ඔබ දිනකදී කොපමණ වරක් මලපහ කරනවා ද?: මලපහවල ස්වභාවය අනුව ඔබේ සෞඛ්‍ය තත්ත්වය මැන ගන්න

poo

ඡායාරූප මූලාශ්‍රය, Emmanuel Lafont/ BBC

    • Author, ජැස්මින් ෆොක්ස්-ස්කෙලි

ඉරිතැළුණු හෝ සුමට සොසේජසයක පෙනුමැති, එනම් 'තෙවන' හෝ 'සිව් වන' වර්ගයේ මල දිනකට එක් වරක් පිටකිරීම වඩාත් යහපත් තත්ත්වයකි.

ඔබ දිනකට තෙවරක් එය සිදු කරන අයෙක් ද? එසේ නොමැති නම්, වැසිකිළියට යාම විශේෂ අවස්ථාවකදී පමණක් කලාතුරකින් කරන අයෙකු ද? මෙහිදී වැදගත් ම කරුණ වන්නේ, ඔබ මලපහ කරන වාර ගණන අනුව ඔබේ ශරීර සෞඛ්‍යය ගැන හෙළි වන්නේ කුමක් ද? යන්න යි. දැන් ඔබ අසුන්ගෙන, මල පිටුපස ඇති විද්‍යාව ගැන නිස්කලංකව දැන ගන්න.

දිනකට දෙවරක් මලපහ කිරීමේ අවස්ථා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. අප ආහාර ගන්නා සෑම වාරයකදී ම, අපගේ මහබඩවැල සංකෝචනය වෙමින් අප ගත් ආහාර ජීර්ණ පද්ධතිය ඔස්සේ රැගෙන යයි. ස්වයංක්‍රීයව සිදුවන මෙම ක්‍රියාවලිය ද සමගින් මලපහ කිරීම සඳහා අප පොළඹවන හෝමෝන මුදාහැරීම සිදු වේ. මෙම පෙළඹවීම මැඩපැවැත්වීමට අප බොහෝ දෙනා පුරුදු වී සිටීමෙන් කියැවෙන්නේ, දිනකට එක් වරක් හෝ ඊට අඩු වාර ගණනක් එය කිරීම යන්න සාමාන්‍යකරණය වී ඇති බව ය.

"මල පිට කරන්න අපිට වෙලාවක් හොයා ගන්න බැරි තරම්," ඔස්ටේ‍ලියාවේ කැන්බරා රෝහලේ සේවය කරන ආමාශය ආශ්‍රිත රෝග හා කායික රෝග වෛද්‍යවරයෙකු වන මාටින් වේසේ පවසයි.

සම්මතයක් වශයෙන් බොහෝවිට පිළිගන්නේ දිනකට එක් වරක් මලපහ කිරීම යනු බඩවැල්වල නීරෝගීභාවයෙහි ලක්ෂණයක් බවට ය. නමුත්, මීට පෙර මලපහ කිරීම යන කරුණ සම්බන්ධයෙන් "සාමාන්‍ය යි" යනුවෙන් පිළිගනු ලැබූයේ කුමන හේතු නිසා දැයි දැනුමක් නොතිබිණ. සති හෝ මාස කිහිපයකට එක් වාරයක සිට දිනකට 24 වාරයක් දක්වා එය සිදු කිරීම සාමාන්‍ය බවට එක් අධ්‍යයනයකික් අදහස් විය.

එක්සත් රාජධානියේ Bristol Royal Infirmary හි වෛද්‍ය කෙන් හීට්න් වැනි විද්‍යාඥයින්ගේ පුරෝගාමී පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් අපි දැන් ඊට වැඩි යමක් දැන සිටින්නෙමු. 1980 දශකයේ අග භාගයේදී වෛද්‍ය කීටන් සහ ඔහුගේ සගයින් නැගෙනහිර බ්‍රිස්ටල් ප්‍රදේශයේ පදිංචිකරුවන් අතර පැවැත්වූ සමීක්ෂණයකදී ඔවුන්ගෙන් කෙලින් ම අසා තිබුණේ ඔවුන් මලපහ කරන වාර ගණන පිළිබඳව ය.

