'Rebuilding Sri Lanka' කළමනාකරණ කමිටුව: ව්‍යසන කළමනාකරණ පනතේ විධි විධාන රජය අනුගමනය කළා ද? එල්ල වන විවේචන මොනවා ද?

ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සහ Rebuilding Sri Lanka අරමුදලේ කළමනාකරණ කමිටුවේ සාමාජිකයන්

ඡායාරූප මූලාශ්‍රය, DEPARTMENT OF GOVERNMENT PRINTING | PMD

    • Author, බීබීසී සිංහල

'දිට්වා' සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගනිමින් 'Rebuilding Sri Lanka' නමින් අරමුදලක් ස්ථාපනය කිරීමට රජය කටයුතු කළ අතර, එම අරමුදලේ කළමනාකරණ කමිටුවක් ලෙස කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට රජය කටයුතු කර තිබේ.

මෙම කළමනාකරණ කමිටුව සම්බන්ධයෙන් මේ වන විට බොහෝ පිරිස් විවේචන ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස මෙම අරමුදල ස්ථාපිත කර තිබෙන්නේ, 2005 වසරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතේ මෙවැනි අවස්ථාවලදී අවශ්‍ය අරමුදල් එක්රැස් කිරීම සහ අවශ්‍ය කටයුතු සඳහා මුදල් යෙදවීම වෙනුවෙන් පිහිටවනු ලැබූ අරමුදලක් ද පවතින පසුබිමක ය.

'Rebuilding Sri Lanka' කළමනාකරණ කමිටුවේ සාමාජිකයන් කවු ද?

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ සභාපතීත්වයෙන් යුත් මේ කමිටුවේ කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු කටයුතු කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් දෙසැම්බර් 01 වන දින නිකුත් කර ඇති නිවේදනයට අනුව එහි අනෙක් සාමාජිකයන් පහත පරිදි ය.

  • විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්
  • මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
  • ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව
  • විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න

මෙම නිලධාරීන්ට අමතර ව පහත ව්‍යාපාරිකයන් ද එම කමිටුවට නම් කර තිබේ.

  • හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ
  • ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්
  • එයිට්කන් ස්පෙන්ස් උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක
  • බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර්
  • LOLC විධායක සභාපති ඉෂාර නානායක්කාර

අරමුදල ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ බලය මෙම කළමනාකරණ කමිටුවට හිමි වන අතර, අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා සැකසීම, අරමුදල් වෙන් කිරීම සහ අනුමත ප්‍රතිසාධන කටයුතු සඳහා මුදල් නිකුත් කිරීම එහි වගකීම් වන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

පරිත්‍යාගශීලීන්ට තම මුදල් ආධාර දේශීය හෝ විදේශීය ඕනෑම පුද්ගලයෙකුට, ශ්‍රී ලංකා රුපියල්වලින් හෝ ඕනෑම මුදල් ඒකකයකින් පරිත්‍යාග කිරීම සඳහා බැංකු ගිණුම් විස්තර ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඊයේ දිනයේ [දෙසැම්බර් 04] ප්‍රකාශ කළේ Rebuilding Sri Lanka අරමුදලේ ලංකා බැංකු ගිණුමට රු. මිලියන 635කට අධික මුදලක් එකතුවී ඇති බව ය.

එයට යොමු කෙරී ඇති තැන්පතු ප්‍රමාණය 30,000 ඉක්මවා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

එමෙන් ම විදෙස් මුදල් තැන්පතු ලබාදීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති මහබැංකු ගිණුමට ද රු. මිලියන 61කට ආසන්න මුදලක් ලැබී ඇති බව පැවසූ ඔහු, ඒ අනුව සමස්ත ප්‍රදානයන් රු. මිලියන 697කට වැඩි බව සඳහන් කළේ ය.

රටවල් 33ක මුදල් ඒකකවලින් ශ්‍රී ලංකාවට මෙතෙක් මුදල් ලැබී ඇති බව ද අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ ය.

