කේරළ පාසල් නිල ඇඳුමට ඇතැම් මුස්ලිම් කණ්ඩායම් විරෝධතා දක්වන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Binuraj TP
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ රජයේ පාසලක්, එහි ඉගෙනුම ලබන නවයොවුන් වියේ සිසුවියන්ට කලිසම් ඇඳීමට අවසර දීමෙන් පසු අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබේ.
බීබීසීයේ ගීතා පාණ්ඩේ දිල්ලිහි සිටත්, අෂ්රෆ් පඩන්නා කේරළයේ සිටත්, ඇඳුම පිළිබඳව ඇතිවී ඇති මේ මතභේදය විස්තර කළහ.
පසුගිය බදාදාවක උදෑසන ශ්‍රින්ගි සී. කේ. සිය අලුත්ම නිල ඇඳුමෙන් සැරසී, පාසැල වෙත යෑම සඳහා බසයක නැඟීමට බස් නැවතුමේ රැඳී සිටියා ය. එහිදී නාඳුනන කාන්තාවක් ඇගේ ඇඳුම ගැන ඇයට ප්‍රශංසාකර තිබූ අතර, එනිසා තමා විශේෂයැ යි තමාට දැනුණු බව ඇය කියයි.
"ඒ ලේඩි මට කිව්වා මම හරිම ස්මාට් පෙනුම යි කියලා.. ඒකෙන් මට ලොකු ආඩම්බරයක් දැනුණා," බලුස්සෙරි නගරයේ රජයේ බාලිකා උසස් පාසලේ එකොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවිය බීබීසීයට පවසා සිටියා ය.
නමුත් පාසලට පැමිණි ශ්‍රින්ගිහට සිදුවූයේ, දැන් ගැහැණු ළමයින්ටත් පිරිමි ළමුන්ට මෙන් කලිසම් කමිස ඇඳිය හැකිවීම ගැන නොසතුටට පත් විරෝධතාකරුවන් සමූහයක් සහ ඔවුන් පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරින් දුසිමක් අතරින් ඇවිද යාමට ය.
මෙම වෙනස සිදුකිරීමට පෙර, ශිෂ්‍යාවෝ සාම්ප්‍රදායික දිගු කමිස, ලිහිල් කලිසම්, සහ කබා හැඳ පාසල් පැමිණිය හ.
පාසල් විදුහල්පතිනිය වන ඉන්දු ආර්. බීබීසී සමග පවසා සිටියේ මේ වන විට 12 ශ්‍රේණියේ සිටින ගැහැණු ළමයින්, තමාට පිරිමි ළමුන් හඳිනා නිල ඇඳුමම ඇඳීමට අවසර දෙන්නැ යි පසුගිය වසරේ දී යෝජනා කළ බව යි.
"ලෝකේ වෙනත් ඕනෑම රටක නවයොවුන් වියේ ගැහැණු ළමයි වගේම, අපේ බොහෝ සිසුවියනුත් පාසලෙන් පිටත දී ජීන්ස් සහ කමිස අඳිනවා,"යි කී විදුහල්පතිනිය, කේරළයේ ආර්ද්‍රතාව වැඩි කාලගුණයට වේස්ට්කෝට් නොගැලපෙන බැවින් ද ඔවුන්ගේ යෝජනාව සාධාරණයැ යි තමා සිතූ බව ද ප්‍රකාශ කළා ය.
"ඉතින් අපි ඒක කාර්ය මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා, පස්සේ ගුරුදෙගුරු සංගමයේ රැස්වීමක් කැඳෙව්වා. බහුතරය මේ අදහසට එකඟ වුණු නිසා අපි නිල ඇඳුම වෙනස් කරන්න තීරණය කළා," ඉන්දු ආර්. වැඩිදුරටත් පැවසුවා ය.
"ස්ත්‍රී පුරුෂ භේදයක් නැති මේ නිල ඇඳුම ගැන අකමැත්ත පළකළේ දෙමවුපියන්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් විතර යි. අපි එයාලට කිව්වා ගෑණු ළමයින්ට ඕනේ නම් සම්පූර්ණයෙන්ම අත් දිග කමිස අඳින්න, හිස වහගන්න, අවශ්‍ය නම් වේස්ට්කෝට් එක පවා අඳින්න පුළුවන් කියලා."
