ඉන්දියානු ගොවිපළ නීතිය; අවලංගු කර සත් මසකින් යළි විරෝධතා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බිය, කෝපය සහ අවිනිශ්චිතතාවය
බචිත්තාර් කෞර් සහ උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ඇගේ ගම්මානයේ අනෙකුත් කාන්තාවන් පැවසුවේ ඔවුන් මුලින්ම විරෝධතා ආරම්භ කරන විට ඔවුන්ට බියක්, කෝපයක් සහ අවිනිශ්චිතතාවයක් හැඟුණු බවයි.
2020 දී රජය විසින් සම්මත කරන ලද කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට එරෙහිව දිල්ලි අගනුවර ආශ්‍රිතව විරෝධතා දැක්වූ දහස් ගණනක් ගොවීන් අතර ඔවුන් ද විය. විරෝධතාකරුවන් වසරකට වැඩි කාලයක් දැවෙන තාපය, කටුක ශීත කාලය සහ මාරාන්තික දෙවන කොවිඩ් රැල්ල වැනි සියලු දුෂ්කරතා නොතකා නගර මායිම්වල සැඟවී සිටියහ.
"මම මගේ මිතුරන්ට සහ නෑදෑයින්ට කිව්වේ විරෝධතාවයෙන් මිය ගියත් මෙම ගොවිපළ නීති ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා," කෞර් මහත්මිය පවසයි.
විශ්‍රාමික පාසල් ගුරුවරියක් වන ඇය පවසන්නේ තම සුවපහසු නිවස අතහැර වීදිවල, ට්‍රැක්ටර් ට්‍රොලියක ජීවත් වීම පහසු නොවූ බවයි. "අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැ - මේ ගොවිපළ නීති අපිට මරණ වරෙන්තුවක්."
මාස ගණනාවක් තිස්සේ රජය තරයේ කියා සිටියේ ගොවීන්ට එම නීති යහපත් බවත් ඔවුන් නීති ඉවත් කිරීමට හේතුවක් නොමැති බවත්ය. නිලධාරීන් සහ ගොවි නායකයින් අතර පැවති සාකච්ඡා වට කිහිපයක් ම නිශ්ඵල විය. ආණ්ඩුව පෙළපාලි මර්දනය කිරීම නිසා ගොවීන් කිහිප දෙනෙක් මිය ගිය අතර බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත් විය.
නරේන්ද්‍ර මෝදි නීති අවලංගු කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ නොවැම්බර් 19 දින උද්ඝෝෂණ පහව ගියේය. නොවැම්බර් 30 වැනි දින පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධ පනතක් නිල වශයෙන් සම්මත විය.
නමුත් ගොවීන් වහා ඉවත්ව ගියේ නැත. ප්‍රධාන භෝග සඳහා සහතික මිල ඇතුළු ඔවුන්ගේ අනෙකුත් ඉල්ලීම් සඳහා රජය එකඟ වන තුරු අඛණ්ඩව උද්ඝෝෂණ කරන බව ඔවුහු පැවසූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දින ගණනකට පසු රජය මෙය ද පිළිගත්තේ වසරක් පුරා පැවති විරෝධතාවලට තිත තබමිනි.
එය ඇගේ ජීවිතයේ "ඉතා විශේෂ" අවස්ථාවක් බව කෞර් මහත්මිය සිහිපත් කරයි.
ගොවීන් ආපසු නිවෙස් බලා ගොස් මාස හතක් ගතවී ඇතත් රජය තවමත් ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකර නැත.
ගත යුතු මීළඟ ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා ගොවි නායකයින් දැන් ජුලි 3 වැනි දින රැස්වීමක් කැඳවා ඇත. මෙම රැස්වීම දිල්ලිය අසල ගාසියාබාද් නගරයේ පැවැත්වීමට නියමිත අතර විරෝධතාවලට නායකත්වය දුන් රාකේෂ් ටිකයිට් ඇතුළු ප්‍රමුඛ ගොවි නායකයින් ඊට සහභාගී වනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගොවීන් තවත් උද්ඝෝෂණයක් ඇරඹීමට ඇති හැකියාව බැහැර කරන්නේ නැත.
