බොහෝ දරුවන් වේපින්වලට යොමු වන්නේ ඇයි සහ එය කොතරම් භයානක ද?

A pile of colourful vapes.

ඡායාරූප මූලාශ්‍රය, Peter Dazeley/ Getty Creative

    • Author, ලුයිස් බෲචෝ
    • Role, බීබීසී ලෝක සේවය

ඊ-සිගරට් නැතහොත් වේපින් ලෙස ප්‍රකටව ඇති විද්‍යුත් සිගරට් භාවිතය ඉහළ යාමට ප්‍රතිචාර වශයෙන් ලොව පුරා රටවල් රැසක් ඒ සඳහා සීමා පනවා තිබේ.

ඊ-සිගරට්වල ඇති වර්ණවත් ඇසුරුම් සමග අවම වශයෙන් ඒවා රස වර්ග 16,000කින් ලබා ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානය පෙන්වා දෙන්නේ, ලොව රටවල් රැසක ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර විද්‍යුත් සිගරට් භාවිතය වැඩිහිටියන්ට සාපේක්ෂව ඉහළ යාමක් පවතින බව ය.

ඊ-සිගරට් භාවිතය සම්බන්ධයෙන් මෑතකාලීනව රෙගුලාසි හඳුන්වා දුන් රට එක්සත් රාජධානියයි. ඔවුන් ජූනි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ ඉවත දැමිය හැකි වේපින් අලෙවිය සහ සැපයීම තහනම් කර ඇත. එංගලන්තයේදී එම නීතිය කඩ කළ වෙළෙන්දන්ට අසීමිත දඩයකට යටත්වීමට සිදුවන අතර එම වරද නැවත නැවත සිදු කළහොත් වසර දෙකක සිර දඬුවමකට මුහුණ දීමට ද සිදුවේ.

බ්‍රිතාන්‍ය රජය විශ්වාස කරන්නේ, ඉවත දැමිය හැකි වේපින් මිලදී ගැනීමේ හැකියාව සීමා කිරීම ඔස්සේ පරිසරයට ඒවා‍යෙන් එල්ල වන හානිකර බලපෑම අවම වන අතර ම ළමුන් අතර වේපින් භාවිතය වැළැක්වීමට ද එය සහය වනු ඇති බව ය.

වේපින් කෙතරම් හානිකර ද?

දුම්කොළ, තාර සහ වෙනත් විෂ සහිත පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය අඩංගු දුම්වැටිවලට වඩා වේපින් කිරීම හානිකර නොවන බව අධ්‍යයන මගින් පෙන්වා දී ඇත.

නමුත් වේපින් කිරීම මගින් පෙනහලුවලට, හෘදයට සහ මොළයට දිගුකාලීන වශයෙන් හානි සිදු විය හැකි අතර ඇතැම් වෛද්‍ය විශේෂඥයන් එය නිර්දේශ කරන්නේ, වේපින් යනු දුම්පානය නතර කිරීමට උත්සහ කරන වැඩිහිටි ප්‍රජාව සඳහා පමණක් වන සහනදායී ක්‍රමයක් බවයි.

විද්‍යුත් සිගරට්වලින් නිකුත් කෙරෙන දුමාරයේ බොහෝවිට අඩංගු වී ඇත්තේ, ඒ සඳහා පුද්ගලයින් ඇබ්බැහියට පත් කරන නිකොටින් ඇතුළු රසායනික කුඩා ප්‍රමාණයකි.

"දුම් පානයට පුරුදුව සිටින වැඩිහිටියන්ට එය නතර කිරීමට වේපින් ක්‍රමය ඵලදායී ක්‍රමයක් වෙන්න පුළුවන්. නමුත් ළමයින් සහ දුම් පානය නොකරන වැඩිහිටියන්ගෙන් කිසිවෙකු කිසිදු අවස්ථාවකදී වේපින් සඳහා යොමු නොවිය යුතු බව අපි සෑම අවස්ථාවකදී ම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා," යනුවෙන් එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වේපින්වලින් සිදුවන පූර්ණ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අවබෝධය ලබා ගැනීම සඳහා තවදුරටත් ඒ පිළිබඳව පර්යේෂණ කිරීමේ අවශ්‍යතාව පවතී. කෙසේවෙතත් 2023 වසරේ දෙසැම්බර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූයේ වේපින් මගින් සිදු වන හානිය පිළිබඳව "බිය උපදවනසුලු සාක්ෂි" මතුවෙමින් පවතින බව ය.