එහිදී ලැබුණු ප්‍රතිඵලවලින් කියැවුණු ආකාරයට මලපහ කිරීමේ පුරුද්ද බොහෝ සෙයින් විවිධ විය. ඒ, වඩාත් ම සාමාන්‍ය ලෙසින් දිනකට එක් වාරයක් එය සිදු කළ පිරිස පිරිමින් අතර 40%ක් හා කාන්තාවන් අතර 33%ක් වශයෙනි. ඇතැමුන් සතියකට එක් වාරයකටත් අඩු අවස්ථා ගණනක් මලපහ කළ අතර, තවත් අය දිනකට තෙවරක් එය සිදු කළ බව කියා සිටියේ ය. සමස්තයක් ලෙසින් එම අධ්‍යයනයේදී නිගමනය වූයේ, "සාමාන්‍ය ලෙසින් පිළිගත් සම්මතයට අනුව මල පිටකිරීම සිදු කළේ ජනගහනයෙන් භාගයකටත් අඩු පිරිසක් බවටත්, මෙම කරුණ සම්බන්ධයෙන් ගත් කල තරුණ කාන්තාවන් විශේෂයෙන් ම අවාසිසහගත තත්ත්වයක සිටි බවටත් ය.

"සතියකට වාර හතක් සාමාන්‍ය පෙනුමැති මල පිට කළ පුද්ගලයින්ට වඩා සතියකට සිව් වරක් සුමට ආකාරයේ මල පිට කළ පුද්ගලයින් ඉදිරි වසර පහක කාලයේදී මිය යාමේ සම්භාවිතාව 1.78 වාරයක් විය."

මල පිටුපස ඇති විද්‍යාව සම්බන්ධයෙන් වෛද්‍ය කීටන්ගෙන් ලැබුණු දායකත්වය මෙය පමණක් නොවේ. ඔහු පසු කාලයකදී "බ්‍රිස්ටල් මල ආකෘති පරිමාණය" (The Bristol Stool Form Scale) සකස් කිරීමට සහය විය. ආහාර ජීර්ණයේ පවතින රෝග විනිශ්චය සඳහා වෛද්‍යවරුන් සුලභව භාවිත කරන ප්‍රායෝගික මාර්ගෝපදේශනයක් බවට එය පත්ව ඇත. එම පරිමාණය මගින් "වෙන් වෙන්ව පිටවන ගෙඩි වැනි දැඩි බවින් යුත් පිඩු" මෙන් ම "කඩතොළු වූ ගැටිවලින් යුත් ලොම් වැනි කැබලි" ද පහසුවෙන් හඳුනාගත හැකි ආකාරය සවිස්තරාත්මකව දක්වා තිබේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, ඔබ දිනකදී කොපමණ වරක් මලපහ කරනවා ද?

'ගොල්ඩිලොක්ස්/ගොල්ඩිප්ලොප්ස්' කලාපය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජාතික සෞඛ්‍ය සේවාව සහ අනෙකුත් සෞඛ්‍ය සේවා ආයතනවලට අනුව, දිනකට තෙවරක් සහ සතියකට තෙවරක් අතර වාර ගණනක් මල පිට කිරීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකේ. නමුත්, සාමාන්‍ය තත්ත්වය හා නීරෝගීභාවය යනු අත්‍යවශ්‍යයෙන් ම එක් දෙයක් නොවේ. අප මල පිට කරන වාර ගණන සම්බන්ධයෙන් වන අබිරහස විද්‍යාඥයින් විසින් විසඳනු ලැබ ඇතැයි සලකනු ලැබුව ද, අප මල පිට කළ යුතු වාර ගණන කෙතරම් දැයි යන ගැටලුවට ඉන් කිසිදු පිළිතුරක් ලැබී නොමැත. පර්යේෂකයින් වැඩි වැඩියෙන් සොයා ගනිමින් සිටින්නේ පුද්ගලයෙකුගේ මල පිටකිරීමේ පුරුදු මගින් එම තැනැත්තාගේ නීරෝගීභාවය හුවා දක්වන බව ය.

