එක්සත් ජනපදයේ හිම කුණාටුවක් නිව්යෝක්වාසීන් මෝටර් රථ තුළට කොටුකරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, කුණාටුව උතුරු ඇමරිකාව පුරා විවිධාකාරයෙන් බාධා එල්ලකරමින් සිටියි

උතුරු ඇමෙරිකාවට දිගින් දිගටම පහරදුන් දැවැන්ත හිම කුණාටුවක් හේතුවෙන්, මේ වන විට බටහිරදිග නිව් යෝක් ප්‍රාන්තයේ පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව සිටියි. මරණවලින් බහුතරය වාර්තාවී තිබෙන්නේ බෆලෝ නගරයෙනි.

ඇතැම් පුද්ගලයින්, ඔවුන් ජීවිත කාලය තුළ දැක ඇති දරුණුතම කුණාටුව "විය හැකි" කුණාටුව මධ්‍යයේ දෙදිනකට වැඩි කලක් සිය මෝටර් රථ තුළට කොටුවී හිඳ ඇතැ යි එම ප්‍රාන්තයේ නිලධාරියෙකු පැවසීය.

අඟහරුවාදා (දෙසැ. 27) මධ්‍යාහ්නය වන විට ගුවන් ගමන් 4900කට ආසන්න ප්‍රමාණයක් අවලංගුකර තිබූ අතර, 4400කට වැඩි ගණනක් ප්‍රමාදවී තිබුණි.

නමුත් අඟහරුවාදා ලැබී තිබුණේ ඉතා සුළු හිම පතනයක් වන හෙයින්, තරමක් උණුසුම් කාලගුණයක් පැමිණ තත්ත්වය වැඩිදියුණු වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

කැනඩාවේ සිට මෙක්සිකානු දේශසීමාව දක්වා පැතිර ඇති මෙම කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 62 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, නිව් යෝර්ක් ප්‍රාන්තයට ෆෙඩරල් සහාය ලබාදෙමින් හදිසි ප්‍රකාශයක් අනුමත කළේ ය. ඔහු, "නිවාඩු සති අන්තයේ දී සිය ආදරණීයයන් අහිමිවූවන්ට" ශෝකය ප්‍රකාශ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබුණි.

Snow-covered vehicles in Buffalo, New York state. Photo: 25 December 2022

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කුණාටු විපතට පත්වූ තවත් පිරිස් ඉදිරි දින කීපය තුළ දී සොයාගන්නට හැකිවනු ඇතැ යි නිලධාරීන් බිය පළකරයි
Medics evacuate a man in an ambulance in Wyoming County, New York state. Photo: 26 December 2022

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හදිසි සේවා සැපයුම් වාහන, නිව් යෝක් ප්‍රාන්තයේ දරුණු ලෙස හානියට පත් ප්‍රදේශ කරා ළඟාවීමට තවමත් උත්සාහ දරමින් සිටියි

බෆලෝ නගරය අයත්වන ඊරි කවුන්ටියේ ('කෝරළය') විධායක මාර්ක් පොලන්කාර්ස් මෙසේ පැවසුවේ ය: "අපට උමඟ අවසානයේ ආලෝකයක් දකින්නට පුළුවන්. නමුත් මෙය තවමත් අවසාන වී නැහැ."

"ඒක පරම්පරාවකට සැරයක් පමණක් දකින්න ලැබෙන අන්දමේ කුණාටුවකැ,"යි පැවසූ ඔහු, කවුන්ටිය තවමත් "සම්පූර්ණ හානිය" තක්සේරු කිරීම අරඹා නැතැ යි අනතුරු ඇඟවීය.

ප්‍රාදේශීය වෛද්‍ය පරීක්ෂක කාර්යාලයය උපුටා දක්වමින් පොලන්කාර්ස් ප්‍රකාශ කරන්නේ, මරණයට පත්වූවන්ගෙන් බොහෝදෙනෙකු හිම ඉවත්කරමින් සිටිය දී හෘදයාබාධවලින් මියගොස් ඇතිබව යි. ඇතැමුන් සිය වාහන තුළ දීම මියගොස් ඇත.

බෆලෝහි උපන්, ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය වන කැතී හෝකල් මීට පෙර මෙසේ පවසා තිබුණි: "ඒක හරියට යුධ බිමකට යනවා වගෙයි. මාර්ග දෙපස නවත්තලා දාලා තියෙන වාහන ගාණ අදහගන්න බැරි තරම් විශාල යි."

හදිසි සේවා සපයන බොහෝ වාහන, දරුණුතම හානියට පත්ව ඇති ප්‍රදේශවලට ළඟාවීමට නොහැකිව හෝ හිමෙහි සිරවී තිබෙන වග ඇය පැවසුවා ය.

