ඊශ්‍රායලයේ හා ගාසා තීරයේ සිදුවන්නේ කුමක් ද? එය මේ මොහොතේ සිදුවන්නේ ඇයි?

Hamas's military wing, the Izzedine al-Qassam Brigades, destroy an Israeli tank in Gaza City, Gaza on 7 October 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හමාස්හි හමුදා අංශය වන ඉසදීන් අල්-කසාම් බලකායන් 2023 ඔක්තෝබර් හත්වැනි දා ගාසා නගරයේ දී ඊශ්‍රායල යුද ටැංකියක් විනාශකර දැමීය

පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස්, ඔක්තෝබර් හත්වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ පෙර නොදුටුවිරූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 1,400ක් මියගිය අතර, 220කට වැඩි පිරිසක් හමාස්හි ප්‍රාණ ඇපකරුවන්බවට පත්විය.

ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර ලෙස එල්ලකළ ගුවන් ප්‍රහාරවලින් ගාසා ප්‍රදේශයේ 4,600කට වැඩි පිරිසක් මියගොස් ඇතැ යි ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අතර, ගොඩබිම් ප්‍රහාරයක් සිදුවනු ඇතැ යි ද අපේක්ෂිත යි.

ගාසා තීරයේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද?

ගාසා තීරය තුළ "මානුෂීය ආධාර සඳහා දැඩි අවශ්‍යතාවක්" පවතිනබවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

ගෙවුණු සති අන්තයේ දී, ආහාර, ජලය හා වෛද්‍ය සැපයුම් රැගත් ලොරි අවම වශයෙන් 34කට ඊජිප්තුවේ සිට රෆා දේශසීමා මාරුව හරහා ගාසා වෙත ඇතුළුවන්නට අවසර ලැබුණි.

කෙසේ නමුත්, එමඟින් සපයනු ලැබුවේ සාමාන්‍යයෙන් දිනකට සැපයුම් ලොරි 400ක් 500ක් ලබන ගාසාහි ජනයාගේ අවශ්‍යතාවන්ගෙන් සුළු කොටසක් පමණි.

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානය වන UNRWA, ගාසා වෙත පිරිසිදු ජලය සඳහා වන ප්‍රවේශය දැඩි සේ සීමිත අතර, "විජලනය හා ජලව්‍යාප්ත රෝග පිළිබඳ කණස්සල්ල ඉහළ" වග ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතීන්ට අනුව, ගාසාහි මිලියන 1.4ක ජනයා අවතැන්ව ඇතැ යි ඇස්තමේන්තුකර ඇත.

ඔවුන්ගේ ආරක්ෂාව පතා ඉවත්වන්නැ යි ඊශ්‍රායලය විසින් උතුරුදිග ගාසා වැසියන්ට පවසන ලදුව, ලක්ෂ ගණනක් දෙනා ගාසාවේ උතුරෙහි සිට දකුණට සංක්‍රමණයවූහ.

Evacuation Map - Gaza

සාමාන්‍යයෙන් 400,000ක් පමණ දෙනා වෙසෙන දකුණුදිග නගරයක් වන ඛාන් යූනිස්හි ජනගහණය දැන් මිලියනයකට වඩා වැඩිවී තිබේ. බොහෝ පවුල් හවුලේ නිවාස පරිහරණය හෝ කූඩාරම්වල නිදාගැනීම සිදුකරයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය දකුණුදිග ගාසාහි ද හමාස් හමුදා ඉලක්ක ලෙස එය හඳුන්වන ස්ථානයන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ලකරමින් සිටියි.

මුල දී උතුරු ගාසාවලින් දකුණු ගාසා වෙත පළාගිය ඇතැමෙක්, දකුණෙහි තත්ත්වය කෙතරම් නරක ද යත් දැන් යළි උතුරට පැමිණෙමින් සිටිනබව එක්සත් ජාතීන් පවසයි.

