ඊශ්‍රායලයේදී අතුරුදන් වූ සුජිත් : දරුවන්ගේ DNA සාම්පල ඔස්සේ මියගොස් ඇති බව තහවුරු වේ

ඡායාරූප මූලාශ්‍රය, Facebook| Nimal Bandara
2023 ඔක්තෝම්බර් මස 7 වැනි දින එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික සාත්තු සේවකයෙකු වන සුජිත් බණ්ඩාර යටවර මහතා මිය ගොස් ඇති බව ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බීබීසි සිංහල සේවයට අද (නොවැම්බර් 03 වෙනිදා) තහවුරු කළේය.
තානාපතිවරයා පැවසුවේ ඊශ්‍රායල් පොලිසියේ ඉන්ටර්පෝල් ශාඛාව ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල ඔස්සේ මෙතෙක් හඳුනා නොගෙන තිබු මළ සිරුරක් ඔහුගේ බවට අද සනාථ කළ බවයි.
ඒ අනුව මියගිය සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය සම්බන්ධයෙන් ආගමික වතාවත් හා ජනතා ගෞරවයන් පිරිනැමීමෙන් අනතුරුව ඔහුගේ දේහය ශ්‍රී ලංකාව වෙත යැවීමට නියමිත බව තානාපතිවරයා පැවසුවේය.
'මගේ මහත්තයා හොරු අරන් ගියා වගේ'

ඡායාරූප මූලාශ්‍රය, Provided
ඊශ්‍රායලයට හමාස් සටන්කාමීන්ගෙන් ප්‍රහාරය එල්ලවී ඔක්තෝම්බර් 23ට (මුල්වරට මෙම ලිපිය පළ කළ දිනය) දින 16ක් ගතවී අවසන්ය. එම ප්‍රහාරයෙන් අනතුරුව පීඩාවට හා දුක්ඛිත තත්ත්වයට මුහුණ දී සිටින්නේ ඊශ්‍රායල් හා පලස්තීන වැසියන් පමණක්ම නොවේ. මැදපෙරදිගට කිලෝ මීටර් දහස් ගණනක් දුරින් පිහිටි ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් ගණනාවක ජනතාව මෙම ප්‍රහාරයේ වින්දිතයින් බවට පත්ව තිබේ. ඒ හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව විදේශිකයින් ඇතුළු 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීම හේතුවෙනි.
ඔක්.7 වැනිදා එල්ල වූ එම ප්‍රහාරයෙන් එක් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් ලාංකිකයෙකු තුවාල ලබා මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
කෙසේවුවත්, එම ප්‍රහාරයෙන් අතුරුදන්වූ තවත් ලාංකික සාත්තු සේවකයෙකු වන සුජිත් යටවර බණ්ඩාර සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් පසුවන්නේ දැඩි කණසල්ලකිනි. සුජිත් යටවර බණ්ඩාරගේ නිවස පිහිටා ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේය.
මීට වසර 8කට පමණ ඉහතදී ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා නිවසින් පිටත්ව ගිය සුජිත් මෙම කාල සීමාව පුරාවට සිය මව්රටට පැමිණ ඇත්තේ එක් වතාවක් පමණක් බව ඔහුගේ බිරිඳ වන ජයනි යටවර බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවාය.
"මහත්තයා රට ගියේ 2015 අවුරුද්දේ අන්තිමට වගේ තමයි. එහෙම ගිහින් 2018 වසරේදී නැවත ලංකාවට ආවා. ඊට පස්සේ මාසයක් විතර ලංකාවේ ඉදලා ගියාට පස්සේ ආපසු ලංකාවට ආවේ නැහැ" ඇය පැවසුවාය.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 1
“ඉන්න තැනක් දැන ගන්නයි ගොඩක් මහන්සි වුනේ”
සිය ස්වාමිපුරුෂයා වසර 5 කට ආසන්න කාලයක් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණියේ තම පවුල වෙනුවෙන් නිවසක් මිලදී ගැනීමට අවශ්‍යව වූ බැවින් ඊට මුදල් එකතු කිරීම සඳහා බවත්, එලෙස වෙහෙස මහන්සි වී මිලදී ගත් නිවසට ඔහු මෙතෙක් නොපැමිණි බවද ඇය කියා සිටියාය.
