ඊශ්‍රායල-ගාසා යුද්ධය: සටන තීව්‍ර කරන බවට නෙතන්යාහු ප්‍රතිඥා දෙයි

ඡායාරූප මූලාශ්‍රය, OFFICE OF ISRAELI PM
- Author, රෆී බර්ග්
- Role, බීබීසී පුවත්
ඉදිරි දින කිහිපයේදී ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව ගෙන යන සටන තීව්‍ර කරන බවට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ.
තමන් සඳුදා උදෑසන ගාසා තීරය වෙත ගිය බව ත් ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම අවසන් වීමට ආසන්න නොමැති බව ත් ඔහු තම පක්ෂයේ සාමාජිකයින්ට පැවසීය.
ඔහුගේ මෙම ප්‍රකාශය පැමිණෙන්නේ, ඊශ්‍රායලය සිය ප්‍රහාරවල තීව්‍රතාව අඩු කළ යුතු බවට එක්සත්
ජනපද රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව ය.
හමාස් සංවිධානය ඊශ්‍රායලය තුළ වූ ජනාවාස වෙත මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඔක්තෝබර් 7 වන දා යුද්ධය ආරම්භ විය.
ගාසාහි හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යංශය සඳුදා ප්‍රකාශ කළේ, එතැන් සිට ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් පලස්තීනුවන් 20,674ක් පමණ මිය ගොස් ඇති බව ය. ඉන් වැඩි පිරිසක් කාන්තාවන් සහ දරුවන් බවද එම අමාත්‍යංශය පවසයි.
ඔක්තෝබර් 7 වන දින හමාස් තුවක්කුකරුවන් දේශසීමා හරහා කඩාවැදී එල්ල කළ ප්‍රහාරවලින් ප්‍රධාන වශයෙන් සිවිල් වැසියන් 1,200 දෙනෙක් පමණ මිය ගියහ. පුද්ගලයන් 240ක් පමණ ගාසා තීරය වෙත ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන යනු ලැබිණි. 132 දෙනෙකු තවමත් රඳවාගෙන සිටින බව ඊශ්‍රායලය පවසයි.
හමාස් සංවිධානය විනාශ කර ප්‍රාණ ඇපකරුවන් ඊශ්‍රායලය වෙත නැවත ගෙන එන බවට නෙතන්යාහු ප්‍රතිඥා දී ඇත.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සිය ලිකුඩ් පක්ෂයේ රැස්වීමකදී ඔහු කියා සිටියේ, ගාසා තීරයේ ඔහු සිදු කළ සංචාරයේදී හමු වූ හමුදා භටයින් "අවසානය දක්වා" සටන් කරන ලෙසට ඉල්ලා සිටි බව ය.
"අපි නවතින්නේ නැහැ. අපි දිගට ම සටන් කරනවා, ඉදිරි දිනවලදී අපි සටන තීව්‍ර කරනවා. එය අවසානයට ආසන්න නොවන දිගු යුද්ධයක් වනු ඇත."
පසුව සඳුදා, තම ආදරණීයයන් වහා නිදහස් කර දෙන ලෙසට බල කරමින් ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් විසින් සිදු කරන ලද ඉල්ලීම් හමුවේ පාර්ලිමේන්තුව අමතමින් සිටි අගමැතිවරයාට බාධා එල්ල විය.
"මිලිටරි පීඩනය යෙදීමකින් තොරව පැහැරගෙන ගිය සියලු දෙනා නිදහස් කර ගන්න අපට බැහැ ... අපි සටන් කිරීම නවත්වන්නේ නැහැ," ඔහු එලස පැවසුවේ ගැලරියේ සිටි [ප්‍රාණ ඇපකරුවන්ගේ] ඥාතීන් "දැන් ම! දැන් ම!" යනුවෙන් එක්ව හඬ ගා පැවසීමත් සමග ය.
ඊශ්‍රායල සහ අරාබි මාධ්‍ය පවසන්නේ, ඊජිප්තුව දෙපාර්ශවය අතර සටන් විරාමයක් සඳහා සැලැස්මක් යෝජනා කර ඇති බව ය.
වාර්තාවලට අනුව, මෙම සැලැස්ම මගින් කොටස් වශයෙන් සියලු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සහ මාස එකහමාරක කාලයක් තුළ ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටින නිශ්චිත නොවන පලස්තීන සිරකරුවන් ගණනක් ක්‍රමානුකූලව මුදා හැරීම අවසන් වන්නේ, ඊශ්‍රායල ප්‍රහාර තාවකාලිකව නතර කරමිනි.
මීට පෙර කටාර් රජයේ මැදිහත් වීමෙන් එළඹි තාවකාලික සටන් විරාම ගිවිසුම හරහා පලස්තීන සිරකරුවන් වෙනුවෙන් ගාසා තීරයේ රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් විශාල ගණනක් නිදහස් කෙරිණි.
මේ වන විට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයක් සඳහා නැගෙන ඉල්ලීම්වලට විරුද්ධ වී ඇත.
ඉරිදා ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් තීරය මධ්‍යයේ ඇති අල්-මගාසි සරණාගත කඳවුරේ අවම වශයෙන් පුද්ගලයින් 70 දෙනෙකු මිය ගිය අතර ජනාකීර්ණ ප්‍රදේශයක් ද විනාශ වූ බවයි.
පලස්තීන රතු අඩසඳ සමාජය පැවසුවේ, ඊශ්‍රායලයේ “දැඩි” ගුවන් ප්‍රහාර මාගාසි සහ තවත් සරණාගත කඳවුරු දෙකක් වන අල්-බුරෙයිජ් සහ අල්-නුසෙයිරාත් අතර ප්‍රධාන මාර්ග වසා දැමීමට හේතු වූ අතර එය “ගිලන්රථ සහ ගලවා ගැනීමේ කණ්ඩායම්වල කාර්යයට බාධාවක් වන” බව ය.
ඉරිදා බීබීසීය වෙත ප්‍රකාශයක් කරමින් ඊශ්‍රායල හමුදාව කියා සිටියේ, “මගාසි කඳවුරේ සිදුවීමක් පිළිබඳ වාර්තා” තමන්ට ලැබී ඇති බව ය.
"ගාසා තීරයේ සිවිල් ප්‍රදේශ තුළ ක්‍රියාත්මක හමාස් ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වන අභියෝග නොතකා, IDF [ඊශ්‍රායල ආරක්ෂක හමුදාව] සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා ගත හැකි පියවර ගැනීම ඇතුළු ජාත්‍යන්තර නීතියට අනුගතවීමට කැපවී සිටියි," එය වැඩිදුරටත් පැවසීය.












