ඇමරිකාව ඉරාන අවි පද්ධතියට 'සයිබර් ප්‍රහාරයක් එල්ල කරයි'

Iran surface to air missiles

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සයිබර් ප්‍රහාරය මගින් ඉරානයේ රොකට් සහ මිසයිල පාලනය කරන පරිගණක පද්ධති අක්‍රිය කර ඇති බව 'වොෂිංටන් පොස්ට්' පුවත්පත වාර්තා කරයි

ඉරානය සහ ඇමරිකාව අතර උණුසුම තවදුරටත් ඉහළ යමින් පවතී.

ඉරානය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය ලබා දී පසුව එම තීන්දුව වෙනස් කෙරුණ ද ඇමරිකාව විසින් ඉරාන අවි පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඉහත කී සයිබර් ප්‍රහාරය මගින් ඉරානයේ රොකට් සහ මිසයිල පාලනය කරන පරිගණක පද්ධති අක්‍රිය කර ඇති බව 'වොෂිංටන් පොස්ට්' පුවත්පත වාර්තා කරයි.

'හෝමස්' සමුද්‍ර සන්ධි සාගර කලාපයේදී ඉන්ධන ප්‍රවාහන නෞකා වෙත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව ඉරානය වෙත ඇඟිල්ල දිගු කරන අතර ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

නෞකා වෙත එල්ල වූ ප්‍රහාර සහ ඉන් අනතුරුව හටගත් උණුසුම්කාරී වාතාවරණය අතරතුර ඇමරිකාවට අයත් නියමුවන් රහිත යානයක් බිම හෙලීම සම්බන්ධයෙන් එකට එක කිරීමක් වශයෙන් සයිබර ප්‍රහාරය දියත් කර ඇති බව 'නිව් යෝක් ටයිම්ස්' පුවත්පත පවසයි.

ඉරාන මෙහෙයුම් පද්ධතිවලට යම් හානියක් සිදු වී ඇත්දැයි යන්න ස්වාධීන වශයෙන් තහවුරු වී නොමැත.

US President Donald Trump

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ට්‍රම්ප්

ඉරානය වෙත තවදුරටත් සම්බාධක පැනවීමට ඇමරිකාව සූදානම් වන අතර එය "බරපතල" එකක් වනු ඇති බව ජනාධිපති ට්‍රම්ප් පවසයි.

ටෙහෙරාන් පාලනය න්‍යෂ්ටික අවි අත් කර ගැනීම වළකාලීමට සම්බාධක අවශ්‍ය කෙරුණු බව කී ජනාධිපතිවරයා ටෙහෙරානය සිය ගමන් මග වෙනස් නොකරන්නේ නම් ආර්ථික පීඩනය තවදුරටත් පැවතෙනු ඇති බව සඳහන් කළේය.

ජෙරුසලමේදී අදහස් දක්වමින් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ජෝන් බෝල්ටන් කියා සිටියේ නවතම සම්බාධක පිළිබඳ තොරතුරු සඳුදා (ජුනි 24) නිවේදනය කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවය.

"මැදපෙරදිග කලාපයේ දඩයම් සිදු කිරීමට කිසිවෙකු ඉරානයට බලපත්‍රයක් ලබා දී නොමැති" බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මැද පෙරදිග උණුසුම

ඡායාරූප මූලාශ්‍රය, Iranian TV

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයට ලක් වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක්

ඉරානය සහ ලෝක බලවතුන් අතර 2015 ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව පසුගිය වසරේදී ඉවත් වූ අතර එතැන් සිට ඉරානය සහ ඇමරිකාව අතර උණුසුම ඉහළ යමින් පවතී. සම්බාධක යළි ක්‍රියාත්මක කිරීම ඉරාන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් එකඟ වූ සීමා ඉක්මවා කටයුතු කරන බව ඉරානය පසුගිය සතියේදී නිවේදනය කළේය.

ඉරානය සමග යුද වැදීමට අවශ්‍යතාවක් නොමැති බව පවසන ජනාධිපති ට්‍රම්ප්, එවැනි ගැටුමක් ඇති වුවහොත් ඉරානය "මකා දැමීමකට" මුහුණ දෙනු ඇතැයි අනතුරු ඇඟවීය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

නියමුවන් රහිත ගුවන් යානය

ඇමෙරිකාවට අයත් නියමුවන් රහිත ආරක්ෂක සෝදිසි මෙහෙයුම් යානයකට පහර දී බිම හෙළීමෙන් ඉරානය "විශාල අත්වැරද්දක්" සිදු කර ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

කෙසේ වෙතත්, මාධ්‍යවේදීන් අමතමින් ඔහු ප්‍රකාශ කළේ, එය කිසිවෙකු අතින් සිදු වූ අත්වැරදීමක් (human error) මත සිදුවූවක් විය හැකි බවය.

"සිතාමතා සිදු කළ දෙයක් බව විශ්වාස කිරීමට අපහසුයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ යානය සිය ගුවන් කලාපයට ඇතුළු වී ඇති බව ඉරානය පවසන අතර ඇමරිකාව එය ප්‍රතික්ෂේප කරයි.

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ජවාඩ් සරිෆ් පැවසුවේ, ඇමෙරිකාව "අපට අයත් භූමි සීමාවට අනවසරයෙන් ඇතුළු වූ," බවට එක්ත් ජාතීන්ගේ සංවිධානය වෙත පැමිණිලි කරනු ඇති බවය.

අදාළ නියමුවන් රහිත යානය පැහැදිලි ලෙස ම ඔත්තු සේවා මෙහෙයුමක නිරත වූ අතර එය ජත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බව ඉරානයේ, එක්සත් ජාතීන්ගේ තානාපති මජිඩ් ටක්ට් රාවන්චි පැවසීය.