උතුරුදිග ගාසාහි රෝහල්වල සිටින රෝගීන් ඉවත්කිරීම "කිසිසේත් සිදුනොකළ හැකි අන්දමේ" කටයුත්තක්බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු අඟවා ඇත.

ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කරනු ඇති ද?

ඊශ්‍රායලයේ ප්‍රකාශිත ඉලක්කය වන්නේ හමාස් විනාශ කිරීම ය.

ගාසාහි මෙහෙයුමෙහි මීළඟ අදියරට (එය ගොඩබිම් ප්‍රහාරයක් වනු ඇතැ යි අපේක්ෂිත ය) "මාසයක්, දෙකක් හෝ තුනක් ගතවෙයි, ඒත් අන්තිමේ දී හමාස් එකක් ඉතිරිවෙන්නේ නැහැ,"යි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගලාන්ට් ඉරිදා (ඔක්. 22) ප්‍රකාශ කළේ ය.

හමාස් විසින් අල්ලා ගැනුණු ප්‍රාණ ඇපකරුවන් යළි ගෙන ඒම ද ඊශ්‍රායලයේ අවශ්‍යතාවකි.

ඊශ්‍රායලය යුද ටැංකි හා කාලතුවක්කු ද සමග දස දහස් ගණනක් සෙබළුන් ගාසා සීමා වැට අසලට එක්රැස්කර ඇත. එරට 160,000ක නිත්‍ය සේනාවට එකතුවීම සඳහා 300,000ක් පමණ සංචිත සෙබළුන් සක්‍රීයකොට ඇත.

හමාස් සංවිධානයට, එහි හමුදා අංශය වන ඉසදීන් අල්-කසාම් බලකා සෙබළුන් 25,000ක් පමණ සිටිතැ යි විශ්වාස කෙරෙයි.

ඊශ්‍රායල හමුදාව ගාසාව තුළ ඉලක්ක සියගණනකට බෝම්බ හෙළමින්, ආක්‍රමණයකට සූදානම්වෙමින් සිටියි.

එහි එක් ප්‍රධාන ඉලක්කයක්වන්නේ හමාස්හි භූගත උමං ජාලය යි. එය තුළ නායකයින් සඳහා වන බංකර හා හමාස් මෙහෙයුම් මූලස්ථානය පිහිටා තිබේ.

Hamas tunnels
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ උමං කි.මී. 500ක් දුරට විහිදෙනබවට හමාස් මින් පෙර ප්‍රකාශකර ඇත. ඒවා බොහොමයක පිවිසුම්, නිවාස, මස්ජිද, පාසැල් හා වෙනත් පොදු ගොඩනැගිලි තුළ රහසිගතව පිහිටා තිබේ.

ඊශ්‍රායල භට කණ්ඩයන් අත්‍යවශ්‍යම නම් මිස උමං තුළට පිවිසීමෙන් වැළකෙනු ඇති අතර, ඒ වෙනුවට පුපුරන ද්‍රව්‍ය යොදා ඒවා විනාශ කරනු ඇත.

ඊශ්‍රායල භටයින්ට අතිවිශාල අභියෝගයක් වනු ඇත්තේ, අතිජනාකීර්ණ නාගරික ප්‍රදේශවල සීමා සහිත ඉඩකඩෙහි සටන් වැදීම යි. හමාස් විසින්, දොරකඩ වැනි පිවිසුම් ස්ථානවල හා පටුමං දිගට උගුල් හා අනුප්‍රතිපාදිත පුපුරන ද්‍රව්‍ය අටවනු ඇතැ යි විශ්වාස කෙරෙයි.

සඳුදා (ඔක්. 23), අතුරුදන්වූ ඊශ්‍රායල ජාතිකයින්ගේ සිරුරු සෙවීමේ හා ගොඩබිම් ප්‍රහාරයකට මඟ සකස් කිරීමේ අරමුණින් ගාසා වෙත දියත් කෙරුණු වැටලීමක දී එක් ඊශ්‍රායල භටයෙකු මියගොස් තවත් කීපදෙනෙකු තුවාල ලැබූබව ඊශ්‍රායල හමුදාව පැවසීය.

