ඊශ්‍රායලට ඇතුළු වීමට හමාස් සටන්කාමීන් භාවිත කළේ 'දෙවන ලෝක යුද උපක්‍රමයක්' ද?

ඡායාරූප මූලාශ්‍රය, Hamas
- Author, මොහොමඩ් හම්දාර් සහ හනාන් රසෙක්
- Role, බීබීසී පුවත් අරාබි
හමාස් සංවිධානය (ඔක්.7 වැනිදා) ඊශ්‍රායලයට මාරාන්තික ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ ආක්‍රමණික සටන්කාමීන් අතර දේශසීමාව හරහා පැරෂුට් ආධාරයෙන් ගමන් කළ පිරිසක් ද වූහ.
හමාස් සංවිධානයේ හමුදා අංශය වන "ඉස් අල්-ඩින් අල්-කසාම් බළකාය" ගාසා තීරය අවට උත්සවවලට සහභාගී වී සිටි පිරිස් වෙත සහ ඊශ්‍රායල නගරවලට ප්‍රහාර එල්ල කළේ ය. හදිසියේ එල්ල කරන ලද එම ප්‍රහාරය ඔවුන් හැඳින්වූයේ "අල්-අක්සා ෆ්ලඩ්" යනුවෙනි.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රිචඩ් හෙක්ට් තහවුරු කළේ, පලස්තීන සටන්කාමීන්, "පැරෂුට්" ආධාරයෙන්, මුහුදු මගින් සහ ගොඩබිම හරහා රට තුළට ඇතුළු වූ බව ය.
අල්-කසාම් බළකායට අයත් භට කණ්ඩායම් පැරෂුට් ආධාරයෙන් ගොඩබසින අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ ක්ලිප් සමාජ මාධ්‍යවල හුවමාරු විය. ඔවුන් ඊශ්‍රායලය වැටලීම්වලදී මෙම තාක්ෂණය භාවිත කළ පළමු අවස්ථාව මෙය බවට සැලකේ.

ඡායාරූප මූලාශ්‍රය, Hamas
ගුවනින් දේශසීමා වැට හරහා යාම
පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායලයෙන් ගාසා තීරය වෙන් කරන වැට හරහා ගුවනින් ගමන් කිරීමට සමත් වූයේ එක් අයෙකුට හෝ දෙදෙනෙකුට ගමන් කළ හැකි පැරෂුට් ආධාරයෙනි.
විදුලි ජනක යන්ත්‍රයකින් සහ තලවලින් බල ගැන්වූ ඒවා ගාසා තීරය අවට ප්‍රදේශය දෙසට ගමන් කරවීම සඳහා මෙහෙය වන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
දෙවන ලෝක යුද්ධ සමයේ උපක්‍රම
යුද්ධ පෙරමුණට පිටුපසින් සතුරන්ට අයත් භූමි ප්‍රදේශ වෙත ඇතුළු වීමේ අරමුණින් හමුදා ඒකක සඳහා අවශ්‍ය සැපයුම් ගුවනින් ලබා දීම සඳහා මිලිටරි පැරෂුට් නිතිපතා භාවිත කරනු ලැබේ.
දෙවන ලෝක සංග්‍රාමයේදී සටන් වදිමින් සිටි ජර්මානු සහ මිත්‍ර පාර්ශවවල රටවල් විසින් සටන් කිරීම සඳහා පැරෂුට් කණ්ඩායම් මුලින් වරට යොදවන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty images
1987 ග්ලයිඩර් ප්‍රහාරය
හමාස් සංවිධානය සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරය සිහි ගන්වන්නේ, 'Popular Front for the Liberation of Palestine - General Command' සංවිධානයේ පලස්තීන ජාතිකයන් දෙදෙනෙකු, සිරියානු ජාතිකයෙකු සහ ටියුනීසියානු ජාතිකයෙකු විසින් සිදු කරන ලද ග්ලයිඩර් මෙහෙයුම ය.
ඔවුහු 1987 වසරේ නොවැම්බර් මාසයේදී ඊශ්‍රායල හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමට ලෙබනනයෙන් ගුවන්ගත වූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගොඩබිම ඔස්සේ දියත් කිරීම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෝටරයක් සහිත සහ හැසිරවීමට අවශ්‍ය උපාංග සහිත පැරෂුට් භාවිත කිරීමෙන් ප්‍රහාරකයින්ට ඒවා ගොඩබිම සිට දියත් කිරීමට හැකි විය.
ඉන් අදහස් වන්නේ, ඔවුන්ට කන්දක් මත සිට හෝ ගුවන් යානයක සිට බිමට පැනීමේ කිසිදු අවශ්‍යතාවකින් තොරව ඒවා ආධාරයෙන් ගමන් කළ හැකි බව ය.
පැරෂුටයට පැයට කිලෝමීටර 56ක් දක්වා ප්‍රචාලන බලයක් [ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය බලය] ලබා දීමට එන්ජිම උපකාරී වේ.
මෙම පැරග්ලයිඩර්වලට පැය තුනක කාලයක් පියාසර කළ හැකි අතර, සාමාන්‍යයෙන් පොළොවේ සිට මීටර් 5,000ක උන්නතාංශයක් දක්වා ඉහළ අහසට ගමන් කළ හැකි ය.
පැරග්ලයිඩින් වෙබ් අඩවිවලට අනුව, ඒවාට කිලෝග්‍රෑම් 230ක් දක්වා බරක්, නැතහොත් පුද්ගලයන් 4 දෙනෙකුට සමාන බරක් රැගෙන යා හැකි ය.
කුඩයක් වැනි මෙම යන්ත්‍රයේ එක් අයෙකුට ගමන් කළ හැකි අතර රෝද තුනකින් සමන්විත යන්ත්‍රයක දෙදෙනෙකුට ගමන් කළ හැකි ය.
ඉස් අල්-ඩින් අල්-කසාම් බළකායේ "මිලිටරි මීඩියා" විසින් පළ කරන ලද වීඩියෝ ක්ලිප්වල පැරග්ලයිඩර් බිම සිට දියත් කරන ආකාරය සටහන් වී ඇති අතර ඒ සෑම එකක ම ප්‍රහාරකයෙකු හෝ දෙදෙනෙකු නියමුවන් ලෙස කටයුතු කරන අයුරු දැක්වේ.
අනෙක් දර්ශනවල දැක්වෙන්නේ, ඊශ්‍රායල හමුදා සිටින ස්ථාන වෙත ගොඩ බැසීමට පෙර ප්‍රහාරකයින් ගුවනේ සිට වෙඩි ප්‍රහාර එල්ල කරන ආකාරය යි.
හමාස් සංවිධානය විසින් දේශසීමා වැට හරහා ගමන් කළ පැරෂුට් භට කණ්ඩායම හැඳින්වූයේ "සාකර් බලඝණය (Saqr Squadron)" යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඊශ්‍රායල හමුදාව පැරෂුට් හඳුනා නොගත්තේ ඇයි?
හමාස් සංවිධානයට අයත් මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ ක්ලිප්වල දැක්වෙන්නේ, ගාසා තීරයේ සිට එල්ල වන දැවැන්ත රොකට් ප්‍රහාරයකට මුවා වී සන්නද්ධ පැරග්ලයිඩර් පියාසර කරන ආකාරය යි.
ඒවායෙන් සමහරක් පහත් පහළින් පියාසර කරන බව පෙනෙන්නට තිබූ අතර අනෙක් ඒවා ඉහළ අහසේ පියාසර කරන්නට විය.
ගාසා තීරය අවට අහසේ ඒවා පියවි ඇසින් පැහැදිලිව දැක ගත හැකි විය.
ඒවා හඳුනා ගැනීමට හමුදා ඒකක අසමත් වූයේ මන්දැයි ඊශ්‍රායල මාධ්‍ය ප්‍රශ්න කර තිබේ.