උදාහරණයක් ලෙස, 2023 දී සිදුකළ අධ්‍යයනයකදී ඇමෙරිකාවේ වැඩිහිටියන් 14,573 දෙනෙකුගේ මලපහ කිරීමේ පුරුදු පිළිබඳව විමසීමක් කරනු ලැබී ය. වඩාත් ම බහුල වශයෙන් සතියකට සත් වාරයක් එය සිදු කළ පිරිස 50.7%ක් විය. එමෙන් ම, සුලභ ම මල හැඩය වූයේ, "සොසේජසයක් හෝ සර්පයෙකු ආකාරයේ, මෘදු හා මොළොක්" ඒවා ය. පර්යේෂකයින් වසර පහක කාලයක් තිස්සේ අධ්‍යයනයකට සහභාගී වන්නන්ගේ මල පිට කිරීමේ වාර ගණන සහ ඔවුන් අතර සිදු වන මරණ සංඛ්‍යාව පිළිබඳව සොයා බැලීය. සතියකට වාර හතක් සාමාන්‍ය පෙනුමැති මල පිට කළ පුද්ගලයින්ට වඩා සතියකට සිව් වරක් සුමට ආකාරයේ මල පිට කළ පුද්ගලයින් ඉදිරි වසර පහක කාලයේදී මිය යාමේ සම්භාවිතාව 1.78ක් විය. කලාතුරකින් මල පිට කළ පුද්ගලයින් අතරින් පිළිකාව සහ හෘදවාහිනීවල රෝග නිසා මරණයට පත් වූවන්ගේ සංඛ්‍යාව 2.42ක් හා 2.27ක් බැගින් විය.

poo

ඡායාරූප මූලාශ්‍රය, Emmanuel Lafont/ BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, "කෙටි ආන්ත්‍රික සංක්‍රාන්ති කාලයක්" තිබීමෙන් - එසේ නැතහොත් මල පිට කිරීම වැඩි වාර ගණනක් සිදු කිරීමෙන් - පෙන්වන්නේ නීරෝගී ක්ෂුද්‍රජීවී වාසයක් සහිත බව යි.

"කෙටි ආන්ත්‍රික සංක්‍රාන්ති කාලයක්" තිබීමෙන් - එසේ නැතහොත් මල පිට කිරීම වැඩි වාර ගණනක් සිදු කිරීමෙන් - පෙන්වන්නේ නීරෝගී ක්ෂුද්‍රජීවී වාසයක් සහිත බව යි. (ඡායාරූපය: එම්මානුවෙල් ලෆොන්ට්/බීබීසී)

ඇමෙරිකාවේ සියැටල්හි පිහිටි Institute for Systems Biology හි ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වන ෂෝන් ගිබන්ස් මුහුණ දුන් ගැටලුවක් වූයේ, හොඳ මල ප්‍රමාණයක් යනු කෙපමණක් ද? යන්න යි. ඔහු 2024දී සිදුකළ අධ්‍යයනයකදී නීරෝගී වැඩිහිටියන් 1,400 දෙනෙකු ඔවුන්ගේ මලපහ කිරීමේ පුරුදු අනුව කණ්ඩායම් හතරකට බෙදනු ලැබී ය. ඒ, මලබද්ධය (සතියකට එක් වරක් හෝ දෙවරක් මල පහවීම), පහළ මට්ටමේ සාමාන්‍ය (සතියකට තෙවරක් සහ සය වරක් අතර වාර ගණනක් මලපහ වීම), ඉහළ සාමාන්‍ය (දිනකට එක් වරක් සහ තෙවරක් අතර වාර ගණනක් මල පහවීම) සහ පාචනයෙන් පෙළෙන අය යනුවෙනි. ඉන්පසුව, ඔවුන්ගේ මල පහකිරීමේ වාර ගණන සහ ඔවුන්ගේ බඩවැල්වල සිටින ක්ෂුද්‍ර ජීවීන් අතර සම්බන්ධයක් තිබේ දැයි සොයා බලනු ලැබී ය.