මෙම කමිටුව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු මේ වන විට සමාජ මාධ්‍ය තුළ විවේචන එල්ල කර තිබේ.

මහජන අරමුදල් බැරකරන අරමුදලක කළමනාකාරීත්වය සඳහා පෞද්ගලික ව්‍යාපාරිකයන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවේචන එල්ල කර ඇති අතර, මෙම කමිටුවට කිසිඳු කාන්තාවක් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ද ඇතැම් පිරිස් විවේචනය කර තිබේ.

මෙම කමිටුවේ සාමාජිකයන් වන හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ, ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් යන තිදෙනා 2022 වසරේ මාර්තු මාසයේදී ආර්ථික කවුන්සිලයට සහය වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් පත් කළ උපදේශක කමිටුවේ ද සාමාජිකයන්ව සිටීම විශේෂත්වයකි.

විපක්ෂයේ විරෝධය

මෙම කමිටුව සහ අරමුදල සම්බන්ධයෙන් දෙසැම්බර් 03 වන දින පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් ද අදහස් දැක්වූහ.

එලෙස අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මුජිබර් රාහුමාන්ගෙන් බීබීසී සිංහල විසින් විමසීමක් සිදු කරන ලදී.

ඔහු පැවසුවේ 2005 වසරේ සම්මත කරන ලද ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතේ නිත්‍යානුකූල අරමුදලක් තිබියදී එයට පිටින් මෙවැනි අරමුදලක් සහ කමිටුවක් පිහිටවූයේ මන්ද යන්න ප්‍රශ්න සහගත බව ය.

"2005 සම්මත කරපු ආපදා කළමනාකරණ පනත යටතේ ආපදාවලදී ගන්න පුළුවන් අරමුදක් තියෙනවා. ඒකෙ තියෙනවා අරමුදල එකතු කරන විදිහ, වියදම් කරන විදිහ, ආපදා කළමනාකරණ සභාවේ නිල වශයෙන් ඉන්න අය කවුද කියල එක පැහැදිලිව ඒකෙ දාලා තියෙනවා," මන්ත්‍රීවරයා පැවසුවේ ය.

"එහෙම තියෙද්දී තමා ජනාධිපතිතුමා පනතින් එහාට ගිහිල්ලා කමිටුවක් පත් කරලා තියෙන්නේ. ඒක වෙන අරමුදලක්. මේකේ නිත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා, පාර්ලිමේන්තු පනතකින් අනුමත කරපු අරමුදක් තිබියදී, මේ තව අරමුදලක් මොකට ද හදන්නේ කියන එක ගැන," ඔහු පවසයි.

"එතන දාලා තියෙනවා බැංකු අංක ටිකක්. නියෝජ්‍ය භාණ්ඩාගාරිකගේ ගිණුම් අංකයක් දාලා තියෙනවා, මහා බැංකු අධිපතිගේ අංකයක් දාලා තියෙනවා. ඒ කියන්නේ එහෙම අරමුදලක් ගොඩනගලා නෑ කියන එක. කමිටුවක් පත් කරලා කියනවා අරමුදලක් හැදුවා කියලා."

එමෙන් ම මීට පෙර තිබූ "හෙල්පින් හම්බන්තොට, ඉටුකම අරමුදල්වලට ඇතිවූ ප්‍රශ්න නිසා මෙවැනි අරමුදලක් පිහිටුවා තිබීම ප්‍රශ්න සහගත" බව ඔහු පැවසුවේ ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඔහුගේ ෆේස්බුක් ගිණුමේ යොදා තිබූ සටහනක ව්‍යසන කළමනාකරණ පනත යටතේ අරමුදල් රැස් කිරීම සම්බන්ධයෙන් පවතින නීති පිළිබඳව පෙන්වා දී තිබිණි.