"අපි බලාගෙන ඉන්නේ නායකයින් වෙලාව සහ ස්ථානය තීරණය කරන තුරු," කෞර් මහත්මිය පවසයි. "ඊළඟට එන දේට අපි සූදානම්."
2020 නොවැම්බර් මාසයේදී ගොවි නිෂ්පාදන විකිණීම, මිල නියම කිරීම සහ ගබඩා කිරීම පිළිබඳ නීති රීති ලිහිල් කරන නීති තුනක් රජය විසින් හඳුන්වා දීමෙන් පසු ලක්ෂ සංඛ්‍යාත ගොවීන් දිල්ලිය දෙසට පෙළපාලියෙන් ගියහ. මෙම නීති නිසා දශක ගණනාවක් තිස්සේ එම නිෂ්පාදන නිදහස් වෙළඳපොළෙන් බැහැර කර තිබුණි.
විරෝධතාකරුවන්ගේ විශාලතම චෝදනාවක් වූයේ නව නීති මගින් ගොවීන්ට තම නිෂ්පාදන සෘජුවම පාලන මිලකට කෘෂිකාර්මික ව්‍යාපාර, සුපිරි වෙළඳසැල් දාම සහ ඔන්ලයින් සිල්ලර වෙළෙන්දන් වැනි පුද්ගලික ආයතනවලට විකිණීමට ඉඩ දීමයි. බොහෝ ඉන්දියානු ගොවීන් දැනට තම නිෂ්පාදන රජය විසින් පාලනය කරන ලද තොග වෙලඳපොළවල හෝ මැන්ඩි වල සහතික කළ මිලට අලෙවි කරයි.
නීති මගින් ගොවිතැන වඩා ලාභදායී වන බවට රජය තර්ක කළ නමුත් ගොවීන් ඊට එකඟ නොවීය. ජනතාව පැවසුවේ මෙම නීති නිසා විශාල සමාගම් වලට මිල නියම කිරීමට බලය ලැබෙන බවයි.
අවසානයේ ආණ්ඩුව නීති ඉවත් කරන බව ප්‍රකාශ කරමින්, සහතික කළ මිල පිළිබඳ කාරණය සොයා බැලීම සඳහා රාජ්‍ය සහ ප්‍රාන්ත පාලන ආයතන, කෘෂිකාර්මික විද්‍යාඥයින් සහ ගොවි කණ්ඩායම්වල නියෝජිතයින් ඇතුළු කමිටුවක් පිහිටුවීමට පොරොන්දු විය.
මධ්‍යම කෘෂිකර්ම අමාත්‍ය නරේන්ද්‍ර සිං තෝමාර් මීට මාස දෙකකට පෙර ලෝක් සභාවට පැවසුවේ රජය කමිටුව පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවයි.
එහෙත් රජයේ ආරංචි මාර්ග බීබීසීයට පැවසුවේ එවැන්නක් සිදුවී නොමැති බවයි. මෙම කමිටුව සඳහා තම සාමාජිකයන් නම් කරන ලෙස රජය ගොවි නායකයින්ගෙන් ඉල්ලා සිටි නමුත් ගොවීන් එය ප්‍රතික්ෂේප කළේ රජයේ "අභිප්‍රාය පැහැදිලි නැති" බව පවසමින් බව ඔවුහු පැවසූහ.
"රජය සමහර බෝග සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒත් ඒ මිල සියලුම ප්‍රාන්තවල තිබෙනවාද කියලා සොයා බලන්න ඕන. ඔවුන් ප්‍රථමයෙන් රැස්වීමේ න්‍යාය පත්‍රය සහ සහතික කළ මිල ගැන ප්‍රතිපත්තිය සකස් කරන්න සැලසුම් කරන්නේ කොහොමද කියලා අපිට කියන්න ඕනෑ." පංජාබයේ විශාලතම ගොවි සමිතියක් වන භාරතීය කිසාන් සංගමයේ (BKU) සභාපති ජෝගින්දර් සිං උග්‍රහන් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සහතික කළ මිල හැරුණු විට, ගොවි නායකයින් තවත් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති තිබේ. උද්ඝෝෂණ අතරතුර මියගිය ගොවීන්ගේ ඥාතීන්ට වන්දි ගෙවීම, වී පිදුරු ගිනි තැබීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහි අපරාධ නඩු ඉවත් කිරීම සහ විරෝධතා දැක්වීම සඳහා ඔවුන්ට එරෙහිව පවරා ඇති අපරාධ නඩු ඉල්ලා අස්කර ගැනීම ඊට ඇතුළත් වේ.
