ගැඹුරු පීඩන අවපාතය දුර්වල වෙයි

- Author, බීබීසී සිංහල
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, අද (2026 ජනවාරි 10) දින පෙ.ව. 04.00 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100 ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබුණි.
එය වයඹ දෙසට ගමන් කර අද දින පෙ.ව. 5.30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ පද්ධතියේ මීට පෙර පුරෝකථනය කළ ගමන් මාර්ගයේ වෙනසක් මේවනවිට සිදුව ඇති බවයි.
මීට පෙර මෙම පද්ධතිය මඩකලපුව වෙරළ තීරය දෙසින් රට තුළට ඇතුළුවනු ඇති බවට පුරෝකථනය කර තිබිණි.
වැසි ලැබෙන ප්‍රදේශ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Photo by Krishan Kariyawasam/NurPhoto via Getty Images
දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතී.
උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකිය.
මුහුදු ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම්
එමෙන් ම මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කර ඇති කාළගුණ නිවේදනයෙන් ජනවාරි 7 වන දා සිට නැවත දැනුම් දෙන තුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දී තිබේ.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති බවට කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනාවැකි පළ කරයි.
ජනවාරි 8 සිට 10 දක්වා වැසි
වයඹ, මධ්‍යම, සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකිය.
වයඹ, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ මොනවා ද?
එමෙන්ම ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, බදුල්ල, නුවරඑළිය, මාතලේ සහ මහනුවර යන දිස්ත්‍රික්ක සඳහායි.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, නුවරඑළිය දිස්ත්‍ර්ක්කයේ නිල්දණ්ඩාහින්න හා වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.