2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත ඉතාම පැහැදිලිය.
එහි:
4 වැනි වගන්තිය අනුව,
ව්‍යසන වැළැක්වීමට හා ලිහිල් කිරීමට අදාළ වැඩසටහන් ආරම්භ කිරීම සහ සහන, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු සැලසීම මුලුමනින්ම අයත් වන්නේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවටය.
පනතේ 16 සිට 18 දක්වා වගන්ති වල ඉතා පැහැදිලිව සඳහන් වන්නේ අරමුදල් එකතුකිරීම සහ පවත්වාගෙන යාමේ බලය ඇත්තේ සභාවට බවය.
එමෙන්ම 18 වන වගන්තියෙන්, අදාල අරමුදල් විගණනය කල යුතු බව නියම කර ඇත.
ඒ අනුව කිසිඳු බාහිර පාර්ශවයකට ව්‍යසන කළමනාකරණයට හෝ පුනරුත්ථාපනය සඳහා රාජ්‍යය වෙනුවෙන් අරමුදල් එකතු කිරීමට හෝ පරිපාලනය කිරීමට කිසිදු නෛතික බලයක් නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, Patali Champika Ranawaka

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඔහුගේ ෆේස්බුක් ගිණුමේ යොදා තිබූ සටහන

ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය හරහා ද මෙම කමිටුව සම්බන්ධයෙන් ඔවුන්ගේ විවිධ විවේචන දක්වා තිබිණි.

මැණිකේ දේශප්‍රිය ඇයගේ ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනක් "ගං වතුර ඇවිත් සතියයි, වතුර බැහැලා ගිහින් දවස් තුනයි.
අවතැන් වෙලා හිටපු දවස් ටිකේ කන්න බොන්න දීලා අපිට නිදාගන්න තැනක් දුන්නේ රසිකා අක්කා. Rasika Balasooriya ගං වතුර ආපු දවසේ පාන්දර හතරේ ඉදන් එයා හැම ගෙදරකටම ගිහින් බඩු අදින්න උදවු කරා. ආරංචියක් නැති පවුලේ අය හොයන්න සිකුරාදා උදේ පයින්ම පිටත් වුණා. යන එන ගමන් ගමේ අවිත් ගෙවල් වල දුක ඇහුවා. බත් පැකට් සූදානම් කරා. සවසට තුන් හතර පාරක් ගමේ උඩට පහලට ගියා. මේ වගේ ආපදාවකදී වැඩියෙන්ම මහන්සි වෙන්නේ රසිකා වගේ ගැහැනු. ලමයි කාලද බීලද, ගෙදර කට්ටයට බෙහෙත් තියෙනවද, මේ දේවල් ඔලුවට එන්නේ ගෑණුන්ට. මං වගේ එයා ෆෝන් එකේ සිගිනල් නැති එක ගැන හිත හිත හිටියේ නෑ පයින් ගිහින් හැම කෙනෙක්ටම උදවු කරා. ඇත්තටම මට හිතෙනවා මේ වගේ ආපදාවෙකදි වැඩිම ධෛර්යක් පෙන්නන්නේ රසිකා වගේ ගැහැනු. එහෙම තියෙද්දි අපදා අරමුදල් කලමනාකරනයට පිරිමි සෙට් එකක් දා ගත්ත එක මේ වගේ ගෑනුන්ට කනේ පාරක්. මේ වෙන කොට අපේ ගමේ ලිං ඉහලා, පිරිසිදු කර ගන්න දෙන දීමනාවට ලැයිස්තු හදලත් ඉවරයි. අලාභය ගණනය කරන්න පොලීසියෙනුත් ආවා. ඒත් පොලිස් කාන්තාවක්. බිම් මට්ටමේ වැඩ මේ තරම් කාර්යක්ෂමය වෙන්නේ රසිකා වගේ ගෑනු බැහැලම වැඩ කරන හින්දා කියලා මට හිතෙනවා. ගල්කැටිගම ග්‍රාම නිලධාරීතුමියත් හුගාක් මහන්සි වෙනවා ආපදා සහන වැඩ කාර්යක්ෂමව කරන්න. මේ ඔක්කෝම ගෑනු. මෙ රජය ගැන තවමත් විශ්වායසක් තියෙන මට ආපදා අරමුදලට පිරිමි සෙට් එකක් පත් කරපු එක ගැන ලැජ්ජයි."

