ද්වි-රාජ්‍ය විසඳුම: ඊශ්‍රායල-පලස්තීන සාම ක්‍රියාදාමය යථා තත්ත්වයට පත් කිරීමට ක්‍රමයක් තිබේ ද?

A peace accord was signed in the 1990s between Israeli Prime Minister Yitzhak Rabin (L) and PLO Chairman Yasser Arafat (R)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, PLO සභාපති යසර් අරෆත් (දකුණේ) සහ ඊශ්‍රායල අගමැති යිට්සාක් රබින් (වමේ) සමග අතට අත දෙයි. එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් දෙදෙනා අතර සිටගෙන සිටියි

ඊශ්‍රායලයට එරෙහි හමාස් ප්‍රහාරය සහ ඉන්පසු ඊශ්‍රායලය දියත් කළ බෝම්බ ප්‍රහාර මාලාව හා ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණය, ඊශ්‍රායල-පලස්තීන ගැටුම අවසන් කළ හැකි ගනුදෙනුවකට පූර්විකාවක් වන බවක් නොපෙනේ. එහෙත්, ද්වි-රාජ්‍ය විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින පිරිස් ඔක්තෝබර් මාසයේ සිට මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය ඔවුන්ගේ අරමුණ පරස්පර විරෝධී ලෙස ඉදිරියට ගෙන ගොස් ඇති බව විශ්වාස කරති.

ඔක්තෝබර් 7 වන දා සිදු වූ භීෂණයට සති දෙකකට පෙර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට පෙනී සිටියේ, ඊශ්‍රායලය සහ එහි අරාබි අසල්වැසියන් අතර "සාමයේ නව යුගයක අරුණලු" ගැන ඉඟි පළ කරමිනි.

වසර 25ක් පුරා "ඊනියා විශේෂඥයින්", ඊශ්‍රායලය සහ ජෝර්දාන් ගඟ සහ මධ්‍යධරණී මුහුද අතර භූමි භාගයකට සම අතියිතිවාසිකම් කියන අනාගත පලස්තීන රාජ්‍යයක් සහිත ද්විරාජ්‍ය විසඳුමක් පිළිබඳ සාකච්ඡා කරන "ප්‍රවේශයක් වෙත දැඩිව නැඹුරු වී" සිටිය ද, ඉන් "එකදු සාම ගිවිසුමකට හෝ එළඹීමට" නොහැකි වී ඇතැ යි නෙතන්යාහු පැවසීය.

"2020 වසරේ දී, මම අනුබල දුන් ප්‍රවේශය යටතේ... කෙටි කාලයකදී, අපි පුදුමාකාර සාර්ථකත්වයක් අත්කර ගත්තා. මාස හතරක් තුළ සාම ගිවිසුම් හතරක්, අරාබි රටවල් හතරක් සමග!"

මේ පවසන්නේ ඊනියා ඒබ්‍රහම් ගිවිසුම් ගැන ය. ට්‍රම්ප් පරිපාලනයේ මැදිහත් වීමෙන් එළඹි මෙම ගිවිසුම්, එහි ඊශ්‍රායල-පලස්තීන සාම මුලපිරීම්වලට පසුව ඉදිරිපත් කෙරිණි. ඒවා ද එක්සත් ජනපදය මැදිහත් වී මීට පෙර එළඹි ගිවිසුම් හා සමාන ඉරණමකට මුහුණ දුන්නේ ය.

2020 ඒබ්‍රහම් ගිවිසුම්

  • සැප්තැම්බර් 15 - ඊශ්‍රායල-එක්සත් අරාබි එමීර් රාජ්‍ය සාමාන්‍යකරණ ගිවිසුම සහ බහරේන්-ඊශ්‍රායල සාමාන්‍යකරණ ගිවිසුම
  • දෙසැම්බර් 22 - ඊශ්‍රායල-මොරොක්කෝ සාමාන්‍යකරණ ගිවිසුම
  • දෙසැම්බර් 24 - ඊශ්‍රායල-සුඩාන සාමාන්‍යකරණ ගිවිසුම

