යමෙකුගේ ශුක්‍රාණු තවත් කෙනෙකුට 'ඇලජික්' වෙන්න පුළුවන් ද?

A young husband trying to convince upset wife lying on comfortable bed at home

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ක්‍රිස්ටීන් රෝ
    • Role, BBC Future

මවුරා විශ්වාස කරන්නේ උපත් පාලන කොපු ඇගේ ජීවිතය ගලවා ගත් බවට ය.

දැන් වයස අවුරුදු 43ක් වන, එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ ජීවත් වන මවුරා පවසන්නේ, ඇය අවුරුදු විසි ගණන්වල වයසේ පසුවෙද්දී එම ගැටලුව මුලින් ම ආරම්භ වීම සිදු වූ බව ය. "[අනාරක්ෂිත] ලිංගික හැසිරීමකින් පස්සේ මගේ ලිංගික අවයව පිච්චිලා වගේ මම දැක්කා," ඇය සිහි කරයි.

අවවාදයයි: මෙම ලිපියේ ලිංගිකත්වය විස්තර කරන වචන සහ තේමාවන් අඩංගු වේ.

එය ඇගේ සහකරුට පැවසීමට මවුරා [ඇගේ පෞද්ගලිකත්වය සුරැකීමට නම වෙනස් කර තිබේ] අකමැති විය. එමනිසා ඔහු පිටත්ව යන තෙක් ඇය රැඳී සිටින්නේ, හොඳින් අගේ ශරීරය සෝදා ගැනීමට ය. සබන් සිට ලිහිසිකාරක දක්වා ඇය භාවිත කරමින් සිටි ශරීර සත්කාරක නිෂ්පාදන වෙනස් කර බැලීමට ඇය උත්සහ කළා ය. නමුත් ගැටලුව තවත් උග්‍රවීම පමණක් සිදුවූ අතර ඉදිමීම සහ රතු පැහැ වීම දක්වා එය වැඩි විය. එය සිදු වූයේ ඇයට ශුක්‍රාණු ස්පර්ශ වූ පසුව ය.

අවසානයේදී එම පුද්ගලයා සමග පැවති සම්බන්ධය නවතා දැමූ අතර, උපත් පාලන කොපු අනිවාර්යයෙන් ම භාවිත කරන පුද්ගලයෙකු සමග සම්බන්ධතාවක් ආරම්භ කළා ය. "එක දවසක් රෑ අපි සෙක්ස් කරලා ඇඳේ දිගාවෙලා ඉන්නකොට හදිසියේ ම මගේ දිව ඉදිමෙන්න පටන් ගත්තා," ඇය සිහි කරයි. "මගේ පාට්නර් වෙන දේ දැකලා 'ඔයා හුස්ම ගන්නේ නෑ!' කියලා කෑ ගහලා මගේ ඉන්හේලර් එක ගත්තා. එයාට මගේ ඉන්හේලර් එක මගේ කට කොනකට තද කරන්න පුළුවන් වුණා, ඊට පස්සේ එයා ඒක තද කරන්න ගත්තා. වාසනාවකට මම ඒ වෙනකොට බෙහෙත් මගේ පෙනහලුවලට ඇදලා ගන්න පුළුවන් ප්‍රමාණයට හුස්ම ගනිමින් හිටියා."

ඇදුම සහ අසාත්මිකතා ගණනාවක් ඇති මවුරා විශ්වාස කරන්නේ, උපත් පාලන කොපුවේ කාන්දු වීමක් තිබෙන්නට ඇති බව ය. දැන් ඇය සහ ඇගේ දීර්ඝ කාලීන සහකරු උපත් පාලන කොපු භාවිතය ගැන වඩා වැඩි අවධානයක් යොමු කරති. ඇයට එය සිදුවන තෙක් ශුක්‍රාණුවලට අසාත්මිකතාවක් ඇති විය හැකි බව ඇය දැන නොසිටි බව ඇය පවසයි.

