ගාසා වෙත අවතීර්ණ වීමට පෙර ඊශ්‍රායලය සලකා බලමින් සිටින්නේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ෆ්රෑනක් ගාඩ්නර්
- Role, බීබීසී ආරක්ෂක වාර්තාකරු
ඔක්.7 වැනිදා දකුණු ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව, හමාස් සංවිධානය හමුදා බළකායක් ලෙස මුලිනුපුටා දැමීමේ අරමුණින්, ගාසා තීරයට ඇතුළු වීමට, රැස්ව සිටින තම හමුදා සූදානම් බව ඊශ්‍රායලය දැන් දින ගණනාවක් තිස්සේ සංඥා කර තිබේ.
IDF (ඊශ්‍රායල් ආරක්ෂක හමුදා) වෙත 300,000කට අධික සංචිත භටයින් ගණනක් කැඳවා තිබේ. ගාසා දේශසීමාවේ ඊශ්‍රායලයට අයත් ප්‍රදේශයේ ඇති ගොවිපළවල්, කෙත්වතු සහ කිබුට්සිම් [එනම් ජනාවාස වර්ගය] මර්කාවා යුද්ධ ටැංකි, ස්වයංක්‍රීය කාලතුවක්කු පද්ධති සහ පූර්ණ යුද ඇඳුම්වලින් සැරසුණු දහස් ගණනක් වන සන්නද්ධ පාබල හමුදාවන්ගෙන් පිරී ඇත.
ඊශ්‍රායල ගුවන් හමුදාව සහ නාවික හමුදාව හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයින් සැඟවී ඇති බවට සැක කෙරෙන සෑම ස්ථානයකට ම සහ ගාසා තීරයේ ආයුධ ගබඩාවලට පහර දෙමින් සිටින්නේ, සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් සහ හමාස් අණ දෙන නිලධාරීන් සුළු සංඛ්‍යාවක් මරණයට පත් කරමින් සහ තුවාල සිදු කරමිනි.
දෙපාර්ශ්වය විසින් ම දෝෂාරෝපණය කරමින් ප්‍රතික්ෂේප කරන ලද, මධ්‍යම ගාසාවේ රෝහලක අඟහරුවාදා සිදුවූ පිපිරීමෙන් ඇති වූ දැවැන්ත ජීවිත හානිය, කලාපය තුළ ආතතීන් තව දුරටත් ඔඩු දිවීමට හේතුවක් පමණක් විය.
එසේ නම්, ඊශ්‍රායලය තමන් පූර්ව නිමිති දැක්වූ පරිදි ගාසා තීරය ආක්‍රමණය කිරීම ආරම්භ නොකළේ මන්ද?
ඊට සාධක කිහිපයක් සම්බන්ධ වේ.
බයිඩන් සාධකය
කඩිමුඩියේ සැලසුම් කළ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඊශ්‍රායල සංචාරය, නරක අතට හැරෙමින් පවතින තත්ත්වය පිළිබඳව ධවල මන්දිරය කෙතරම් කනස්සල්ලට පත්ව සිටී ද යන්න පෙන්නුම් කරයි. වොෂින්ටනය කනස්සල්ලට පත්වන ප්‍රධාන ගැටලු දෙකක් තිබේ: එනම්, උග්‍ර අතට හැරෙමින් පවතින මානුෂීය අර්බුදය සහ මෙම ගැටුම මැදපෙරදිග පුරා පැතිර යාමට ඇති අවදානම ය.
2005 වසරේදී ගාසා තීරයෙන් ඉවත් වූ ඊශ්‍රායලය, ඕනෑ ම ආකාරයකින් නැවත එම භූමිය අත්පත් කර ගැනීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ වන විටත් සිය විරුද්ධත්වය පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. එය, "ලොකු වරදක්" වනු ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
නිල වශයෙන් ඔහු ඊශ්‍රායලයට පැමිණියේ ඇමෙරිකාවේ සමීපතම මැදපෙරදිග මිතුරාට උපායමාර්ගිකව සහය දැක්වීමට සහ ගාසා තීරය ගැන ඊශ්‍රායලයට ඇති සැලසුම් පිළිබඳව ගැන දැන ගැනීමට ය.
ගාසාහි අල්-අහ්ලි අරාබි රෝහලේ මාරාන්තික පිපිරීමට යටපත් වී ගිය සංචාරයේදී, එම පිපිරීම, ඉලක්කය ගිලිහී ගිය පලස්තීන රොකට් ප්‍රහාරයකින් සිදුවූ බවට ඊශ්‍රායලය සිදු කළ ප්‍රකාශයට ජනාධිපති බයිඩන් ප්‍රසිද්ධියේ සහය දැක්වීය. සිය ගණනක් බවට විශ්වාස කරන මිය ගිය ගණන මෙන් ම පිපිරීමට හේතුව ද ස්වාධීනව තහවුරු කර ගැනීමට බීබීසීය කටයුතු කරමින් සිටියි.