පෙර අරාබි-ඊශ්‍රායල ගිවිසුම්

  • 1979 මාර්තු 26 - ඊජිප්තු සහ ඊශ්‍රායල සාම ගිවිසුම
  • 1993 සැප්තැම්බර් 13 - ඔස්ලෝ ගිවිසුම I (ඊශ්‍රායලය-පලස්තීන විමුක්ති සංවිධානය)
  • 1994 ඔක්තෝබර් 26 - ඊශ්‍රායල සහ ජෝර්දාන සාම ගිවිසුම
  • 1995 සැප්තැම්බර් 24 - ඔස්ලෝ ගිවිසුම II (ඊශ්‍රායලය-පලස්තීන විමුක්ති සංවිධානය)

ගිවිසුම්වල ගම්‍යතාව විසින් පලස්තීනුවන් "ඊශ්‍රායලය විනාශ කිරීමේ ෆැන්ටසිය අත්හැර අවසානයේ සැබෑ සාමයේ මාවතක් වැළඳ ගැනීමට" පොළඹවන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඉන්පසු ඔහු "නව මැද පෙරදිග" සිතියමක් ඔසවා පෙන්වමින් ඇඟවූයේ, පලස්තීනුවන් යටත්වීම හා, ද්වි-රාජ්‍ය විසඳුම තවදුරටත් නැත යන්න ය.

Prime Minister of Israel Benjamin Netanyahu addresses the 78th United Nations General Assembly at the UN headquarters in New York City, US on 2 September 2023

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, බෙන්ජමින් නෙතන්යාහු අරාබි අසල්වැසියන් සමග සාමය අපේක්ෂා කරන්නේ පලස්තීන රාජ්‍යයකින් තොරව ය - ඔහුගේ සිතියම ද එයම පෙන්වීය

මේ අතර, මීට පෙර සිටි එක්සත් ජනපද ජනාධිපතිවරුන් හත් දෙනාගෙන් කිසිවෙකුටත් වඩා බයිඩන් පරිපාලනය ඊශ්‍රායල-පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් අඩු ශක්තියක් වැය කර ඇතැ යි සැලකිණි.

පෙබරවාරි මාසයේ දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ද්වි රාජ්‍ය විසඳුම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එය "ළඟා කර ගැනීමට අපහසු" නමුත් එක්සත් ජනපදය "ධනාත්මක විසඳුමක් වෙනුවෙන් වන බලාපොරොත්තුව අත්නොහරින" බව සඳහන් කළේ ය. සැප්තැම්බර් මාසයේ දී ඇන්තනි බ්ලින්කන් ඊශ්‍රායල සහ පලස්තීන නායකයින් සමග කළ සාකච්ඡා තුළ [අර්බුදය විසඳීම සඳහා වන] දේශපාලන සූත්‍රය මඟහැරී තිබිණි.

බොහෝ දේ වෙනස් වී තිබේ.

"හොඳ ම ප්‍රායෝගික මාර්ගය - ඇත්ත වශයෙන් ම එක ම මාර්ගය - ද්වි රාජ්‍ය විසඳුම බව එක්සත් ජනපදයේ අඛණ්ඩ විශ්වාසය යි," රාජ්‍ය ලේකම්වරයා නොවැම්බර් තෙවැනි දා ඊශ්‍රායලයේ දී පැවසීය.

නමුත් වසර 25කට පෙර සාමය ඇති වීම වැළැක්වූ ප්‍රතිවිරෝධතා සහ බාධක යහපත් තත්ත්වයකට නොව තවත් සංකීර්ණ තත්ත්වයකට හැරී තිබේ.

සාමය පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටුණු ආකාරය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ද්වි රාජ්‍ය ගනුදෙනුවේ දළ සැලැස්ම ස්ථාපනය වූයේ, නෝර්වීජියානු රජයේ මැදිහත්වීමෙන් සිදුවූ රහසිගත සාකච්ඡාවලින් පසු ඊශ්‍රායලය, සහ යසර් අරෆත්ගේ ෆටා කණ්ඩායමේ නායකත්වයෙන් යුත් PLO සංවිධානය 1993 වසරේ දී අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා පිළිගැනීමෙන් පසුව ය.

කෙසේ වෙතත්, ඊනියා ඔස්ලෝ ක්‍රියාවලිය කිසි විටෙකත් ඔවුන් බලාපොරොත්තු වූ අවසානයට නොපැමිණි අතර පෙරට වඩා විසඳීමට අපහසු ගැටලු සමූහයක් ඉතිරි කළේ ය.