එහිදී ගිබන්ස්ට නිරීක්ෂණය වූයේ, අඩු වාර ගණනක් වැසිකිළි ගිය පුද්ගලයින්ට වඩා දිනකට එක් වරක් සිට තෙවරක් දක්වා මල පහ කළ පුද්ගලයින්ගේ බඩවැල්වල "හොඳ" බැක්ටීරියා වාසය කරන බව ය. එමෙන් ම, සතියකට තෙවරකට වඩා අඩු වාර ගණනක් මලපහ කළ පුද්ගලයින්ගේ රුධිරයේ නිදන්ගත වකුගඩු රෝග සහ අල්සයිමර්ස් රෝග කාරක විෂබීජ තිබීමේ හැකියාව වැඩි බව සොයා ගැනිණි.

"මල පිට කිරීමේ ගෝල්ඩිලොක්ස් කලාපයෙන් (ඉහළ සාමාන්‍ය කාණ්ඩය) කෙටි දාම මේද අම්ල (short chain fatty acids) වර්ග නිපදවන නිර්වායු ක්ෂුද්‍ර ජීවීන් අපට නිරීක්ෂණය වුණා," යැයි ගිබන්ස් කියා සිටී. ඉන් එක් කෙටි දාම මේද අම්ලයක් වන බියුටිරේට් (butyrate) ශරීරයේ ප්‍රදාහය අඩු කිරීමේ හැකියාවෙන් යුක්ත ය. මෙම සොයා ගැනීම ඉතාමත් වැදගත් වන්නේ, හෘදවාහිනීවල රෝග, දෙවැනි මාදිලියේ දියවැඩියාව සහ අල්සයිමර්ස් රෝගයට පවා ප්‍රධාන හේතුකාරකයක් වන්නේ නිදන්ගත ප්‍රදාහය වීම නිසා ය.

"බියුටිරේට් ඉහළ මට්ටමින් තිබීම නිසා ඔබට රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමේ හැකියාව ලබා දී ඉන්සියුලින්වලට වැඩි ප්‍රතිචාර දැක්වීමට ඉඩ ලැබෙනවා," යැයි ඔහු වැඩිදුරටත් විස්තර කරයි. "බඩවැල්වල සෛලවල බියුටිරේට් බැඳී තිබීමෙන් ඔබට පිරුණු බවක් දැනෙන හෝමෝන නිපදවීම උත්තේජනය කරනවා," යනුවෙන් ද ඔහු පවසයි.

මලබද්ධයෙන් පෙළෙන පුද්ගලයින්ගේ රුධිරයේ පවතින හානිකර විෂබීජ මට්ටම ඉහළ යාමට එක් හේතුවක් වන්නේ, ඔවුන්ගේ මල පහවීමේ පුරුද්ද අසාමාන්‍ය නිසා මල ඔවුන්ගේ බඩවැල්වල වැඩි කාලයක් රැඳී පැවතීම හේතුවෙන් යැයි ගිබන්ස් විශ්වාස කරයි. එම හේතුව නිසා බඩවැල්වල සිටින බැක්ටීරියා අවට තිබෙන සෑම තන්තු කොටසක් ම ආහාරයට ගැනීමෙන් ඒවා නීරෝගීභාවය ඇති කරන කෙටි දාම මේද අම්ල බවට පෙරළයි. නමුත්, මෙහිදී ඇති වන ගැටලුව වන්නේ, පවතින තන්තු කොටස් අවසන් වීමෙන් පසුව බැක්ටීරියා ප්‍රෝටීන පැසවීම ආරම්භ වීම යි. එමගින් හානිකර විෂබීජ රුධිරයට එක්වීම සිදු වේ. එවැනි විෂබීජ නිසා වකුගඩු සහ හදවත වැනි ඉන්ද්‍රියන්ට හානි ගෙන දේ. උදාහරණයක් ලෙසින්, ෆීනයිල්ඇසිටයිල්ග්ලුටමින් (phenylacetylglutamine) නමැති එක් විෂබීජයක් නිසා හෘදවාහිනීවල රෝග හටගැනීමේ අවදානම ඉහළ යයි.

