වසර 28ක් අතුරුදන්ව සිටි තරුණයෙකුගේ මළ සිරුරක් දියවුණු ග්ලැසියරයකින් හමුවෙයි

Identification card with blurred protrait photo and faded print

ඡායාරූප මූලාශ්‍රය, Omar Khan

ඡායාරූප ශීර්ෂ වැකිය, මළ සිරුර සමග ඔහුගේ හැඳුනුම්පත ද හමු විය
    • Author, ජොයෙල් ගින්ටෝ සහ මුහම්මද් සුබයිර් ඛාන්
    • Role, සිංගප්පුරුව සහ පකිස්ථානය

පකිස්ථානයේ දූරස්ථ ප්‍රදේශයක් වන කොහිස්තාන් කඳුකරයේ දියවෙමින් පවතින ග්ලැසියරයක තිබී වසර 28කට පෙර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී තිබේ.

නැගෙනහිර පකිස්ථානයේ ලේඩි නිම්නය නමින් හඳුන්වන ප්‍රදේශයේදී එඬේරෙකුට හමුවූ එම මළ සිරුර හිම හේතුවෙන් සංරක්ෂණය වී තිබුණු අතර එහි ඇඳුම් ද හානියට පත් නොවී පැවති බව වාර්තා වෙයි.

මෘත දේහය සමග නසීරුදීන් යන නම සහිත හැඳුනුම්පතක් ද සොයා ගන්නා ලදී. මෙම පුද්ගල මළ සිරුර 1997 ජූනි මාසයේදී හිම කුණාටුවක් අතරතුර ග්ලැසියරයේ ඇතිව තිබූ පැල්මකට ඇද වැටීමෙන් පසු අතුරුදන් වූ පුද්ගලයෙකුගේ බවට පොලිසිය සැක කරයි.

මෑත වසරවලදී මෙම කලාපයේ හිමපතනය අඩු වී ඇති අතර, ග්ලැසියර් ඍජු හිරු එළියට නිරාවරණය වීම නිසා වේගයෙන් දිය වීමට පටන්ගෙන තිබේ. දේශගුණික විපර්යාස ග්ලැසියර් දියවීම වේගවත් කරන ආකාරය මෙම සොයා ගැනීමෙන් ද පෙන්නුම් කරන බව විශේෂඥයෝ පවසති.

"මළ සිරුර නොවෙනස්ව තිබුණා, ඇඳුම් පවා ඉරී තිබුණේ නැහැ, මම දැක්ක දේ මට ම විශ්වාස කරන්න අමාරු වුණා," මළ සිරුර සොයාගත් ඕමාර් ඛාන් බීබීසී උර්දු සේවයට පැවසීය.

පොලිසිය විසින් එම සිරුර නසීරුදීන්ගේ බවට තහවුරු කළ පසු, ප්‍රදේශ වාසීන් ඔහු පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා දුන් බව ඛාන් පැවසීය.

නසීරුදීන්ට බිරිඳක් සහ දරුවන් දෙදෙනෙක් සිටියහ. ඔහු අතුරුදන් වන විට ඔහුගේ සහෝදරයා වන කතිරුදීන් සමග අශ්වයෙකු පිට නැගී ගමන් කරමින් සිට ඇත. පවුල් ආරවුලක් හේතුවෙන් ඔවුන් නිවසින් පිටව යන්නට ඇති බව පොලිසිය පැවසීය.

කතිරුදීන් බීබීසී උර්දු සේවයට පැවසුවේ, ඔවුන් එදින උදෑසන නිම්නයට ළඟා වූ බව ය. දහවල් ඔහුගේ සහෝදරයා ගුහාවක් තුළට ගිය අතර ආපසු නොපැමිණි බවත්, තමන් ඒ තුළට ගොස් ඔහු සෙවූව ද එය සාර්ථක නොවූ නිසා අනෙක් අයගෙන් උදව් ලබා ගත්ත ද ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව ය.

කොම්සැට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මුහම්මද් බිලාල් පැවසුවේ, මිනිසෙකු ග්ලැසියරයකට වැටෙනු විට, එහි ඇති අධික සීතල හේතුවෙන් සිරුර දිරාපත් වීම වළකින බව ය.

එවිට ග්ලැසියරයේ තෙතමනය හා ඔක්සිජන් ඉතා අඩු බැවින් ශරීරය මමියක් බවට පරිවර්තනය වේ.