ඒවා අතිශයින් දුර්ලභ වුව ද, ඇතැමුන් වෙනත් අයගේ ශරීරවලට දැඩි ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියා දක්වති. බොහෝවිට වරදවා වටහා ගන්නා මෙම තත්ත්වයන් සෞඛ්‍යයට පමණක් නොව, රැකියාව, සම්බන්ධතා සහ සාමාන්‍යයෙන් කෙනෙකු ජීවත් වන ආකාරය කෙරෙහි ද බලපෑ හැකි ය. නමුත් මෙම ප්‍රතික්‍රියා සැබැවින් ම සිදුවන්නේ කෙසේ ද? සහ ඒවාට හේතුව කුමක් ද? යන්න බොහෝ දුරට අභිරහසක්ව පවතී. එය සැබවින් ම ආසාත්මිකතාවක් ද?, නැතහොත් වෙනත් කිසිවක් ද? අසාමාන්‍ය ශාරීරික ප්‍රතික්‍රියා මගින් අපගේ ශරීරයේ රසායන විද්‍යාව සහ මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සංකීර්ණතා පිළිබඳ නව අවබෝධයක් ලබා ගත හැකි ආකාරය හෙළි කරන ඉඟි විද්‍යාඥයින් සොයා ගැනීමට පටන් ගෙන තිබේ.

සමේ ඇති වන ආසාදන

බොහෝ අවස්ථාවලදී වෙනත් අයෙකුගේ ශරීරයට ඇති වන සංවේදීභාවය ඔහුගේ ශරීර පද්ධතියට හඳුන්වා දෙන බාහිර ද්‍රව්‍ය හෝ නිෂ්පාදන සමග සම්බන්ධ වේ. උදාහරණයක් ලෙස, ඩහදිය ගන්ධය පාලනය කරන ආලේපන [ඩියෝඩ්‍රන්ට්] සහ රෝම ඉවත් කිරීමෙන් පසු භාවිත කරන ආලේපන [ආෆ්ටර් ෂේව්] වැනි නිෂ්පාදනවලින් ලැබෙන කෘත්‍රිම සුවඳ සමට රඳවා ගත හැකි ය. සුවඳ විලවුන් 150කට වඩා සමේ අසාත්මිකතාවන්ට හේතු වේ.

අසාත්මිකතාවට හේතුව සෑම විට ම පැහැදිලි නැත. දරුණු මාස්ට් සෛල [සුදු රුධිරාණු වර්ගයක්] සක්‍රීය කිරීමේ සින්ඩ්‍රෝමයකින් පෙළෙන ඇමෙරිකානු කාන්තාවකට ඇගේ ප්‍රතිශක්තිකරණ සෛල ක්‍රියා කිරීම නැවතීම හේතුවෙන් ඇගේ සැමියාගේ සුවඳට දැඩි අසාත්මිකතාවක් ඇති විය. ඔස්ට්‍රියාවේ කෙප්ලර් විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍ය සබීන් ඇල්ට්‍රිච්ටර් පවසන්නේ, මෙම සම්බන්ධය ඔප්පු කර නොමැති වුව ද, මාස්ට් සෛල ආබාධ ඇති සමහර රෝගීන් විශ්වාස කරන්නේ ඔවුන් ස්වභාවික ශරීර ගන්ධයන්ට හෝ අන් අයගේ සමෙන් නිකුත් වන රසායනික ද්‍රව්‍යවලට සංවේදී බව ය.

ශරීර ගන්ධයට දායක වන බොහෝ සංයෝග සමෙන් නිකුත් වේ. මෙම සමෙන් නිකුත් වන වායූන්වල ටොලියුයින් වැනි රසායනික ද්‍රව්‍ය ඇතුළත් විය හැකි අතර ඒවා බොරතෙල්වල දක්නට ලැබෙන අතර තීන්ත සහ ප්ලාස්ටික් ඇතුළු නිෂ්පාදන සෑදීමට යොදා ගන්නා රසායන ද්‍රව්‍යයකි. මිනිසුන්ට ටොලියුයින් අවශෝෂණය කර ගත හැක්කේ හිතාමතා ම, එනම් මැලියම් ආශ්වාස කිරීමෙන් හෝ රැකියා ස්ථානයේ නිරාවරණය වීමෙන් වැනි දෙයකින් නොදැනුවත්ව ම ය. දුම්කොළ දුමාරයේ ඇති බොහෝ රසායනික ද්‍රව්‍යවලින් එකක් වන්නේ ටොලියුයින් ය.

