යේමනයෙන් ආ මිසයිලය : සෞදි කුමරුගෙන් ඉරානයට චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, Reuters
යේමන කැරලිකරුවන්ට මිසයිල සැපයීම සම්බන්ධයෙන් ඉරානයට චෝදනා නගන සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහම්මඩ් බින් සල්මන්, එය "ඍජු හමුදාමය ගැටීමකට මුල පිරීමක්" බවට කියා සිටී.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් සමග කළ දුරකතන සංවාදයකදී මෙය "යුධමය ක්‍රියාවක් ලෙස සැළකිය හැකි සිදුවීමක්" ලෙසින් පෙන්වා දී ඇතැයි සල්මන් කුමරු උපුටා දක්වන සෞදි රාජ්‍ය මාධ්‍ය පවසයි.
නොවැම්බර් 04 සෙනසුරාදා සෞදි අගනගරයට ආසන්නයේදී එම බැලිස්ටික් මිසයිලය විනාශ කෙරිණි.
සෞදිය ප්‍රධානත්වය දරන සන්ධානයක සහය ලබන යේමන ආණ්ඩුවට එරෙහි හුති කැරලිකරුවන් සන්නද්ධ කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව ඉරානය ප්‍රතික්‍ෂේප කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
සෞදියේ "ආක්‍රමණකාරී යුද්ධ" සහ "කලාපීය අයුතු බලපෑම්" මැදපෙරදිග සාමයට තර්ජනක් බව ඉරාන විදේශ ඇමැති මොහමඩ් ජවාඩ් සරීෆ් සඳුදා (06) පැවසීය.
කැරලිකරුවන් King Khaled අන්තර්ජාතික ගුවන්තොටුපල ඉලක්ක කර Burkan H2 බැලිස්ටික් මිසයිලයක් එල්ල කරන ලද බව හුති කැරලිකරුවන්ට පක්ෂපාතී මාධ්‍ය වාර්තා කරයි. King Khaled ගුවන්තොටුපොළ පිහිටා තිබෙන්නේ යේමන දේශසීමාවේ සිට කි.මි. 850 පමණ දුරකින් වන අතර රියාද් නුවරට කි.මි. 35ක් ඊසාන දෙසිනි.
මිසයිලය උඩු ගුවනේදීම විනාශකර දැමුවද එහි කොටස් ගුවන්තොටුපල ආශ්‍රිත ප්‍රදේශයට පතිත වී ඇතත් ඉන් කිසිවකුට අනතුරක් සිදුවූ බව වාර්තා වී නැත.
හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය පවසන්නේ සිවිල් ගුවන්තොටුපොළකට මිසයිල එල්ල කිරීම යුධ අපරාධයක් ලෙස පෙන්නුම් කෙරෙන බවය.
මේ තොරතුරුත් දැනගන්න :

සෙනසුරාදා දුරකථන සංවාදයේදී බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා "හුති සන්නද්ධ කණ්ඩායම් මිසයිලයක් එල්ල කිරීම හෙළා දුටුවා" යැයි ද "ආරක්‍ෂාවට එල්ලවන තර්ජනවලදී සෞදි රාජධානිය සමග බ්‍රිතාන්‍යය එක්ව කටයුතු කරනවා" යැයි ද ප්‍රකාශ කළ බව සෞදි රජයේ නිල මාධ්‍ය ඒජන්සිය අඟහරුවාදා (නොවැ. 7) වාර්තා කළේය.
CNN වෙත සඳුදා ප්‍රකාශයක් කළ සෞදි විදේශ ඇමති ඇඩෙල් අල් ජුබීර් පැවසුවේ ඉරානය වෙනුවෙන් මෙහෙයවනු ලබන ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය ද මිට සම්බන්ධ බවය.
"එය යේමනයේ හුති කැරලිකරුවන් සිටින ප්‍රදේශයක සිට හිස්බුල්ලා කණ්ඩායම විසින් එල්ල කරන ලද මිසයිලයක්" යැයි ඔහු පැවසීය.
මෙය ජූලි මාසයේදී මක්කම නගරයට ආසන්නයේදී බිම හෙලන ලද මිසයිලයට සමාන වන අතර, ඉරානයේ නිෂ්පාදනය කරන ලද එය කොටස් කර රහසේ යේමනයට යවා "ඉරාන විප්ලවීය ආරක්ෂක බලමුළුවේ සාමාජිකයින් සහ හිස්බුල්ලා සටන්කාමීන් එක්ව" යළි එකලස් කර ඇති බව ඔහු තවදුරටත් පැවසිය.
ඉරාන මැදිහත්වීම් මැදපෙරදිග කලාපයේ ආරක්‍ෂාවට හා සාමයට තර්ජනයක් බව ජුබීර් තවදුරටත් අවධාරණය කළේය.
ඉරාන විදේශ ඇමති ජවාඩ් සරිෆ් මෙම චෝදනා ට්විටර් පණිවුඩ මාලාවක් හරහා ප්‍රතික්‍ෂේප කර ඇත.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ඉරාන තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු සදහන් කළේ මිසයිල ප්‍රහාරය සෞදිය ප්‍රමුඛ සන්ධානයේ "ප්‍රචණ්ඩත්වයට" ප්‍රතිචාර වශයෙන් කරන ලද "ස්වාධින ක්‍රියාවක්" වන අතර ඉරානය ඊට සම්බන්ධයක් නැති බවය.
ප්‍රහාරයට එකට එක කිරීමක් ලෙස සෞදිය ප්‍රමුඛ සන්ධානයේ රටවල් යේමනය සමග සම්බන්ධ කෙරෙන සියලු ගොඩබිම්, මුහුදු මාර්ග හා ගුවන්තොටුපොළ "තාවකාලිකව" වසා දමන බව ප්‍රකාශ කළහ. එහෙත් මානුෂවාදී ආධාර දැඩි පිරික්සුමකට යටත්ව තවදුරටත් යේමනයට සැපයීමේ අවස්ථාව සලසාදී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 2015 මාර්තු මාසයේදී යේමනයේ සිවිල් යුද්ධයට සන්ධානය මැදිහත්වූ තැන සිට එල්ල කෙරුණු ගුවන් ප්‍රහාර හා ගොඩබිම් සටන්වලින් පුද්ගලයින් 8670ක් මිය ගොස් තිබේ. ඉන් 60% ක් සාමාන්‍ය ජනතාව වේ. මෙම අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මිලියන 20කට අධික පිරිසක් මානුෂීය ආධාර ලැබිය යුතු තත්ත්වයකට පත්ව සිටිති.
මේ තොරතුරුත් දැනගන්න :