2020 වසරේදී එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලය කරන ලද අධ්‍යයනයකින් අනාවරණ වී තිබුණේ, වේපින් ක්‍රමය "දුම්පානය කිරීමට සමානව පෙනහලු ක්‍රියාකාරීත්වය සහ හෘද වාහිනී ක්‍රියාකාරීත්වයට බලපෑම්" ඇති කරන බවයි.

විද්‍යුත් සිගරට් "විශේෂයෙන් තරුණ වියේදී දුම්පානයට පෙළඹවීම සඳහා ස්වයං උත්තේජනයක් ලබා දිය හැකි" බවට එම අධ්‍යනය මගින් අනතුරු අඟවා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ බව අවධාරණය කර තිබියදී ය.

මෙහි පවතින අවදානම් තත්ත්වයන් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා 2025 පෙබරවාරි මාසයේදී, එක්සත් රාජධානියේ රජය දශකයක් පුරා අවුරුදු අටේ සිට 18 දක්වා වන වයස් සීමාවේ පසුවන ළමුන් 100,000ක් පිළිබඳ විමසිලිමත්ව සිටීමේ පර්යේෂණ ව්‍යාපෘතියක් වෙනුවෙන් පවුම් මිලියන 62ක් වෙන් කරන බව ප්‍රකාශයට පත් කරන ලදී.

"දරුවන් කුඩා වයසේදී ම ඊ-සිගරට් භාවිතය සඳහා පෙළඹිලා ඒකට කොටු වෙන්න පුළුවන්, ඒ ඔස්සේ ඔවුන් නිකොටින්වලට ඇබ්බැහි විය හැකි යි'' යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රෙයිසස් 2024 වසරේ දී පැවසුවේ‍ ය.

"මෙම ප්‍රවණතාව ඉහළ යාම වළක්වා ගැනීම සඳහා ඔවුන්ගේ පුරවැසියන්, විශේෂයෙන් ඔවුන්ගේ දරුවන් සහ තරුණ ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මම රටවලින් ඉල්ලා සිටිනවා.''

යෞවනයන්ට ඇති කරන බලපෑම කුමක් ද?

සමාජ මාධ්‍ය සහ බලපෑම් කරන්නන් හරහා හිතාමතා ම දරුවන්ට ඊ-සිගරට් අලෙවි කිරීම සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අධ්‍යක්ෂ වෛද්‍ය රූඩිගර් ක්‍රච් පවසා ඇත.

ඇතැම් නිෂ්පාදන අලෙවි කිරීමේදී තරුණ පරිශීලකයින් ඒවා සඳහා ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් ම විශේෂයෙන් නිර්මාණය කරන ලද කාටූන් චරිත සහ මෝස්තර ඇතුළත් කර ඇති බව ද ඔහු පැවසීය.

"බොහෝ රටවල ඊ- සිගරට් භාවිතය වැඩිහිටි ප්‍රජාව ඉක්මවා ළමුන් සහ තරුණ ප්‍රජාව අතර ව්‍යාප්ත වීමේ අනුපාතය භයානක ලෙස ඉහළ යාමක් පෙනෙන්න තිබෙනවා," යනුවෙන් ඔහු 2023දී පැවසුවේ ය.

බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරයේ (ඉන්කෝර්) හෘද ආයතනයේදී දුම්පානය නැවැත්වීමේ වැඩසටහනට නායකත්වය දෙන බ්‍රසීල හෘද රෝග විශේෂඥ ජැක්ලීන් ෂෝල්ස් ඔහුගේ අදහස් බෙදා ගත්තා ය.

"මගේ සායනයේ වයස අවුරුදු 16-24 අතර තරුණ තරුණියන් වැඩි වැඩියෙන් දකිනවා, ඔවුන් මෙම නිෂ්පාදනය භාවිතා කරනවා, ඔවුන්ගේ ශරීරයේ දිනකට සිගරට් 20කට වඩා දුම් පානය කරනවාට සමාන නිකොටින් මට්ටම් තිබෙනවා," වෛද්‍ය ෂෝල්ස් පැවසුවා ය.