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | MANIKE DESHAPRIYA

ඡායාරූප ශීර්ෂ වැකිය, මැණිකේ දේශප්‍රිය ඇයගේ ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනක්
විදුර මුණසිංහ ෆේස්බුක් ගිණුමේ පල කළ සටහන "ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතීමේ කථාවේදී පැවසූ පරිදි අප පසුගිය දින ගණනාව පුරා මුහුණ දුන්නේ සමස්ථ රටම ස්වභාවික ව්‍යසනයකට එකවර ගොදුරුවීමේ පළමු අත්දැකීමටය. ජාතියක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියේ මේ ව්‍යසනයෙන් පසු ඇති අභියෝග රැසකි. පළවැන්න පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම යි. විනාශ වූ යටිතල පහසුකම් ගොඩනැංවීම සහ අපේක්ෂා කළහැකි ආහාර අර්බුදයට මුහුණදීම තවත් අභියෝගයකි. වඩාත් ගැඹුරු හා දීර්ඝ කාලීනව වැදත්වන අභියෝගය වන්නේ වඩ වඩා මෙවන් ව්‍යසනයන් නිර්මාණය කරමින් තිබෙන දේශගුණ විපර්යාසයන්ට මුහුණදිය හැකි තිරසාර වැඩපිලිවෙලක් නිර්මාණය කරගැනීමයි. මධ්‍යම කඳුකරයට වූ හානිය සහ ගංගා ද්‍රෝණි ආශ්‍රිත ප්‍රදේශයන්ට මෙම ව්‍යසනයේදී අත්වූ ඉරණම දෙස බැලීමේදී මේ රටේ භූමි පරිහරණය හා අවිධිමත් සංවර්ධනය සම්බන්ධයෙන් දීර්ඝ කාළයක් තිස්සේ එල්ල වූ බරපතල විවේචනවල සත්‍යභාවය නැවත වතාවක් තහවුරු විය. අනෙක් අතට ව්‍යසනය විසින් වඩාත් පීඩාවට පත්කරන ලද්දේ මේ රටේ වඩාත් අවවරප්‍රසාදිත ප්‍රජාවන්ය. සමහර තැනක කඩා වැටුනු පස් කඳුවලට තමන්ගේ ආදරණීයයන් තවමත් යටව සිටියදී ඔවුන්ගේ සිරුරු ගොඩගැනීමේ අපේක්ෂාව පවා අතහැර දමන්නට සිදුව ඇත්තේ ඔවුන්ටය. අපට බොහෝ දේ අලුතින්ම නිර්මාණය කිරීමටත්, සිතීමටත් සිදුව තිබේ. අපේ සංවර්ධන මාවත පිලිබඳ, අපේ ජාතික ප්‍රමුඛතා පිලිබඳ, අපේ භුමි කළමණාකරණය පිලිබඳ, ජනාවාසකරණය පිලිබඳ, පරිසරය දෙස බලන ආකාරය පිලිබඳ, ආපදාවන්ට මුහුණුදීමේ සූදානම පිලිබඳ යනාදී ලෙස බොහෝ දේ අලුතින් සිතීමට මෙය අවස්ථාවක් කරගත යුතුව ඇත. එවැනි සිතීමක් හා ඒ ඔස්සේ වන පරිවර්තනයක් හරහා මිස “මේ කඳුලු සලන පාරාදීසය සුවපත්කොට දීප්තිමත් දිවයිනක් ගොඩනැගීමේ” අපේක්ෂාව යථාර්ථයක් කරගත හැකි නොවේ. ඒ වෙනුවෙන් වන ප්‍රමුඛතම ක්‍රියාන්විතයක් වන Rebuilding Sri Lanka අරමුදලේ අවශ්‍යතා තක්සේරු කිරීම ඇතුලු අරමුදලේ ඵලදායී පරිපාලනය, ප්‍රමුඛතා ස්ථාපිත කිරීම, නැවත ගොඩනැංවීමේ ක්‍රියාකාරකම් සදහා සම්පත් වෙන් කිරීම සහ මුදල් නිදහස් කිරීම යන වගකීම් දරන කමිටුවට රජයේ නිලතල දරන අයට අමතරව හේලීස්, ජෝන් කීල්ස්, එයිට්කන් ස්පෙන්ස්, බ්‍රැන්ඩෙක්ස් සහ LOLC යන ව්‍යපාරයන්හි ප්‍රධානීන් පමණක් ඇතුලත්වීම අප තේරුම් ගත යුත්තේ කෙසේද?"