"ඔබේ ශරීරයේ මේ පරිවෘත්තියට අවශ්‍ය මෙටබලයිට් නිදන්ගතව ඉහළ මට්ටමින් තියෙනවා නම්, ඒ නිසා atherosclerosis කියන රුධිර නාලිකා සිහින් වීමේ රෝගය ඇති වීමට හා හෘදවාහිනී පද්ධතියට හානි වීමට හැකියාව තියෙනවා," යනුවෙන් ගිබන්ස් කියා සිටී.

දිනකට තෙවරක් සිට සතියකට තෙවරක් දක්වා වාර ගණනක් මලපහ කිරීම යනු නීරෝගීභාවය යැයි සායනික මාර්ගෝපදේශ දක්වා සිටිය ද, පහළ සාමාන්‍ය මලපහ කිරීමේ පිරිස අතර පවා රුධිරගත විෂබීජ මට්ටම ඉහළ යාමක් තම අධ්‍යයනයේදී නිරීක්ෂණය වූ බව ගිබන්ස් පවසයි.

"ඒක හරියට ම කියන්න අමාරු යි. මොක ද, ඒ මිනිස්සු අනාගතයේදී රෝගී වුණා ද කියලා කියන්න අහඹු තොරතුරු අපට නැහැ. නමුත්, ඒක එහෙම වෙන එක තමයි පේන්න තියෙන්නේ. අපිට නිරීක්ෂණය වෙච්චි හැටියට, දවසක් හැර දවසක් හරි දවසකට කිහිප සැරයක් හරි මල පිටකිරීම සෞඛ්‍යසම්පන්නයි කියන්න වැඩි ඉඩක් තියෙනවා," ගිබන්ස් පවසයි.

poo

ඡායාරූප මූලාශ්‍රය, Emmanuel Lafont/ BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබගේ මල නිරතුරුව ම නිරීක්ෂණය කරන්නැයි විශේෂඥයෝ නිර්දේශ කරති. එමගින් ඔබගේ වෛද්‍යවරයා සමග පැවසිය යුතු වෙනස්කම් ඔබට දක්නට ලැබෙනු ඇත

කෙසේ වෙතත්, සහසම්බන්ධය යනු හේතු වීම ම නොවේ. දැනටමත් වෙනත් ආකාරවලින් නීරෝගීභාවයෙන් අඩු පුද්ගලයින් අතර පවා මලපහ කිරීමේ වාර ගණන අඩු විය හැකි නමුත්, ගිබන්ස්ගේ අධ්‍යයනයෙන් එය පාලනය කිරීමට උත්සහ කළේ, තමන්ට සෞඛ්‍ය ගැටලු ඇතැයි වාර්තා නොකළ වැඩිහිටියන් පමණක් ඊට තෝරා ගැනීමෙනි.

ඔබගේ බඩවැලෙහි නීරෝගීභාවය පිළිබඳ එක් මිනුම් දණ්ඩක් වනුයේ, ඔබගේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා ආහාර ගමන් කිරීමට ගත වන කාලය යි. එය ආන්ත්‍රික සංක්‍රාන්ති කාලය (gut transit time) යනුවෙන් හැඳින්වෙයි. නිවසේදී මෙය පහසුවෙන් පරීක්ෂා කළ හැකි ආකාරය නම්, ස්වීට් කෝන් වැනි දීප්තිමත් වර්ණවලින් යුත් ආහාර අනුභව කිරීමෙන් පසුව මල වශයෙන් එය පිට වීමට ගත වන කාලය මැන බැලීමෙනි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ආන්ත්‍රික සංක්‍රාන්ති කාලය වැඩිවත් ම ඔවුන් මලපහ කරන වාර ගණන අඩු වෙයි. එබැවින් ඔවුන් මලබද්ධයෙන් පීඩා විඳීමේ සම්භාවිතාව ඉහළ යයි.

ලන්ඩනයේ King's Collegeහි පර්යේෂකයින් පිරිසක් 2020 දී පුද්ගලයින් 863 දෙනෙකුට නිල් පැහැ ගැන්වූ මෆින් නමැති ආහාරය දී ඔවුන්ගේ ආන්ත්‍රික සංක්‍රාන්ති කාලය මැන බැලූහ. Predict1 නම් වූ සායනික පර්යේෂණ ව්‍යාපෘතියක් යටතේ එය සිදු කළේ, ජානමය වශයෙන් වන වෙනස්කම්, ආන්ත්‍රික ක්ෂුද්‍ර ජීවීන් සහ අනෙකුත් සාධක මගින් විවිධාකාරයේ ආහාර වර්ග නිසා රුධිරගත සීනි මට්ටම සහ ශරීරයේ මේද මට්ටමට බලපාන ආකාරය සොයා බැලීම යි.

එහිදී හෙළිවූ කරුණක් වන්නේ, ආන්ත්‍රික සංක්‍රාන්ති කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල ලෙස වෙනස් වන බවත්, එය පැය 12කට අඩු කාලයක සිට දින ගණනක් දක්වා විහිද යන බවත් ය. දක්නට ලැබුණු තවත් අපූර්වත්වයක් නම්, වැඩි වාර ගණනාවක් මලපහ කරන, අඩු ආන්ත්‍රික සංක්‍රාන්ති කාලයක් ඇති පුද්ගලයින්ගේ අන්ත්‍රයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් සහ දිගු ආන්ත්‍රික සංක්‍රාන්ති කාලයක් ඇති පුද්ගලයින්ගේ අන්ත්‍රයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් අතර විශාල වෙනස්කම් දක්නට ලැබීම යි. අඩු ආන්ත්‍රික සංක්‍රාන්ති කාලයක් ඇති නම් අන්ත්‍රයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් වඩාත් නීරෝගීව සිටිනු නිරීක්ෂණය විය.

"වැඩි ආන්ත්‍රික සංක්‍රාන්ති කාලයක් ඇති පුද්ගලයින්ට හදවත් සහ පරිවෘත්තීය ගැටලු ඇති කිරීමට හැකි සම්බන්ධයක් තිබෙන බවට කලින් දැන සිටි 'නරක' බැක්ටීරියා වැඩියෙන් සිටින බව අපි සොයා ගත්තා," ලන්ඩනයේ King's Collegeහි ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ එමිලි ලීමින් පවසන්නීය.

මෙම සොයා ගැනීම වැඩියෙන් ම නිශ්චිත වන්නේ, පැය 58ක් හෝ ඊට වඩා වැඩි ආන්ත්‍රික සංක්‍රාන්ති කාලයක් ඇති, සතියකට තෙවරකට වඩා අඩු වාර ගණනක් මලපහ කරන පුද්ගලයින්ට ය.

මල වැඩි වේලාවක් අන්ත්‍රයේ තිබෙන පුද්ගලයින්ගේ බඩවැල්වල වෙසෙන ක්ෂුද්‍ර ජීවීන්ට අලුතින් ආහාර නොලැබෙන නිසා තන්තු හා පිෂ්ටය ආහාරයට ගැනීමේ සිට පෝටීන ආහාරයට ගැනීම දක්වා මාරු වන බවට ගිබන්ස් මෙන් ම ලීමින් ද සැක කර යි. එම ක්‍රියාවලියෙන් හටගන්නා අතුරු ප්‍රතිඵල ඔබගේ සෞඛ්‍යයට අහිතකර වේ.