'සාමය අරඹයා භූමිය' එකඟතා ඇතිවීමත් සමග, 1967 යුද්ධයේ දී ඊශ්‍රායලය විසින් අල්ලාගෙන අත්පත්කර ගනු ලැබ සිටි භූමි ප්‍රදේශයේ පලස්තීන අධිකාරියේ (PA) ස්වයං පාලනයක් ස්ථාපනය කෙරිණි.

නමුත් ඊශ්‍රායල හමුදා වාඩිලෑම් සහ යුදෙව් ජනාවාසකරණ කටයුතු අඛණ්ඩව සිදු කෙරුණේ ඊනියා "ස්ථිරසාර විසඳුම්" සඳහා සාකච්ඡා පැවැත්වීම පසෙකින් තබමිනි.

1948 පළමු අරාබි-ඊශ්‍රායල් යුද්ධයෙන් පසු ද, බෙදා වෙන්වීම සඳහා 1947 වසරේ එක්සත් ජාතීන්ගේ පැවති ඡන්ද විමසීමෙන් පසු ද ඊශ්‍රායලය බවට පත් වූ භූමියේ සිටි පලස්තීන සරණාගතයින්ගේ තත්ත්වය ද මේවාට ඇතුළත් වේ. ඊශ්‍රායලය 1967 දී නැගෙනහිර ජෙරුසලම ඈඳාගැනීම තවත් ගැටළුවක් වූයේ, දෙපාර්ශ්වය විසින්ම ශුද්ධ වූ ස්ථාන ලෙස පිළිගන්නා, අතහැරීමට නොහැකි තරම් වැදගත් ස්ථාන එහි පිහිටි බැවිනි.

Temple Mount map

වසර ගණනාවක රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්ගෙන් පසුව, 2000 වසරේ දී ජනාධිපති ක්ලින්ටන් විසින් සත්කාරකත්වය සපයන ලද, කෑම්ප් ඩේවිඩ්හි පැවති මාධ්‍යයට විවෘත නොවූ සමුළුවක දී මෙම ගැටලු සඳහා විසඳුම් සොයා ගන්නා ලද නමුත්, ඊශ්‍රායල අගමැති එහුද් බරාක් සහ පලස්තීන අධිකාරියේ ජනාධිපති අරෆත්ට එකඟතාවකට පැමිණීමට නොහැකි විය.

අසාර්ථකත්වය සඳහා සැවොම එකිනෙකාට වරද පටවා ගත්හ. ඊශ්‍රායල සහ එක්සත් ජනපද නිලධාරීන් පැවසුවේ, අරෆත් ඔහුට ලැබීමට තිබුණු වඩාත් ම වාසිදායක ගනුදෙනුවට පිටුපෑ බව ය. පලස්තීනුවන් එය රැවටිල්ලක් ලෙස හැඳින්වූයේ, එය නැගෙනහිර ජෙරුසලමේ අගනුවරක් ස්ථාපනය කිරීම වැනි ඔවුන්ගේ ප්‍රමුඛ පෙළේ අවශ්‍යතාවන්ට වඩා බෙහෙවින් අඩු අවශ්‍යතා ගණනක් සපුරාලන ගනුදෙනුවක් බව පවසමිනි.

ඊශ්‍රායලය බොහෝ කලක් තිස්සේ සිටි එහි ප්‍රධාන පසමිතුරා උදාසීන කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගෙන ඇති බවට විචාරකයෝ තර්ක කළහ. විශේෂයෙන් ම පලස්තීන ජනාකීර්ණ ප්‍රදේශවල ආරක්ෂක කටයුතු පලස්තීන අධිකාරියට පැවරී ඇති මොහොතකත එය [ඊශ්‍රායලය] මෙතරම් ආයෝජනය කර ඇති භූමිය අත්හරින්නේ ඇයි ද යන ප්‍රශ්නය නැගිණි.

අරෆත් දුර්වල ස්ථාවරයක සිට සාකච්ඡා කරමින් සිටි අතර, එක්සත් ජනපද මැදිහත්කරු ඉතිහාසයේ රාජ්‍යයන් දෙකක් අතර මීට පෙර නොපැවති ආකාරයේ සමීප සම්බන්ධතාවක් ඊශ්‍රායලය සමග ගොඩනගා ගත්තේ ය.

ද්වි රාජ්‍ය විසඳුම කරා යන ගමනේ දී, ජයගත නොහැකි බව ඔප්පු වූ තවත් වැදගත් සාධක තිබිණි.