Dust being dispersed from hands

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මිනිස් සම නිරන්තරයෙන් දූවිලි අංශු පිට කරමින් වායූන් නිකුත් කරයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වෙනත් පුද්ගලයින් දක්වන ප්‍රතික්‍රියා පිළිබඳව හෙළිදරව්වක් කළ හැකි එක් කණ්ඩායමක් වන්නේ, "People Allergic To Me" (PATM) නම් අද්භූත තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් ය. PATM යනු තමන් අවට සිටින පුද්ගලයින් කැස්ස, කිවිසුම් යාම හෝ උගුරේ අමාරුව වැනි අසාත්මිකතා වැනි ප්‍රතික්‍රියා අත්විඳින බව වාර්තා කරන අසාමාන්‍ය හා හුදෙකලා තත්ත්වයකි.

2023 වසරේදී, ජපානයේ ටෝකායි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යොෂිකා සෙකයින් සහ ඔහුගේ කණ්ඩායම, PATM රෝග ලක්ෂණ අත්විඳින බව වාර්තා කළ පුද්ගලයින් විසින් නිකුත් කරන ලද සමේ වායූන් අධ්‍යයනය කළහ. අධ්‍යයනය කරන ලද සමේ වායු 75ක් අතරින්, ටොලියුයින් කැපී පෙනුණු අතර, PATM ඇති පුද්ගලයෝ එම තත්ත්වය නොමැති අයට වඩා සාමාන්‍යයෙන් 39 ගුණයකින් පමණ වැඩි මට්ටම්වලින් ටොලියුයින් නිකුත් කරති.

"හුස්ම ගැනීමේදී ටොලියුයින් වාතය හරහා ආශ්වාස කරනවා. හානිකර සංයෝගයක් විදිහට ඒක සාමාන්‍යයෙන් අක්මාව මගින් පරිවෘත්තීය ක්‍රියාවලියට භාජනය වෙලා මුත්‍රා මගින් බැහැර කරනවා," සෙකයින් පැහැදිලි කරයි. "PATM රෝගීන්ට ටොලියුයින් පරිවෘත්තීය ක්‍රියාවලියට ලක් කරන්න තියෙන හැකියාව අඩු නිසා ඒක ඔවුන්ගේ රුධිරයට එකතු වෙලා සම හරහා මුදා හරිනවා," ඔහු පවසයි.

PATM සංකල්පය තවමත් පුළුල් ලෙස හඳුනාගෙන නොමැති බවත්, ඒ සඳහා රෝග විනිශ්චය නිර්ණායක නොමැති බවත් සෙකයින් සඳහන් කරයි.

මේ අතර, ඩහදිය අසාත්මිකතාව ඇති වීමේදී සාමාන්‍යයෙන් සිදු වන්නේ, අන් අයගේ ඩහදියට වඩා තමන්ගේ ම ඩහදිය නිසා සංවේදීතා ඇති වීම ය. මිනිස් හිසකෙස් ආශ්‍රිතව අසාත්මිකතා ඇති වන දුර්ලභ අවස්ථාවන්හිදී, ප්‍රතික්‍රියා සාමාන්‍යයෙන් ඇති වන්නේ හිසකෙස්වලින් නොව හිසකෙස් මත ඇති බාහිර අසාත්මිකතා මගිනි: නිදසුනක් ලෙස, කෙරටින් කෙස් ප්‍රතිකාරවල ඇති ෆෝමල්ඩිහයිඩ්වල අතුරු නිෂ්පාදනයන් හෝ බළලුන්ගේ අයිතිකරුවන්ගේ හිසකෙස්වලට මාරු වන බළල් ප්‍රෝටීන මගින් ප්‍රතික්‍රියා ආරම්භ කරනු ලැබේ.

