ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකික පවුල් ඉවත් කර ගැනීමේ සුදානමක්

ඡායාරූප මූලාශ්‍රය, getty
හමාස් සටන්කාමින් ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මේවන විට අඛණ්ඩව 13 වන දිනයටත් ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටියි.
පවතින යුද උණුසුම මැද ශ්‍රි ලාංකික කාන්තාවන් තිදෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගාසා තීරයේ ජීවත් වන බව ශ්‍රී ලංකා බලධාරීන් බීබීසී සිංහල සේවයට පැවසුවේය.
එම කාන්තාවන් තිදෙනා පලස්තීන ජාතිකයින් සමග විවාහ වී එහි දිගු කාලයක් ජීවත් වන අය බව පලස්තීනයේ, රමල්ලාහී පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහන් කළේය.
‘සියලු තොරතුරු එකතු කර ගත්තා’
ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉවත්කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රමල්ලාහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නාවලගේ බෙනට් කුරේ බීබීසී සිංහල වෙත පැවසීය.
"ගාසා තීරයේ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 17 දෙනෙකු සිටින බවට අපට තොරතුරු ලැබුණා.” ඔහු පැවසීය.
"අපි ඒ සියලු තොරතුරු ඊජිප්තුවේ පිහිටී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යොමු කර තිබෙනවා."
"රෆා දේශසීමාව විවෘත කළ වහාම අපි බලාපොරොත්තු වෙනවා ඒ හරහා අපේ ලාංකික පවුල්වල අයව ඊජිප්තුවට ගෙන්වා ගෙන එතැනදී ලංකාවේ තානාපති කාර්යාලයේ නිලධාරීන්ට ඔවුන්ව භාර ගන්න කියන්න." ඔහු පැවසිය."
මේ අතර ගාසා තීරයේ වෙසෙන එක් ශ්‍රී ලාංකික කාන්තාවක් වන ෆාතිමා රිකාසා බීබීසි සිංහල සේවයට පැවසුවේ තම පවුලේ සාමාජිකයින්ගේ තොරතුරු රමල්ලා හි පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයට භාර දිමට පියවර ගත් බවයි.
"මට මෙහෙ තියන එම්බසි ඔෆීස් එකෙන් කෝල් කරලා විස්තර ඉල්ලුවා. මම මගේ දරුවන් තුන්දෙනාගේ තොරතුරු යැව්වා. මගේ බාලම දරුවා ගාසා වලදී ඉපදුන නිසා එයාගේ පාස්පෝට් එකක් තිබුනේ නැහැ. ඒ නිසා එයාගේ උප්පැන්න සහතිකය වගේම ෆොටෝ එකක් යැව්වා." ඇය පැවසුවාය.
මුහුණ දුන් බිහිසුණු අත්දැකීම
තමන් ජීවත් වන නිවස පිහිටි ගොඩනැගිල්ල ආසන්නයේ වූ ගොඩනැගිල්ලකට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයක් එල්ලවූ බව ෆාතිමා රිකාසා පැවසුවාය.
"මගේ මහත්තයාගේ වැඩිමහල් සහෝදරයා ජීවත් වන නිවස පිහිටි ගොඩනැගිල්ලට (ඔක් 18 වැනිදා) උදේ පාන්දර බෝම්බ දැම්මා"
"මගේ මහත්තයාගේ කඩේ තිබ්බෙත් ඒ බිල්ඩිමේ. ඒ ඔක්කොම ගන්න දෙයක් නෑ. සම්පුර්ණයෙන් විනාශ වෙලා." ඇය පැවසුවාය.


ප්‍රාණ ඇපකරුවන්ගේ නිදහස වෙනුවෙන් ඒකාබද්ධ ලිපියක්
මේ අතර හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් අතුරුදන්වූ ශ්‍රී ලාංකිකයෙකු වන යටවර බණ්ඩාර සම්බන්ධයෙන් වන තොරතුරු ඊශ්‍රායල් පොලිසියේ ඉන්ටර්පෝල් අංශයට ( ඔක් 19 වැනිදා) ලබාදුන් බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බීබීසි සිංහල වෙත පැවසීය.
"දැනට අතුරුදන්ව සිටින යටවර බණ්ඩාර සම්බන්ධයෙන් ඊශ්‍රායල් පොලිසියේ ඉන්ටර්පෝල් අංශය තානාපති කාර්යාලයෙන් තවත් විස්තර ලබා දෙන්න කියලා ඉල්ලුවා. අපි ඒ තොරතුරු එතුමගේ බිරිගෙන් අහලා අදාළ නිලධාරීන්ට ලබා දුන්නා."