විශේෂයෙන්, ප්‍රදේශවාසීන්ට තම ජංගම දුරකතනවලින් වීඩියෝගත කිරීමට හැකි වන පරිදි පැරෂුට් ඉතා හොඳින් දර්ශනය වී තිබියදී ත් ප්‍රහාරකයින් ගුවනින් දේශසීමා හරහා පැමිණි අවස්ථාවේ තම ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක නොවීමට හේතුව ඊශ්‍රායල හමුදා මෙතෙක් හෙළි කර නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, EPA
අයන් ඩෝම්
ඊශ්‍රායලය මුර සංචාරවල යෙදෙන භටයින්ට වඩා තාක්‍ෂණය මත ඕනෑවට වඩා විශ්වාසය තැබුවා ද?
'අයන් ඩෝම්' සහ 'රේඩාර්' වැනි ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති එවැනි කුඩා පියාසර වස්තූන් සමග කටයුතු කිරීමට නිර්මාණය කර නොමැති බවට ඇතැම් වාර්තාවල දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බහු-දිශා ප්‍රහාර
අල්-කසාම් බළකායේ අණ දෙන නිලධාරී මුහම්මද් අල්-ඩීෆ් පළමු දිනයේ සිදු කළ ප්‍රකාශයකට අනුව, හමාස් සංවිධානය සිය හදිසි ප්‍රහාරය ආරම්භ කළේ, රොකට් 5,000ක් එල්ල කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, EPA
මෙම රොකට් ප්‍රහාර එල්ල කිරීම හමාස් සටන්කාමීන් ගොඩබිමෙන් සහ මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රහාරක යාත්‍රා භාවිත කරමින් සහ ගුවනින් පැරෂුට් ආධාරයෙන් සිදු කළ ආක්‍රමණය කිරීමත් සමග සිදු විය.
මාධ්‍ය සහ හමුදා වාර්තා පෙන්වා දෙන්නේ, පැරෂුට් ප්‍රහාරය සහ ඊට ගුවන් ආරක්ෂක පද්ධතිය මග හැර යාමට තිබුණු හැකියාව දේශසීමාව හරහා යාමට තීරණාත්මක සාධකයක් වූ බව ය.
එහි පළමු දිනයේදී, ප්‍රහාරය ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ට සහ හමුදා සාමාජිකයන්ට දැවැන්ත හා පෙර නොවූ විරූ හානියක් සිදු කළේ ය
සටන්කාමීන් ඊශ්‍රායල සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයින් 150කට වැඩි පිරිසක් පැහැරගෙන ගිය අතර, ඔවුන් මරා දමන බවට දැන් හමාස් සංවිධානය තර්ජනය කරයි.














