සියැසින් දුටිමි යේමනයේ ජන දුක

යේමනයේ යුද්ධයට මැදිව සිටින සාමාන්‍ය ජනතාව සාගතයෙන් සහ රෝගවලින් ද පීඩා විඳිති.
ඔවුන් මුහුණ දී සිටින දරුණු මානුෂීය තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
යේමනයට ඇතුළු වීම වැළැක්වීමට සෞදි අරාබිය දැරූ උත්සාහය අභිබවමින් එරට ජනතාව විඳින පීඩාව සියැසින් දැක ගැනීමට බීබීසීයේ ඔර්ලා ගුවරින් ඇතුළු ඇයගේ කණ්ඩායමට හැකි විය.
යේමනයේ ආණ්ඩුවේ හමුදා සහ හුති කැරලිකරුවන් අතර වසර දෙකක් පුරා ගැටුම් පවතී.
ආණ්ඩුවේ හමුදාවට සහාය ලබා දෙන සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය හුති කැරලිකරුවන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කරති.
යුද්ධය හමුවේ යේමනයේ සෞඛ්‍ය සේවා, සනීපාරක්ෂාව සහ ජල සැපයුම් පද්ධති බිඳ වැටී ඇත.
මානුෂීය ව්‍යසනයක්


ගැටුම් සහ සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය විසින් පනවන ලද සම්බාධක හමුවේ මානුෂීය ව්‍යසනයකට මුහුණ දී සිටින යේමනයේ ජනගහනයෙන් 70% කට ආධාර අවශ්‍ය කර තිබේ.
නාඩි වැටීම පවා නතර වූ අබ්දුල්ලා මොහමඩ් සලීම් නමැති කොලරා රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට අඩේන් නුවර පිහිටි රෝහලේ කාර්ය මණ්ඩලය වෙහෙසෙන ආකාරය බීබීසීයට දැකගත හැකි විය.
කොලරාව යනු 'Vibrio' නම් බැක්ටීරියාවක් මගින් ඇති කරන බෝවන ආන්ත්‍රික රෝගයකි. එය මිනිසුන්ට බෝවන්නේ අපවිත්‍ර පානීය ජලය හා ආහාර පරිභෝජනය මගිනි.
කොලරා රෝගය දරුණු වූ රෝගියෙකුට ප්‍රතිකාර නොකිරීම මරණයට හේතු විය හැක.
දරුණුතම වසංගතය
පසුගිය මාස කීපය තුළ යේමනයේ කොලරාවට ගොදුරුව ඇති සංඛ්‍යාව ලක්ෂ ගණනකි.
එය මෑත ඉතිහාසයේ යේමනය මුහුණ දුන් දරුණුතම වසංගතයයි.
රෝහල්, රෝගීන්ගෙන් පිරී ඇති අතර ආහාර හිඟය හේතුවෙන් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් බොහෝ විට කොලරාවට ගොදුරු වීමට වැඩි ඉඩක් පවතී.
යේමනයේ ජනතාවගෙන් 60% සිය මීළඟ ආහාර වේල ලැබෙන්නේ කෙසේදැයි නොදනිති.
සෞදි ගුවන් ප්‍රහාර



ඔවුන් සාගතයට ගොදුරු වීමට ඇති ඉඩකඩ පිළිබඳ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි.
දැඩි ලෙස මන්දපෝෂණයට ගොදුරුව සිටින දරුවන් සංඛ්‍යාව පන් ලක්ෂයක් වෙසෙන යේමනයේ අනාගතය ගිලිහීමේ අවදානමක් පවතින බව එරට වෛද්‍යවරු බීබීසීයට පැවසූහ.
වසර දෙකක් පුරා පවතින යුද්ධය හමුවේ සෞදි නායකත්වයෙන් යුත් සන්ධානයේ ගුවන් යානා විසින් එල්ල කරන ප්‍රහාරවලින් නිවාස, රෝහල් සහ පාසල් විනාශ වී තිබේ.
ප්‍රහාරවලට ගොදුරු වී මරණයට පත් සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව තුන්දහසකට අධිකය.
ඇතැම් පිරිස් තම නිවහනේ සුන්බුන් අතර දිවි ගෙවති.
විනාශය හැර කිසිඳු පාර්ශවයක් නිසැක හමුදා ජයග්‍රහණයක් වෙත ළඟා වී ඇති බවක් පෙනෙන්නට නොමැත.