ශරීර තරලයන් මගින්

ශරීර තරලවල අඩංගු විශේෂිත අසාත්මිකතා මගින් ද අසාත්මිකතා ඇති විය හැක. එක්සත් රාජධානියේ එක් අවස්ථාවකදී, බ්‍රසීල ධාන්‍ය සම්බන්ධයෙන් ආසාත්මිකතාවක් තිබූ කාන්තාවක්, පැය කිහිපයකට පෙර මිශ්‍ර ධාන්‍ය අනුභව කළ පිරිමියෙකු සමග ලිංගිකව එක්වීමෙන් පසුව හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති විය. ඔහු දත්, නියපොතු සහ සම පිරිසිදු කර තිබුණ ද, සිප ගැනීමේදී දරුණු අසාත්මිකතා ඇති පුද්ගලයින්ට ඇට වර්ග හරහා අසාත්මිකතා ඇති කිරීමට ද හේතු වී ඇත.

සිප ගැනීමේදී ප්‍රශ්න ඇති කරන අසාත්මිකතාකාරකය වශයෙන් ඇට වර්ග සම්බන්ධයෙන් නිරන්තරයෙන් වාර්තා වන අතර, පලතුරු, එළවළු, මුහුදු ආහාර සහ කිරි පරිභෝජනයෙන් පසු කෙළවලින් ද අසාත්මිකතා ඇති කරයි. ප්‍රතිජීවක සඳහා අසාත්මිකතා ඇති කාන්තාවන්, එම ඖෂධ ලබා ගත් පුද්ගලයින් සමග යෝනි මාර්ගයෙන් සහ (ඇතැම්විට) මුඛ සංසර්ගයෙන් පසු ඍණාත්මකව ප්‍රතිචාර දක්වා තිබේ.

නමුත් මෙම බාහිර අසාත්මිකතාවන්ට අමතරව, ඇතැම් ශරීර තරල තුළ ඇති ප්‍රෝටීන ද ප්‍රතික්‍රියාවක් ඇති කළ හැකි ය. දැනුවත්භාවයේ තවමත් සැලකියයුතු මට්ටමේ හිඩැස් තිබුණ ද, ඇතැම් වෛද්‍යවරුන්ට සුලභව වාර්තා වන්නේ ශුක්‍ර තරලය සම්බන්ධයෙන් ය.

Silhouette of a man and woman kissing

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිපගැනීමකදී ඛේටය හරහා අසාත්මිකකාරක ගමන් කළ හැකි ය

ශුක්‍රාණු ආසාත්මිකතාව හෙවත් ශුක්‍ර ප්ලාස්මා අධිසංවේදීතාව ඇති පුද්ගලයින් මෙම ශරීර තරලයට [ශුක්‍ර තරලයට] නිරාවරණය වීමෙන් පසු, සමේ කැසීම (දද) ඇති වීමේ සිට ජීවිතයට තර්ජනයක් විය හැකි අසාත්මිකතා ප්‍රතික්‍රියාවක් වන ඇනෆිලැක්සිස් දක්වා රෝග ලක්ෂණ වර්ධනය වීමට හැකි ය. 2024 අධ්‍යයනයකට අනුව, එය ප්‍රධාන වශයෙන් වයස අවුරුදු 20 සහ 30 ගණන්වල පුද්ගලයින් තුළ වාර්තා වී ඇතත්, සමස්තයක් වශයෙන් ලේඛනගත රෝගීන් වාර්තා වී ඇත්තේ, 100කටත් වඩා අඩු සංඛ්‍යාවකි. මෙම තත්ත්වය ඇති වීමට හේතු වන අසාත්මිකාරකය වන්නේ ශුක්‍ර ප්ලාස්මාවේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කළ හැකි ද්‍රව්‍යයක් වන පුරස්ථි ග්‍රන්ථියේ ඇති විශේෂිත ප්‍රතිදේහජනකයකි. ශුක්‍රාණුවලින් වැඩි ප්‍රමාණයක් සෑදී ඇත්තේ, මෙම තරලයෙන් වන අතර, අසාත්මිකතාව ඇති වන්නේ ශුක්‍රාණුවට නොව එහි ඇති ප්‍රෝටීනයකට ය.