නීති ඉවත් කිරීමෙන් පසු නොවැම්බර් මාසයේදී කෘෂිකර්ම ලේකම්වරයා, විරෝධතාවලට නායකත්වය දුන් ගොවි සංගම්වල පොදු මණ්ඩලය වන සංයුක්ත කිසාන් මෝර්චා (SKM) වෙත මෙම ඉල්ලීම්වලට එකඟ වන බවට ලිඛිතව දන්වා ඇති බව උග්‍රහන් මහතා පවසයි.
ප්‍රාන්ත කිහිපයක් ගොවීන්ට මුදල් වන්දි ලබා දීම ඇතුළු සමහර කොන්දේසි සපුරා ඇතත්, විරෝධතාකරුවන්ට එරෙහි අපරාධ නඩු දිගටම පැවතීම විවාදාත්මක බව ඔහු පවසයි.
විරෝධතා ස්ථාන ප්‍රධාන වශයෙන් හර්යානා ප්‍රාන්තයේ අධිකරණ බල ප්‍රදේශයට අයත් වන බැවින් බොහෝ නඩු ගොනු කර ඇත්තේ එහි ය.
ප්‍රාන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍ය අනිල් විජ් බීබීසීයට පැවසුවේ රජය බොහෝ නඩු ඉල්ලා අස්කර ගෙන ඇති බවයි. "උද්ඝෝෂණය අතරතුර මුළු නඩු 272 ක් ලියාපදිංචි කර තිබෙනවා. ඉන් 82 ක් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා," ඔහු පැවසීය.
නමුත් ගොවීන් ඉන් සෑහීමකට පත් වූයේ නැත.
"මේ එක් ප්‍රාන්තයක් විතරයි. අනිත් ප්‍රාන්ත ලියාපදිංචි කරලා තියෙන නඩු සංඛ්‍යාව සහ ඒවායින් කොපමණ ප්‍රමාණයක් ඉල්ලා අස්කර ගෙන තිබෙනවාද කියලා අපිට [රජයෙන්] විස්තර දැනගන්න ඕන," උග්‍රහන් මහතා පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගොවීන් තවත් විරෝධතාවයක් ඇරඹීමට තරම් එක්රොක් වෙමින් සිටිය ද ඔවුන් සතුව පැවති විරෝධතා රැල්ලේ දියව යාමක් ඇති බවට ඔවුහු කනස්සලු වෙති.
ගොවි සංවිධානවල සමහර නායකයින් පන්ජාබයේ ප්‍රාන්ත මැතිවරණයට තරග කළ නමුත් එක ආසනයක්වත් දිනා ගැනීමට අපොහොසත් වූ දා සිට ඔවුහු කළකිරීමෙන් පසුවෙති. පෙබරවාරියේ ලද ප්‍රතිඵලවලින් පසුව, සංයුක්ත කිසාන් මෝර්චා විසින් මැතිවරණයට තරග කළ සාමාජිකයින් ගොවි සමිති 32න් 22ක් නෙරපා හරින ලදී.
"ඒකෙන් ගොවීන්ගේ එකමුතුවට බරපතල පහරක් එල්ල වෙලා තියෙනවා," උග්‍රහන් මහතා පවසයි.
නමුත් ඔහු පවසන්නේ ඔහු බලාපොරොත්තු සුන් වී නැති බවයි: "එක් දුරකථන ඇමතුමකින්, අපි සියලු දෙනාටම එකට එකතු වෙන්න පුළුවන් බව මට විශ්වාසයි," ඔහු පවසයි.
"සටනෙන් බාගයක් අපි දිනලා තියෙන්නේ. තව කරන්න දේවල් තියෙනවා."