මීට පෙර බ්‍රසීලයේ යෞවනයන් අතර දුම්පානය ජනප්‍රිය මට්ටමක නොතිබූ බව ඇය පෙන්වා දුන්නාය, නමුත් ඇය විශ්වාස කරන්නේ වේපින් ක්‍රමය සමාජගත වීමත් සමග යෞවනයන් අතර පවතින ආකල්ප වෙනස් වී වේපිං භාවිතය ඉක්මනින් "වසංගතයක්" බවට පත්විය හැකි බව ය.

ඊ-සිගරට් සම්පූර්ණයෙන් ම තහනම් කිරීම වෙනුවෙන් ඇය පෙනී සිටියි.

"ඊ- සිගරට් යනු නව මුහුණුවරකින් වෙස්වළා ගෙන පැමිණ ඇති පැරණි දුම්වැටියමයි - එය ශරීරයට එල්ල කරන අමතර හානියක් සමග නිර්මාණය කර ඇත්තේ අලෙවිකරණයේ අඛණ්ඩතාව සහ ඇබ්බැහි වීම අඛණ්ඩව පවත්වා ගැනීමට."

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ විද්‍යුත් සිගරට් අලෙවිකරණයට හිමිවන කෙටි නිරාවරණයකින් පවා වේපින් වෙත යොමුවීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක පවතින අතර එය පසුව දුම් පානය දක්වා දිව යයි.

"ඊ-සිගරට් භාවිත කරන යොවුන් වියේ පසුවන්නන් ඔවුන්ගේ ජීවිතයේ පසුකාලීනව දුම්වැටි භාවිතය සඳහා නැඹුරු වීමට ඇති හැකියාව තුන් ගුණයකින් වැඩි බව අධ්‍යයන මගින් නිරන්තරයෙන් පෙන්නුම් කර ඇත," යනුවෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය සඳහන් කළේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇති පරිදි දුම්කොළ භාවිතය හේතුවෙන් සෑම වසරක ම මිලියන 8කට වැඩි පිරිසක් මිය යති.

දුම්කොළවල ඇති නිකොටින් වහා ඇබ්බැහිවනසුලු වන අතර දුම්කොළ භාවිතය ද හෘදවාහිනී සහ ශ්වසන රෝග සඳහා මෙන් ම විවිධ පිළිකා හෝ උප වර්ග 20කට වැඩි ගණනකට මෙන් ම දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් සඳහා බලපාන ප්‍රධාන සාධකයකි.

වේපින් නිෂ්පාදකයින් පවසන්නේ කුමක් ද?

එක්සත් රාජධානියේ වේපින් කර්මාන්ත සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ජෝන් ඩන් විශ්වාසය පළ කරන්නේ, හොඳ නියාමනයක් යනු "නිවැරදි සමතුලිතතාව" සොයා ගැනීම බව ය.

"සාක්ෂි පැහැදිලි යි: දුම් පානයට සාපේක්ෂව වේපින් කිරීම සැලකිය යුතු ලෙස හානිය අවම කරනවා. පුද්ගලයින්ට දුම් පානයෙන් ඉවත්වීම සඳහා උපකාර කිරීමට අපට ඇති වඩාත්ම ඵලදායී මෙවලම තමයි මේක," ඔහු බීබීසී වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේය.

"එක්සත් රාජධානිය තුළ පුද්ගලයින්ගේ දුම්පානය වාර්තාගත අවම මට්ටමකට ගෙන ඒම සඳහා වේපින් ක්‍රමය වැදගත් කාර්ය භාරයක් ඉටු කළා, මේ සාර්ථක කතාවේ තීරණාත්මක අංගය තමා ඒවා රස වර්ග කිහිපයකින් වෙළෙඳපළට පැමිණෙන එක.''

"විවිධ රස ඇත්තේ දරුවන් රඳවා තබා ගැනීම සඳහා පමණක් යන අදහස හේතුවෙන් එම සාක්ෂි නොසලකා හරිමින් සිටිනවා. වේපින් භාවිත කරන වැඩිහිටි ප්‍රජාව පලතුරු රසවලට වැඩි කැමැත්තක් දක්වන බව අපි දන්නවා, ඒ වගේම එම රසයන් වේපින් වලින් ඉවත් කළහොත් ඊට පෙර දුම් පානය කළ අයගෙන් තුනෙන් දෙකක් පමණ නැවත ඇති විය හැකි බව මත විමසුමෙන් පෙන්වා දී තිබෙනවා.

"වයස අවුරුදු 18ට අඩු කිසිවෙකු මෙම නිෂ්පාදන භාවිත නොකළ යුතුයි. නුසුදුසු රස‍යන් ගෙන් යුත් නම් සහ ඇසුරුම් තහනම් කිරීම ඇතුළු නීතිමය තත්ත්වයන් මෙම කර්මාන්තය සඳහා දැඩි ලෙස බලාත්මක කිරීම නිරන්තරයෙන් සිදු කරන්නේ ඒ හේතුවෙනි.

"අපට දුම් පානයෙන් තොර වීම යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍යයි නම්, අපි නිවැරදි සමතුලිතතාවක් අනුව කටයුතු කළ යුතුයි"

වේපින් සඳහා ලොව පුරා පවතින නීති මොනවා ද?

වේපින් සඳහා ලොව පුරා පවතින රෙගුලාසිවල සැලකිය යුතු ලෙස වෙනස්කම් පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2024දී නිකුත් කළ වාර්තාවකට අනුව රටවල් 34ක් විද්‍යුත් සිගරට් අලෙවිය තහනම් කර ඇත.

ඇතැම් රටවල වේපින් අලෙවිය සහ බෙදා හැරීම තහනම් වන අතර ඇතැම් රටවල වේපින් ප්‍රසිද්ධියේ භාවිතය ද තහනම් වේ.

ඔස්ට්‍රේලියාව වැනි ඇතැම් රටවල සියලුම වේපින් සහ එම නිෂ්පාදන ඇත. එමෙන්ම ඒවායේ නිකොටින් අඩංගුද යන්න නොසලකා ඖෂධ අලෙවිසල්වල පමණක් අලෙවි කළ යුතුය.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය අනාවරණය කර ගෙන ඇති පරිදි රටවල් 88 කට ඊ-සිගරට් මිලදී ගැනීම සඳහා අවම වයස් සීමාවක් නොමැති අතර රටවල් 74ක වේපින් සඳහා සීමා පනවා නොමැති බවත් සොයාගෙන තිබේ.

2014 වසරේදී යුරෝපා සංගමය දුම්කොළ නිෂ්පාදන සඳහා පවතින නීති සංශෝධනය කළ අතර වෙළඳ දැන්වීම් සහ රසයන් සඳහා රෙගුලාසි මෙන් ම වයස් සීමාවන් ඇතුළුව ඊ-සිගරට් සඳහා දැඩි රෙගුලාසි පනවනු ලැබීය.

නමුත් මෙම කණ්ඩායමට අයත් විවිධ රටවල එම නීති වෙනස්කම්වලට භාජනය වේ: ප්‍රංශය සහ බෙල්ජියම මෙම වසරේදී එම රටවල භාවිත කර ඉවත දැමිය හැකි ඊ-සිගරට් භාවිතය තහනම් කළ අතර ග්‍රීසිය සාමාන්‍ය වේපින් කිරීමට අවසර දී ඇත, ඒ සඳහා සුවිශේෂී වූ සාප්පුවල ඒවා විකිණීමට අවස්ථාව ඇති අතර එවා භාවිතය සඳහා ද නියාමනයන් පවතී.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දුම්කොළ නොවන සිල්ලර වෙළෙන්දන්ගෙන්, වේපින් උපකරණ සහ ඊ-ද්‍රව මිල දී ගැනීමට නම් ගැනුම්කරුවන්ගේ වයස අවම වශයෙන් අවුරුදු 21ක් විය යුතු ය.

Two teenagers - a boy with floppy brown hair, wearing a checked shirt and navy coat, and a girl with long dark hair, wearing a grey top and patterned jacket, blow smoke from their mouths and nostrils.

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, දුම්පානය නතර කිරීමට උත්සහ කරන වැඩිහිටියන් වේපින් කිරීම සීමා කළ යුතු බව එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය වන NHS පවසයි

වේපින් ඔස්සේ මුදා හරින දුම් පරිසරයට හානිකර වන්නේ කෙසේ ද?

යොවුන් වියේ පසුවන්නන් අතර වේපින් භාවිතය අඩු කිරීමට අමතරව, ඒවා හරහා සිදුවන පාරිසරික බලපෑම සීමා කිරීම සඳහා ඉවත දැමිය හැකි වේපින් භාවිතය සඳහා එක්සත් රාජධානිය අර්ධ වශයෙන් තහනමක් පැනවීය.

එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවට (Defra) අනුව, 2023 වසරේදී සෑම සතියක ම එක්වරක් භාවිත කළ වේපින් මිලියන පහකට ආසන්න ප්‍රමාණයක් ඉවත දමා තිබේ.

වේපින් තුළ ලිතියම් - යකඩ බැටරි සහිත පරිපථ පුවරු අඩංගු වේ. ඒවා නිසි පරිදි බැහැර කිරීම සිදු නොකළ හොත් කොබෝල්ට් සහ තඹ වැනි විෂ සංයෝග පරිසරයට මුදා හැරීම සිදුවිය හැකි අතර වන සතුන්ගේ ජීවිත අනතුරේ හෙළමින් පරිසරයට විෂ රසායන එක් කරයි.

ඛනිජ සහ ලිතියම් ඒවායෙන් නැවත ලබා ගන්නේ නම්, විදුලි මෝටර් රථවල බැටරි හෝ සුළං ටර්බයින වැනි හරිත තාක්ෂණයන් සඳහා ඒවා නැවත භාවිත කිරීමේ අවස්ථාව පවතී.

නමුත් ඒවායේ ප්‍රමාණය සහ සංකීර්ණ සැලසුම නිසා ඉවත දැමිය හැකි වේපින් ප්‍රතිචක්‍රීකරණය කිරීම අභියෝගාත්මක කාර්යයක් වන බැවින් ඒවා බැහැර කිරීම අපහසු වේ.

එක්සත් රාජධානියේ පළාත් පාලන සංගමය (LGA) ද අනතුරු අඟවා ඇත්තේ එක් වරක් භාවිත කරන වේපින් "අපද්‍රව්‍ය සහ කසළ එකතු කිරීමේ කාර්යයේදී ද අන්තරායකර වන අතර කසළ ගෙන යන ලොරි රථවල ගිනි ගැනීම් ඇති විය හැකි" බව ය.

එහෙත්, වෙළඳපොළේ පවතින විවිධ වර්ගයේ වේපින් නිසා සම්මත ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් භාවිත කිරීම අපහසු වීම හේතුවෙන් ඉවත දැමිය හැකි වේපින් මහා පරිමාණයෙන් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රමවේදයක් එක්සත් රාජධානිය තුළ තවමත් නොමැත.

වැඩිහිටියන් සහ ළමුන් කොපමණ පිරිසක් වේපින් භාවිත කරයි ද?

වාර්තාවක් මගින් ඇස්තමේන්තු කර ඇති පරිදි 2021 වසරේදී ලොව පුරා මිලියන 82ක පිරිසක් විද්‍යුත් සිගරට්, නැතහොත් "දැවී - නොයන" දුම්කොළ නිෂ්පාදන භාවිත කර ඇත.

රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) පෙන්වා දෙන පරිදි 2024 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි මධ්‍යම හා උසස් පාසල්වල සිසුන් මිලියන 1.63 ක් (5.9%) විද්‍යුත් සිගරට් භාවිතා කර තිබේ.

සෞඛ්‍යමය පුණ්‍යායතනයක් වන ASH (Action on Smoking and Health) මගින් සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණ වී ඇත්තේ එක්සත් රාජධානිය තුළ 2024 දී අවුරුදු 11-17 අතර වයස් සීමාවේ පසුවූවන්ගෙන් 18% ක් (ළමුන් 980,000) පමණ වේපින් භාවිත කර ඇති බවයි.

2023 වසරේදී මිලියන 5.1 ක පමණ පිරිසක් වේපින් හෝ ඊ සිගරට් භාවිතා කර ඇති අතර, අවුරුදු 16 ට වැඩි සියලුම වයස් කාණ්ඩ අතර වේපින් භාවිතය ඉහළ ගොස් ඇත.

එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාලේඛන සඳහා වන කාර්යාලය වාර්තා කරන පරිදි 2023 වසරේදී වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 5.9% ක් දිනපතා වේපින් භාවිතය සඳහා යොමු වී ඇති අතර එය පෙර වසරට වඩා සුළු වැඩිවීමක් බව පැවසේ, එමෙන්ම තවත් 3.9% ක පමණ පිරිසක් කලාතුරකින් වේපින් භාවිත කර තිබේ.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව ලොව පුරා අවුරුදු 13-15 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන් අවම වශයෙන් මිලියන 37ක් දුම්වැටි, දුම් රහිත දුම්කොළ නිෂ්පාදන වැනි දුම්කොළ නිෂ්පාදන සහ වැඩි වශයෙන් ඊ-සිගරට් භාවිත කරයි.