ඉරිදා (ඔක්. 22) එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය හා ඉතාලියේ නායකයින් "ඔවුන් ඊශ්‍රායලය වෙත සහාය දක්වනබවත්, ත්‍රස්තවාදයට එරෙහිව ඊශ්‍රායලයට ආරක්ෂාවීමට අයිතියක් ඇතිබවත් පුනර්වාචනය කළ" අතර, "සිවිල් වැසියන්ගේ ආරක්ෂාව ඇතුළුව, ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුගත විය යුතුබවත්" ඉල්ලා සිටියේ ය.

ඊශ්‍රායලය අල්ලාගත් බටහිර ඉවුරේ ද, ලෙබනනයට මායිම්වන ඊශ්‍රායලයේ උතුරු දේශසීමාවේ ද ප්‍රචණ්ඩත්වය පැන නැගී ඇත. මෙහි ප්‍රහාරයන්ට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල හමුදාව හිස්බුල්ලා සංවිධානයේ ඉලක්කවලට පහරදෙමින් සිටිනබව එම හමුදාව පැවසීය.

People queuing in Gaza
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරුදිග ගාසා තීරයෙන් ඉවත්වන ලෙස ඊශ්‍රායලය නියෝග කිරීමෙන් පසු දකුණුදිග ඛාන් යූනිස් නගරයට ගමන් කළ ගාසා වැසියෝ පාන් සලාකය ලබාගැනීම සඳහා පෝලිම් ගැසී සිටිති

හමාස් යනු කුමක් ද? එයට අවශ්‍යව ඇත්තේ කුමක් ද?

හමාස් යනු 2007 වසරේ සිට ගාසා තීරය පාලනය කළ පලස්තීන සටන්කාමී කණ්ඩායමකි. ඊශ්‍රායලය විනාශ කිරීමටත්, ඒ වෙනුවට ඉස්ලාමික රාජ්‍යයක් පිහිටුවීමටත් මෙම කණ්ඩායම සපථකර ඇත.

හමාස් සංවිධානය බලය ලබාගත් පසු ඊශ්‍රායලය සමග යුද්ධ කීපයක් සටන්කර ඇත. එය ඊශ්‍රායලය තුළට දහස් ගණනක් රොකට් එල්ලකර - එසේත් නැත්නම් වෙනත් සටන්කාමී සංවිධානවලට ඒ සඳහා අවසර දී - ඇති අතර, වෙනත් මාරාන්තික ප්‍රහාරයන් ද එල්ලකර තිබේ.

ඊට ප්‍රතිචාර ලෙස, ඊශ්‍රායලය දිගින් දිගටම හමාස්වෙත ගුවන් ප්‍රහාර එල්ලකර ඇත. 2008 දී සහ 2014 දී එය ගාසා තුළට හමුදාවන් ද යැවීය.

ඊශ්‍රායලය, ආරක්ෂක හේතූන්යැ යි විස්තර කරනා හේතූන් මත 2007 සිට ඊජිප්තුව හා එක්ව ගාසා තීරය අවහිරකර ඇත.

හමාස් - ඇතැම් අවස්ථාවන්හි එහි හමුදා අංශය වන ඉසදීන් අල්-කසාම් බලකායන් - ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ඊශ්‍රායලය, එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය හා අනෙකුත් ලෝක බලවතුන් විසින් නම්කර ඇත.

ඉරානය මෙම කණ්ඩායමට සහාය දෙමින්, අරමුදල්, ආයුධ සහ පුහුණුව ලබාදෙයි.

හමාස් එහි නවතම ප්‍රහාරය දියත් කළේ ඇයි?