"නමුත් එහෙම අඳින්න තෝරාගෙන ඇත්තේ ගැහැණු ළමයි ඉතා සුළු පිරිසක් විතර යි," ඇය වැඩිදුරටත් පැවසුවා ය.
නව නිල ඇඳුමින් සැරසුණු සිසුවියන් පිරිසක් සෙල්ෆි ඡායාරූප ගනිමින්, මිත්‍රශීලි ලෙස එකිනෙකාට මිට මොළවාගත් අතින් පහර දෙමින්, සිනාසෙමින්, සහ සැබෑ ප්‍රීතියෙන් පිනායමින් සිටිනු දැක්වෙන ඡායාරූප විදුහල්පතිනී ඉන්දු බීබීසීය වෙත එවා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Binuraj TP
එම කණ්ඩායමේ සිසුවියක් වන ශ්‍රින්ගි පවසන්නේ ඇගේ නව නිල ඇඳුම "ඉතා සුවපහසු" සහ තමාට "ඉතා නම්‍යශීලීවීමට" ඉඩ සලසන බැවින් තමා ඊට බොහෝ කැමති බව යි.
"ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර නිල ඇඳුමක් අඳින්න අවසර දුන්නු පළමු රජයේ උසස් පාසල අපේ පාසැල. මට දැනෙන්නේ මං විප්ලවයක කොටස්කාරියෙක් කියලා," ඇය වැඩිදුරටත් පවසා සිටියා ය.
නිල ඇඳුම වෙනස් කිරීම සඳහා කේරළ රජයේ ද අනුමැතිය හිමිව තිබේ.
"නිල ඇඳුමත්, සමස්ත පාසල් ක්‍රමයමත් කාලයත් සමග වෙනස්විය යුතු යි,"යි කේරළයේ අධ්‍යාපන අමාත්‍ය වී. සිවන්කුට්ටි බීබීසීයට පැවසුවේ ය. "මුලදීම ලිංගය මත වෙනස්කොට සැලකීමට එරෙහිව නවයොවුන් වියේ සිසුන් දැනුවත් කරන මේ ක්‍රමයට තවත් පාසල් එකතුවනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙනවා."
කෙසේ නමුත් නිල ඇඳුම වෙනස්කිරීමට ගතානුගතික මුස්ලිම් කණ්ඩායම්වල සහයෝගය හිමිව නැත. ඔවුන් පවසන්නේ, බලහත්කාරයෙන් නව නිල ඇඳුමක් තම දරුවන් මත පටවා ඇති බව යි.
"ගුරුදෙගුරු සමිතියේ මහාසභා රැස්වීමක් කැඳවන්නේ නැතුව තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. දැන් අපේ ගෑණු දරුවන්ට පිරිමි ළමයින් වගේ කලිසම් කමිස අඳින්න බල කරනවා. ඒ වගේම මේක දුප්පත් පවුල්වලට විශාල ආර්ථික බරක්," ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට ගැලපෙන නිල ඇඳුම්වලට එරෙහි මුස්ලිම් සම්බන්ධීකරණ කමිටුවේ සාමාජික මුජාහිද් බලුස්සේරි පැවසීය.
නමුත් බලුස්සේරිට ඇති විශාලම ගැටලුව නම්, නිල ඇඳුම වෙනස් කිරීම කේරළ ප්‍රාන්තයේ කොමියුනිස්ට් රජයේ "අදේවවාදී මතවාදයන් දරුවන් මත පැටවීමේ න්‍යායපත්‍රයේ" කොටසක් බව විශ්වාස කිරීම යි. එමඟින් දරුවන් නොමඟ යනු ඇතැ යි ද ඔහු විශ්වාස කරයි.
"අපට අපේ ඇදහිල්ල වෙනස් කරන්න ඉඩදෙන්න බැහැ," ඔහු පවසයි. "ගෑණු ළමයිනුත් පිරිමි ළමයිනුත් ඒ අයගේ වෙනස් අනන්‍යතා තියාගන්න ඕනේ. ගෑණු ළමයින්ටත් පිරිමි ළමයි වගේ ඇඳුම් අඳින්න ඉඩදෙනවා කියන්නේ නිදහසේ ලිංගිකව හැසිරීමට ඒ අයව යොමුකරවනවා වගේ වැඩක්. ස්ත්‍රී පුරුෂ භේදය නැති කිරීමෙන් ලිංගික නිදහසට පාර කැපෙනවා."