ඉස්ලාමීය ප්‍රතිරෝධ ව්‍යාපාරය, එනම් හමාස්, 1987 වසරේ දී ගාසා තීරයේ දී පිහිටුවනු ලැබිණි. ඔවුහු ඔවුන්ගේ ප්‍රතිවාදියා වන ෆටාහි සාමය සඳහා වන සම්මුතීන් සමග එකඟ නොවූ අතර, 1994 සිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සාම සාකච්ඡා කඩාකප්පල් කිරීමට ඕනෑ තරම් අවස්ථා සොයාගත්හ.

ආගමික අරමුණු මුල්කර ගත් ජනාවාසකරුවන් ද ඔවුන්ට ලැබුණු නිදහස ප්‍රයෝජනයට ගත්තේ, භූමිය තුළට යුදෙව් ආගමනය පුළුල් කිරීමට සහ ශක්තිමත් කිරීමට ය. ඔවුහු එම භූමිය දෙවියන් විසින් දෙන ලද භූමියක් ලෙස දුටුවහ.

President Clinton meets with Israeli Prime Minister Barak and Palestinian leader Yasser Arafat on 25 July 2000 at Camp David near Thurmont, Maryland, US. The Camp David Middle East peace summit collapsed after 15 days of intense negotiations but President Bill Clinton insisted "significant progress" had been made toward ending the Israeli-Palestinian conflict

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීනුවන්ට අවශ්‍ය දෙයත්, ඊශ්‍රායලය ලබා දෙන දෙයත් අතර පරතරය පියවා ගැනීමට 2000 වසරේ කැම්ප් ඩේවිඩ් සාකච්ඡාවලට නොහැකි විය

ඔස්ලෝ ගිවිසුමෙන් පසුව සිදුවන්නේ කුමක් ද?

2000 වසරේ දී 'දෙවන ඉන්ටිෆාඩාව' ලෙස හැඳින්වෙන පලස්තීන නැගිටීම සිදුවීමත් සමග, ඊශ්‍රායල දේශපාලනය සැලකිය යුතු ලෙස දකුණට බර විය.

ඔස්ලෝ පිටුපස සිටි ගාමක බලවේගය වූ ඊශ්‍රායලයේ කම්කරු පක්ෂයේ වැදගත්කම ක්‍රමයෙන් පිරිහී ගිය අතර, ඊශ්‍රායල ජනාවාසකරණයට පක්ෂව දැඩි මතයක් දැරූ විවිධ දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ප්‍රබල විය.

ඡන්දදායකයෝ මෙම වියවුලෙන් ගොඩ ඒමට දක්ෂිණාංශික ලිකූද් පක්ෂය සහ අරෆත්ගේ දැඩි විරුද්ධවාදියෙකු වන ඒරියල් ෂරෝන් ගැන විශ්වාසය තැබූහ.

ෂරෝන්ගේ කැබිනට් මණ්ඩලය පලස්තීනුවන් ඊශ්‍රායලයෙන් සහ බටහිර ඉවුරේ ඇතැම් ජනාවාසවලින් වෙන් කිරීමේ බාධකය ක්‍රියාත්මක කිරීමත් සමග කැරලිකාර පලස්තීන ජනතාව ඊශ්‍රායලයේ මිලිටරි බලයට මුහුණ දුන්නේ ය. අරෆත් 2004 වසරේ මියයාමට ආසන්න වනතුරු ම ඔහුගේ ගමන්බිමන් බටහිර ඉවුරේ රමල්ලා නගරයට සීමා කරවනු ලැබුණි.

අනපේක්ෂිත ලෙස, ෂරෝන් ගාසා තීරයේ මිලියන 1.5ක පලස්තීන වැසියන් අතර ජීවත් වූ ජනාවාසකරුවන් දහස් ගණනක් ඉවත්කර, හමුදා භටයින් ගාසා දේශසීමාව වෙත ගෙන ගියේ ය. බටහිර ඉවුරේ වූ හුදකලා ජනාවාස හතරකින් ද ජනතාව ඉවත් කෙරිණි.

"ජනාවාසකරුවන් ඉවත් කිරීමේ" සැලැස්මේ ප්‍රතිවිපාක විශාල විය. එහි අභිප්‍රාය වූයේ, අධික ලෙස ජනාකීර්ණ පලස්තීන ප්‍රදේශයකින් ජනාවාස ඉවත්කර ඊශ්‍රායල භූමියේ සිටින යුදෙව් ජාතිකයන් බහුතරයක් ආරක්ෂා කිරීම යි.