"අපි හිටියේ කුලී නිවසක. අපිටම ඉන්න කියලා ගෙයක් ගන්න අවශ්‍ය නිසයි මහත්තයා අවුරුදු ගානක් ඒ රටේ ඉදලා වැඩ කලේ ලංකාවටත් එන්නේ නැතුව. මොකද එක පාරක් ඇවිත් යන්න ලොකු ගානක් වියදම් වෙනවා. අපි බැංකු ලෝන් එකක් ගත්තා බැංකුවකින්. එහෙම තමයි ගිය අවුරුද්දේ දැන් අපි මේ ඉන්න ගෙදර ගත්තේ. මාසෙන් මාසයට බංකුවට අපි වාරිකේ ගෙවන්න ඕනේ. අඩුම තරමින් එයා මේ ගෙදරට ආවෙවත් නැහැ." ඇය හැඬුම්බරව පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Jayani Bandara Yatawara
“මට බය දුව ආපහු ලෙඩ වෙයි කියලා”
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2009 වසරේදී යුග දිවියට එළඹී සුජිත් සහ ජයනි යුවලට මේ වන විට දරුවන් දෙදෙනෙකු ද සිටියි. ඉන් වැඩිමහල් දියණියට වයස අවුරුදු 13ක් වන අතර දෙවන දරුවා වන පුත්‍රයාට වයස අවුරුදු 9ක් වේ.
සිය දියණියට කාලයක් පුරා පවතින රෝගී තත්ත්වයෙන් මේ වන විට ඇය සියයට 90ක් පමණ සුවය ලබා සිටින බවත් මෙම සිදුවීම හරහා නැවත ඇය අසනීප වේදෝ යන්න පිළිබඳ තමන් දැඩි ලෙස වේදනාවට පත්ව සිටින බවද ජයනි පැවසුවාය.
"අපි විවාහ වුණේ 2009. වසරේ දී. දුවට දැන් වයස අවුරුදු 13ක්. එයා ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. නමුත් වෛද්‍ය ප්‍රතිකාර වලින් මේ වෙනකොට එයා සියයට 90ක් විතර හොඳ වෙලා ඉන්නේ. එයා අවුරුදු 05ක් යනකම් අම්මේ කියලවත් කිව්වේ නැහැ. දැන් මට බයයි මේ ප්‍රශ්නේ නිසා දරුවා ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. දුව තමයි ගොඩක් සුජිත් එක්ක එකතු. එයා තානාපතිතුමාට ලියුමක් පවා යවලා තිබ්බා තාත්තා ගැන කියලා."
"පොඩි කාලේ මෙයාගේ රෝගී තත්ත්වය නිසා ළමයින්ට ගහනවා කියලා අනිත් පාසැල් වලින් භාර ගත්තේ නැහැ. එයා ඉස්කෝලේ යන්නේ පෞද්ගලික පාසැලකට. දුව එයාගේ අධ්‍යාපන කටයුතු පවා පිළිවෙලට කරනවා. නමුත් දැන් දවස් ගානක් ඉස්කෝලේ ගියේ නැහැ. කල්පනා කරනවා. එයාට ඒක මානසිකව දැනිලා තියෙන්නේ. මම නැතත් එයාට තාත්තා ඕන කියන තැනයි ඉන්නේ." ඇය පැවසුවාය.
"සුජිත් බොහොම කැපවීමෙන් වැඩකරපු කෙනෙක්"
සාත්තු සේවකයෙකු ලෙස ඊශ්‍රායලයේ සේවය කිරිම සඳහා ගිය තම ස්වාමිපුරුෂයා ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් වැඩකටයුතු කළ අයෙකු බවද ඇය සඳහන් කළාය.