ඉරාන සාධකය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයට පිළිතුරු නොදී සිටිය නොහැකි බවට ඉරානය පසුගිය දින කිහිපය තුළ දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කළේ ය. ප්‍රයෝගිකව ගත් කල ඉන් අදහස් වන්නේ කුමක් ද?
ඉරානය අරමුදල් සපයමින්, පුහුණු කරමින්, ආයුධ සපයමින් යම්තාක් දුරකට මැද පෙරදිග ෂියා සටන්කාමී කණ්ඩායම් කිහිපයක් පාලනය කරයි. ඒවා අතරින් වඩා ත් ප්‍රබල වන්නේ, ඊශ්‍රායලයේ උතුරු දේශසීමාවට එපිටින් පිහිටි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය යි.
2006 වසරේදී දෙරට අතර විනාශකාරී සහ පැහැදිලි අවසානයක් නොතිබුණු යුද්ධයක් ඇති වූ අතර, එහිදී ඊශ්‍රායලයේ නවීන යුද්ධ ටැංකි බිම්බෝම්බ සහ හොඳින් සැලසුම් කළ සැඟවී සිට එල්ල කරන ලද ප්‍රහාරවලින් විනාශ විය. එතැන් සිට, හිස්බුල්ලා සංවිධානය ඉරාන සහය ඇතිව නැවත සන්නද්ධ වී ඇති අතර දැන් ඔවුන් සතුව රොකට් සහ මිසයිල 150,000කට ආසන්න ගණනක් ඇතැයි සැලකේ. ඒවායින් බොහොමයකට දිගු දුර සහ නිවැරදිව ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි ය.
ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කළහොත්, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ උතුරු දේශසීමාවේ නව ගැටුමක් ආරම්භ කළ හැකි අතර ඉන් ඊශ්‍රායලයට පැති දෙකක් ඔස්සේ සටන් කිරීමට සිදුවීමේ වක්‍ර අවදානමක් මතු වේ.
කෙසේ වෙතත්, විශේෂයෙන් ම, එක්සත් ජනපද ගුවන්යානා ප්‍රවාහක නෞකා දෙකක් නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ ඊශ්‍රායලයට සහය වීමට ඒ ආසන්නයට පැමිණ ඇති මොහොතක, හිස්බුල්ලා සංවිධානයට මෙම අවස්ථාවේ යුද්ධයකට අවතීර්ණ වීමේ අවශ්‍යතාවක් ඇතැයි නිශ්චිත වශයෙන් පැවසිය නොහැක.
හිස්බුල්ලා සංවිධානයේ ඕනෑ ම ප්‍රහාරයක්, එක්සත් ජනපද ගුවන්යානා ප්‍රවාහක නෞකාවලින් විනාශකාරී ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමකට තුඩු දිය හැකි බවට මෙය ඊශ්‍රායලයට යම් සහතිකයක් ලබා දෙනු ඇත. 2006 වසරේදී හිස්බුල්ලා සංවිධානය සමග පැවති ඊශ්‍රායලයේ අවසන් යුද්ධය ආරම්භයේදී සටන්කාමීන් ඔවුන්ගේ නවීන නෞකා නාශක මිසයිලයකින් වෙරළට ඔබ්බෙන් වූ ඊශ්‍රායල යුද්ධ නෞකාවකට පහර දීමට සමත් වූ බව මතක තබා ගැනීම වටී.
මානුෂීය සාධකය
ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමේදී ඊශ්‍රායල රජයට මානුෂීය අර්බුදයක් පිළිබඳව ඇති දැනීම ලෝකයේ සෙසු රටවලට වඩා පසුගාමී බව පෙනෙයි.
නිර්දය ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස පලස්තීන සිවිල් වැසියන් මරණයට පත් වීම ඉහළ යාම හමුවේ, ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානයේ ම්ලේච්ඡ හා ලේ පිපාසිත ක්‍රියාවලින් පසු ඊශ්‍රායලය කෙරෙහි ඇති වූ ගෝලීය අනුකම්පාව, ගුවන් ප්‍රහාර නැවැත්වීමට සහ සාමාන්‍ය ගාසා වැසියන් ආරක්ෂා කරන්නැයි නැගී එන ඉල්ලීම් බවට හැරී ඇත.
ගොඩබිම ඔස්සේ ඉහළ මිලිටරි ශක්තියකින් ඊශ්‍රායලය ගාසා තීරයට ඇතුළු වුවහොත් සහ ඇතුළු වූ විට සිදුවන්නේ මරණ ගණන තවදුරටත් ඉහළ යාම පමණි.