"ඒ වගේම පැහැර ගෙන ගිහින් ප්‍රාණ ඇපකරුවන් විදිහට තමන්ගේ භාරයේ සිටින පිරිසගේ නම් දැනුම් දෙනවා කියලා හමාස් සංවිධානය කියලා තියෙනවා."
"ඒ විදිහට ප්‍රාණ ඇපකරුවන් විදිහට ඉන්න පුද්ගලයින් අයත් රටවල සියලුම තානාපතිවරුන් ඔවුන්ගේ නිදහස වෙනුවෙන් හමාස් සංවිධානයට ලිපියක් යොමු කරන්න කටයුතු කරන්න සුදානම්."
"ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවශ්‍ය උපදෙස් ලබා ගෙන තිබෙනවා." තානාපතිවරයා පැවසුවේය.
'යන්න කිව්වට අපි ගියේ නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ෆාතිමා රීකාසා බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින්, ඇය සහ පවුලේ සාමාජිකයින් තවදුරටත් නිවසේ රැඳී සිටින බවත්, ඊශ්‍රායල් හමුදාව දැනුම් දුන් පරිදි දකුණුදිග ගාසා තීරයට පිටව නොගියබවත් පැවසුවා ය.
"දැන් පිටවෙලා යන්න කියලා දවස් ගාණක් වෙනවා. ඒත් එහෙම ගිය අයටත් බෝම්බ ගහල තියෙනවා. මමයි මහත්තයයි තීරණය කළා මෙහෙමම ඉන්නවා කියලා ගෙදරට වෙලා."
"දැන් සතියකට වැඩි වෙනවා කරන්ට් එක නැතිව. ෆ්‍රිජ් එකේ චීස් වගේ දේවල් තියාගන්න බැහැ නරක් වෙනවා. මෙහෙ රොටි තමයි හදන් කන්නේ චීස් එක්ක."
"දැන් කඩවල්වල කන්න ගන්න දේවල් මොකුත් නැහැ. ඔක්කොම හිස්. අද වාහනෙකින් රොටි ගෙනල්ලා බෙදලා දුන්නා අපි ඉන්න බිල්ඩිමේ ගෙවල්වලට. තක්කාලි වගයක් තිබ්බා. ඒකෙන් සෝස් වගේ හදලා රොටි එක්ක ළමයින්ට කන්න දුන්නේ. හරි අමාරු යි ජිවිතේ ඉස්සරහට අරන් යන්න," ඇය ඔවුන් පත්ව සිටින තත්ත්වය ගැන එලෙස අදහස් පළකර සිටියා ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානයේ යුද ගැටුම් හේතුවෙන් මේ වන විට එම කලාපයේ රැකියාවන්හි නිරතවන ලාංකිකයින් වෙත දැඩි අවධානයක් යොමුවී තිබේ.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බීබීසි සිංහල සේවයට ප්‍රකාශ කළ පරිදි, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් රටවල් හතරක තානාපතිවරුන් සමග සම්බන්ධ වෙමින් පවතින තත්ත්වය පිළිබඳව කරුණු සොයා බලමින් සිටියි.
"විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් නිතරම පවතින තත්ත්වය ගැන විමසිලිමත්ව සිටිනවා. විශේෂයෙන් ඊශ්‍රායලය, ලෙබනනය, ජෝදානය සහ ඊජිප්තුවේ පිහිටි ලංකාවේ තානාපතිවරුන් සමග සම්බන්ධ වෙලා කරුණු සොයා බලනවා," ඔහු පැවසුවේ ය.
'අතුරුදන්වූ ලාංකිකයාගේ නම තිබේදැ යි බලා සිටිනවා'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔක්තෝබර් හත්වැනිදා ඊශ්‍රායලයට එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් අතුරුදන්වූ එක් ලාංකිකයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ලැබී නොමැති බව ද තානාපතිවරයා පවසා සිටියේ ය.
"අපට තවම ඔහු ගැන නිසි තොරතුරක් නැහැ. හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ නායකයෙක් පවසා තිබෙනවා ඔවුන්ගේ භාරයේ සිටින ප්‍රාණඇපකරුවන්ගේ නම් ලැයිස්තුවක් නිල වශයෙන් නිකුත් කරනවා කියලා. අපි බලන් ඉන්නවා අපේ අතුරුදන්වූ ලාංකිකයාගේ නම ඒ ලයිස්තුවේ තියේවි කියලා. එහෙම නොමැති වුණොත් අපට වෙන ක්‍රියාමාර්ග ගන්න වෙනවා ඔහුට කුමක් ද සිදුවුණේ කියලා සොයා දැන ගන්න," තානාපතිවරයා පැවසීය.
