුතුවලින් 12%ක් සිදුවන්නේ රතු මුහුදේ උතුරු කෙළවරේ පිහිටි සූවස් ඇළ හරහා ය.

ප්‍රහාර හේතුවෙන් දැනටමත් නෞකා මඟින් සිදු කෙරෙන භාණ්ඩ ප්‍රවාහන කටයුතුවල පිරිවැය ඉහළ ගොස් තිබේ. එක් සමුද්‍රීය ආරක්ෂක සමාගමක් බීබීසීයට පවසා ඇත්තේ, එම ප්‍රදේශය හරහා තවමත් යාත්‍රා කරන නෞකාවලින් සන්නද්ධ ආරක්ෂක සහ ආරක්ෂක උපදේශකයින් සඳහා ඇති ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ය.

ඇම්බ්‍රි නමැති එම සමාගම පැවසුවේ, මුහුදු ගමන් සඳහා වන රක්ෂණ වියදම් ද වේගයෙන් ඉහළ ගොස් ඇති බව ත්, ඒවා දැන් නැව්කඳ වටිනාකමෙන් (vessel's hull value) 0.5%ක් පමණ වන බව ත් ය. සති කිහිපයකට පෙර එය 0.015%ක් තරම් අඩු අගයක් ලෙස පැවතිණි.

මෙම වෙනස නිසා මුහුදු ගමනකට ඩොලර් දස දහස් ගණනක අමතර වියදම් එකතු විය හැකි ය.

බීබීසීය වෙත අදහස් දැක්වූ විශේෂඥයින් පැවසුවේ, රතු මුහුද හරහා ඇති මෙම මාර්ගය අතහැර දැමීමෙන් නෞකා මඟින් සිදු කෙරෙන භාණ්ඩ ප්‍රවාහන කටයුතු, රක්ෂණ සහ අනෙකුත් සමුද්‍රීය සැපයුම් සේවාවන්හි පිරිවැය පාරිභෝගිකයන් මත පැටවෙන අමතර වියදම් ද සමග 30%ක් දක්වා ඉහළ යනු ඇති බව ය.

ගෝලීය වෙළෙඳාමට ඇති අවදානම

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාත්මක කරන මෙහෙයුමට පළිගැනීමක් ලෙස ඊශ්‍රායලය වෙත යන නෞකාවලට ප්‍රහාර එල්ල කරන බව, ඉරානයේ සහාය ලබන යේමනයේ හූති කැරලිකරුවෝ පවසති.

කෙසේ වෙතත්, ඔවුන් ඒ වෙත ගමන් නොකළ නෞකාවලට ද පහර දී ඇති බව නෞකා හිමියෝ පවසති.

ස්වෝන් ඇට්ලන්ටික් (Swan Atlantic) නෞකාව සහ එම්එස්සී ක්ලාරා (MSC Clara) යන බහාලුම් නෞකාව ඇතුළු බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය අසල දී වාණිජ නෞකාවලට එල්ල වූ ප්‍රහාර දෙකක් සම්බන්ධයෙන් හූති කැරලිකරුවෝ සඳුදා වගකීම භාර ගත්හ.

ආරක්ෂක වාර්තාවල සඳහන් වන්නේ, පළමු නෞකාවේ ඩ්‍රෝන යානයක් ගැටී ඇති අතර දෙවන නෞකාව අසල පිපිරීමක් සිදුව ඇති බව ය.

British Petroleum (BP), හොංකොං පදනම් කරගත් OOCL, Maersk, Hapak Lloyd, MSC සහ CMA CGM ඇතුළු බොහෝ මහා පරිමාණ සමාගම් දැන් රතු මුහුද හරහා සූවස් ඇළ ඔස්සේ සිදු කෙරුණු ඔවුන්ගේ ක්‍රියාකාරකම් අත්හිටුවා ඇත. නැතහොත් තම නෞකා දකුණු අප්‍රිකාව සහ සුබ පැතුම් තුඩුව වටා ගමන් කරවීමට පියවර ගෙන ඇත.

නමුත් මෙය බොහෝ ගමන් සඳහා ගතවන කාලය විශාල ලෙස ඉහළ දමයි.

උදාහරණයක් ලෙස, ගල්ෆ් සහ ලන්ඩන් අතර සූවස් ඇල හරහා මුහුදු ගමන කිලෝමීටර 12,000ක් පමණ වන අතර ඊට දින 14ක් ගතවේ. නමුත් එය සුබ පැතුම් තුඩුව හරහා කිලෝමීටර 20,900ක් පමණ වන අතර ඊට දින 24ක් ගත වේ.