අනෙකුත් මුස්ලිම් ආගමික කණ්ඩායම් කිහිපයක් ද පසුගිය සතියේ කරන ලද මෙවැනි ප්‍රකාශයන් කේරළයේ සහ ඉන්දියාවේ සෙසු ප්‍රදේශවල බොහෝදෙනෙකුගෙන් දැඩි විවේචනයට හේතුවී තිබේ. විචාරකයින් පවසන්නේ, මෙය ගැහැණු ළමයින්ට සීමා පැනවීමන සඳහා ගතානුගතික කණ්ඩායම් විසින් දැරෙන උත්සාහයක් බව යි.
කේරළය, ඉන්දියාවේ සාක්ෂරතාව අතින් ඉහළම සහ වඩාත්ම ප්‍රගතිශීලී ප්‍රාන්තය ලෙස සැලකෙයි. සාක්ෂරතාව 100%ක් ලබා ඇති රටේ එකම ප්‍රාන්තය ලෙස ද නිතර හැඳින්වෙන්නේ කේරළය යි.
පාසල්වලට ඇතුළත් වන මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 48.96%ක් ගැහැණු ළමුන් වන අතර, ඔවුන්ගෙන් බහුතරයක් විශ්වවිද්‍යාල උපාධිය දක්වා ඉගෙනුම ලබයි.

ඡායාරූප මූලාශ්‍රය, Binuraj TP
නමුත් විචාරකයින් පවසන්නේ, ගැඹුරින් මුල් බැසගත් නාරිද්වේශය නිසා කේරළය ද ඉන්දියාවේ සෙසු ප්‍රාන්තයන් මෙන්ම පීතෘමූලික ප්‍රාන්තයක් බවයි.
විදුහල්පතිනී ඉන්දු පවසන්නේ කේරළයේ බොහෝ පෞද්ගලික පාසල්වල ශිෂ්‍යාවන් දැනටමත් කලිසම් අඳින නිසාත්, 2018 දී රජයේ කනිෂ්ඨ පාසලක් කුඩා ළමුන් සඳහා දෙපාර්ශවයටම ඇඳිය හැකි නිල ඇඳුමකට මාරුවී ඇති නිසාත්, පාසලේ නව නිල ඇඳුම පිළිබඳව ඇතිවූ නොසන්සුන් තත්ත්වය පුදුමයට කරුණක් බව යි.
නව නිල ඇඳුම හඳුන්වාදීම පිටුපස ඇත්තේ ලිංගය මත වෙන්කොට නොසැලකීම පමණක් බව ඇය පවසයි.
"දරුවන් ඉපදුණු දා පටන්ම අපි ඒ අයව ගෑණු පිරිමි විදියට වෙන්කරනවා - අපි ඒ අයට අරන් දෙන්නේ වෙනස් සෙල්ලම් බඩු, පිරිමි ළමයින්ට තුවක්කු සහ කාර්, ගෑණු ළමයින් බෝනික්කන්. අපි පිරිමි ළමයින්ට නිල් පාටින් ඇඳුම් අන්දවනවා. ගෑණු ළමයින්ට රෝස පාට ඇඳුම් අන්දනවා. ළමයි වයසින් වැඩෙද්දී ඒ අයගේ සපත්තුත් ඇඳුමත් වෙනස් කෙරෙනවා."
"නමුත් ගෑණු ළමයින්ට කලිසම් කමිස වඩාත් සුවපහසු නම්, ඔවුන්ට ඒ ඇඳුම් ඇන්දම වැඩි ආත්ම විශ්වාසයක් දැනෙනවා නම්, ඒ ළමයින්ට ඒවා අඳින්න ඉඩ දෙන්න ඕනේ. මම හිතන්නේ, සියලුම දරුවන්ට එක හා සමාන නිදහසක් සහ එකම අවස්ථාවන් ලබාදිය යුතු යි."යි.