ඔක්තෝබර් හත්වැනිදා පුද්ගලයින් 1,400කට අධික පිරිසක් මරණයට පත්කරමින් හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රජාවන් වෙත එල්ලකළ ප්‍රහාරය, ඊශ්‍රායලය පරම්පරාවකට අධික කාලයක් තුළ දී මුහුණපෑ, දේශසීමාව හරහා එල්ල කෙරුණු දරුණුතම ප්‍රහාරයබව බීබීසීහි ජාත්‍යන්තර සංස්කාරක ජෙරමි බවන් ප්‍රකාශ කළේ ය.

සටන්කාමීන් ඊශ්‍රායලය හා ගාසා තීරය වෙන් කරන වැට කීප පොළකින් බිඳ තිබුණි.

කෆර් අසා නම් කිබුට්ස් (ඊශ්‍රායල ජනාවාසය) ප්‍රජාවෙහි සිදුකළ සමූල ඝාතනයක් පිළිබඳ තොරතුරු වාර්තාවිය.

ඉන් වැසියන් 100ක් පමණ මරණයට පත්වූබවත්, තවත් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගැනුණුබවත් ජීවිත බේරාගත්තවුන් ඇස්තමේන්තු කරයි. මියගිය ඇතැමුන්ගේ හිස් ගසා දමා තිබුණේයැ යි ඊශ්‍රායල සෙබළුන් ජෙරමි බවන්ට පවසා තිබුණි.

Homes attacked in Kfar Aza kibbutz

ඡායාරූප මූලාශ්‍රය, Oren Rosenfeld

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාවාසයේ නිවාස මුළුමනින්ම විනාශවී තිබේ

ඊශ්‍රායලයේ ආරක්ෂක සේවාවන් සතු සම්පත් සළකා බැලූකල, හමාස් ප්‍රහාරයක් අපේක්ෂා නොකිරීම විස්මයට කරුණකැ යි, බීබීසීහි ආරක්ෂක වාර්තාකාර ෆ්‍රෑන්ක් ගාඩ්නර් පැවසීය.

මෙම ප්‍රහාරය සිදුවූයේ ඊශ්‍රායල-පලස්තීන ආතතීන් උත්සන්නව පැවැති මොහොතක ය.

ඊශ්‍රායලය අත්පත්කර ගෙන පවතින බටහිර ඉවුරේ (වෙස්ට් බෑන්ක්) වෙසෙන පලස්තීන ජාතිකයින්ට මෙවසර වාර්තාගත ලෙස ඉතාම මාරක වසරවූ අතර, ඊශ්‍රායලයට පහරදීමට හමාස් පෙළඹුනේ මේ නිසා ද විය හැකි ය.

එසේම, පලස්තීන ජනතාව අතර එහි ජනප්‍රියත්වය වර්ධනයකර ගැනීම සඳහා සැළකිය යුතු අන්දමේ ප්‍රචාරක ජයග්‍රහණයක් ලබන්නට ද හමාස් තැත් කරන්නට ඇත.

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් අල්ලාගැනීම සැලසුම් කෙරෙන්නට ඇත්තේ, ඊශ්‍රායලයේ බන්ධනාගාරවල සිටින ඇස්තමේන්තුගත පලස්තීන ජාතිකයින් 4,500න් ඇතැමෙකු නිදහස් කිරීම සඳහා ඊශ්‍රායලයට බලපෑම් කිරීමටැ යි සැළකෙයි.

ප්‍රහාරය සැලසුම් කරන්නට ඇත්තේ ඉරානයෙන්යැ යි ද මතයක් පවතින නමුත්, ඉරානයේ උත්තරීතර නායකයා ඔහුගේ රටට මෙහි සම්බන්ධයක් ඇතිබව ප්‍රතික්ෂේපකර තිබේ.

ගාසා තීරය යනු කුමක් ද? එහි වෙසෙන්නේ කවුරුන් ද?

ගාසා තීරය යනු ඊශ්‍රායලය, ඊජිප්තුව සහ මධ්‍යධරණී මුහුද අතර පිහිටි කිලෝමීටර් 41ක් දිගු, කිලෝමීටර් 10ක් පළල භූමි ප්‍රදේශයකි.