මේවන විට ඊශ්‍රායලයේ උතුරු දිග දේශසීමාව ආසන්නයේ පිහිටි හයිෆා ඇතුළු ගම්මාන කිහිපයක වෙසෙන වැසියන් ඉන් ඉවත් කොට වෙනත් ස්ථානවල පදිංචි කිරීමට බලධාරින් පියවර ගෙන ඇති බව තානාපතිවරයා පැවසීය.
ඒ අනුව එහි වෙසෙන ලාංකික ශ්‍රමිකයින් ඔවුන් සේවය කරන පවුල් සමග වෙනත් ස්ථානයකට පදිංචි වීමට යන්නේ නම් ඒ පිළිබඳ තානාපති කාර්යාලය දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවද තානාපතිවරයා සඳහන් කළේය.
"දැනට ඊශ්‍රායල් උතුරු දේශසීමාවේ ගම්මාන 3 ක ජනතාව ඉන් ඉවත් කර තිබෙනවා. ඉදිරියේදී අවශ්‍ය වුනොත් ඉතුරු ගම්මානවල ජනතාව ඉවත් කරයි ආරක්‍ෂිත තැන් වලට."
"තමන්ගේ ස්ථිර සේවා ලිපිනය වෙනස් වෙන නිසා ලාංකික ශ්‍රමිකයින්ට දැනුවත් කර තිබෙනවා එසේ වෙනත් තැන් කරා යනවානම් තානාපති කාර්යාලයට දැනුම් දෙන්න කියලා."
"දැනට හයිෆා ඇතුළු උතුරු ඊශ්‍රායලයේ ලාංකික ශ්‍රමිකයින් 1,100ක් පමණ වෙසෙනවා." තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ලෙබනනයේ වෙසෙන ලාංකිකයින්ට විශේෂ උපදෙසක්
ඊශ්‍රායලයේ එක් දේශසිමා මායිමක් වන ලෙබනනයේ ද ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සේවයේ නියුතුව සිටින අතර ඔවුන්ට ද, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ උපදේශයක් නිකුත් කරනු ලැබීය.
දකුණුදිග ලෙබනනයේ සේවයේ නියුතු ලාංකිකයින් වේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු බේරූට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දෙන්නැ යි මෙසේ දන්වනු ලැබුණි.
දකුණුදිග ලෙබනනයේ ලාංකික ශ්‍රමිකයින්ට එවැනි දැනුම්දීමක් සිදුකිරීමට හේතුව කුමක්දැ යි බීබීසී සිංහල සේවය බේරූට්හි ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීරගෙන් විමසූකල පූර්ව ආරක්‍ෂිත පියවරක් ලෙස එවැනි උපදේශයක් නිකුත් කළබව ඔහු පවසා සිටියේ ය.
"දකුණුදිග ලෙබනනයේ දේශසීමාව පිහිටා තිබෙන්නේ ඊශ්‍රායලයට මායිම්ව. පසුගිය දින කිහිපයේ දී ඒ ප්‍රදේශය ආශ්‍රිතව යම් යම් ගැටුම් ඇතිවී තිබුණා. නමුත් බොහෝ සිවිල් වැසියන් දැනටමත් එම ප්‍රදේශවලින් ඉවත්වෙලා කියලා දැන ගන්න ලැබී තිබෙනවා.
"ඉතින් අපේ ලංකාවේ ශ්‍රමිකයින් ඒ කලාපයේ ඉන්නව නම් හෝ හිටිය නම් ඔවුන් ගැන අප තොරතුරු එක්රැස් කරනවා. ඒ, යම් හදිසි අවස්ථාවක් ඇතිවුණොත් ඔවුන් සියලු දෙනා එක් තැනකට එකතු කරලා ආරක්ෂිතව ඉවත්කර ගන්න අවශ්‍ය පියවර ගන්න මේ තොරතුරු අපට වැදගත් වනවා," තානාපතිවරයා පැවසීය.
ලාංකිකයින් කොපමණ පිරිසක් ලෙබනනයේ සිටිනවා ද?
"අපිට මේ වසරේ මුල දී ලැබුණු දත්ත අනුව ලාංකිකයින් 7,500ක් - 7,700ක පමණ පිරිසක් ලෙබනන්වල සිටින බවට දත්ත වාර්තා තිබෙනවා.
"ලංකාවේ ශ්‍රමිකයින් බොහෝ අය සේවය කරන්නේ බේරූට් වගේම මධ්‍යම සහ උතුරු ලෙබනන් ආශ්‍රිතව යි. මෙහෙ ජන ජීවිතය සාමාන්‍ය විදිහට සිදුවනවා. ඒ නිසා අනිසි බියක් ඇතිකර ගන්න අවශ්‍ය නැහැ. ඕනෑම අවස්ථාවක දී අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සූදානමින් සිටිනවා," ලෙබනන්හි ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය.