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | VIDURA MUNASINGHE

ඡායාරූප ශීර්ෂ වැකිය, විදුර මුණසිංහ ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහන

තෙමසකට වරක් රැස්විය යුතු ආපදා කළමනාකරණ ජාතික සභාව අවසන් වසරට රැස්වුණේ කවදා ද?

2005 වසරේ සම්මත කරන ලද ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතේ පිහිටුවන ප්‍රධාන සංවිධාන ව්‍යූහයක් වන්නේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ය.

මෙම ජාතික සභාව අවශ්‍ය අවස්ථාවක රැස්විය යුතු අතර, අවම වශයෙන් මාස තුනකට එක් වරක් හෝ එය රැස්විය යුතු ය.

මෙම ජාතික සභාවේ සභාපතීත්වය ජනාධිපතිවරයාට නිල බලයෙන් හිමි වන, අගමැතිට එහි උප සභාපතීත්වය නිල බලයෙන් හිමි වේ.

විපක්ෂ නායකවරයා ද මෙම ජාතික සභාවේ සාමාජිකයෙකු වන අතර, ඔහු විසින් නම් කරන තව නියෝජිතයින් පස් දෙනෙකු ද එම ජාතික සභාවට ඇතුළත් වේ.

වර්තමානයේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න ඇතුළු තවත් විපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙක් එම ජාතික සභාව නියෝජය කරති.

ඔවුන්ට අමතරව, ආපදාවකදී වැදගත් වන වාරිමාර්ග, විදුලිබලය, සංඛ්‍යා, පරිසර, ආරක්ෂක, පොලිසිය, ඉඩම්, ධීවර ඇතුළු විෂයන් 20කට අදාළ විෂයභාර අමාත්‍යවරුන් ද මෙම ජාතික සභාව නියෝජය කරති.

යම්කිසි ආපදාවක් කළමනාකරණය කරගැනීමට අවශ්‍ය, ආපදාවකට පෙර සහ පසු කළ යුතු දේවල් සියල්ල සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාව මෙම ජාතික සභාවට ඇති අතර, අරමුදල් රැස් කිරීම සහ වන්දි ලබා දීම සඳහා පිහිටුවනු ලැබූ අරමුදලක් ද පනතේ 17 වන වගන්තිය යටතේ පිහිටුවා තිබේ.

පසුගිය නොවැම්බර් 27 වන දින මෙම ජාතික සභාව කැඳවුණේ දිට්වා සුළි කුණාටුව සක්‍රීය වීමත් සමග ය.

කෙසේවෙතත් මාස තුනකට වරක් අනිවාර්යයෙන් කැඳවිය යුතු මෙම ජාතික සභාව අවසන් වරට කැඳවූයේ කෙදින ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් සිදු කළ සොයා බැලීමකදී විපක්ෂ නායකවරයාගේ ලේකම් සුරංග රණසිංහ කියා සිටියේ අවසන් වරට එම ජාතික සභාවේ රැස්වීමක් කැඳවූයේ අගෝස්තු මාසයේ 06 වන දින බව ය.

ඔහු පැවසුවේ පසුගිය නොවැම්බර් 27 වන දින පැවති රැස්වීමට පෙර පැවති අවසන් රැස්වීම එය බව ය.