"මහත්තයා සාත්තු සේවකයෙක් විදිහට ගොඩක් මහන්සිවෙලා වැඩ කරපු කෙනෙක්. එයා මේ අවුරුදු 8 තුළදී තැන් කිහිපයකම වැඩ කළා. එයා බලාගන්න හැම කෙනෙක්ම ආදරෙන් බලා ගත්තේ කියලා මම හොදින්ම දන්නවා. තමන්ගේ දෙමව්පියන් දෙන්නා බලා ගන්නවා වගේ ඔහු වැඩ කලේ. ඒ වයසක අයට වෙලාවට බෙහෙත් දෙන එක, නාවන එක, එයාලව පිරිසිදු කරන එක. මේ හැම දෙයක්ම එයා කැපවීමෙන් කරපු කෙනෙක්. එයා මෙහෙන් ඉගෙන ගත්තට වඩා ඒ රටේදී වැඩකරලාම හොඳ පළපුරුද්දක් අරන් තිබුනා." ඇය සිය ස්වාමිපුරුෂයා ගැන පවසා සිටියාය.
ඇය සඳහන් කළේ සිය ස්වාමිපුරුෂයා සෑම දිනකම තමන්ට දුරකථන ඇමතුම් ලබාදී තමන්ගේ සහ දරුවන්ගේ සුවදුක් විමසන බවය.
"එයා හැමදාම උදේට මට කතා කරනවා. ඒ වගේම බබාලා ඉස්කෝලෙන් ගන්න ගියාම දවල් 1.45ට විතර කෝල් කරලා එයාලා ගෙදරට එනකම් ඉස්කෝලේ වුන දේවල් ගැන අහනවා. ඒ වගේම ළමයි පංති දාලා එද්දී හවසට වගේම රෑටත් කතා කරනවා. එයා කොහේ හිටියත් අපි ගැන හිතනවා, හොයලා බලනවා." ඇය සඳහන් කළාය.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 2
ලැබුණු අවසන් ඇමතුම ගැන මතකය
ඊශ්‍රායලයට හමාස් සටන්කාමීන් විසින් ප්‍රහාර එල්ල කළ ඔක්තෝම්බර් 7 වැනිදා තම සැමියාගෙන් ලැබුණු අවසන් දුරකථන ඇමතුම ගැන ද ජයනි යටවර මෙලෙස සිය මතකය අවදි කළාය.
"එදා හරියටම ලංකාවේ වේලාවෙන් 10.05 ට මහත්තයා මට කතා කළා. මගේ මහත්තයා වැඩ කලේ කිබුට්ස් බේරී වල. මට එතකොටත් සද්දේ ඇහුණා. සාමාන්‍යයෙන් ඔය රටේ යුද්දේ තියෙනවනේ. එයා කිව්වා අදත් ගහනවා වගේ කියලා. මොකද ඔය ගහන ඒවා උඩදී පුපුරලා කෑලි වැටෙනවා නේ. ඒ වගේ දෙයක් කියලා මම හිතුවේ. එලියට යන්න එපා ඔයා පරිස්සමින් ඉන්න කියලයි මම ෆෝන් එක තිබ්බේ. එහෙම කියලා පස්සේ ටික වෙලාවක් යද්දී දැන ගන්න ලැබුනේ මේ ප්‍රශ්නේ ටිකක් ලොකුවට යනවා කියලා."
"ඊට පස්සේ එක දිගට කෝල් ගත්තා කතා කරන්න බැරි වුනා. පස්සේ අතරින් පතර ඔන්ලයින් ආවා එයාගේ ෆෝන් එක. පස්සේ දැන ගත්තේ ඉන්ටර්නෙට් ප්‍රශ්නේ නිසා ෆෝන් එක ඉන්ටර්නෙට් එද්දී ඔන්ලයින් පෙන්නලා තියෙන්නේ කියලා. පස්සේ බලද්දී මහත්තයාගේ ෆෝන් එක එයා වැඩකරපු ගෙදරම තිබිලා හම්බ වුනා කියලා මට කිව්වා.