ශුක්‍ර ප්ලාස්මා අධිසංවේදීතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ ශරීරයේ සිදුවන්නේ කුමක් ද? යන්න නිශ්චිතව ම පැහැදිලි නැති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ සින්සිනාටි විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය විද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්තිකරණ විද්‍යාව සම්බන්ධ සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජොනතන් බර්න්ස්ටයින් පැහැදිලි කරයි. ශුක්‍ර ප්ලාස්මා අධිසංවේදීතාව සඳහා හොඳ සත්ව ආකෘති නොමැති බවත්, මහා පරිමාණ පර්යේෂණ සඳහා අවශ්‍යතාවක් ඇති කිරීමට ප්‍රමාණවත් තරම් මෙම තත්ත්වය ඇති මිනිසුන් නොමැති බවත් බර්න්ස්ටයින් පවසයි.

ශුක්‍රාණු ආසාත්මිකතාව ශරීරයේ කොටසක හෝ පද්ධතියක් තුළ ඇති වීමට හැකි ය. රෝග ලක්ෂණ ශරීරයේ යම් ස්ථානයක ඇති වන්නේ නම්, ඒවා සාමාන්‍යයෙන් [ශුක්‍රාණු] ස්පර්ශ වන ප්‍රදේශය වටා ඇති වන අතර බොහෝ විට යෝනි මාර්ගය තුළ හෝ ඒ අවට ඇති වූ බවට වාර්තා වේ. නමුත් ස්පාඤ්ඤයේ වාර්තා වූ සිදුවිමකදී, යෝනි සංසර්ගයෙන් පසු කිසි දා අසාත්මිකතා ප්‍රතික්‍රියාවක් අත්විඳ නැති කාන්තාවක්, ගුද සංසර්ගයෙන් පසු සිහිය නැති වී ඇනෆිලැක්සිස් රෝග ලක්ෂණ වර්ධනය වීමටකට මුහුණ පෑවා ය. ඇයට ශුක්‍ර තරලයට අධිසංවේදීතාවක් ඇති බව හඳුනා ගන්නා ලදී. ඇමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවකට ලිංගික හැසිරීමකින් තොරව, ශුක්‍ර තරලය සමග සම ස්පර්ශ වූ විට ඉදිමීම සහ කැසීම ඇති විය.

ශරීරයේ කොටසක ඇති වන රෝග ලක්ෂණවලට සංසර්ගයෙන් පසු වහා ම දැඩි වේදනාවක් සහ දැවිල්ලක් ඇති වීම ඇතුළත් වේ. "ඒක [වාර්තා වෙන විදිහට] ඇසිඩ් වගේ," බර්න්ස්ටයින් පවසයි. ඔහුගේ රෝගීන් එය විස්තර කළේ, "ඔයාගේ යෝනිය ඇතුළේ ඉඳිකටු 1,000ක් විතර හිර වෙලා තියෙනවා වගේ," යනුවෙනි.

පුද්ගලයෙකු සහකරුවන් කිහිප දෙනෙකුගේ හෝ එක අයෙකුගේ පමණක් ශුක්‍රාණුවලට සංවේදී වීමට ඉඩ තිබෙන බව බර්න්ස්ටයින් නිරීක්ෂණය කර තිබේ. රෝග විනිශ්චය සඳහා සාමාන්‍යයෙන් ලිංගික සහකරුගෙන් නැවුම් ශුක්‍රාණු සාම්පලයක් භාවිත කර අසාත්මිකතා ප්‍රතික්‍රියාවක් පරීක්ෂා කිරීම සඳහා සමේ සිදුරු පරීක්ෂණයක් සිදු කරයි. ඔහුගේ අත්දැකීම් තුළ, සාමාන්‍යයෙන් කාන්තාවන් පිරිමින් ගැබ්ගැනීමට උත්සහ කරන විට ඔවුනොවුන් සමග ඒකාකාරී සබඳතා පවත්වන ආකාරය බර්න්ස්ටයින් දැක තිබේ. ශුක්‍රාණු අසාත්මිකතාව පිළිබඳ විශේෂඥයින්ගේ අඩුවක් පවතින හෙයින්, ඇතැම්හු ඔහු සමග කතා කිරීම සඳහා බොහෝ දුර ගෙවා පැමිණෙති. වෛද්‍යවරුන්ට ඔවුන්ගේ තත්ත්වය කෙසේ හැසිරවිය යුතු දැයි විශ්වාස නැති නිසා බොහෝ රෝගීන්ව ප්‍රතික්ෂේප කෙරෙන බව හෝ දැඩි ස්ටෙරොයිඩ් ප්‍රතිකාර [හෝර්මෝන ප්‍රතිකාරයක්] ලබා දෙන බව බර්න්ස්ටයින් පවසයි.

කෙසේ වෙතත්, ශුක්‍රාණු ආසාත්මිකතාවයෙන් පෙළෙන සෑම කෙනෙකුට ම පාහේ උපකාර කිරීමට ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සමත් බව බර්න්ස්ටයින් පැහැදිලි කරයි.

පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින්ට ඇති වන ශුක්‍රාණු අසාත්මිකතා පිළිබඳ දත්ත ඉතා අල්ප ය. මෙවැනි සිද්ධියකට තමා කිසිදා මුහුණ දී නොමැති බව බර්න්ස්ටයින් පවසන නමුත් හේතුව තවමත් පැහැදිලි නැත. යෝනි පරිසරයට විශේෂිත වූ දෙයක් නිසා රෝග ලක්ෂණ ඇති විය හැකි යැයි ඔහු සිතුව ද, පිරිමියෙකු සහ කාන්තාවක් අතර ගුද සංසර්ගයෙන් පසුව එක් අවස්ථාවක් සිදු වූ බැවින් එම තත්ත්වය ඒ අනුව පැහැදිලි කිරීමට නොහැකි ය.

ප්‍රතිකාර ක්‍රම

බර්න්ස්ටයින් වරක් රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට උත්සහ කළේ, එම පුද්ගලයාගේ සහකරුගේ ශුක්‍රාණු කුඩා ප්‍රමාණයක් සමට යටින් එන්නත් කිරීමෙන් ඔවුන්ගේ සංවේදීතාව අඩු කිරීමෙනි. මෙය පශ්චාත් ඉන්ද්‍රිය රෝග සින්ඩ්‍රෝමයට ලබා දෙන ප්‍රතිකාරවලට සමාන අතර එය, පිරිමින් තමන්ගේ ම ශුක්‍රාණු පිටවීම කෙරෙහි සංවේදී වන දුර්ලභ හා බොහෝ විට ඔවුන්ව දුර්වල කරන තත්ත්වයකි. නමුත් මෙය මිල අධික විය: "සාම්පල් හදන්න ලැබ්වල සෑහෙන්න වැඩ කොටසක් කරන්න සිදු වුණ නිසා රෝගීන්ට ඒවාට ගෙවන්න වුණා," බර්න්ස්ටයින් පවසයි.

A view of the top of a mountain with a woman standing, looking at the clouds

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අනෙකුත් මිනිසුන්ට ඇති විය හැකි ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියාවන් හරහා ඛේදජනක ප්‍රතිවිපාක ඇති කළ හැකි ය

පැය දෙකක පමණ කාලයකදී එක් වරක් කරන ප්‍රතිකාරය ආරක්ෂිත සහ ඵලදායී බව බර්න්ස්ටයින් සහ ඔහුගේ කණ්ඩායම සොයා ගත්හ. පළමුව, ඔවුහු ශුක්‍රාණු තරලයෙන් ශුක්‍රාණු වෙන් කළහ. ඉන්පසු රෝගියාගේ ප්‍රතික්‍රියාව කෙතරම් දරුණු ද යන්න මත පදනම්ව, ශුක්‍රාණු මිලියනයකට එකක් හෝ මිලියන දහයකට එකක් දක්වා තනුක කළ අතර, ඉන්පසුව මිනිත්තු 15ක පරතරයකින්, ඔවුහු රෝගියාගේ යෝනි මාර්ගයට තරලය ඇතුළු කළහ. රෝගියාට ශක්තිමත් දරා ගැනීමක් ගොඩ නගා ගැනීමට උපකාර කිරීම සඳහා ඔවුහු තරලයේ සාන්ද්‍රණය ක්‍රමයෙන් වැඩි කළහ. මුළු කාලය පුරා ම ඔවුහු රෝගියා නිරීක්ෂණය කිරීම දිගට ම කරගෙන ගියහ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, "ඔවුන්ට ශරීරයේ පද්ධතිවලින් ඇති වෙන්න පුළුවන් ප්‍රතික්‍රියා වෙන්නේ නෑ වගේ ම එතනින් පස්සේ අනාරක්ෂිත ලිංගික සබඳතාවක් දරා ගන්න පුළුවන් වෙනවා," යැයි බර්න්ස්ටයින් පවසයි.

සාමාන්‍යයෙන්, ශුක්‍ර ප්ලාස්මාවලට අධිසංවේදීතාව බොහෝවිට වරදවා වටහාගෙන ඇති අතර වැරදි ලෙස රෝග විනිශ්චය කර තිබේ. ලිංගිකව එක්වීමේදී සම්ප්‍රේෂණය වන වෙනත් ඇතැම් තරල පිළිබඳ තොරතුරු ඊටත් වඩා අඩු ය.

යෝනි මාර්ගය ලිහිසි කරන සහ ආසාදනවලින් ආරක්ෂා වීමට උපකාරී වන ස්වභාවික ස්‍රාවයක් වන ගැබ්ගෙළ යෝනි තරලය සම්බන්ධ අසාත්මිකතා පිළිබඳ පර්යේෂණ ඉතා අල්ප ය. නමුත් මෙම තත්ත්වය ඇති අවම වශයෙන් එක් අයෙකු හෝ ඔහු දැක ඇති බව මෙරික් යන්කෝස්කි විශ්වාස කරයි. පෝලන්තයේ නිකලස් කොපර්නිකස් විශ්වවිද්‍යාලයේ චර්ම රෝග සහ ලිංගික රෝග පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන යන්කෝස්කි පවසන්නේ, තවත් වෛද්‍යවරුන් රැසක් හමුවීමෙන් පසු තමා වෙත පැමිණි රෝගියෙකුට ඔහු වරක් ප්‍රතිකාර කළ බව ය. යෝනි සංසර්ගයෙන් මිනිත්තු 30කට පමණ පසු ඔහුගේ ලිංගික අවයව රතු පැහැ වී කැසීම ඇති වන බව රෝගියා වාර්තා කර තිබිණි. මුඛ සංසර්ගයේ යෙදීමෙන් පසුව ඔහුගේ මුහුණේ ද කැසීමක් ඇති විය. රෝගියාට මෙය අසාත්මිකතාවක් ලෙස පෙනුණ ද, වෛද්‍යවරුන් මෙම අදහස සමච්චලයට ලක් කළ බව හෝ ප්‍රතික්ෂේප කළ බව යන්කෝස්කි පවසයි.

කෙසේ වෙතත්, යන්කෝස්කි විවෘත මනසකින් සිටි අතර ලිංගික සංසර්ගයේදී මුදා හරින ගැබ්ගෙළ යෝනි තරලයට ඇති විය හැකි අසාත්මිකතා පිළිබඳ වෙනත් අවස්ථා සම්බන්ධයෙන් පර්යේෂණ කළේ ය. "අවසානයේදී රෝගියා ඖෂධවලට හොඳින් ප්‍රතිචාර දැක්වූවා," ඔහු වාර්තා කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් යන්කෝස්කි සහ ඔහුගේ කණ්ඩායමට අධ්‍යයනයක් සිදු කිරීමට ද හේතු වූ අතර, එය 2017දී ප්‍රකාශයට පත් කරන ලදී. පර්යේෂකයෝ අනෙකුත් චර්ම රෝග විශේෂඥයින් මෙන් ම මෙම තත්ත්වය අත්විඳිය හැකි පුද්ගලයින් පිළිබඳව ද අධ්‍යයනයක් සිදු කළහ. ප්‍රතිචාර දැක්වූ චර්ම රෝග විශේෂඥයින්ගෙන් පහෙන් එකක් එවැනි අවස්ථා දැක ඇති බව ඔවුන් වාර්තා කළ නමුත් බොහෝ වෛද්‍යවරු මෙවැනි තත්ත්වයක් පැවතීම පිළිබඳව සැක පළ කළහ.