පසුගිය සතියට පෙර අවසන් වරට එම රැස්වීම පැවතියේ අගෝස්තු මස 06 වන දින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ද තහවුරු කළේ ය.

ඒ අනුව, පාර්ලිමේන්තු පනත ප්‍රකාරව සෑම මාස තුනකට වරක් ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවිය යුතු ජාතික සභාව නියමිත කාලය තුළ කැඳවා නොමැත.

මේ අතර මහජන ආරක්ෂක ලේකම් ආනන්ද විජේපාල අද දින, එනම් දෙසැම්බර් 05 වන දින පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කියා සිටියේ මෙම ජාතික සභාව වසර 7ක් තිස්සේ කැඳවීම සිදු කර නොතිබූ බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අගෝස්තු මාසයේදී මෙම කැඳවීම සිදු කළ බවත් ය.

එයට විපක්ෂ සාමාජිකයන් ද සහභාගී වූ බව ඔහු පැවසුවේ ය.

ව්‍යසනයකදී අරමුදල් රැස්කිරීම සම්බන්ධයෙන් ඇති නීති මොනවා ද?

පනතේ 17 වන වගන්තියට අනුව මෙම ජාතික සභාවට, එයට ම අයත්වූ අරමුදලක් තිබේ.

එයට ශ්‍රී ලංකාව තුළ හා ඉන් පිටත නිත්‍යානුකූල ප්‍රභවයකින් ණය, පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදාන භාර ගැනීමේ හැකියාව පවතින අතර එය විගණනය කළ යුතු ය.

සභාවේ කාර්යයන් සඳහා අවශ්‍ය මුදල් මෙම අරමුදලින් ලබා ගැනීමේ හැකියාව පවතියි.

හෙල්පින් හම්බන්තොට, ඉටුකම අරමුදල්වලට සිදු වූයේ කුමක් ද?

ශ්‍රී ලංකාවේ ඇතිවූ ව්‍යසනවලදී මීට පෙර ද අරමුදල් පිහිටුවා තිබේ.

එයින් එක් අරමුදලක් වන්නේ හෙල්පින් හම්බන්තොට අරමුදල ය.

ශ්‍රී ලංකාව 2004දී මුහුණ දුන් සුනාමි ව්‍යසනයෙන් පසුව එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ විසින් ජාත්‍යන්තරයෙන් අගමැති සහන අරමුදල වෙත ලබා දුන් සුනාමි ආධාර හෙල්පින් හම්බන්තොට නැමති ඔහු විසින් පුද්ගලිකව පවත්වාගෙන ගිය අරමුදලකට බැර කළ බවට චෝදනා එල්ල විය.

එමෙන් ම 2020 වසරේ කොවිඩ් 19 ගෝලීය වසංගතයට මුහුණදෙමින් සිටින අතරතුර ද එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් "ඉටුකම" නමින් අරමුදලක් පිහිටුවන ලදී.

හිටපු ජනාධිපති ගෝඨාභය රජපක්ෂ විසින් පිහිටුවන ලද 'COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල', 'ඉටුකම - COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල' ලෙස නම් කරන ලද්දේ 2020 මැයි මාසයේදී ය.

ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ 2020 මැයි 21 වන දින පළ කර ඇති නිවේදනයක දැක්වෙන්නේ අරමුදලට එදින වන විට රු. මිලියන 1,128 ක මුදලක් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ විශේෂ ගිණුමකට (85737373) එකතු වී ඇති බව ය.

මෙම අරමුදලට ද පරිත්‍යාග, බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් ප්‍රදාන ලබා දීමේ හැකියාව ලබා දී තිබිණි.

2020 මාර්තු 23 වන දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කළ "ඉටුකම" COVID-19 සෞඛ්‍ය සේවා සහ සමාජ ආරක්ෂණ අරමුදල භාවිතා කර ඇති ආකාරය සම්බන්ධයෙන් 2021 වසරේ 2021 ඔක්තෝබර් 21 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ වෙරිටේ රිසර්ච් ආයතනය තොරතුරු ඉල්ලීමක් සිදු කර තිබේ.

එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, 2021 නොවැම්බර් 19 වන දින දත්ත ලැබී ඇති අතර, ජනාධිපති ලේකම් කාර්යාලය 2021 සැප්තැම්බර් 30 වන දින වන විට මුළු අරමුදල් ශේෂය රුපියල් මිලියන 1,800 ඉක්මවන බව දන්වා ඒවා තිබේ.

කෙසේවෙතත් එම තොරතුරුවලට අනුව මෙම අරමුදලෙන් වියදම් කර ඇත්තේ 10.6%ක් (රුපියල් මිලියන 197.5) පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.

අරමුදල සහ කමිටුව ගැන රජයේ අදහස කුමක් ද?

මෙම අරමුදල සම්බන්ධයෙන් මෙම දින කිහිපයේ ම පාර්ලිමේන්තුවේදී අදහස් පළවූ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මතු කළ කරුණුවලට පිළිතුරු දෙමින් අරමුදලේ කළමනාකරණ කමිටුවේ සභාපති කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව අදහස් දැක්වූයේ ය.

"එතුමා [පා. ම. කබීර් හෂීම්] මතු කළා ප්‍රශ්නයක් මේ අරමුදල ප්‍රයිවටයිස් කරන්න හදනවා ද කියලා. අපි එහෙම රාජ්‍ය මූල්‍ය අවභාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් කවදාකවත් ඇති වෙන්නේ නෑ," ඔහු පැවසුවේ ය.

"අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හරහා තියෙන ඒ ආයතන ක්‍රියාත්මක වෙන ගමන් ම, මේ මොහොතේදී ඉතාමත් ම වැදගත් මේ සිදුවෙච්ච තත්ත්වයේ අලාභය අපට දැනගන්න සිද්ධ වෙනවා. අපේ තියෙන මූල්‍ය ප්‍රමාණය, අපි ඇත්තට ම ආර්ථිකය ශක්තිමත් කරලා තිබුණු රටක් නම් අපට එකවර සිද්ධ වෙන්නේ නෑ මේ සඳහා ආධාර උපකාර ඉල්ලන්න."

"අපි ආණ්ඩුව භාරගන්න විටත් තිබුණේ කුඩුපට්ටම් කරපු ආර්ථිකයක්. එය ස්ථායි කරගෙන එනකොට තමයි මේක වෙන්නේ. එහෙනම් මේ මොහොතේ තියෙන ප්‍රයෝගික අවශ්‍යතාවය තමයි හැකි ඉක්මනින් අරමුදල් සම්පාදනය කරගැනීම," අමාත්‍යවරයා පැවසුවේ ය.

"අරමුදල් සම්පාදනය කිරීමේ විවිධ මාර්ග සොයාබැලීමටත්, එම අරමුදල් කළමනාකරණය කිරීමේ මූල්‍ය කටයුත්ත සඳහා තමයි මේ අරමුදල ස්ථාපිත කරන්නේ," අමාත්‍ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසුවේ ය.

"ඒකට වහාම කැබිනට් අනුමැතිය ලබා දෙනවා. ඒකට නීතිමය ප්‍රතිපාදන ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැතිව මේක නීතියට පිටින් ගිහිල්ලා පුද්ගලික අංශයේ කවුරුවත් මැදිහත් වෙලා කරන දෙයක් නෙවෙයි," ඔහු පවසයි.

එම කමිටුවේ සාමාජිකයන් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

"හොඳට බලන්න මේ ඉන්න අය කවුද කියලා. එයාලව සම්බන්ධ කරගන්න වෙනවා. මූල්‍ය මාර්ගයන් හොයනකොට පුද්ගලික අංශයේ, ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන, ඒ වගේ ම වගවීම පිළිබිඹු කිරීම සඳහා එහි මමත් ඉන්නවා. ඒ වගේ ම මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා ඉන්නවා. ඒ වගේ ම ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයෙකුත් ඉන්නවා," ඔහු පැවසීය.