"මගේ නංගි වැඩ කරන්නෙත් ඊශ්‍රායලයේ. එයා තමයි එහෙ ඉදන් මහත්තයා ගැන හොයා බලන්නේ. එයයි අඳුනන අයයි එකදිගටම මහත්තයාට ඒ රටේ ඉදන් කෝල් කරලා තිබ්බේ. නමුත් ෆෝන් එක වැඩකලේ නැහැ. "
"සුජිත් වැඩකරපු ඊශ්‍රායලයේ ගෙදර අය කියලා තියෙනවා සීයට ( සුජිත් සේවය සැපයු කෙනා) වෙඩි වැදිලා හිටියා සුජිත් හිටියේ නැහැ කියලා. කැමරාවලින් චෙක් කරන්න පුලුවන්ද කියලා මම දන්නේ නැහැ. මම කිව්වා එහෙම හරි බලන්න කියන්න කියලා. එක එක්කෙනා කතා කියද්දී එක එක දේවල් කියනවා."
"ඊශ්‍රායල හමුදාවේ නිලධාරියෙකු විවාහ කරගෙන ඉන්න ලංකාවේ කෙනෙක් ඉන්නවා. මමයි දරුවොයි සුජිත් ගැන හොයන්න කියලා අඬ අඬා කියද්දී ඒ ලංකාවේ කෙනා තමයි මහත්තයා වැඩකරපු ගෙදර හොයන් ගිහිල්ලා ඩී.එන්.ඒ. පරීක්ෂණයකට හරි අවශ්‍ය වෙන සුජිත් ගේ ෆෝන්, ඔරලෝසුව වගේ දේවල් අරන් ඇවිල්ලා අදාළ පොලිසියට භාර දීලා තියෙන්නේ."
"අපි එච්චර සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. මහත්තයා එවන පඩියෙන් තමයි බැංකු ලෝන් එකත් ගෙවාගෙන ළමයි ඉස්කෝලේ යවන්නේ. දැන් දවස් ගානකින් බබාලා දෙන්නා ඉස්කෝලේ ගියේ නැහැ මේ තත්ත්වය නිසා. මම බලන් ඉන්නවා මහත්තයා ගැන තොරතුරක් එනකම්. හරියට මගේ මහත්තයා හොරු අරන් ගියා වගෙයි " ඇය පැවසුවාය.
තමන් ඇතුළු පවුලේ අය අසරණව සිටින මේ මොහොතේදී ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඇතුළු එරට තානාපති සේවයේ නියුතු නිලධාරීන් සහ ලාංකිකයින් ගෙන් ලැබෙන සහයෝගය ද ඇය මෙහිදී සිහිපත් කර සිටියාය.
අනුලා ජයතිලකගේ දේහය හඳුනා ගැනීමට DNA පරීක්ෂණයක්
මේ අතර හමාස් සංවිධානයේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අනුලා ජයතිලක ගේ දේහය සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් කිරීමට නියමිතව ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බීබීසී සිංහල වෙත (ඔක්. 22 වැනිදා) පැවසුවේය.
දැනටමත් ඒ සඳහා කටයුතු කරගෙන යන බව තානාපතිවරයා සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Sagarika Jayathilaka / Facebook
"ඊශ්‍රායල් රජය දැනුම් දුන්නා අනුලා ජයතිලකගේ දේහය සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි කියලා. ඒ අනුව අපි දැනුම් දුන්නා ලංකාවේ ඉන්න අනුලා ජයතිලක මහත්මියගේ දරුවන් දෙදෙනාගේ, මවගේ සහ කුවේට් ඉන්න ඇයගේ සහෝදරිය ගේ ඩී.එන්.ඒ සාම්පල් ලබා ගෙන පරීක්ෂණයක් කරන්න කියලා. ඒ සාම්පල් අර ගන්න වෛද්‍යවරුන් එක්ක ඊශ්‍රායලයේ ඉන්න වෛද්‍යවරයත් සම්බන්ධ වෙලා මේ ගැන සාකච්ජා කරනවා. මොකද ඒ පරීක්ෂණය සඳහා අවශ්‍ය සාම්පල් ලබා ගත යුතු ක්‍රමවේදය වෙනස්. ඊට පස්සේ අදාළ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා සැසඳුණාට පස්සේ අපට දේහය භාර දෙයි ඊශ්‍රායල් රජයෙන්." තානාපතිවරයා පැවසිය.












