මැද පෙරදිග උණුසුම: ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 750,000කට කුමක් වේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Iranian TV
- Author, කුමුදු ජයවර්ධන
- Role, BBC සිංහල සේවය
මැද පෙරදිග කලාපයේ යළිත් වරක් දේශපාලනික වශයෙන් උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී.
ඉරානය සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල් අතර ඇති වන උණුසුම් තත්ත්වය හමුවේ අතිරේක හමුදා සාමාජිකයින් 1000ක් මැදපෙරදිග කලාපයට පිටත් කර හැරීමට ඇමෙරිකානු ආරක්ෂක හමුදා තීරණය කර තිබේ.
ඇමෙරිකාවේ වැඩබලන ආරක්ෂක ලේකම් පැට්‍රික් ෂානහන් පැවසුවේ, ඉරාන හමුදාවන්හි "සතුරු හැසිරීමට" ප්‍රතිචාරයක් වශයෙන් එම අතිරේක බළකාය යැවීමට පියවර ගන්නා බවය.
පසුගිය සතියේදී ඕමාන් ගල්ෆ් කලාපයේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට එල්ල කළ ප්‍රහාරයට ඉරානය සම්බන්ධ බව පවසමින් ඇමෙරිකානු නාවික හමුදාව තවත් ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබේ.
ඇමෙරිකාව චෝදනා කරන්නේ, ඉරානය නෞකාවලට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවටය. කෙසේ වෙතත් ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, US DEPARTMENT OF DEFENSE
ශ්‍රී ලාංකිකයින් ගැන අවධානයෙන්
මැදපෙරදිග කලාපයේ මතු වෙමින් පවතින උණුසුම් තත්ත්වය බරපතළ වුවහොත් එහි සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෘජුව මැදිහත් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
එහි විදේශ සම්බන්ධතා පිළිබඳ සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බවය.
මීට පෙර එම කලාපයේ යුද්ධමය ගැටුම් පැවති අවස්ථා දෙකකදී රජය මැදිහත් වී ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත් බව ද ඔහු පැවසීය.
ඒ අනුව, යම් බරපතළ තත්ත්වයක් උද්ගත වුවහොත් තානාපති කාර්යාල සහ වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හරහා ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, SLBFE
මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයින්
මැදපෙරදිග කලාපයට අයත් විවිධ රටවල ශ්‍රී ලාංකිකයින් 750,000ක් පමණ සේවය කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එහි විදේශ සම්බන්ධතා පිළිබඳ සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පැවසුවේ, සෞදි අරාබියේ පමණක් ශ්‍රී ලාංකිකයින් 194,000කට අධික පිරිසක් සේවය කරන බවය.
2017 වසරේ සංඛ්‍යා ලේඛන අනුව මැදපෙරදිග කලාපයේ පමණක් සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ආදායම රුපියල් මිලියන 565,542කි.
එය සමස්ත ලෝකයේ ම විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාවට ලැබෙන වාර්ෂික ආදායමෙන් 52%ක ප්‍රතිශතයකි.
මැද පෙරදිග උණුසුම

ඡායාරූප මූලාශ්‍රය, AFP/HO/IRIB
මේ වන විට සෞදි අරාබිය සහ ඉරානය අතර යම් උණුසුම් තත්ත්වයක් ආරම්භ වී තිබේ. ඒ, ඕමාන් ගල්ෆ් කලාපයේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට ප්‍රහාර එල්ල වීමත් සමගය.
ඕමාන් ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පසුගිය දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබිය සිය ප්‍රතිවාදී ඉරානයට චෝදනා කළේය.
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන් පැවසුවේ, කලාපය තුළ උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින හෙයින් ඕනෑ ම තර්ජනයකට මුහුණ දීමට සෞදි අරාබිය පසුබට නොවන බවය.
පසුගිය බ්‍රහස්පතින්දා ඕමාන් ගල්ෆ් කලාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල වූ අතර, ඊට මසකට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළ ආසන්නයේදී තවත් නෞකා 4ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල විය.
බ්‍රහස්පතින්දා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ද ඉරානයට චෝදනා එල්ල කළ අතර ඉරානය එය ප්‍රතික්ෂේප කළේය.
සෞදි අරාබියේ අර්බුද
මේ වන විට සෞදි අරාබිය ද කැරලි ප්‍රහාරවලට ලක්ව තිබේ.
පසුගිය සතියේදී දෙවරක් ම සෞදි අරාබියේ අභා ගුවන් තොටුපළට හුතී කැරලිකරුවන්ගෙන් ප්‍රහාර එල්ල විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අභා ගුවන්තොටුපොළ සහ ඒ ආසන්නයේ පිහිටි ඛමිස් මුශායිට් (Khamis Mushait) නගරයට නියමුවන් රහිත ප්‍රහාරක (ඩ්‍රෝන) යානා පහක ප්‍රහාරයක් එල්ල වූයේ ජූනි 14 වන දාය.
ඊට දින දෙකකට පෙර එම ගුවන් තොටුපළට ම එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙක් තුවාල ලැබූහ.
තවදුරටත් කියවන්න:








