මැද පෙරදිග උණුසුම: සෞදි අරාබියේ අභා ගුවන් තොටුපළට යළිත් ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
සෞදි අරාබියේ අභා ගුවන් තොටුපළට යළිත් වරක් යේමනයේ හුති කැරලිකරුවන්ගෙන් එල්ල වූ ප්‍රහාරයකින් සිරියානු වැසියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යේමනයේ ක්‍රියාන්විතයන්හි නිරත සෞදි ප්‍රමුඛ ආරක්ෂක බළඇණියේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ඉරිදා (ජූනි 23) පස්වරුවේ එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලැබූ බවය.
එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ කුමන වර්ගයේ අවි උපයෝගි කරගෙන ද යන්න ඔහු අනාවරණය කර නැත. එහෙත්, හුති ටීවී නමැති රූපවාහිනී නාලිකාව විකාශය කළේ, කැරලිකරුවන් අභා සහ ජිසාන් යන ගුවන් තොටුපළ ඉලක්ක කර ඩ්‍රෝන මගින් ප්‍රහාර එල්ල කර ඇති බවය.
සති දෙකක පමණ කාලයක් තුළ අභා ගුවන් තොටුපළට ප්‍රහාර එල්ල වූ දෙවන වතාව මෙය වේ.

ඡායාරූප මූලාශ්‍රය, AL-MASIRAH TV
සෞදි ප්‍රමුඛ මිත්‍ර ආරක්ෂක බළඇණියේ ප්‍රකාශක කර්නල් තුර්කි අල් මලිකි (Turki al-Maliki) පැවසුවේ, යේමන - සෞදි දේශ සීමාවේ සිට කිලෝමීටර් 110ක් පමණ දුරින් පිහිටි අභා ගුවන් තොටුපළට ඉරිදා රාත්‍රී 9.10ට පමණ (එරට වේලාවෙන්) ප්‍රහාරය එල්ල වූ බවය.
එහිදී තුවාල ලබා ඇත්තේ, සෞදි අරාබි, ඊජිප්තු, ඉන්දියානු සහ බංග්ලාදේශ වැසියන් පිරිසකි. එම පිරිසට කාන්තාවන් තිදෙනෙක් සහ ළමුන් දෙදෙනෙක් අයත් වන බව ප්‍රකාශකවරයා පැවසීය.
ප්‍රහාරයෙන් ගුවන් තොටුපළේ පිහිටි අවන්හලකට සහ නවත්වා තිබූ රථවාහන කිහිපයකට හානි සිදුව තිබූ අයුරු සෞදි අරාබියේ රජයට අයත් රූපවාහිනී නාලිකාවක් වන අල් එක්බරියා රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
- ජූනි 12
පසුගිය ජූනි 12 වන දා සෞදි අරාබියේ අභා ගුවන්තොටුපොළ වෙත යේමනයේ හුති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 26 දෙනෙක් තුවාල ලැබූහ.
- ජූනි 14
සෞදි අරාබියේ අභා ගුවන් තොටුපොළ වෙත යේමනයේ හුති කැරලිකරුවන් යළිත් ප්‍රහාරයක් එල්ල කළ අතර අභා ගුවන්තොටුපොළ සහ ඒ ආසන්නයේ පිහිටි ඛමිස් මුශායිට් (Khamis Mushait) නගරය නියමුවන් රහිත ප්‍රහාරක (ඩ්‍රෝන) යානා පහක ඉලක්කය වී ඇතැයි සෞදි බලධාරීන් නිකුත් කළ නිවේදනයක දැක්විණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මැද පෙරදිග උණුසුම
මේ වන විට මැද පෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී. ඉරානය සහ ඇමෙරිකාව අතර වර්ධනය වන උණුසුම් තත්ත්වයත්, සෞදි අරාබිය සහ හුති කැරලිකරුවන් අතර පවතින ගැටුම් තත්ත්වයත් ඊට හේතු වී තිබේ.
මීට පෙර ඉරානය විසින් ඕමාන් ගල්ෆ් කලාපයේදී නෞකා දෙකකට ප්‍රහාර එල්ල කළ බවට සෞදි අරාබිය සහ ඇමෙරිකාව චෝදනා කළේය.

ඡායාරූප මූලාශ්‍රය, IRANIAN TV
පසුව ඉරානය විසින් ඇමෙරිකාවට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානයකට ප්‍රහාරයක් එල්ල කළ බිම හෙළන ලදී.
එහි නවතම සිද්ධිය වූයේ, ඉරානයේ අවි ආයුධ දත්ත පද්ධතියට ඇමෙරිකාව විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමය.
ශ්‍රී ලාංකිකයන්ට පණිවුඩයක්
මේ අතර සෞදි අරාබිය තුළ අනතුරුදායක තත්ත්වයක් ඇති වන්නේ නම් වහා ම තානාපති කාර්යාල මැදිහත් වී ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගනු ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය පවසයි.
එම කාර්යංශයේ විදේශ සම්බන්ධතා පිළිබඳ සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සිය කාර්යංශයට කඩිනම් ප්‍රතිපාදන සපයා ඇති බවය.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ද ඒ සඳහා සෘජු ලෙස මැදිහත් වනු ඇති බවත් ඔහු පැවසීය.
මැද පෙරදිග කලාපයට අයත් විවිධ රටවල ශ්‍රී ලාංකිකයින් 750,000ක් පමණ සේවය කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
එහි විදේශ සම්බන්ධතා පිළිබඳ සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පැවසුවේ, සෞදි අරාබියේ පමණක් ශ්‍රී ලාංකිකයින් 194,000කට අධික පිරිසක් සේවය කරන බවය.
2017 වසරේ සංඛ්‍යා ලේඛන අනුව මැදපෙරදිග කලාපයේ පමණක් සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ආදායම රුපියල් මිලියන 565,542කි.
එය සමස්ත ලෝකයේ ම විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාවට ලැබෙන වාර්ෂික ආදායමෙන් 52%ක ප්‍රතිශතයකි.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
තවදුරටත් කියවන්න:








