දිට්වා සුළි කුණාටුව: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි වගකීම් ඉටු කළේ නැද්ද?

ඡායාරූප මූලාශ්‍රය, PMD
- Author, බීබීසී සිංහල
දිට්වා සුළි කුණාටුවෙන් පුද්ගලයින් 470කට අධික පිරිසකට මිය යාම, තවත් සිය ගණනක් අතුරුදන් වීම සහ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වීම සම්බන්ධයෙන් ආණ්ඩුව "ඇඟ බේරා ගැනීමේ උත්සහයක" නිරත වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කරයි.
ඔහු පැවසුවේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සුළි කුණාටුවක් ඇති විය හැකි බවට පූර්ව අනාවැකි පළ කර තිබූ බව ය.
කෙසේ වෙතත්, ආණ්ඩුව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
මෙහිදී, සියලු පාර්ශව පළ කරන අදහස් පිළිබඳව විමසා බැලීමට බීබීසී සිංහල සේවය ගත් උත්සහයකි, මේ.
විපක්ෂයේ චෝදනා සහ ආණ්ඩුවේ ප්‍රතිචාර
විපක්ෂයේ දේශපාලනඥයින් චෝදනා කරන්නේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවපීඩන තත්ත්වයක් පිළිබඳව අනාවැකි පළ කර තිබියදී ආණ්ඩුව ඊට මුහුණ දීමට අවශ්‍ය නිසි පියවර නොගත් බව ය.
කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ කිසිදු ආයතනයකින් සුළි කුණාටුවක් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර නොතිබූ බව ආණ්ඩුවේ මැති ඇමතිවරු පවසති.
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පසුගිය දා රූපවාහිනී සාකච්ඡාවකදී පැවසුවේ, එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්නම් එය පෙන්වන ලෙස අභියෝග කරන බව ය.
"අපිට වගකීම්සහගත ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ වෙනත් වගකීම් දරන ආයතනයකින් එවැනි අනතුරු ඇඟවීමක් ලබා දීල තියෙන්නෙ කොතනට ද? අපි අභියෝග කරනව ඒක එහෙම කරල තියෙනව නම් ඒක පෙන්නන්න. ඔවුන් ඒක ඔප්පු කරන්න ඕන කරල තියෙනවා. නොවැම්බර් 12 සිට 27 දක්වා මෙවැනි සුළි කුණාටුවක් එනව කියල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක් කරල නෑ," නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ එහිදී පැවසීය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ අතර, බදාදා (දෙසැ: 03) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර නොවැම්බර් 12 වන දා දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනක් පිළිබඳව අදහස් පළ කළා ය.
"දිලිත් ජයවීර මන්ත්‍රීතුමා කතා කළා. මං හිතන්නෙ ඔහු ගැන විශේෂයෙන් අද කතා කරන්නට අවශ්‍ය යි. ඔහු මේ අද මන්ත්‍රීවරු කිහිප දෙනෙක්, මං හිතන්නෙ කිංග්ස් නෙල්සන් මන්ත්‍රීතුමා අපේ බොහොම මිත්‍ර මන්ත්‍රීතුමෙක්, කිංග්ස් නෙල්සන් මන්ත්‍රීතුමා ඉඳගෙන කිව්වා නොවැම්බර් 12 වෙනි දා වෝනිං එකක් දාල තිබුණ කියල. මෙතන මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ම ඒ අදහස අද පළ කළා. ඒ වගේ ම තමයි, දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදි මෙතන මතකනම් විශාල ගාලගෝට්ටියක් ඇති කළා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වෝනිං එකක් ඇවිල්ල තිබුණ, අනතුරු ඇඟවීමක් කරල තිබුණ, නිවේදනයක් නිකුත් කරල තිබුණ, ඒකට අනුව රජය ක්‍රියාත්මක වුණේ නැහැයි කියන අදහස ජනගත කරන්නටත්, සමාජගත කරන්නටත් මම නම් කරල ම කියනවා දිලිත් ජයවීර මන්ත්‍රීතුමාගෙ දෙරණ නාලිකාව විසින් තමයි, ඒ කාරණය ඉෂ්ට කළේ."
එම ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විරෝධය පළ කළේ ය.
දිලිත් ජයවීරගේ ප්‍රකාශයෙන් පසු ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රකාශ කළේ, "දිලිත් ජයවීර මන්ත්‍රීතුමාගේ දෙරණ නාලිකාවේ තමයි මේ මතය අදහස ප්‍රකාශ කළේ. එතුමා වගකීම භාර ගන්න අවශ්‍ය යි. මොක ද මේක ජාතික ව්‍යසනයක්. මේක ජාතික ව්‍යසනයක්. 366ක් අදටත් මිසිං. 465ක් මිය ගිහිල්ල තියෙනව. ජාතික ව්‍යසනයකදි වගකීම භාර ගන්න," යනුවෙනි.
