හූති කැරලිකරුවෝ සෞදි අරාබි ඛනිජ තෙල් මධ්‍යස්ථාන දෙකකට පහර දෙති ; තවත් ප්‍රහාර තර්ජන

සෞදි අරාබියේ 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට නියමුවන් නොමැති යානා (ඩ්‍රෝන) යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇත.
එම ප්‍රහාර සමඟ මහා ගින්නක් පැතිර ගිය අතර මේ වනවිට ගින්න පාලනය කරනු ලැබ ඇති සෞදි රාජ්‍ය මාධ්‍ය පවසයී.
ප්‍රහාරයට ඉලක්ක වී තිබෙන්නේ 'අබ්කයික්' (Abqaiq) ප්‍රදේශයේ පිහිටි 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් විශාලතම පිරිපහදු මධ්‍යස්ථානය සහ කුරේෂ්(Khurais) ඛනිජ තෙල් නිධියයි.
පළමු ප්‍රහාරය එල්ල වූ 'අබ්කයික්' (Abqaiq) පිරිපහදු මධ්‍යස්ථානයෙන් ගිනිදළු විහිද යන ආකාරය ඡායාරූප මගින් පෙන්නුම් කෙරෙයි.
ඉහත කී ප්‍රහාර සඳහා නියමුවන් නොමැති යානා දහයක්(10) යොදාගත් බව ඉරානයේ සහයෝගය ලබන යේමනයේ 'හූති'(Houthi group) කැරලිකරුවන්ගේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.
'බේරුත්' නගරයේ පිහිටි 'හූති' කැරලිකරුවන්ට අයත් 'අල් - මසිරා' (al-Masirah TV) රූපවාහිනියට අදහස් දැක්වූ එම හමුදා ප්‍රකාශකයා,ඉදිරිකාලය තුළ තවත් ප්‍රහාර එල්ල කිරීමට ඉඩකඩ ඇතැයි ද සඳහන් කළේය.
එහෙත් ඛනිජ තෙල් මධ්‍යස්ථානවලට එල්ල කෙරුණ ප්‍රහාරය පිටුපස වූයේ කවුරුන්ද? යන්න සම්බන්ධයෙන් සෞදි අරාබි නිලධාරීන්ගේ ප්‍රතිචාරය (තවමත් ) පළ වී නොමැත.
"නියමුවන් නැති (DRONE) යානා යොදා ගනිමින් එල්ල වූ ප්‍රහාර නිසා 'අබ්කයික්' (Abqaiq) සහ කුරේෂ්(Khurais) තෙල් මධ්‍යස්ථානවල ඇති වූ ගිනි නිවා දැමීමට, 'අරම්කො'(Aramco) ඛනිජ තෙල් ව්‍යාපාරයේ ආරක්ෂක කණ්ඩායම් උදේ පාන්දර හතරේ පටන් උත්සාහ කරමින් සිටියා"සෞදි නිල පුවත් සේවය(Saudi Press Agency) වාර්තා කළේය.
"මේවනවිට ගිනි ගැනීම් දෙකම පාලනය කර තිබෙනවා"

ඡායාරූප මූලාශ්‍රය, Reuters
'අබ්කයික්' (Abqaiq)ඛනිජ තෙල් මධ්‍යස්ථානය සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රාන්තයේ 'දහරාන්' නගරයෙන් කිලෝමීටර් හැටක් පමණ ඈතින් පිහිටා ඇති අතර, කුරේෂ්(Khurais) තෙල් මධ්‍යස්ථානය තවත් නිරිත දෙසට වන්නට කිලෝමීටර් දෙසීයක් පමණ ඈතින් පිහිටා ඇත.
කුරේෂ්(Khurais) තෙල් මධ්‍යස්ථානය සෞදි අරාබියේ විශාලත්වය ඇති දෙවැනි ස්ථානය හිමිකර ගන්නා ඛනිජ තෙල් නිධියයි.
අබ්කයික්' (Abqaiq) තෙල් මධ්‍යස්ථානය දිනකට තෙල් බැරල් හැත්තෑ ලක්‍ෂයක් පිරිපහදු කරයි.
බොර තෙල් නැව්ගත කිරීම සඳහා අවශ්‍ය සුරක්‍ෂිත තත්වයට පිරිපහදු කිරීම අතින් ලෝකයේ විශාලතම සමාගම තමන් බව 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරය පවසයි.
මරාගෙන මැරෙන ප්‍රහාරකයන් කණ්ඩායමක් 2006 වසරේ දී, අබ්කයික්' (Abqaiq) තෙල් මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ ප්‍රයත්නයක නිරත වූ අතර, එය ව්‍යවර්ථ කර දැමීමට සෞදි ආරක්ෂක හමුදා සමත්වූහ.