දේශපාලන සාකච්ඡා අවසන් කිරීම සඳහා එය "අවශ්‍ය ෆෝමැල්ඩිහයිඩ් ප්‍රමාණය" සැපයූ බව ෂරෝන්ගේ ඉහළ පෙළේ උපදේශකයෙකු මාධ්‍යවේදියෙකුට පැවසීය. ['අවශ්‍ය ෆෝමැල්ඩිහයිඩ් ප්‍රමාණය' යනුවෙන් අදහස් වන්නේ, යම් දෙයක් අවසන් කිරීමට හෝ තාවකාලිකව නතර කිරීමට අවශ්‍ය සාධක සැපයූ බව ය.]

එසේ වුව ද, මෙම පියවර හේතුවෙන් ලිකූද් පක්ෂය දෙකඩ වූ අතර ජනාවාසකරණය වෙනුවෙන් පෙනී සිටි පිරිස් තනිවීමට ද හේතු විය. අධෛර්යමත් නොවූ ෂරෝන් 2006 මැතිවරණයට සටන් කිරීම සඳහා නව පක්ෂයක් පිහිටුවා ගත්තේ ය.

ඡන්ද විමසීමට සතිය කිහිපයකට පෙර ඔහුගේ මොළයේ රුධිර වහනයක් සිදුවීම නිසා, බටහිර ඉවුර සඳහා ද එවැනි සැලැස්මක් තිබුණේදැ යි අප කිසි විටෙකත් දැන ගත්තේ නැත. ඒසේ තිබුණේ නම්, එය සිදු කිරීමට හැකියාව තිබුණේ ද ෂරෝන්ට පමණි.

ජනාවාසකරුවන් ඉවත් කිරීම ඔස්ලෝ මූලධර්ම පාවාදීමක් ලෙස අරෆත්ගේ අනුප්‍රාප්තිකයා වූ මහමුද් අබ්බාස් විසින් හෙළා දකින ලද නමුත්, ගාසා තීරයේ හමාස් ප්‍රධානීන් විසින් එය ප්‍රතිරෝධී ක්‍රියාකාරකම්වල ජයග්‍රහණයක් ලෙස සමරන ලදී.

නමුත් ඊජිප්තුවේ සහයෝගයෙන් ඊශ්‍රායලය ගාසා තීරය තුළට ඇතුළුවීම සහ පිටවීම අවහිර කිරීම දැඩි කිරීමත් සමග, ප්‍රචණ්ඩක්‍රියා නිතර සිදුවීම, සටන්කාමීන්ගේ වැටලීම් සහ රොකට් ප්‍රහාරක කණ්ඩායම් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීම, සහ ප්‍රතිරෝධය පාලනය කිරීම සඳහා [ඊශ්‍රායලය] බෝම්බ හෙලීම සහ ආක්‍රමණය කිරීම සිදුවිය.

මේ අතරතුර, බටහිර ඉවුරේ හමාස් සංවිධානය විකාශනය විය.

2006 වසරේ පලස්තීන අධිකාරියේ ව්‍යවස්ථාදායක සභා මැතිවරණයට සහභාගී වූ හමාස් සංවිධානයට, පලස්තීනුවන් සඳහා නිදහස ලබා දීමට හෝ දූෂණයෙන් තොරව විනිවිදභාවයෙන් පාලන කටයුතුවල නියැළීමට ෆටා සංවිධානය අසමත්වීම නිසා කලකිරීමට පත් වූ ඡන්දදායකයින්ගෙන් බහුතරයකගේ ඡන්දය හිමි විය.

හමාස් සංවිධානයට, ඊට පෙර පැවති පලස්තීන අධිකාරියේ අරමුණු අනුව කටයුතු කිරීමට, ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට සහ ඊශ්‍රායලය පිළිගැනීමට බල කිරීමට ජාත්‍යන්තර පීඩනය එල්ල විය. නමුත් ඊශ්‍රායලය පිළිගැනීම, හමාස් සංවිධානය කිරීමට සූදානම් වූ දෙයක් නොවිය.

