පිරිමින් සිය ගණනක් භාර්යාවන් අතින් ඝාතනය වුණු හංගේරියානු ගම්මානය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී මුන්ඩෝ
1929 දෙසැම්බර් මාසයේදී, හංගේරියාවේ සොයෙනොක් නම් කුඩා නගරයේ ප්‍රාදේශීය අධිකරණයක නඩු විභාගයක් පැවැත්විණි. මෙම නඩුව කේන්ද්‍ර වී තිබුණේ, සිය ස්වාමි පුරුෂයින්ට හිතාමතා ම වස දුන් බවට චෝදනා එල්ල වූ කාන්තාවන් කිහිප දෙනෙකු දිවි ගෙවූ ඒ ආසන්නයේ පිහිටි නාගිරෙව් ගම්මානය වටා ය.
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළ පරිදි, මෙම ගම්මානයේ පිරිමින්ට වස දීම සම්බන්ධයෙන් කාන්තාවන් 50කට ආසන්න සංඛ්‍යාවකට චෝදනා එල්ල විය. 1911 සිට 1929 දක්වා කාලය තුළ බුඩාපෙස්ට් සිට කිලෝමීටර් 130ක් පමණ දකුණින් පිහිටි ගොවි ගම්මානයක් වන නාගිරෙව්හි විසූ පිරිමි පුද්ගලයින් 50කට වැඩි පිරිසක් ආසනික් යොදා ගනිමින් ඝාතනය කරතිබුණු බවට එහි සඳහන් විය.
චෝදනා ලැබූ කාන්තාවන් පසුව "සුර දූතයින් තනන්නන්" ලෙස ප්‍රසිද්ධියට පත් විය.
නඩු විභාගය අතරතුර එක් නමක් නැවත නැවතත් ඉස් මතු විය: ගමේ වින්නඹු මාතාව වන ෂූෂානා ෆසෙකොෂ්.
නාගිරෙව්හි ජන ජීවිතය
නාගිරෙව් යනු, හංගේරියාවේ විශාලතම වයින් නිෂ්පාදන කලාපය වන කුන්සෑග්හි තිසා ගඟ අසබඩ පිහිටි කුඩා ගොවි ගම්මානයකි.
මෙම ප්‍රදේශයේ විවාහ බොහෝ විට ළාබාල කතුන් වයසින් වැඩි පිරිමින් අතර සිදුවූ යෝජිත විවාහ විය. මෙම විවාහ සාමාන්‍යයෙන් ඉඩකඩම්, උරුමය සහ නීතිමය බැඳීම් පිළිබඳ කරුණු සඳහන් ගිවිසුම් මත සිදු කෙරිණි. දික්කසාද වීමට ඉන් අවසරයක් නොලැබිණි.
එම කාලයේ මෙම ගම්මානය පාලනය වූයේ ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යය යටතේ ය.
නාගිරෙව්හි වෛද්‍යවරුන් හෝ පූජකවරුන් නොසිටි බැවින්, ෆසෙකොෂ් ඖෂධීය පිළියම් සහ රසායනික ද්‍රව්‍ය පිළිබඳ ඇගේ දැනුම යොදාගෙන වින්නඹු මාතාව ලෙස පමණක් නිවා ගමේ නිල නොවන වෛද්‍යවරිය ද ලෙස කටයුතු කළා ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"ඇගේ දැනුම නිසා මිනිසුන් ඇය ළඟට ආවා. ඇයව විශ්වාස කළා," 2004 වසරේදී බීබීසීය වෙත අදහස් දැක්වූ මාරියා ගුන්යා පැවසුවා ය. ගමේ සිදු වූ අභිරහස් මරණ මාලාවක් ගැන විමර්ශනය කිරීමට උදව් කරන ලෙස පොලිසිය විසින් ප්‍රාදේශීය නිලධාරියෙකු වූ ඇගේ පියාගෙන් ඉල්ලා සිටින විට ගුන්යා කුඩා දරුවෙකි.
මෙම වින්නඹු මාතාව ජීවත් වූයේ, වීදියට මුහුණ ලා පිහිටි සාමාන්‍ය තනි මහල් නිවසක ය.
ගමේ කාන්තාවන් බොහෝ විට තම ගැටලු සඳහා උපකාර පතා ෆසෙකොෂ් වෙත යන බව ගුන්යා පැවසුවා ය.
"[ඇයට] ගෙවල් ඇතුළේ සිදුවන බොහෝ දේවල් අසන්නට හැකි වුණා: පිරිමින් විසින් කාන්තාවන්ට පහර දීම සහ අපයෝජනය කිරීම, විශ්වාසය කැඩීම. බොහෝ අපයෝජන ගැන," ගුන්යා සිහිපත් කළා ය.
කාන්තාවන් තම බීමත් හෝ ප්‍රචණ්ඩකාරී ස්වාමි පුරුෂයන් ගැන පැමිණිලි කළ විට, ෆසෙකොෂ් ඔවුන්ට මෙසේ පවසන බව ඇය පැවසුවා ය: "එයා ගැන ප්‍රශ්නයක් තියෙනවා නම්, මට ඒකට සරල විසඳුමක් තියෙනවා."
එම විසඳුම ආසනික් වූ අතර, ඇය විසින් නිවෙස් තුළ මැස්සන් පලවා හැරීමට යොදා ගන්නා විෂ සහිත කඩදාසි වර්ගයක් ජලයේ පොඟවා ඒවා සාදා ගන්නා ලදී.