මේ අතර, අමාත්‍ය නලින්ද ජයතිස්ස ද බදාදා (දෙසැ: 03) පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, සුළි කුණාටු තත්ත්වයක් පිළිබඳ නිල නිවේදනයක් ප්‍රකාශයට පත් කර නොතිබූ බව ය.
"නොවැම්බර් 12 කවර හෝ ආයතනයකින් නිල නිවේදනයක් විදිහට එහෙම දෙයක් කියල තියෙනවා නම් කරුණාකරල සභාගත කරන්න. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තුළවත් නැති, රජය තුළවත් නැති එහෙම නිල නිවේදනයක් නොවැම්බර් 12 කවුරුහරි පුරෝකථනයක් කළා කියල නිවේදනයක් හැටියට රජය පැත්තට ඉදිරිපත් වෙලා තියෙනව නම් කරුණාකරල ඉදිරිපත් කරන්න."
ඊට ප්‍රතිචාර වශයෙන් බ්‍රහස්පතින්දා (දෙසැ: 04) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුවේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පීඩනයකට ලක්ව සිටින බව ය.
"අපට පේන්න තියෙනව රජය පැත්තෙන් නිතර නිතර පාර්ලිමේන්තුව තුළත්, ඊයේ ඒගොල්ලො අභියෝග කළා මෙවැනි අනාවරණයක් කලින් සිදුවුණේ නැහැ, පුළුවන් නම් ඔප්පු කරන්න කියන කරුණු කාරණා ඒගොල්ලො නිතර නිතර ආණ්ඩුවෙ ඉන්න මැති ඇමතිවරු කතා කරනකොට අභියෝගයකට ලක් කළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මැතිතුමාත් ඒවගේ ම අනිකුත් නිලධාරීනුත් යම්කිසි ආකාරයකින් රජයේ පීඩනයට ලක්වෙලා තියෙනව කියල තොරතුරු වාර්තා වෙනවා. ඒගොල්ලො දැන් පීඩනයට පත්වෙලා ඉන්නෙ. ඒගොල්ලො කලින් මේක ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරපු දේවල් පහුගිය කාලය පුරා ම සමාජ මාධ්‍යවල ගියා. රූපවාහිනීවල විකාශය වුණා. රූපවාහිනී සාකච්ඡාවලදි ඔවුන් පැවසුවා, මේ වගේ තත්ත්වයක් එන්න පුළුවන් කියලා. යම්කිසි ආකාරයේ අනාවැකි පළ කළා."
"රජය උත්සහ කරන්නේ ඔවුන්ට මේ වගේ පණිවුඩයක් ලැබුණෙ නැහැ කියල කියන්න."
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තවත් නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස් ද එම මාධ්‍ය හමුවේදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට ඇසීමට සැලැස්වීය.
නොවැම්බර් 11 සහ 12 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මාධ්‍යයට කීවේ කුමක් ද?
නොවැම්බර් 11 වන දා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේ, පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව ය.
"ඉදිරි දින කිහිපය තුළ විශේෂයෙන් ම 14 වෙනි දායින් පස්සෙ අපට පේනවා දිවයින අවට බෙංගාල බොක්ක ප්‍රදේශයේ කැලඹිලි ස්වභාවයක් ඉස්මතු වෙමින් පවතින බව. කැලඹිලි ස්වභාවයේ ඍජු බලපෑමක් නැති වුණාට වක්‍ර බලපෑම හේතු කොටගෙන දිවයින තුළ වැසි තත්ත්වයේ වැඩි වීමක් විශේෂයෙන් උදේ කාලයේ වර්ෂාපතනයේ වැඩිවීමේ හැකියාවක් තියෙනවා."
"පහළ වායුගෝලයේ ක්‍රමක්‍රමයෙන් පීඩන අවපාත, සුළි කුණාටුවක් ගැන දැන් ම අපට කියන්න අපහසු යි. හැබැයි මට පේනවා 14 වෙනිදයින් පස්සෙ දිවයින තුළ තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන්න හැකියාවක් තියෙන බව."
ඉන්පසු, නොවැම්බර් 12 වන දා දෙරණ නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් අතුල කරුණානායක පැවසුවේ, නොවැම්බර් 14 වන දාට පසුව වැසි තත්ත්වය වැඩි විය හැකි බව ය.
'නොවැම්බර් 11 කිව්වේ 'දිට්වා' ගැන නෙවෙයි'
මේ අතර, නොවැම්බර් 11 වන දා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේ, 'දිට්වා' සුළි කුණාටුව සම්බන්ධයෙන් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය.
"ඒ ඇවිල්ලා දිට්වා සුළි කුණාටුව ගැන නෙවෙයි. ඒ දවස්වල දිගට ම එක එක සිද්ධි තිබුණා නෙ. පොඩි පොඩි කැළඹිලි ස්වභාවයන් දිගට ම ඇති වුණා. ඒ ඒ අවස්ථා අනුව කරපු දේවල් තියෙනවා."