Israel

මුල දී ඊජිප්තුව විසින් අත්පත්කර ගෙන සිටි ගාසා තීරය, 1967 සයදින යුද්ධය අතරතුරේ දී ඊශ්‍රායලය විසින් අත්පත්කර ගැනුණි.

2005 දී ඊශ්‍රායලය එහි හමුදාවන් සහ 7,000ක පමණ ජනාවාසකරුවන් එම භූමියෙන් ඉවත්කර ගත්තේ ය.

මිලියන 2.23ක පමණ ජනතාවකට නිවහන වන එය ලෝකයේ ඉහළම ජනගහණ ඝනත්වයෙන් යුත් ප්‍රදේශයකි.

එක්සත් ජාතීන්ට අනුව, ගාසා තීරයේ ජනගහණයෙන් 75%කට වැඩි පිරිසක් (මිලියන 1.7ක පමණ ජනකායක්) සරණාගතයින් හෝ සරණාගතයින්ගෙන් පැවැත එන්නන් ලෙස ලියාපදිංචිකර ඇත. ඔවුන්ගෙන් 500,000කට වැඩි පිරිසක් වෙසෙන්නේ තීරය පුරා තැන තැන පිහිටි ජනාකීර්ණ කඳවුරු අටක ය.

ඊශ්‍රායලය ගාසාහි ගුවන් කලාපය හා වෙරළ තීරය පාලනය කරන අතර, එහි භාණ්ඩවල ප්‍රවාහනය හා ජනයාගේ සංචරණය දැඩි සේ පාලනයකර තිබේ.

ඊශ්‍රායලය දැන් එරෙස් හා කාරෙම් ශලෝම්හි දේශසීමා මාරු වසා දමා ඇත. හමාස් සියලු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් ඒවා යළි විවෘත නොකරනබව ඊශ්‍රායලය පවසයි.

පලස්තීනය යනු කුමක් ද?

බටහිර ඉවුර සහ ගාසාව ද, නැගෙනහිර ජෙරුසෙලම හා ඊශ්‍රායලය ද, රෝමානු යුගයේ සිට 20 වන සියවසේ මැදභාගය දක්වාම 'පලස්තීනය' යනුවෙන් හැඳින්වුණු භූමියේ කොටසක්විය.

මේවා බයිබලය තුළ යුදෙව් රාජධානි ලෙස හැඳින්වූ භූමි ප්‍රදේශයන් ද වන අතර, බොහෝ යුදෙව්වන් ඒවා ඔවුන්ගේ පෞරාණික නිජබිම් ලෙස සළකයි.

1948 දී ඊශ්‍රායලය රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කෙරුණු නමුත්, ඊශ්‍රායලයේ පැවැත්මට ඇති අයිතීන් පිළිනොගන්නා පාර්ශවයන් විසින් මෙම භූමිය තවමත් පලස්තීනය ලෙස හැඳින්වෙයි.

පලස්තීන වැසියන් ද බටහිර ඉවුර, ගාසා සහ නැගෙනහිර ජෙරුසෙලම හඳුන්වන පොදු නාමයක් ලෙස 'පලස්තීනය' භාවිතා කරයි.

පලස්තීන ජනපතිවරයා වන්නේ අබු මාසින් ලෙස ද හැඳින්වෙන මහමූද් අබ්බාස් ය. ඔහු ඊශ්‍රායලය විසින් අත්පත්කර ගෙන ඇති බටහිර ඉවුරේ වෙසෙයි.

ඔහු 2005 වසරේ සිට පලස්තීන අධිකාරියේ (PA) නායකයාව සිටි අතර, හමාස්හි දැඩි ප්‍රතිවාදියෙකු වන ෆාටා දේශපාලන පක්ෂය නියෝජනය කරයි.

ඊශ්‍රායල-ගාසා යුද්ධය පිළිබඳ වැඩි විස්තර