හමාස් සංවිධානය විසින් පලස්තීන අධිකාරිය බලහත්කාරයෙන් ගාසාවෙන් නෙරපා හරින ලදී. එය සාමය සම්බන්ධ කටයුතුවල දී එතරම් ප්‍රගතියක් අත් කර නොගත්ත ද සාම ගිවිසුම් සඳහා කැප වූ ෆටා සංවිධානය විසින් පාලනය කරනු ලබන බටහිර ඉවුරෙන් ගාසා තීරය සන්නද්ධ ප්‍රතිරෝධයේ මධ්‍යස්ථානයක් ලෙස වෙන් වීමට හේතු විය.

එහෙත් දිගුකාලීන ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට සහ 1967 වසරේ දී ඊශ්‍රායලය විසින් අත්පත් කර ගනු ලැබූ භූමියේ රාජ්‍යයක් පිහිටුවිය හැකි බවට යෝජනා ඉදිරිපත් කරන, අනාගතයේ දී දේශපාලනික වශයෙන් මැදිහත්වීමේ හැකියාව ගැන ඉඟි කරන හමාස් ආකල්පවල වෙනස් වීමේ සලකුණු දක්නට තිබිණි.

නමුත් හමාස්, ඊශ්‍රායලය පිළිනොගන්නා ලෙස ඉල්ලා සිටින එහි ප්‍රඥප්තිය වෙනස් නොකළේ ය. ඊශ්‍රායලය ඒ වන විටත් බටහිර ඉවුර තුළ ප්‍රමාණාත්මක හා ජනගහනය අතින් ද ජනාවාස ව්‍යාප්ත කිරීම අඛණ්ඩව කරගෙන ගියේ ය.

කාලයාගේ ඇවෑමෙන්, හමාස් සංවිධානය විසින් ලෙබනනයේ හිස්බුල්ලා වැනි මිත්‍ර පාක්ෂිකයින්ගේ සහාය ඇතිව, ප්‍රතිරෝධයේ අක්ෂය ලෙස හඳුන්වනු ලැබූ හමුදා හැකියාවන් ගොඩනැගීම සඳහා, ගාසා තීරය තුළ වූ ඊශ්‍රායල සුපරීක්ෂාකාරී බවේ හිඟකම ද ප්‍රයෝජනයට ගත්තේ ය.

නව සුසමාදර්ශ

ඔක්තෝබර් 7 සහ එහි ප්‍රතිඵලය හේතුවෙන් දිගු කාලයක් පුරා පැවති ඊශ්‍රායල-පලස්තීන අර්බුදය නැවත ගෝලීය අවධානය වෙත ආ නමුදු, නව සාධක කිහිපයක් ද අවධානය දිනා තිබේ.

ඊශ්‍රායල පාර්ශවය තුළ, ගාසා තීරයේ සිවිල් වැසියන්ට බලපෑම් එල්ල වුව ද හමාස් සංවිධානය විනාශ කළ යුතු බවට පුළුල් එකඟතාවක් ඇත.

දක්ෂිණාංශික නෙතන්යාහුගේ ආධාරකරුවන් අතර ඇති කතිකාව ගාසා ජනගහනය ස්ථිරව ම ඉවත් කිරීමට ඉඩ සලසයි. පලස්තීන පාර්ශවයෙන් බැලූ විට, මෙය අරාබි බසින් "ව්‍යසනය" යන අරුත් දෙන තවත් "නක්බා" [දිනයක්] නියෝජනය කරනු ඇත. 1947 වසරේ අවසාන මාසවල සිට 1949 මුල් භාගය දක්වා, පලස්තීනුවන් 700,000ක් පමණ ඊශ්‍රායලය බවට පත්වූ දේශය තුළ සරණාගතයින් බවට පත් වීම 'නක්බා' වදනෙන් අදහස් කෙරෙයි.

නෙතන්යාහුගේ ප්‍රතිපත්ති නොවැළැක්විය හැකි ලෙස තනි වර්ණභේදවාදී රාජ්‍යයක් කරා ගෙන යනු ඇතැ යි බිය වූ ඊශ්‍රායල වාමාංශික දේශපාලනයේ නිරත පිරිස, හමාස් සංවිධානය ඉවත් කිරීම මඟින් හමාස්, පලස්තීන අධිකාරිය සහ ඊශ්‍රායලය යන ස්ථර ත්‍රිත්වයක් ඔස්සේ සිදු කෙරෙන පාලනය සරල කරනු ඇතැ යි සිතූහ. මෙය යළි ද්වි රාජ්‍ය විසඳුම කරළිය වෙත ගෙන ආවේ ය.