වඩාත් අඩු ආන්ත්‍රික සංක්‍රාන්ති කාලයක් පවතින පුද්ගලයින්ගේ වැඩි වශයෙන් නීරෝගී ආන්ත්‍රික ක්ෂුද්‍ර ජීවීන් පැවතීම පමණක් නොව ඔවුන්ගේ ශරීරවල අඩු වශයෙන් ශරීරාභ්‍යන්තර මේද (visceral fat) පවතින බව ද ලීමින්ගේ අධ්‍යයනයෙන් හෙළිවී ඇත. මෙම මේද වර්ගය උදරයේ ගැඹුරට වන්නට පිහිටා ඇත්තේ, යටිබඩෙහි පවතින ඉන්ද්‍රියයන් වටා ය. ශරීරාභ්‍යන්තර මේද හානිකර වන්නේ, එමගින් හදවත් රෝග, දියවැඩියාව සහ සමහර පිළිකා වර්ග හටගැනීමේ අවදානම වැඩි කරන නිසා ය. අවසන් වශයෙන් පවසන්නේ නම්, අඩු ආන්ත්‍රික සංක්‍රාන්ති කාලයක් පවතින පුද්ගලයින්ගේ ආහාර කෙරෙහි දක්වන ප්‍රතිචාරය (postprandial response) පවා වඩාත් හිතකර වේ. ආහාර ගැනීමෙන් පසුව ඔවුන්ගේ රුධිරයේ පවතින සීනි සහ ලිපිඩ පහළ මට්ටම්වල රැඳී තිබෙන අතර ඒ නිසා හෘදවාහිනීවල රෝග වැළඳීමේ අවදානම ද අඩු වෙයි.

මෙම සොයා ගැනීම මලබද්ධය සහ නිදන්ගත රෝගවලට එහි ඇති සබඳතාව පිළිබඳව විද්‍යාඥයින් දැනටමත් දන්නා කරුණු හා සැසඳේ. කිසිවෙකු නිදන්ගතව මලබද්ධයෙන් පෙළේ නම්, බඩවැලේ පිළිකාව වැනි රෝග හටගැනීමේ හැකියාව එම පුද්ගලයාගේ ඉහළ මට්ටමක පවතී. කෙසේ වෙතත්, ඒ බව තහවුරු කළ හැකි සාක්ෂි මිශ්‍ර තත්ත්වයක් ගනී. එක ම ගැටලුව සම්බන්ධයෙන් පිළිතුරු අපේක්ෂා කරන අධ්‍යයන කිහිපයකින් ලැබුණු ප්‍රතිඵල එකිනෙක ගැලපීමෙන් සිදුකළ අධ්‍යයනයකට (meta-analysis) අනුව, මලබද්ධයෙන් පෙළෙන පුද්ගලයින් අතර බඩවැලේ පිළිකා හටගැනීම සඳහා වැඩි ප්‍රවණතාවක් නොපවතී.

poo

ඡායාරූප මූලාශ්‍රය, Emmanuel Lafont/ BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, වැඩි වශයෙන් පලතුරු සහ එළවළු ආහාරයට ගැනීම වැඩි වාර ගණනක් මලපහ කිරීමට උපකාරී වෙයි

"නමුත්, ශරීරයේ වෙනත් කොටස් සමග ඇති සම්බන්ධයන් ද අපි දකිනවා. උදාහරණයකට කියනවා නම්, පාකින්සන් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් චාලක රෝග ලක්ෂණ පෙන්වීමට පෙර අවුරුදු 20ක් දක්වා කාලයක් මලබද්ධය තිබිය හැකි යි," යනුවෙන් ලීමින් පවසන්නීය.