පැනමා ඇළත් අභියෝගයක් වෙයි

The Panama Canal with a low water level

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, පැනමා ඇළේ ජලය අඩුවීම නිසා ජාත්‍යන්තර වෙළඳාම ද අඩාල වී ඇත
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සූවස් ඇළ හරහා භාණ්ඩ ප්‍රවාහනයට තර්ජනයක් එල්ල වී ඇති මෙම කාලය නාවික කටයුතු සඳහා විශේෂයෙන් අවාසනාවන්ත වන්නේ, විවිධ හේතු මත එම මාර්ගය ඉහළ නෞකා තදබදයක් අත්විඳිමින් සිටි නිසා ය.

පැනමා ඇළ කලාපයේ උද්ගතව ඇති නියං තත්ත්වය හේතුවෙන් දිනකට එම මාර්ගය හරහා ගමන් කළ හැකි නෞකා ගණන අඩු වී ඇත.

පැනමා ඇළ හරහා යාමට සති ගණන් පෝලිම්වල රැඳී සිටීම වෙනුවට වාණිජ නැව් කණ්ඩායම් කිහිපයක් ඔවුන්ගේ භාණ්ඩ, විශේෂයෙන් ද්‍රව ස්වභාවික වායු (LNG) ආසියාවේ හෝ ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ ඇති ගමනාන්ත වෙත බෙදා හැරීමට සූවස් ඇළ භාවිත කිරීමට යොමු වී ඇතැ යි ඊජිප්තුවේ සමුද්‍රීය ප්‍රවාහනය සම්බන්ධයෙන් විශේෂඥයෙකු වන සාලේ හෙගසි බීබීසීය වෙත පැවසීය.

සූවස් ඇළ මාර්ගය ද මඟහැරිය යුතු නම්, ඉන් ගෝලීය වෙළෙඳාම සඳහා විශාල ගැටලුවක් මතුවන බව ඔහු තවදුරටත් පැවසීය.

2022 වසරේ දී ලොව විශාලතම LNG අපනයනකරුවා වූයේ කටාරය වන අතර, එහි අපනයන පරිමාව ඝන මීටර බිලියන 114.1ක් විය. "මෙම ප්‍රමාණයෙන් 50%ක් බටහිරට සූවස් ඇළ මාර්ගය හරහා යාමට ගත වන දින 10ක කාලය සුබ පැතුම් තුඩුව හරහා යනවා නම් මාසයක කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ, ශීත ඍතුව පැමිණීමත් සමග ම යුරෝපයේ පුරවැසියන් සඳහා දුෂ්කර කාලයක් උදාවනු ඇත," හෙගසි පැවසීය.

වෙනත් ගැටුම් ද මෙම මාර්ගය හරහා වෙළෙඳ කටයුතු ඉහළ යාමට හේතු වී තිබේ.

සමුද්‍රීය ප්‍රවාහන කටයුතු පිළිබඳ ඊජිප්තු ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදේශක අහමඩ් අල්-ෂාමි පැවසුවේ, යුක්රේනයේ යුද්ධය සූවස් ඇළ හරහා සිදුවන ඉන්ධන වෙළෙඳ කටයුතු දෙගුණ කර ඇති බව ය.

ජාත්‍යන්තර ප්‍රතිචාරය

A Houthi helicopter approaches a ship

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරවලට එල්ලවූ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් හූතිවරු මෙහෙයුම් ආරම්භ කළහ

"ගෝලීය වෙළෙඳාමේ බල නහරය" වෙත එල්ල වන මෙම තර්ජන නොසලකා හැරීමට ලෝක බලවතුන්ට නොහැකි බව අල්-ෂාමිගේ විශ්වාසය වන අතර, බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය එවැනි තත්ත්වයන් අත්විඳින පළමු අවස්ථාව මෙය නොවන බව ද සඳහන් කරයි.

ඇත්ත වශයෙන් ම, ප්‍රහාර මාලාවෙන් පසු රතු මුහුදේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා එක්සත් ජනපද රජය ජාත්‍යන්තර සමගි සන්ධානයක් ප්‍රකාශයට පත් කර ඇත.

පසුගිය සෙනසුරාදා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය නිවේදනය කළේ, ඔවුන් රතු මුහුදට ඉහළින් පියාසර කළ ඩ්‍රෝන යානා 15ක් බිම හෙළූ බව ය. එම යානා වාණිජ නැව් ඉලක්ක කර ගනිමින් යේමනයේ හූති කැරලිකරුවන් විසින් පාලනය කරනු ලබන ප්‍රදේශවල සිට දියත් කර තිබුණු බව ඔවුහු පැවසූහ.

