ඉන්දියන් සාගරයේදී ඉරාන නෞකාවක් ගිල්වීමට ඇමෙරිකාව යොදාගත් ටෝපිඩෝව කුමක් ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්දියන් සාගරයේදී ඇමෙරිකාව 'ඉරාන යුද නැවක් ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දමයි
කියවීමේ කාලය: මිනිත්තු 4

ඉන්දියන් සාගරයේදී ඉරාන නාවික හමුදාවට අයත් යුද නෞකාවකට එල්ල වූ ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරය පිළිබඳව මේ වන විට මෙරට මෙන් ම ජාත්‍යන්තරයේ ද අවධානය යොමු වී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මාර්තු 04 වන දා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ඉන්දියන් සාගරයේදී, ඇමෙරිකානු සබ්මැරීනයක් මගින් ජාත්‍යන්තර මුහුදු කලාපයේදී ඉරාන නැවක් ගිල්වා දැමු බව ය. එම නෞකාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමෙරිකානු සබ්මැරීනය ටෝපිඩෝවක් යොදා ගත් බවත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ගිල්වා දැමීමට ටෝපිඩෝවක් යොදා ගත් පළමු අවස්ථාව මෙය බවත් ය.

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ගිල්වා දැමූ බවට ඇමෙරිකානු ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්

කෙසේ නමුත් බීබීසී verify කණ්ඩායම "දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව මෙය " බවට ඔහු කළ ප්‍රකාශය නිවැරදි නොවන බව ප්‍රකාශ කළේය.

1982 ෆෝක්ලන්ඩ් යුද්ධයේදී, ආර්ජන්ටිනාවේ එක ම කෲස් නෞකාව වන ජෙනරල් බෙල්ග්‍රානෝ, බ්‍රිතාන්‍ය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් එල්ල කළ ටයිගර්ෆිෂ් ටෝපිඩෝ දෙකකට හසුවීමෙන් පසු දකුණු අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය බවත්, 1971දී තවත් ගිලී යාමක් සිදු වුණු බවත් බීබීසී verify පවසයි.

තව ද ඔවුන් පවසන්නේ ඉන්දියානු යුද්ධ නෞකාවක් වන INS කුක්රි පාකිස්ථාන සබ්මැරීනයක් විසින් ටෝපිඩෝවකින් ගිල්වා දමනු ලැබු බවයි.

කෙසේ වෙතත්, මෙම ඉරාන යුද නෞකාව ගිල්වා දැමීම; 1945න් පසු ඇමෙරිකානු සබ්මැරීනයක් මේ ආකාරයෙන් සතුරු නැවක් ගිල්වා දැමූ පළමු අවස්ථාව වන බවට බීබීසී verify තහවුරු කර සිටියි.

'ටෝපිඩෝ දෙකක් එල්ල කළා'

ඉන්දියානු සාගරයේදී ඉරාන යුද නෞකාවකට පහර දුන් ටෝපිඩෝ ප්‍රහාරය USS චාලට් සබ්මැරීනයේ සිට එල්ල කළ බව ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීහූ කිහිප දෙනෙක් මාර්තු 05 (බ්‍රහස්පතින්දා) ඇමෙරිකාවේ CBS පුවත් සේවයට පැවසූහ.

ඇමෙරිකානු ප්‍රහාරක සබ්මැරීනයක් වන USS චාලට්, ඉරාන යුද නෞකාව වෙත MK 48 වර්ගයේ ටෝපිඩෝ දෙකක් එල්ල කළ බව නිලධාරීන් පැවසූ බවත්, ඉන් පළමු ටෝපිඩෝව මග හැරුණු නමුත් දෙවන ප්‍රහාරයෙන් ඉරාන යුද නෞකාව ගිලී ගිය බවත් CBS ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

මේ අතර, CBS පුවත් සේවය මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ මධ්‍යම සේනා විධානයේ අණදෙන නිලධාරියා වෙත එම ප්‍රශ්න යොමු ඇති අතර, ඔවුන් ඊට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඉරාන නෞකාව ගිල්වූ ටෝපිඩෝ වර්ගය කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රහාරය පිළිබඳ මාධ්‍ය හමුවේ තොරතුරු ලබා දෙමින් කියා සිටියේ, එය "නිහඬ මරණයක්" බව ය.