ඊශ්‍රායල භටයින්ට ද, සැඟව සිට එල්ල වන ප්‍රහාර, ස්නයිපර් ප්‍රහාර සහ පුපුරණ ද්‍රව්‍ය යෙදවූ උගුල්වලට හසු වී මිය යනු ඇත. බොහෝ සටන් බිම් මට්ටමේ සිට පහළින් එනම් සැතපුම් ගණනක් පුරා විහිදී ඇති උමං මාර්ගවල පවා සිදු විය හැකි ය.
එහෙත්, බොහෝ විට, නැවත වරක්, ඉන් හානියට පත්වන පිරිසේ පීඩනය සිවිල් වැසියන්ගේ කර මතට වැටෙණු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බුද්ධි අංශවල බරපතළ බිඳ වැටීමක්
ඊශ්‍රායල බුද්ධිවලට ගත වුණු මාසය එතරම් සතුටුදායක නොවීය.
හමාස් සංවිධානයේ ආරම්භක මාරාන්තික ප්‍රහාරය හඳුනා ගැනීමට අපොහොසත් වීමේ චෝදනාව ඊශ්‍රායල් අභ්‍යන්තර බුද්ධි ඒජන්සිය වන ෂින් බෙට් වෙත එල්ල වී ඇත. ඔවුන්ට හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානවල අණ දෙන නිලධාරීන්ගේ ක්‍රියා ගැන සොයා බලන ඔත්තුකරුවන් සහ තොරතුරු සපයන්නන්ගෙන් සැදුම්ලත් ජාලයක් ගාසාහි තිබිය යුතුව තිබිණි.
එහෙත් එම බිහිසුණු සෙනසුරාදා උදෑසන දකුණු ඊශ්‍රායලයේ සිදු වූ දෙය 1973 යොම් කිපූර් යුද්ධයෙන් පසු එරට ඉතිහාසයේ දරුණුතම බුද්ධි අංශවල බිඳ වැටීම් අතරට එක් විය.
ඊශ්‍රායල බුද්ධි අංශ පසුගිය දින 10 පුරාවට පෙර වැරදි නිවැරදි කර ගැනීමට යුහුසුළුව උත්සහ කරමින් ප්‍රාණ ඇපකරුවන්ගේ නම් සහ ඔවුන් සිටින ස්ථාන මෙන් ම හමාස් අණ දෙන නිලධාරීන් සැඟවී සිටින ස්ථාන හඳුනා ගැනීමට IDF වෙත උපකාර කරයි.
ලෝකයේ බොහෝ රටවලින් නැගෙන හෙළා දැකීම් මධ්‍යයේ, නිරන්තර ප්රහාරයන්ට මුහුණ දෙන උතුරු ගාසා තීරයේ නටබුන් සහ සුන්බුන් වටා ඉබාගාතේ ඇවිදිනවාට වඩා, පාබල හමුදා ඇතුළු වුවහොත් සහ කව දා හෝ ඔවුන්ට ඍජුව නිශ්චිත ස්ථානයකට යාමට හැකි වන පරිදි ඔවුන් වැඩිදුර තොරතුරු රැස් කිරීමට වැඩි කාලයක් ඉල්ලා ඇති බව සිතිය හැකි ය.
අඛණ්ඩව එල්ල වූ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් පසුවත් තවමත් ක්‍රියාත්මක වන හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාද් සංවිධානයේ එම අංශ, ඉදිරියට ඇදෙන ඕනෑම ඊශ්‍රායල් හමුදා ඒකකයකට සැඟවී සිට සහ උගුල් භාවිතයෙන් පහරදීමට සැලසුම් කරනු ඇත. භූගත උමං මාර්ගවලදී මේවා විශේෂයෙන් අනතුරුදායක වනු ඇත. ඊශ්‍රායල බුද්ධි අංශ ඔවුන් සිටින ස්ථාන සොයා ගැනීමටත් ඒ අනුව IDF වෙත අනතුරු ඇඟවීමටත් උනන්දු වනු ඇත.
ඊශ්‍රායල-ගාසා යුද්ධය පිළිබඳ වැඩි විස්තර
- නවතම යාවත්කාලීන කිරීම් : හමාස් සටන්කාමීන් තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කරයි
- අවසන් යාවත්කාලින කිරීම (ඔක්තෝම්බර් 19) : මෙතෙක් සිදුවුයේ කුමක්ද ?
- ඊශ්‍රායල සහ පලස්තීනය :ඊශ්‍රායලයේ දේශසීමාවන් සිතියම් හරහා පැහැදිලි කිරීමක්