ගත් කතුවරයෙකු මෙන් ම ඊශ්‍රායල කම්කරු පක්ෂයේ සාමාජිකයෙකු වූ ඇව්රහම් බර්ග් බීබීසීය වෙත පැවසුවේ, ඊශ්‍රායලයට සහ පලස්තීනුවන්ට "සැබෑ කම්පනයකින්" මිදීමට කාලය අවශ්‍ය බව ය. නමුත් ලේ වැගිරීම් සඳහා එක ම තිරසර විරාමය ලබා දෙන ද්විරාජ්‍ය විකල්පයක් ඔවුන් තෝරා ගනු ඇතැ යි ඔහු විශ්වාස කරයි.

"අවසානයේදී දිගුකාලීන සාමයක් උදා කර දෙන දේශපාලන සූත්‍රය කුමක් වුවත් ඊශ්‍රායල ජාතිකයින් බහුතරයක් විසින් එය පිළිගනු ලබනු ඇත," ඔහු පැවසීය.

Jewish settlements

ගාසා තීරය තුළ සිදුවන ප්‍රහාර, බටහිර ඉවුරේ ජනාවාසකරුවන්ගෙන් එල්ල වන ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම් සහ හමුදා පීඩනය අත්විඳින හෝ රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය ඔස්සේ නරඹන පලස්තීනුවන්ට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ විවිධ සිතුවිලි ඇති විය හැකි ය.

ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ වෙසෙන පලස්තීනුවන් අතර Arab World for Research and Development (AWRAD) විසින් ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 7 දක්වා පවත්වන ලද මත විමසුමක දී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 68%ක් ප්‍රකාශ කළේ, ද්විරාජ්‍ය විසඳුමක් සඳහා වන ඔවුන්ගේ සහයෝගය පහත වැටී ඇති බව ය.

පලස්තීනුවන් ද ඔවුන්ගේ අරමුණ සඳහා ජාත්‍යන්තරව වර්ධනය වන සහයෝගය ගැන දැනුවත්වනු ඇත. රොයිටර්ස්/Ipsos මත විමසුමකින් හෙළි වූයේ, පෙර පරම්පරාවලට වඩා තරුණ අමෙරිකානුවන් ඊශ්‍රායලයට සහය දැක්වීමේ අඩුවක් දක්වන බව ය. වයස අවුරුදු 40ට අඩු ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 40%ක් එක්සත් ජනපදය මධ්‍යස්ථ මැදිහත්කරුවෙකු විය යුතු බව පවසයි.

සාම සාකච්ඡාවල ප්‍රධාන අනුග්‍රාහකයා වන වොෂින්ටනයේ ආරක්ෂාව යටතේ දශක තුනක කාලයක් සිටි ඊශ්‍රායලයට දැනෙන පීඩනයට වඩා 2023 සිදුවීම් ඊශ්‍රායලයට වැඩි පීඩනයක් බවට පරිවර්තනය වන්නේ ද, එය කෙසේදැ යි දැන ගැනීමට තවමත් කල් වැඩි ය.

කෙසේ වෙතත්, තවමත් සාමය වෙනුවෙන් බලා සිටින පලස්තීනුවන්ට ඊශ්‍රායල ජනාවාසකරුවන්ට අනාගත පලස්තීන රජ්‍යයක තවදුරටත් ජනාවාස ඉදිකර ගැනීම සඳහා කාලය සපයන පැහැදිලි අවසානයක් නොමැති සාකච්ඡා සඳහා යළි අවතීර්ණ වීමට අවශ්‍ය නොවේ.

"ඔවුන්ට ඇත්තට ම අවශ්‍ය නම්, මූලික වශයෙන් ඊශ්‍රායල දේශසීමා නිර්වචනය කරන සහ අත්පත්කර ගැනීම් අවසන් කරන ස්ථිරසාර ක්‍රියාමාර්ගයක් තිබිය යුතුයි" ගැටුම් නිරාකරණය පිළිබඳ විශේෂඥයෙකු වන දලාල් ඉරිකාත් පවසයි.

"පියවර ගන්නේ නැතුව, සාමය උදාකර ගැනීමේ ක්‍රියාවලිය ගැන එක්සත් ජනපදය කියන එක ම ලස්සන වචන ටික විතරක් නැවත නැවතත් කියන එකෙන්, මේක කරන්න බෑ."