මේ අතර, ඇමෙරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩෑන් කේන් පැවසුවේ, එක්සත් ජනපද වේග ප්‍රහාරක සබ්මැරීනයක් ඔස්සේ Mk 48 (මාර්ක් 48) වර්ගයේ ටෝපිඩෝවක් යොදා ගනිමින් ඉරාන නාවික හමුදාවට අයත් අදාළ නෞකාවට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ බව ය.

මාර්ක් 48 වර්ගයේ ටෝපිඩෝ ඇමෙරිකානු සබ්මැරීන සතු ප්‍රධාන අවියකි. මෙම ටෝපිඩෝ නිර්මාණය කර ඇත්තේ මුහුදේ ගැඹුරට කිමිදීමේ හැකියාව සහිත න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සහ ඉහළ කාර්ය සාධනයක් සහිත නෞකා විනාශ කිරීම සඳහා ය.

එවක සෝවියට් සමූහාණ්ඩුව විසින් අත්පත් කර ගනු ලැබ තිබූ සබ්මැරීන හැකියාවන් අභිබවා යාම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය මාර්ක් 48 ටෝපිඩෝ පළමුව සංවර්ධනය කරන ලද්දේ, පර්යේෂණ ටෝපිඩෝ සංකල්පය II (RETORC II) ලෙස වන අතර, එය 1956 වසරේ සබ්මැරීන් යුද්ධ අධ්‍යයනයක් වන ප්‍රොජෙක්ට් නොබ්ස්කා විසින් ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ කරන ලද ආයුධ කිහිපයකින් එකකි.

1967 වර්ෂයේදී Gould Inc. විසින් මෙම ටෝපිඩෝ නිෂ්පාදනය කරන ලද අතර මාර්ක් 48 වර්ගයේ ටෝපිඩෝ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් සබ්මැරීනවලට අමතරව ඔස්ට්‍රේලියා, කැනඩා සහ නෙදර්ලන්ත නාවික හමුදා විසින් ද භාවිතයට ගනු ලැබේ.

1972 වසරේදී පළමු වරට සේවයට එක් කරන ලද මාර්ක් 48 වර්ගයේ ටෝපිඩෝ, මේ වන විට අදියර 03ක් යටතේ වැඩිදියුණු කර තිබේ. ඒ අනුව, 1972, 1988 සහ 2008 යන වසරවලදී මාර්ක් 48 වර්ගයේ ටෝපිඩෝ යාවත්කාලීන කිරීමට ලක් කර ඇත.

කිලෝග්‍රෑම් 1,700ක පමණ බරකින් යුක්ත මාර්ක් 48 වර්ගයේ ටෝපිඩෝවකට නොට් 50ක වේගයකින් ගමන් කිරීමේ හැකියාව පවතී.

ටෝපිඩෝ ඉතිහාසය

"ටෝපිඩෝ" යන වචනය පිළිබඳ ප්‍රථම වරට දැන ගැනීමට ලැබෙන්නේ, 1807 වසරේදී ය. ඇමෙරිකානු ඉංජිනේරු සහ නව නිපැයුම්කරුවෙකු වන රොබට් ෆුල්ටන් විසින් 1807 වසරේදී සතුරු නෞකා පුපුරුවා හැරීම සඳහා වෙඩි බෙහෙත් අඩංගු උපකරණයක් ලෙස විස්තර කරන මෙම අවිය "ටෝපිඩෝ" ලෙස නම් කර තිබිණි.

ටෝපිඩෝවක් යනු දිය යට ගමන් කළ හැකි ආයුධයක් වන අතර එය නැව් හෝ සබ්මැරීනවලට පහර දීමට භාවිත කරයි. එය ජලය මතුපිටින් හෝ ජලයට යටින් දියත් කොට ඉලක්කයක් දෙසට ගමන් කිරීමේ හැකියාව සහිත ය. ටෝපිඩෝවට ඉලක්කයේ ගැටීමෙන් හෝ ඉලක්කයට සමීප වන විට පුපුරා යා හැකි අයුරින් සකස් කර ඇත.

ක්‍රිමියානු යුද්ධයේදී 1854-1856 රුසියානුවන් බහුලව ටෝපිඩෝ භාවිත කළ බව සාන්ත ෆ්‍රැන්සිස්කෝ සමුද්‍රීය පර්යේෂණ කෞතුකාගාරය විසින් නිකුත් කරනු ලැබ ඇති පර්යේෂණ පත්‍රිකාවේ දැක්වේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ටෝපිඩෝ බහුලව භාවිත කරනු ලැබුවේ, පළමු සහ දෙවන ලෝක යුද්ධ සමයේදී ය.