යේමනයේ හූති ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් ප්‍රහාර

The Galaxy Leader Vessel is seen on the Red Sea coast off Hudaydah, on May 12, 2024.

ඡායාරූප මූලාශ්‍රය, Mohammed Hamoud/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හූති කැරලිකරුවන් විසින් පැහැර ගන්නා ලද ගැලැක්සි ලීඩර් නෞකාව ඉලක්ක අතර තිබූ බව ඊශ්‍රායලය පවසයි
    • Author, යං ටියැන්
    • Role, බීබීසී පුවත්

බටහිර හුඩෙයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමන වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා තහවුරු කළේ, ඔවුන්ගේ ඉලක්ක අතර ගැලැක්සි ලීඩර් වාණිජ නෞකාව ද තිබුණු බවයි. 2023දී හූති කැරලිකරුවන් විසින් පැහැර ගන්නා ලද මෙම නෞකාව, ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා භාවිත කරන ලද බව ඊශ්‍රායලය පැවසීය.

ඊශ්‍රායල හමුදාවට අනුව, හුඩෙයිඩා, රාස් ඊසා සහ සයිෆ් වරායන් වෙත ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, යේමනයේ සිට ඊශ්‍රායලයට මිසයිල දෙකක් එල්ල කෙරිණි.

ඉරානයේ පිටුබලය ලබන හූති සන්නද්ධ කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ප්‍රහාරවලින් පසුව, සිය ගුවන් ආරක්ෂක පද්ධතිය "දේශීයව නිෂ්පාදනය කරන ලද මියයිල විශාල සංඛ්‍යාවක් භූමියේ සිට එල්ල කරමින්" ඊශ්‍රායල ප්‍රහාරයට මුහුණ දුන් බවයි.

එලෙස එල්ල වූ මිසයිලවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක සයිරන් නාද වී ඇති අතර, හමුදාව පැවසුවේ එම මිසයිල විනාශ කිරීමේ ප්‍රතිඵල පිළිබඳව "සමාලෝචනය" කෙරෙන බවයි.

ප්‍රහාර හුඩෙයිඩා වෙත එල්ල වූ බව යේමනයේ හූති පාලනය යටතේ පවතින මාධ්‍ය වාර්තා කළ නමුත් හානි හෝ ජීවිත හානි පිළිබඳ වැඩිදුර තොරතුරු සපයා නොමැත.

මෙම ප්‍රහාර "Operation Black Flag" හි කොටසක් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පැවසූ අතර හූති කැරලිකරුවන්ට "ඔවුන්ගේ ක්‍රියා සඳහා ඔවුන්ට දිගට ම වන්දි ගෙවීමට සිදුවනු ඇති" බවට අනතුරු ඇඟවීය.

"යේමනයේ ඉරණම ටෙහෙරානයේ ඉරණමට සමානයි. ඊශ්‍රායලයට අනතුරු කිරීමට උත්සහ කරන ඕනෑ ම කෙනෙකුට හානියක් සිදු වේවි. ඊශ්‍රායලයට විරුද්ධව අත ඔසවන ඕනෑ ම කෙනෙකුගේ අත කපා දැමේවි," ඔහු X හි සටහනක් තබමින් පැවසීය.

ඊශ්‍රායල-හමාස් යුද්ධය ආරම්භයේ සිට ම, ඉරානයේ පිටුබලය ලත් හූති කැරලිකරුවන් ගාසා තීරයේ පලස්තීනුවන්ට සහයෝගීතාව පළ කරමින් ඊශ්‍රායලයට නිතිපතා මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර රතු මුහුදේ වාණිජ නැව්වලට ද ප්‍රහාර එල්ල කර ඇත.

ඊශ්‍රායල ගුවන් හමුදාව පැවසුවේ, යේමනයේ වරායන් වෙත එල්ල කළ නවතම ප්‍රහාර, ඊශ්‍රායලයට සහ එහි පුරවැසියන්ට එරෙහිව හූති කැරලිකරුවන් විසින් "නැවත නැවතත්" එල්ල කරන ලද "ප්‍රහාරවලට" ප්‍රතිචාර දැක්වීමක් බවයි.

ඉලක්ක කරගත් වරායන් ඊශ්‍රායලයට සහ එහි මිත්‍ර රාජ්‍යයන්ට එරෙහිව "ත්‍රස්ත සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඉරාන පාලන තන්ත්‍රයෙන් ආයුධ ගෙන යාමට" භාවිත කරන බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

ප්‍රහාරයෙන් මද වේලාවකට පසු, සිය ගුවන් ආරක්ෂක පද්ධති ඊශ්‍රායලයේ ප්‍රහාරවලට මිසයිල මගින් ප්‍රහාර එල්ල කරමින් මුහුණ දුන් බව හූති කැරලිකරුවන් තහවුරු කළේ යැයි රොයිටර්ස් පුවත් ඒජන්සිය වාර්තා කළේ ය.

Yemen's port city of Hudaydah after it was struck by Israel on 6 May 2025.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඊශ්‍රායලය පැවසුවේ අසල පිහිටි ඉබ් සහ තායිස් නගරවලට විදුලිය සපයන රාස් කනාටිබ් බලාගාරයට ද ප්‍රහාරයක් එල්ල කළ බවයි.

මැයි සහ ජූනි මාසවලදී ඊශ්‍රායල නාවික හමුදා නැව් හුඩෙයිඩා වරාය නගරයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඊට එල්ල වූ මෙම නවතම ප්‍රහාරය එල්ල විය.

මිලියන සංඛ්‍යාත යේමන වැසියන්ට ආහාර සහ අනෙකුත් මානුෂීය ආධාර ලබා දෙන ප්‍රධාන පිවිසුම් ස්ථානය වන හුඩෙයිඩා වරාය, පසුගිය වසර තුළ ඊශ්‍රායල ප්‍රහාර රැසකට ගොදුරු වී තිබේ.