පසුව, ඇගේ ගෙවත්තේ වළලනු ලැබ තිබුණු විෂ අන්තර්ගත වූ කුප්පි සොයා ගත් බව එක්සත් රාජධානියේ ද ටයිම්ස් පුවත්පතේ වාර්තාවක සඳහන් විය.
අත්අඩංගුවට ගැනීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කාලය ගතවත් ම වසරින් වසර ගමේ සුසාන භූමිය පිරී ඉතිරී යන්නට විය.
1911 සිට 1929 දක්වා කාලය තුළ, නාගිරෙව්ගේ සුසාන භූමියේ පිරිමින් 50ක් පමණ භූමදාන කෙරිණි. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් ස්වාමිපුරුෂයන් සහ පියවරුන් වූහ.
අවසානයේදී, බලධාරීන්ට සැකයක් ඇති වූ අතර, ඔවුහු මෘත දේහ ගොඩගැනීමේ කටයුතු ආරම්භ කළහ.
ඔවුන් පරීක්ෂා කළ මළ සිරුරු 50න් 46ක ම ආසනික් අන්තර්ගත බවට සොයා ගත් අතර වස දී ඔවුන් ඝාතනය කරන ලද බවට යන සැකය තහවුරු විය.
ෆසෙකොෂ් දෙසට ඇඟිලි දිගු විය.
1919 ජූලි 19 වන දින, පොලිසිය ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ඇගේ නිවසට ගියේ ය.
"පොලිසිය එනවා දැක්කා ම ඒක තමන්ගේ අවසානය බව ඇය තේරුම් ගත්තා. නිලධාරී ඇගේ නිවසට ළඟා වන විටත් ඇය මිය ගිහින් හිටියේ. එයා එයාගේ ම වස බීලා," ගුන්යා සිහිපත් කළා ය.
පළමු මරණ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පළමු මිනීමැරුම් සිදු වූයේ ෆසෙකොෂ් මෙම ගම්මානයට පැමිණි 1911දී ම බවට පොලිසිය විශ්වාස කරයි. එම වසර, දශක දෙකකට ආසන්න කාලයක් පුරා පැවති මෙම ඝාතන රැල්ලේ ආරම්භ සනිටුහන් කළේ ය.
නමුත් මෙම වින්නඹු මාතාව පමණක් වැරදිකාරිය නොවන බව පෙනෙන්නට විය. ඒ අසල පිහිටි සොයෙනොක් නගරයේදී, 1929 සිට කාන්තාවන් 26 දෙනෙක් නඩු විභාගයට මුහුණ දුන්හ. ඒ අතරින් අට දෙනෙකුට මරණ දඬුවම නියම විය. ඉතිරි අය සිරගත කෙරිණි. ඔවුන්ගෙන් හත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. වරද පිළිගත් අයෙකු නොමැති අතරම වූ අතර ඔවුන්ගේ අභිප්‍රායන් කිසි විටෙකත් මුලිමනින් පැහැදිලි නොවිණි.
මිනිසුන්ට ඔවුන්ගේ අභිප්‍රායන් ගැන විවිධ අනුමාන තිබේ. ඇතැමුන් පවසන්නේ එය දුප්පත්කම, ධනයට ඇති කෑදරකම හෝ අලස බව නිසා සිදු වූ බවයි.
ඇතැම් වාර්තා පවසන්නේ, පළමු ලෝක යුද්ධ සමයේදී සිය ස්වාමි පුරුෂයන් යුද්ධ බිම යාම හේතුවෙන් ඔවුන්ගේ ගොවිපළවල වැඩ කළ රුසියානු යුද්ධ සිරකරුවන් සමග ඇතැම් කතුන් පෙමින් බැඳී සිට ඇති බව ය.
ස්වාමිපුරුෂයන් ආපසු පැමිණි විට, මෙම කාන්තාවෝ තමන් විඳි නිදහස එක වර ම අහිමි වී යාමෙන් ඇතිවූ සිත් තැවුල මත ඒ ගැන යමක් කිරීමට තීරණය කළහ.
නාගිරෙව් ගම්මානයෙන් ඔබ්බට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇතැම් විට එවැනි තීරණයක් ගත්තේ ඔවුන් පමණක් නොවන්නට ඇත. ඒ අසල පිහිටි තිසාකර්ත නගරයෙන් ගොඩගත් අනෙකුත් මළ සිරුරුවල ද ආසනික් අඩංගු බව සොයා ගන්නා ලද නමුත් එම මරණ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ වරදකරු නොවිණි.
ඇතැම් ඇස්තමේන්තුවලට අනුව, එම ප්‍රදේශයේ සිදු වූ මරණ සංඛ්‍යාව 300ක් තරම් ඉහළ අගයක් ගනී.
ගෙවුණු කාලය තුළ නාගිරෙව්හි වේදනාකාරී මතකයන් බොහොමයක් මැකී ගොස් ඇත. එහි නාමය ඒ අවට කලාපයේ සිටින පිරිමින්ට තවදුරටත් බිය උපදවන්නක් නොවන තරම් ය.
විෂ ශරීරගත කිරීමේ සිදුවීමෙන් පසු පිරිමින් තම භාර්යාවන්ට වඩා හොඳින් සැලකීමට පටන් ගත් බව ගුන්යා මහත්මිය උපහාසාත්මක ඉඟියකින් පැවසුවාය.
ඒ කෙසේ වෙතත්, මෙම සිදුවීම්වලින් පසු පිරිමින් තම භාර්යාවන්ට "වඩා හොඳින් සැලකීමට පටන් ගත් බව" ගුන්යා උපහාසාත්මකව පැවසුවා ය.














