මැදපෙරදිග තවත් උණුසුම් වෙයි: ඉන්ධන මිලට සහ ගුවන් ගමන්වලට බලපෑම්

ඡායාරූප මූලාශ්‍රය, IRNA
හෝමස් සමුද්‍ර සන්ධිය ආසන්න ප්‍රදේශයකදී ඇමෙරිකාවට අයත් නියමුවන් රහිත ආරක්ෂක සෝදිසි මෙහෙයුම් යානයකට පහර දී බිම හෙළීමෙන් ඉරානය "විශාල අත්වැරද්දක්" සිදු කර ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
කෙසේ වෙතත්, මාධ්‍යවේදීන් අමතමින් ඔහු ප්‍රකාශ කළේ, එය කිසිවෙකු අතින් සිදු වූ අත්වැරදීමක් (human error) මත සිදුවූවක් විය හැකි බවය.
"සිතාමතා සිදු කළ දෙයක් බව විශ්වාස කිරීමට අපහසුයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරන පරිදි එකට එක කිරීමක් වශයෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා අනුමැතිය ලබා දී ඇති නමුත් පසුව එම තීරණය වෙනස් කර ඇත.
අදාළ යානය සිය ගුවන් කලාපයට ඇතුළු වී ඇති බව ඉරානය පවසන අතර ඇමරිකාව එය ප්‍රතික්ෂේප කරයි.
නියමුවන් රහිත ඇමරිකානු යානයට ප්‍රහාර එල්ල වූයේ දෙරට අතර උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින අතරතුරදීය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ජවාඩ් සරිෆ් පැවසුවේ, ඇමෙරිකාව "අපට අයත් භූමි සීමාවට අනවසරයෙන් ඇතුළු වූ," බවට එක්ත් ජාතීන්ගේ සංවිධානය වෙත පැමිණිලි කරනු ඇති බවය.
අදාළ නියමුවන් රහිත යානය පැහැදිලි ලෙස ම ඔත්තු සේවා මෙහෙයුමක නිරත වූ අතර එය ජත්‍යන්තර නීතිය අමුඅමුවේ උල්ලංඝණය කිරීමක් බව ඉරානයේ, එක්සත් ජාතීන්ගේ තානාපති මජිඩ් ටක්ට් රාවන්චි පැවසීය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සහ ආරක්ෂක කවුන්සිලය වෙත ලිපියක් යොමු කරමින් රාවන්චි පවසා ඇත්තේ, ඉරානය යුද්ධයක් අපේක්ෂා නොකළ අතර සතුරු ක්‍රියාකාරකම් හමුවේ සිය භූමිය ආරක්ෂා කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටි බවය.
ට්‍රම්ප් කීවේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ධවල මන්දිරයේදී අදහස් පළ කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යානය බිම හෙළීම හැඳින්වූයේ, "නිරාකරණය වෙමින් පැවති ගැටලුවක් යළි ඇවිස්සූ," සිද්ධියක් ලෙසය.
ඔහු පැවසුවේ, අදාළ නියමුවන් රහිත යානය ජාත්‍යන්තර මුහුදු සීමාවට අයත් අහසේ පියාසර කළ අතර ඉරාන ගුවන් අවකාශයේ පියාසර නොකළ බවය.
"මම හිතන්නේ ඉරානයට අත්වැරැද්දක් වෙන්න ඇති - මට හිතෙන විදිහට කවුරුන් හෝ වැරදීමකින් යානයට ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ," ඔහු සඳහන් කළේය.
"ඒක කාගෙ හරි පිස්සු මෝඩ වැඩක්."

ඡායාරූප මූලාශ්‍රය, US NAVY/KELLY SCHINDLER
සෙසු ප්‍රතිචාර
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුතින් අනතුරු අඟවා ඇත්තේ, ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් "අනපේක්ෂිත ප්‍රතිවිපාක සහිත ව්‍යසනයක්" බවට පත් විය හැකි බවය.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් සියලු පාර්ශවවලින් ඉල්ලා ඇත්තේ, උපරිම ඉවසීමෙන් කටයුතු කරන ලෙසය.
ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් හවුස්හි කතානායක නැන්සි පෙලෝසි පැවසුවේ, ඉරානය සමග යුද වැදීමට ඇමෙරිකාවට රුචියක් නොමැති බවය.
මේ අතර, ඉරානයේ හැසිරීම "අනුමත කළ නොහැකි" බවට ඉරානය වෙත පණිවුඩයක් යැවීමට උත්සහ දරන බව සෞදි අරාබියේ විදේශ අමාත්‍ය අඩෙල් අල්-ජුබෙයිර් බීබීසී පුවත් සේවයට පැවසීය.
ඉන්ධන මිලට සහ ගුවන් ගමන්වලට බලපෑම්
ඉහත කී සිදුවීමත් සමග ලෝක වෙළෙඳපළේ ඉන්ධන මිල 5%කින් ඉහළ ගොස් ඇති අතර ගුවන් ගමන්වලට ද බලපෑම් එල්ල වී ඇත.
යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් සමාගම ඇමෙරිකාවේ නිවෝර්ක් සිට ඉන්දියාවේ මුම්බායි දක්වා ගුවන් සේවා අත්හිටුවා තිබේ. ඒ, එම ගුවන් ගමන් ඉරාන ගුවන් අවකාශය හරහා වැටී තිබීම හේතුවෙනි. එම සමාගම පැවසුවේ, "දැඩි ආරක්ෂක විශ්ලේෂණයකින් අනතුරුව," එම තීරණයට එළඹි බවය.
මැදපෙරදිග උණුසුම: මෙතෙක් සිදුවූයේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, IRANIAN TV
ඉරාන ගුවන් අවකාශය තුළදී නියමුවන් රහිත ඇමෙරිකානු "ඔත්තු සේවා" යානයකට පහර දී බිම හෙළූ බව ඉරානයේ රාජ්‍ය ආරක්ෂක හමුදා ශාඛාවක් වන ඉස්ලාම් විමුක්ති ආරක්ෂණ බළකාය පවසා තිබේ.
එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, ඉරානයේ හෝමොස්ගන් පළාතේ කුමෝබාරක් ප්‍රදේශය ආසන්නයේදී අදාළ යානයට ආරක්ෂක හමුදා විසින් ප්‍රහාර එල්ල කරනු ලැබූ බවය.
ඇමෙරිකාව එය තහවුරු කරමින් පවසා ඇත්තේ, හෝමස් සමුද්‍ර සන්ධිය ඉහළින් පියාසර කරමින් තිබියදී ඉරාන ගුවන් මිසයිල ප්‍රහාරයකින් එම යානය කඩා වැටී ඇති බවය.
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'MQ-4C Triton' මාදිලියේ යානයකට එලෙස ප්‍රහාර එල්ල වී ඇති බව ඇමෙරිකානු නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි.
මෙම සිද්ධිය වාර්තා වූයේ, මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ අතිරේක හමුදා භටයින් 1000ක් එම කලාපයට යවන බවට ඇමෙරිකාව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුවය.
ඕමාන් ගල්ෆ් කලාපයේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවලට බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට ඇමෙරිකාව ඉරානයට චෝදනා කළේය.
පසුගිය බ්‍රහස්පතින්දා ඕමාන් ගල්ෆ් කලාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල වූ අතර, ඊට මසකට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළ ආසන්නයේදී තවත් නෞකා 4ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල විය.
බ්‍රහස්පතින්දා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ද ඉරානයට චෝදනා එල්ල කළ අතර ඉරානය එය ප්‍රතික්ෂේප කළේය.
තවදුරටත් කියවන්න.