සෞදි අරාබියේ සල්මන් රජතුමාගේ පුත් ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරු ඛනිජතෙල් මත රටේ ආර්ථික රඳා පැවැත්ම අඩු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ 'පැකේජයක්' පෙරට ගෙන යමින් සිටින අතර, ඉහත කී ප්‍රහාර දෙක එල්ල කෙරුණේ එම ප්‍රතිසංස්කරණ පැකේජයේ කොටසක් වශයෙන් 'සමාගම් සුරක්ෂිතභාවය'ට අදාළ ලියකියැවිලි ප්‍රකාශයට පත් කිරීම සඳහා 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරය පියවර ගනිමින් සිටියදීය.
ඉරානයේ උදව් ලබන 'හූති' කැරලිකරුවන්ගේ ව්‍යාපාරය, යේමනයේ ආණ්ඩුව සහ සෞදි අරාබියේ නායකත්වයෙන් සැදුම්ලත් යුද සන්ධානයට එරෙහිව සටනක් ගෙන යමින් ඇත.
'හූති' කැරලිකරුවන් විසින් යේමන ජනාධිපති අබ්ද්රාබ්බුහ් මන්සූර් හාඩි(Abdrabbuh Mansour Hadi) සානා(Sanaa) අගනුවරින් නෙරපා හරිනු ලැබීමත් සමඟ 2015 වසරේ පටන් මෙම යුද්ධය සිදු වෙමින් පවතී.
බලයෙන් පහ වූ ජනාධිපති මන්සූර් හාඩි වෙනුවෙන් සහයෝගය දෙන සෞදි අරාබිය කැරලිකරුවන්ට එරෙහි කලාපීය රටවල සන්ධානයට නායකත්වය සැපයීමත් සිදු කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එම යුද සන්ධානය දිනපතාම මෙන් කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරන අතර, හූති කැරලිකරුවෝ සෞදි අරාබිය තුළට මිසයිල් මගින් පහර දෙති.
"සෞදි අරාබිය ඔවුන්ගේ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග නතර කරන තෙක් එරට ආයතන ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර ව්‍යාප්ත කරන" බව 'හූති' හමුදා ප්‍රකාශකයා අල්- මසිරා (al-Masirah) මාධ්‍ය ආයතනයට කියා සිටියේය.
පසුගිය අගෝස්තු මාසයේ ස්වභාවික ගෑස් මධ්‍යස්ථානයකට එල්ල කෙරුණ නියමුවන් නොමැති යානා යොදාගත් ප්‍රහාරයක් සහ මැයි මාසයේ තවත් ඛනිජ තෙල් මධ්‍යස්ථානයකට එල්ල කෙරුණ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ද 'හූති' කැරලිකරුවන්ට චෝදනා එල්ල විය.
ඉරානය සහ සෞදි අරාබිය අතර ඇති එදිරිවාදීකම් මුල්කර ගනිමින් නිතරම මෙන් පැතිර යන වෙනත් ගැටුම්කාරී සිදුවීම් ද එම කලාපයේ දක්නට ලැබෙයි.
ගල්ෆ් කලාපයේ ඛනිජ තෙල් නැව් දෙකකට පසුගිය ජූලි මාසයේ ප්‍රහාර එල්ල විය.
එම ප්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය ඉරානයට චෝදනා කළත් 'ටෙහෙරාන්' පාලනය එම චෝදනා බැහැර කරයි.
'ඕමාන් ගල්ෆ් ' කලාපයේ එක්සත් අරාබි එමීරයට අයත් ජල තීරයේ දී ඇති වූ පිපිරීම් මගින් ඛනිජ තෙල් නැව් හතරකට හානි සිදුවූ අතර, ඉන් දෙකක් යාත්‍රා කරමින් තිබුණේ සෞදි අරාබි ධජය දරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, EPA
එම ප්‍රහාර සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ (එවකට) එක්සත් ජනපද ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් (John Bolton) ඉරානයට චෝදනා කළ අතර, ටෙහෙරාන් බලධාරීන් විසින් එම චෝදනා බැහැර කරන ලද්දේ " විහිළුවක්" හැටියට විග්‍රහ කරමිනි.
ඉරානය පසුගිය ජුනි මාසයේ 'හෝර්මුස්' සමුද්‍ර සන්ධියේ දී (Strait of Hormuz) ඇමෙරිකාවට අයත් ඔත්තු බලන යානයක් වෙඩි තබා බිම හෙලනු ලැබීමෙන් අනතුරුව නෞකා ගමනාගමනය අතින් ඉතා වැදගත්කමක් සහිත එම මුහුදු මාර්ගයේ ගැටුම්කාරී තත්ත්වය තීව්‍ර වූ අතර, ඒ සමඟ සෞදි අරාබියේ ඇමෙරිකානු හමුදා රඳවන බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවෙදනය කළේය.
කියවන්න;