"දිට්වා සුළි කුණාටුව කියන එක අපි හඳුනා ගන්නෙ 23 වෙනි දා. ඇත්තට ම සුළි කුණාටුව ගැන නෙවෙයි, දිට්වා කියන එකට අදාළව අඩුපීඩන කලාපය හඳුනා ගන්නෙ 23 වෙනි දා. 23 වෙනි දා හඳුනා ගත්තෙ 25 වෙනි දා වර්ධනය වෙන්න පුළුවන් කියන එක. ඇමතිතුමා පාර්ලිමේන්තුවේදි කියපු එක හරි."
අනතුරු ඇඟවීමක් නොකළ බවට වන චෝදනා සම්බන්ධයෙන් ද මෙරිල් මෙන්ඩිස් පැහැදිලි කිරීමක් කළේ ය.
"පෙර දැනුම් දෙන්න විදිහක් නෑනෙ. හඳුනා ගත්තට පස්සෙ එපැයි දැනුම් දෙන්න. මේක හරි ඉක්මනින් වර්ධනය වෙච්ච එකක්. දැන් අපට කියන්න බැහැ ලබන සතිය වෙනකොට සුළි කුණාටුවක් එනව කියල. ඒ හැසිරීම හඳුනා ගත්තට පස්සෙ තමයි කියන්න පුළුවන්. ඕක සංකීර්ණ ක්‍රියාවලියක්. ඕක කියන තරම් සරල දෙයක් නෙවෙයි. දත්ත විශ්ලේෂණ හරහා නෙ හඳුනා ගන්නෙ. ඒ නිසා දත්ත විශ්ලේෂණ හරහා අපි හඳුනා ගන්නවා 25 වෙනි දා වගේ වෙනකොට මෙවැනි තත්ත්වයක් එන්න පුළුවන් කියන එක. අනතුරු ඇඟවීමක් නිකුත් කරන්නෙ ඒක වර්ධනය වුණාට පස්සෙ. 25 තමයි අඩුපීඩන තත්ත්වය හැදෙන්නෙ. 25 තමයි සුළි කුණාටුවක් වෙන්නෙ."
නොවැම්බර් 24 වන දා බීබීසී සිංහල පළ කළ වාර්තාව
දිවයිනේ පහළ වායුගෝලයේ වර්ධනය වී ඇති කැළඹිලි තත්ත්වය හේතුවෙන් නොවැම්බර් 24 සහ ඉදිරි දිනවල වර්ෂාවේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ දැනුම් දීම බීබීසී සිංහල සේවය නොවැම්බර් 24 වන දා වාර්තා කළේ ය.
එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් එදින සඳහන් කළේ, මෙම තත්ත්වය නොවැම්බර් 25 වන දා අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ය.
අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ඊට අමතරව උතුර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි සහ අනෙක් ප්‍රදේශවල ද මිලිමීටර් 75ක පමණ තද වැසි ද ඇති විය හැකි බව ය.
"වායු ගෝලයේ තියෙනවා පද්ධති දෙකක් නිර්මාණය වෙලා. එකක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින කැළඹිලි ස්වභාවය. මේ තත්ත්වය හෙට දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා."
බීබීසී පුවත් සේවය ද නොවැම්බර් 24 වන දා සිය කාලගුණ වාර්තාව තුළින් අනතුරු අඟවා සිටියේ, ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට මි.මී. 300, 400, 500 දක්වා වැසි අපේක්ෂා කළ හැකි බව ය.
නොවැම්බර් 25 වන දා බීබීසී සිංහල පළ කළ වාර්තාව
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයත්, එහි සිදු විය හැකි වර්ධනයත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ උතුර, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වල මිලිමීටර් 200කට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවට කාලගුණ අංශ පුරෝකථනය කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය නොවැම්බර් 25 වන දා වාර්තා කළේ ය.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමෙන්තුවේ අනතුරු ඇඟවූයේ, එම තත්ත්වය සහ මේ වන විට ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් පුරෝකථනය කර ඇති පරිදි ඉහළ අගයකින් යුත් හදිසි වර්ෂාවකදී ක්ෂණික ගංවතුර තත්ත්වයක් ද ඇති වීමේ අවදානමක් ඇති විය හැකි බව ය.
වැසි තත්ත්වය සහ ගංගාවල හැසිරීම් රටාව සම්බන්ධයෙන් වූ පසුගිය අත්දැකීම් අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වල නොවැම්බර් 25 සිට 30 දක්වා දින තුළ මෙම ගංවතුර තත්ත්වය ඇති වීමේ අවදානම පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර පැවසීය.
'දිට්වා' සුළි කුණාටුව පිළිබඳව අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණේ, නොවැම්බර් 27 වන දා ය.

