මේ අතර, සෙමින් ගත වන ආන්ත්‍රික සංක්‍රාන්ති කාලය සහ පිත්තාශයේ ගල් හටගැනීම අතර දැනටමත් දන්නා සබඳතාවක් පවතින බව වේසේ පෙන්වා දෙයි. "පස්සේ පිළිකාවක් බවට පත් වෙන්න පුළුවන් තුවාල (polyps) බඩවැලෙහි හටගැනීමේ අවදානමත් ඒකෙන් ඉහළ දානවා," යැයි ඔහු කියා සිටී.

ඔබගේ මල මගින් ඔබ ගැන කියන්නේ මොනවා ද?

වැඩි අවධානයක් යොමු කළ යුත්තේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි සතියකට මලපහ කිරීමේ වාර ගණන පිළිබඳව නොව, මලපහ කිරීමේ පුරුදුවල පැහැදිලි කිරීමක් කළ නොහැකි ආකාරයේ වෙනස්කම් සිදුවන්නේ නම් යැයි ලීමින් කියා සිටින්නීය. ඔබගේ සාමාන්‍ය තත්ත්වය කුමක් දැයි දැන ගැනීම සඳහා මලපහ කිරීමේ පුරුදු පිළිබඳව නිරතුරුව ම අවධානයෙන් සිටීම හොඳ අදහසක් වන බව ඇය කියා සිටී.

"අපි හැම දෙනා ම අපේ මල කොහොම ද කියලා බලන්න ඕනෑ. මූලිකව ඒක හරියට ගෙවීමක් නැතිව කරන බඩවැල්වල නීරෝගී බව ගැන පරීක්ෂාවක් ද වෙනවා," යැයි ලීමින් පවසන්නීය. "එය කරන වාර ගණන විතරක් නෙවෙයි, ඒකේ පාට සහ හැඩයත් බලන්න අවශ්‍ය යි. ඔබ බලන්න ඕනෑ ඒවා සාමාන්‍යයෙන් ඉරිතැලුණු හරි සුමට හරි සොසේජසයක පෙනුමැති 'තුන්වැනි' හරි 'හතරවැනි' වර්ගයේ ද කියලා."

ඔබගේ මල පැහැය සම්බන්ධයෙන් කිව යුත්තේ, කළු හෝ රතු පැහැයෙන් යුක්ත නම් ඒ රුධිරය මිශ්‍රව පවතින බව ය. ඊට ප්‍රශ්නසහගත නොවන පැහැදිලි කිරීමක් තිබිය හැකි වුව ද, එමගින් පෙන්වන්නේ ගුද පිළිකාවක් විය හැකි නිසා හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් වේ. එමෙන් ම, නිතර ම පාහේ පාචනය පැවතීම හෝ, ක්ෂණිකව මලපහ කිරීමේ අවශ්‍යතාවක් හටගැනීම මෙන් ම, ආහාර ගැනීමෙන් පසුව කෙණ්ඩා පෙරළීම හෝ ඉදිමීම සහ අම්ලපිත්තභාවයක් පවතී නම් ඒවා පිළිබඳව ද වෛද්‍යවරයා දැනුවත් කිරීම අවශ්‍ය වේ.

අවසන් වශයෙන් කිව යුත්තේ, මල පිට කිරීමේ වාර ගණන ක්‍රමවත් කර ගැනීමට අවශ්‍ය නම්, පහසුවෙන් කළ හැකි දේවල් තුනක් තිබෙන බව ය. "අපේ අධ්‍යයනයේදී ගෝල්ඩිලොක්ස් කලාපයේ හිටිය අය වැඩියෙන් පලතුරු හා එළවළු ආහාරයට ගත්තා වගේ ම, වැඩිපුර වතුර පානය කරමින්, වැඩි ක්‍රියාශීලීවයකින් හිටියා," යැයි ගිබන්ස් පවසයි.