මෙම පර්යේෂණයට අනුව, රෝගීන්ට [ශුක්‍රාණු] ස්පර්ශයෙන් පසු රතු පැහැ වීම, කැසීම, දැවිල්ලක් ඇතිවීම, ඉදිමීම සහ දද ඇති වූ බව වාර්තා විය. ඔවුන්ගේ වාර්තා මත පදනම්ව, යන්කෝස්කි සහ ඔහුගේ කණ්ඩායම ඇස්තමේන්තු කළේ, ගැබ්ගෙළ යෝනි තරල අසාත්මිකතාව ශුක්‍රාණු අසාත්මිකතාව තරමට ම පොදු බවත්, එය එක්සත් ජනපදයේ පමණක් දස දහස් ගණනකට බලපාන බවත් ය. කෙසේ නමුත්, "ගැබ්ගෙල යෝනි තරල අසාත්මිකතාව ගැන දැනට පවතින සාක්ෂිවල මට්ටම එක් එක් සිද්ධිවලට සාපේක්ෂ යි. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ තවදුරටත් පර්යේෂණයන් කරන්න අවශ්‍ය යි," යන්කෝස්කි පැහැදිලි කරයි.

එක් ප්‍රධාන වෙනසක් වන්නේ, උපත් පාලන කොපු මගින් ගැබ්ගෙළ යෝනි තරල ආසාත්මිකතාවයේ රෝග ලක්ෂණ වළක්වා ගත නොහැකි වීම ය. මක්නිසාද යත්, ඒවා ඉකිලි සහ වෘෂණ කෝෂය ආවරණය නොකරන බැවිනි. යන්කෝස්කි සහ ඔහුගේ සම-කර්තෘවරුන් විසින් කරන ලද පර්යේෂණ ප්‍රතිඵලවලින් පෙනී ගියේ ඖෂධ සහ නැවත නැවත [යෝනි සංසර්ගයට] නිරාවරණය වීම, ගැබ්ගෙළ යෝනි තරල අසාත්මිකතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ රෝග ලක්ෂණ සමනය කිරීමට උපකාරී වූ බව ය. "හඳුනාගත් බොහෝ අවස්ථාවල හිටියේ ලිංගික සම්බන්ධතාවයේ මුල් අවධියේ ඉන්න තරුණ වැඩිහිටියන් වුණ නිසා අපහසුතාව තියෙද්දීත් දැඩි ආශාව අසාත්මිකතාවට නැවත නැවත නිරාවරණය වීමට හේතු වුණ නිසා ඒක සංවේදීකම අඩු කරන්න හේතුවුණා," යන්කෝස්කි සඳහන් කරයි. මෙය ස්වභාවිකව තනිව ම විසඳා ගත නොහැකි ශුක්‍ර ප්ලාස්මා අධිසංවේදීතාවයෙන් වෙනස් වේ.

අසාත්මිකතා සහිත සහකරුවන් සිටින්නන්ට, එහි බලපෑම් බරපතළ විය හැකි ය. ශුක්‍රාණුවලට නිරාවරණය වීම වළක්වා ගැනීමට හැකි වන විසඳුමක් සොයා ගැනීම මිල අධික වනු ඇතැයි ඇය අපේක්ෂා කරන නිසා, දරුවන් නොසෑදීමට තීරණය කර තිබිණි. ඇගේ සහකරු ගත් තීරණයට ඇගේ ශුක්‍රාණුවලට ඇති සංවේදීතාව හේතු වූ බව මවුරා විශ්වාස කරයි.

දුක් විඳින අයට සහ ඔවුන්ගේ සහකරුවන්ට ඇති වන චිත්තවේගීය බලපෑම් සංකීර්ණ විය හැකි ය. මවුරාගේ සම්බන්ධතාව ආරක්ෂිත වන අතර ඇගේ සහකරු කොන්ඩම් භාවිත කිරීමට කැමති ය. "එයාගේ ශුක්‍ර තරලයට මට අසාත්මිකතාවයක් තියෙනවා කියන අදහස ගැන එයාට තරහ යි කියලා එයා කිව්වා," ඇය පවසයි. "එයා ඒකට මට දොස් පවරන්නේ නෑ. ඒක තමයි විශ්වයේ ස්වභාවය."