සූවස් ඇළ: නැව් සිරවීම ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද?

සූවස් ඇලේ සිරවූ නැව

ඡායාරූප මූලාශ්‍රය, EPA

සූවස් ඇළේ නැව් ගමනාගමනය අවුරමින් එහි සිරවී ඇති නැව යථා තත්ත්වයට ගෙන ඒමේ කටයුතු තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

ලොව වඩාත්ම කාර්ය බහුල වෙළෙඳ මාර්ගය අවුරමින් ඊජිප්තුවේ සූවස් ඇළ හරස් අතට සිරවී තිබෙන්නේ පාපන්දු පිටි හතරක දිගට සමාන වූ, බහාලුම් (container) ප්‍රවාහන යෝධ නෞකාවකි.

සූවස් ඇල ඔස්සේ යාත්‍රා කරමින් තිබියදී දැඩි සුළං පහරකට හසු වූ මීටර 400 ක් (අඩි 1,312) දිග නැවේ ගමන් මගින් මිදී ඇළේ දෙවුර අතර සිරවී ඇත.

මේ අනුව එම නැව ගලවා ගන්නා තෙක්, සූවස් ඇළට පිවිස ඇති තවත් නැව් ගණනාවකට සුවස් ඇළ පසුකර යෑමට නොහැකිවරැදී සිටීමට සිදු විය.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාවික කටයුතුවලට ද යම් බලපෑමක් එල්ල කරනු ඇති බව එම ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති.

ඔවුන්ගේ පුරෝකථනවලට අනුව භාණ්ඩ සැපයුම් දාම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇත.

සූවස් ඇල මාර්ගයේ මතුව ඇති තදබදය මගහැරවීම සඳහා එහි ඇති පැරණි ප්‍රවේශයක් යළි විවෘත කරමින් ඒ ඔස්සේ ඇතැම් නැව් යොමු කිරීමට ඊජිප්තුව පියවරගෙන තිබේ.

සූවස් ඇළේ මතුවී ඇති මෙම අවහිරය, ජාත්‍යන්තර තෙල් වෙළෙඳපොළේ මිල ඉහළ යාමට හේතු වී ඇත.

යුරෝපය හා ආසියාව යා කරන කෙටිම මාර්ගය වන්නේ රතුමුහුද හා මධ්‍යධරණී මුහුද සම්බන්ධ කෙරෙමින් ඊජිප්තුව ඔස්සේ ඇති සූවස් ඇළ මාර්ගය වේ. ලෝක වෙළෙඳාමේ 12% පමණ ප්‍රමාණයක් එම ඇළ හරහා ක්‍රියාත්මක කෙරේ.

එහි නැව් සිරවීමෙන් ඇතිවූ තත්ත්වය හමුවේ ලෝකයේ බටහිරට හා නැගෙනහිරට කෙරෙන නෞකා ප්‍රවාහනයට බාධා එල්ලවී ඇති බව කොළඹ නැව්ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ බීබීසී සිංහල සේවයට පැවසීය.

"එකෙන් සිද්ධවෙන්නේ සැපයුම් දාමයට වහා බාධා එල්ලවීමයි. පාරිභෝගික භාණ්ඩ, අමුද්‍රව්‍ය සැපයීම වගේ දේවල් අවහිර වෙන්න පුළුවන්. මේ බාධාව කොතරම් ඉක්මණින් ඉවත්වේද කියන්න බැහැ."

"අපේ අපනයනකරුවන්ගේ භාණ්ඩ ගැනුම්කරුවන්ට ලැබෙන එක වගේම රටට එන්න දේවල් තියෙනවනම් ඒවත් ප්‍රමාද වෙනවා. දින කීපයකින් අවහිරය ඉවත් කෙරුණත් නාවික කාලසටහන්වලට අවහිරතාවක් එල්ල වේවි. මුළු සැපයුම් දාමය ම අවහිර වෙනවා." යැයි ද රොහාන් මාසකෝරාළ පැවසීය.

මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ලංකා නැව් ඒජන්තවරුන්ගේ සංගමයේ සභාපති ඉක්රම් කටිලාන් ද පෙන්වා දුන්නේ මතුවී ඇති තත්ත්වය හමුවේ කොළඹට පැමිණෙන භාණ්ඩ ලැබීමේ මෙන්ම අපනයන කරන භාණ්ඩ අදාළ ගමනාන්තවලට ළඟාවීමේ ප්‍රමාද සිදුවිය විය හැකි බව ය.

තායිවානයේ 'එවර්ග්‍රීන් මරයින්' (Evergreen Marine) නැව් සමාගමට අයත් 'එම්වී එවර් ගිවන්' (MV Ever Given) නෞකාව බරින් ටොන් ලක්ෂ දෙකකි. 2018 වසරේ නිපදවා ඇති එය පැනමා රාජ්‍යයේ ලියාපදිංචි කර තිබේ.

නෙදර්ලන්තයේ, රොටර්ඩෑම් වරාය නගරය ගමනාන්තය කොටගෙන චීනයෙන් පිටත්වූ එම නැව සූවස් ඇළ ඔස්සේ යාත්‍රා කරමින් තිබුණේ මධ්‍යධරණී මුහුදට පිවිසීමේ අටියෙනි.

අඟහරුවාදා (මාර්තු 23) ඊජිප්තුවේ වේලාවෙන් උදෑසන 7.40 ට පමණ නැවේ මග වෙනස්ව ගොස් එය ජල මාර්ගය හරස් කරමින් සිරවූයේ එහි ඉවුරු දෙක සම්බන්ධ වන පරිදිය.