නත්තල් දිනයේ (ඉරිදා) හිමිදිරි පාන්දර ගලවාගැනීමට පෙර, වයස අවු. 2 -6 අතර කුඩා දරුවන් සිටිනා එක් ප්‍රාදේශීය පවුලකට පැය 11ක් බලාසිටීමට සිදුව තිබුණි.

"මම බලාපොරොත්තු අතෑරලයි හිටියේ," පවුලේ පියා වන සිලා සන්තියාගෝ CBS ප්‍රවෘත්ති සේවය වෙත පැවසීය. තමා රථයේ එන්ජිම ක්‍රියාත්මකකර තැබීමෙන් උණුසුම්ව සිටීමට සමත් වූබවත්, දරුවන් සමග ක්‍රීඩා කිරීමෙන් ආතතිය පාලනයකර ගත්බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

හිම දියව යෑම ආරම්භ වූ පසු , අතරමඟ කොටුවුණු වාහන සොයාගෙන, දුරස්ථ ප්‍රදේශයන්හි පිහිටි නිවෙස්වලට ප්‍රවේශවීමට ඉඩකඩ සැලසුණු විට තවත් වින්දිතයින් සොයාගනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

මෙම "බෝම්බ සුළි කුණාටු" වර්ගයේ (bomb cyclone) හිම කුණාටුව (වායුගෝලීය පීඩනය පහත වැටී, අධික හිම සහ සුළං ඇතිවූ විට මෙම කුණාටු ඇතිවේ) එක්සත් ජනපදය හරහා ගමනාගමන සහ ප්‍රවාහන කටයුතු අතරමඟ ඇණහිටවා ඇත.

එය ඉදිරි දින කීපය තුළ පහව යනු ඇතැ යි කාලගුණ අනාවැකිකරුවන් පවසන නමුත්, අත්‍යවශ්‍ය ගමන්වල හැර අනෙකුත් ගමන්බිමන්වල යෙදීමෙන් වළකින ලෙස උපදෙස් ලබාදී තිබේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, සීතලෙන් වැසුණු එක්සත් ජනපදයට ඉදිරියේ දී අසාමාන්‍ය උණුසුමක්

ඇස්තමේන්තුකර ඇති පරිදි, සති අන්තයේ දී නිවාස සහ ව්‍යාපාර 250 000ක විදුලිය විසන්ධිවී ඇත. නමුත් මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර තිබේ.

වර්මොන්ට්, ඔහායෝ, මිසූරි, විස්කොන්සින්, කැන්සස් සහ කොලරාඩෝ යන ප්‍රාන්තවලින් ද කුණාටුව හේතුවෙන් සිදුවූ මරණ වාර්තා විය. දකුණු ෆ්ලොරිඩාවේ උෂ්ණත්වය කොතරම් පහත වැටුණේ ද යත්, ඉගුවානා සතුන් සීතලෙන් මිදී ගස්වලින් වැටී තිබුණි.

සීතලෙන් දරුණු ලෙසම පීඩාවට පත්වූයේ එක්සත් ජනපදයේ බටහිරදිග ප්‍රාන්තයක් වන මොන්ටානා වන අතර, එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක -45 දක්වා පහත වැටුණි.

කැනඩාවේ මධ්‍යම ප්‍රදේශයේ ප්‍රාන්තයක් වන ඔන්ටේරියෝ සහ ඊසානදිග ක්විබෙක් වෙත කුණාටුවේ වැඩිම බලපෑම ලැබී තිබුණි.

ඔන්ටේරියෝ විල් තෙරේ පිහිටි එඩ්වඩ් කුමාර කවුන්ටිය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරුණු අතර, හිම ඉවත්කරන යන්ත්‍ර හිමෙහි සිරවීමේ තර්ජනයක් තිබූ හෙයින් ඒවා වීදිවලින් ඉවත් කිරීමට සිදුවූබව නගරාධිපති ස්ටීව් ෆර්ගියුසන් CBC පුවත් සේවය වෙත පැවසීය.

A snow-covered house and a car in Wainfleet, Ontario, Canada. Photo: 24 December 2022

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔන්ටේරියෝහි හිමෙන් වැසුණු නිවෙසක්

වාහන රැසක් හිම යට සිරවී ඇතැ යි ද වාර්තා වේ.

කැනඩාවේ බටහිරදිග පිහිටි බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ මෙරිට් නගරය ආසන්නයේ දී අයිස් සහිත මාර්ගයක බස් රථයක් පෙරළී යෑමෙන් මින් පෙර මරණ හතරක් වාර්තාවිය.