කැරලිකරුවන් සන්නද්ධ කිරීම සහ පුහුණු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති ඉරානය විසින් හූති කැරලිකරුවන් "සම්පූර්ණයෙන් ම බලගන්වනු ලැබ ඇති" බව එක්සත් ජනපද හමුදාව පවසයි.

ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් කියා සිටියේ, වෙළෙඳ නෞකාවලට එල්ල වූ "සාහසික හූති ප්‍රහාර... නිදහස් වාණිජ්‍ය ප්‍රවාහයට තර්ජනයක් වන අතර එය අහිංසක නාවිකයින්ගේ ජීවිත අනතුරේ හෙළන බව ත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක්" බව ත් ය.

"රතු මුහුද යනු, නාවික කටයුතුවල නිදහස සඳහා අත්‍යවශ්‍ය තීරණාත්මක ජල මාර්ගයක් වන අතර ජාත්‍යන්තර වෙළෙඳාමට පහසුකම් සපයන ප්‍රධාන වාණිජ කොරිඩෝවක්," බව ද ඔහු තවදුරටත් පැවසීය.

'Operation Prosperity Guardian' ලෙස නම් කර ඇති මෙම මෙහෙයුමට එක්සත් රාජධානිය, බහරේනය, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, නෝර්වේ, සීෂෙල්ස් සහ ස්පාඤ්ඤය යන රටවල් ඇතුළත් වේ.

නෞකාවලට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් රතු මුහුදු කලාපය තුළ හමුදා යෙදවීමේ ජාත්‍යන්තර මැදිහත්වීමකට එරෙහිව හූති කැරලිකරුවන් මීට පෙර අනතුරු අඟවා ඇත.

සැපයුම් දාමයට කම්පනයක්

A ship with containers on it

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝකයේ බහාලුම් බොහොමයක් සූවස් ඇළ හරහා ගමන් කිරීමත් සමග අර්බුදය උත්සන්න වුවහොත් සැපයුම් දාමයේ ගැටළු ඇති වේයැ යි බියක් පවතියි

2021 වසරේ දී Ever Given නමැති බහාලුම් නෞකාව තාවකාලිකව ඇළ අවහිර කළ විට සිදුවූවාක් මෙන් ඇළ මාර්ගයට සිදුවන ඕනෑ ම බාධාවක් ලෝක සැපයුම් දාමයට බලපෑම් ඇති කළ හැකි බවට බියක් පවතින නමුත්, විශ්ලේෂකයින් පවසන්නේ එය බාධාව කොපමණ කාලයක් පවතිනවා ද යන්න මත රඳා පවතින බව ය.

"අර්බුදය සති ගණනාවක් පැවතුණොත් සූවස් ඇළට නොවැළැක්විය හැකි බලපෑම් එල්ල වේවි," හෙගසි බීබීසීය වෙත පැවසීය. "කෙසේ වෙතත්, එය දින කිහිපයකින් මැඩපැවැත් වුවහොත්, විශාල බලපෑමක් ඇති නොවේවි. මොක ද සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේදී, උත්සව සමය සහ වාර්ෂික නිවාඩුත් එක ගෝලීය නැව් ගමනාගමනය අඩු වන නිසා."

වොෂින්ටනයේ ආර්ථික විද්‍යාඥයෙකු වන සායිඩ් අල්-බර්සන්ජි පැවසුවේ, මෑත දින කිහිපයේ නෞකා මඟින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ පිරිවැය දැනටමත් 10%කින් පමණ ඉහළ ගොස් ඇති බව ය.

"හූති ප්‍රහාර දිගට ම පැවතුණොත්, ගාසා තීරයේ යුද්ධය දිගට ම පැවතුණොත් සහ අනෙකුත් ප්‍රවාහන සමාගම් රතු මුහුදෙන් ඉවත් වුණොත්, අපි කතා කරන්නේ [තව දුරටත්] මාස දෙක තුනක් ඇතුළත සිද්ධ වෙන 10 සිට 15% දක්වා වැඩි වීමක් ගැන."

සැපයුම් දාම මත ද පීඩනයක් ඇති කරමින්, භාණ්ඩ පැමිණීමට වැඩි කාලයක් ගත වීම හේතුවෙන් සමාගම්වලට ද බලපෑම් එල්ල වනු ඇත.

"නැව්ගත කිරීමේ චක්‍රයකට මාසයක් ගන්නවා වෙනුවට එය මාස තුනක කාලයක් පවතීවි," අල්-බර්සන්ජි වැඩිදුරටත් පැවසීය.