මීටට 400ක් දිග හා මීටර 59 ක පළලින් යුතු එම නැව, ඇළ මාර්ගයේ දෙපසට ඇදෙන අනෙකුත් නෞකාවල ගමන අවහිර කර ඇති අතර මේ හේතුවෙන් විශාල නැව් පේලියක් දෙපසින් දැකගත හැකිය.

නැව දැනටමත් අර්ධ වශයෙන් යළි පාකිරීමට හැකි වී ඇති බවට පළවූ වාර්තා ප්‍රතික්ෂේප කළ එම නැවේ කළමනාකාරීත්වය දරන බර්න්හාර්ඩ් ෂුල්ටී ෂිප් මැනේජ්මන්ට් සමාගම පැවසුවේ, "නැව සුරක්ෂිතව යළි පා කිරීම හා සූවස් ඇළේ ගමනාගමනය සුරක්ෂිතව යළි ආරම්භ කිරීම හදිසි ප්‍රමුඛතාව" වන බවය.

විශේෂඥයින් පවසන පරිදි මෙම ක්‍රියාදාමයට දින කිහිපයක් ගතවනු ඇත.

line
line

දේශීය මූලාශ්‍ර උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පැවසුවේ 'එවර් ගිවන්' නැවට උතුරින් අවම තරමින් නැව් 30 ක ද, දකුණින් නැව් තුනක ද ගමනාගමනය අවහිරවී ඇති බවය.

"සැකකෙරෙන පරිදි හදිසි දැඩි සුළඟකට හසුවී නැවේ බඳ වෙනස් මගකට යොමුවී හදිසියේ පතුලේ ගැටෙමින් පතුලේ සිරවී" ඇති බව එවර්ග්‍රීන් මරයින් සමාගම පැවසීය.

බි එස් එම් නැව් සමාගම පවසන්නේ සියලුම නැවියන් ආරක්ෂිතව සිටින අතර අනතුරින් කුසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවය.

නැව යළි පා කිරීම සඳහා ටග් යාත්‍රා අටක් යෙදී ඇති අතර නැව ඇළ ඉවුරේ ගැටී ඇති ස්ථානවල වැලි ඉවත් කිරීම සඳහා යන්ත්‍ර ද යොදවා ඇත.

වැලි ඉවත් කිරීම

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මෙවැනි සිදුවීම් දුර්ලබ වුවත් "ගෝලීය වෙළෙඳාමට පැතිරුණු විශාල බලපෑමක්" එල්ල විය හැකි බව බීබීසී සමග අදහස් පළ කළ එක්සත් ජනපදයේ උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ සිටින සමුද්‍රීය ඉතිහාසඥයකු වන ආචාර්ය සැල් මර්කොග්ලියානෝ පැවසීය.

මතුවූ අවහිර සහ බොරතෙල් නැව්ගත කිරීම් අතර ඇති සබඳතාවක් ඇතැයි බිය හේතුවෙන්බදාදා ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල්මිල 4% කින් ඉහළ ගිය බවට රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

සූවස් ඇළේ අවහිරතාව හේතුවෙන්, බොර තෙල් හා පිරිපහදු නිපැයුම් රැගත් තෙල් ප්‍රවාහන නෞකා (oil tankers) 20 ට වැඩි ප්‍රමාණයකට බලපෑම් එල්ලවී ඇති බව කෙප්ලර් එනර්ජි ඉන්ටෙලිජන්ස් සර්විස් (Kpler energy intelligence service) ආයතනය පැවසීය.

එවර් ගිවන් නැව

රොයිටර් පුවත් සේවය පවසන පරිදි මෙම නෞකාව, අඩි 20 ක බහාලුම් 20,000 ක ධාරිතාවකින් යුක්තය.

සූවස් ඇළ අධිකාරිය ට අනුව 2020 වසර තුළදී නැව් 19,000 ක් ඇළ මාර්ගය හරහා ගොස් තිබේ. ඒ අනුව එහි දෛනික සාමාන්‍යය දිනකට නැව් 51.5 කි.

2017 වසරේදී ජපානයට අයත් බහාලුම් ප්‍රවාහන නෞකාවක් ඇළ මාර්ගයේ ඉවරට ගොඩ වූයේ එහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙනි. ඊජිප්තු බලධාරීන් ඒ වෙත ටග් යාත්‍රා යැවූ අතර පැය කිහිපයක් තුළ නැව යළි පා කළ හැකි විය.

සූවස් ඇළ

සූවස් ඇළ, මාධ්‍යධරණී මුහුද හා රතු මුහුද අතර ඇති බිම්කඩක් වන ඊජිප්තුවේ සූවස් ඕඩය හරහා වැටී ඇත. කිලෝමීටර 193 ක් දිගින් යුතු එම ඇළ ස්වභාවික විල් තුනක් සම්බන්ධ කරයි.

ඊජිප්තු ආණ්ඩුව විසින් සූවස් ඇළේ ප්‍රධාන ජල මාර්ගයගැඹුරු කිරීමේ විශාල ව්‍යාපෘතියක් 2015 වසරේදී දියත් කරනු ලැබිණි. ඒ අනුව ප්‍රධාන ජල මාර්ගයට සමාන්තරව දිවෙන කිලෝමීටර 35ක (සැතපුම් 22) දිගින් යුතු ඇළ මාර්ගයක් තැනීය.