අදානි ඉන්දියාවේ NDTV අයිති කරගැනීමට ලංසු තබයිද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන ගෞතම් අදානි ඉන්දීය ප්‍රවෘත්ති විකාශන ආයතනයක් වන New Delhi Television (NDTV) අත්පත් කර ගැනීමට උත්සාහ කරමින් සිටියි.
සමාගමේ බහුතර කොටස් හිමිකර ගැනීම හරහා මෙය සිදු කිරීමට නියමිතය.
NDTV පවසන්නේ මෙය ආයතන නිර්මාතෘවරුන්ගේ "අදහස් විමසීමක්, සාකච්ඡාවක් හෝ කැමැත්තක්" නොමැතිවම සිදු කරනු ලබන්නක් බවයි.
රූපවාහිනී නාලිකා සහ වෙබ් අඩවි පවත්වාගෙන යන NDTV සඳහා අදානිගේ උනන්දුව කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ ඔහු අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයෙකු ලෙස සැලකීම නිසාය.
අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින්, අදානි සමූහයට අයත් AMG Media Networks Limited (AMNL) පැවසුවේ, NDTV හි 29.18%ක හිමිකාරීත්වයක් දරන RRPR හෝල්ඩිං ආයතනය අනාවරණය නොකළ මුදලකට මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව යි.
ඔවුන් NDTV හි තවත් කොටස් 26%ක් ලබා ගැනීමට කැමති බවත්, එය සාර්ථක වුවහොත් ප්‍රවෘත්ති ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක හිමිකම ඔවුන් සතුකර ගත හැකි බවත් පැවසීය.
මෙම පවරා ගැනීම "නව යුගයේ මාධ්‍යකරණයකට දොරටු විවර කිරීම සඳහා වූ AMNL හි ඉලක්කයේ වැදගත් සන්ධිස්ථානයක්" වනු ඇති බව AMNL ප්‍රධාන විධායක සංජේ පුගාලියා පැවසීය.
"ඉන්දියානු පුරවැසියන්, පාරිභෝගිකයින් සහ ඉන්දියාව ගැන උනන්දුවක් දක්වන අය තොරතුරු සහ දැනුමෙන් සවිබල ගැන්වීමේ දැක්මකින් යුතුව කටයුතු කරන්නට AMNL උත්සාහ කරනවා" යනුවෙන් ඔහු පැවසීය.
"ප්‍රවෘත්ති ක්ෂේත්‍රයේ NDTV සතු ප්‍රමුඛ ස්ථානය සහ භූගෝලීය වශයෙන් එහි ශක්තිමත් සහ විවිධාංගීකෘත සේවාව නිසා අපගේ දැක්ම ක්‍රියාත්මක කිරීමට වඩාත්ම සුදුසු විකාශන සහ ඩිජිටල් වේදිකාව එයයි," ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙයට ප්‍රතිචාර දක්වමින් NDTV පැවසුවේ අදානිගේ අභිප්‍රාය පිළිබඳව ඔවුන් දැනුවත් වූයේ අඟහරුවාදා බවයි.
"NDTV සිය මෙහෙයුම්වල හදවත - එහි මාධ්‍යවේදය කිසිවිටෙක අගතිගාමී කරගෙන නැත. අපි මාධ්‍යකරණය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින්නෙමු," සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ඔවුන් සතුව ජාතික නාලිකා තුනක් සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් පවතී.
අදහස් දැක්වීම සඳහා BBC බදාදා (අගෝස්තු 24) කළ ඉල්ලීමකට අදානි සමූහය ප්‍රතිචාර දැක්වූයේ නැත.
බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව අදානිගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 135ක් වන අතර ඔහු ආසියාවේ ධනවත් ම පුද්ගලයා වේ.

ඉන්දියාවේ ව්‍යාපාරික වාර්තාකාරිනී අර්චනා ශුක්ලාගේ විශ්ලේෂණය
පුද්ගලික න්‍යාය පත්‍ර වලින් පිරුණු රූපවාහිනී ප්‍රවෘත්ති ක්ෂේත්‍රයක් තුළ, NDTV සිය අපක්ෂපාතී ස්ථාවරය තබා ගෙන ඇත.
මාධ්‍යවේදීන් වන රාධිකා රෝයි සහ ප්‍රනෝයි රෝයි විසින් ආරම්භ කරන ලද NDTV ආයතනය, බොහෝ විට මෝදිගේ රජය සහ එහි ප්‍රතිපත්ති පිළිබඳව විවේචනාත්මකව කතා කරන මාධ්‍ය කණ්ඩායම් කිහිපයෙන් එකක් ලෙස සැලකේ.
NDTV බොහෝ අවස්ථාවල මෝදිගේ පරිපාලනයේ සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) අභියෝගාත්මක ලෙස කටයුතු කර තිබේ.
2014 දී ඔහු බලයට පත් වීමෙන් පසුව, මුදල් විශුද්ධිකරණයේ සිට බදු පැහැර හැරීම දක්වා චෝදනා රැසකට NDTV ආයතනය මුහුණ දී ඇත.
රටේ විමර්ශන ආයතන එනම්, නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය, මධ්‍යම විමර්ශන කාර්යාංශය සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව NDTV වෙත සහ එහි නිර්මාතෘවරුන්ට එරෙහිව නඩු කිහිපයක් පවරා ඇත. මේවායින් බොහොමයක් තවමත් විසඳී නොමැත.
NDTV විසින් භාරතීය ජනතා පක්ෂයේ විරුද්ධ දේශපාලන පක්ෂය වන කොන්ග්‍රසය සමඟ සුහදව කටයුතු කිරීම ගැන ද විවේචනයට ලක්ව ඇත.
භාරතීය ජනතා පක්ෂ නියෝජිතයින් එහි කර්තෘ ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීම සඳහා NDTV හි සම්මුඛ සාකච්ඡා සහ සංවාද සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇත.
අගමැති ධුරයට පත් වූ දා සිට මාධ්‍ය හමුවක් පවත්වා නැති මෝදි තෝරා ගත් මාධ්‍ය නාලිකා සඳහා ඉඳහිට සම්මුඛ සාකච්ඡා ලබා දී ඇති නමුත් කිසි දිනෙක NDTV හි පෙනී සිටියේ නැත.
අදානි අගමැතිවරයාගේ සහ අගමැතිවරයාගේ පක්ෂයට සමීප අයෙකු ලෙස සැලකේ. එමඟින් මෙම පවරා ගැනීමේ සැලැස්ම තුළ ඔහුගේ ව්‍යාපාරික අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමට වඩා වැඩි යමක් පවතී ද යන්න ගැටලු සහගතය.












