ඒකාධිපති පවුල් පාලනයක් නැවත ගෙනඑන අපේක්ෂකයෙක් ජනපතිවරණයට

Bongbong Marcos addressing a crowd in Manila

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බොංබොං රටේ මීළඟ ජනාධිපති වීම සඳහා ඉදිරියෙන්ම සිටින පුද්ගලයා වේ

පිලිපීන ජනාධිපතිවරණය මැයි 9 වනදා පැවැත්වීමට නියමිත අතර එය ඉතා මතභේදාත්මක එකක් වීමට නියමිත ය.

ජනපතිවරණ අපේක්‍ෂකයින් අතර වත්මන් ජනාධිපතිවරයාගේ දියණිය, හිටපු ඒකාධිපතියකුගේ පුත්‍රයෙකු මෙන්ම ලෝක ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩකයෙකු ද වේ.

ප්‍රධාන අපේක්ෂකයන් කවුද?

ෆර්ඩිනන්ඩ් "බොංබොං" මාකෝස් කණිෂ්ඨ

64-හැවිරිදි මොහු "බොං බොං" යන අන්වර්ථ නමින් හැඳින්වෙන අතර, මොහුගේ පියා කුරිරු ආඥාදායකයෙකු විය.

ඔහුගේ පියා වූ ජනපති මාකෝස් 1972 දී යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කළ අතර, රටේ උසාවි, ව්‍යාපාර, සහ ජනමාධ්‍ය පාලනය කළේ ය. හමුදාව සහ පොලිසිය විරුද්ධවාදීන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණවීය.

Former president of the Philippines Ferdinand Marcos

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දූෂණය සඳහා ලොව වටා නම්දැරූ, පිලිපීනය මහත් විදේශ ණය කන්දක අතරමං කර දැමූ ජනපති මාකෝස්, 1986 දී ජනතා විප්ලවයකින් නෙරපා හරින ලදී

ඔහු ද, ඔහුගේ බිරිඳ ඉමෙල්ඩා මාකෝස් ද, ඔහුගේ හිතවතුන් ද මහජන මුදලින් ඩොලර් බිලියන 10ක් කොල්ල කා තිබේ. 1986 දී ඔහු බලයෙන් පහකෙරුණු අතර, වැඩිකල් නොගොස් මියගියේ ය.

බොංබොං මාකෝස් රාජ්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටිය දී බදු ගෙවීම පැහැරහැරීමක් සම්බන්ධයෙන් 1995 දී වරදකරු වූ අයෙකි. එනිසා ඔහු ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමට නුසුදුසු බව ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් පවසයි.

ඔහු පියාගේ ඒකාධිපති අතීතයේ "සුදුහුණු ගෑමට" සමාජ මාධ්‍ය හරහා සිය ධනය යොදවා ඇති බව ද විවේචකයෝ පවසති.

එසේම ඔහු බොහෝදෙනා නරඹන රූපවාහිනී විවාද කිහිපයකට සහ ස්වාධීන මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලට සහභාගීවීම ද ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔවුන් තමාට විරුද්ධ අගති සහිත මානසිකත්වයකින් සිටින බව හෝ සාකච්ඡා මාධ්‍යය තමාට ප්‍රිය නොවන බව පවසමිනි.

Coffee packet with Bongbong and a cup printed on it
ඡායාරූප ශීර්ෂ වැකිය, සිය මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් ලෙස, බොංබොං කෝපි පැකට්ටුවල ද සිය පින්තූරය මුද්‍රණය කරවා ඇත

1986 දී ජනතා විප්ලවයකින් නෙරපා හරින ලද මාකෝස් පවුල දූෂණය සඳහා ලොව වටා නම්දැරූවන් විය.

ස්වාධීන මාධ්‍ය වාර්තා සහ උසාවි ලේඛන, ඔවුන්ගේ පාලන සමය තුළ සිදුවූ දැවැන්ත දූෂණ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි සපයයි.

විප්ලවවාදීන් ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අවස්ථාවේ දී ඔවුනට හමුවූ දෑ අතර එම පවුලේ සාමාජිකයින් මනඃකල්පිත පසුබිම්වල දැක්වෙන තෙල් සායම් සිතුවම්, රන් ආලේපිත නාන කාමර උපාංග සහිත ජැකුසි තටාකයක්, ඉතා මිළ අධික මින්ක් ලොම් කබා 15ක්, ඉතා වටිනා අමුද්‍රව්‍ය යොදා අතින්ම නිමැවූ ගවුම් 508ක් පමණක් නොව, ඉමෙල්ඩා මාකෝස්ට අයත් අධිමිල සපත්තු කුට්ටම් 3,000කටවැඩි ප්‍රමාණයක් විය.

Painting of Bongbong carrying the Philippine flag alongside a horse
ඡායාරූප ශීර්ෂ වැකිය, සොයාගත් සිතුවම් අතර, කුඩා බොංබොං රන් ඔටුන්නක් දමාගෙන අසෙකු පිට නැගී, අතෙකින් පිලිපීන කොඩියත්, අනෙක් අතින් බයිබලයත් දරාගෙන වළාකුළු අතරින් ඇදෙනු දැක්වෙන සිතුවමක් ද වේ

නමුත්, දැන් බොංබොං රටේ මීළඟ ජනාධිපති වීම සඳහා ඉදිරියෙන්ම සිටින පුද්ගලයා වේ. ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ප්‍රසිද්ධවත්ම, ඔහුගේ ආධාරකරුවන් මෙම අතීත කරුණු පිළිබඳව සමාජයේ සැක ඇතිකරමින් සිටියි.

ඔහුගේ විරුද්ධවාදීන් පවසන්නේ එසේ සිදුවීමට හේතුව නම් දුර්දාන්ත පාලන ඉතිහාසයේ සුදුහුණු ගෑමටත්, වැරදි තොරතුරු පැතිරවීමටත් සමාජ මාධ්‍ය භාවිතා කිරීම බව යි. නමුත් මාකෝස් පවුල මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

නමුත්, වසර ගණනාවක් තිස්සේ මාකෝස්ට පක්ෂව ප්‍රචාරණයන් සිදුකරන ෆේස්බුක් පෝස්ටු රැසක්, සහ මාකෝස් පවුලේ උරුමය ආරක්ෂා කරන නිර්නාමික ගිණුම් රැසක් දක්නට ලැබේ.

ඒවා කෙතරම් පුළුල්ව පැතිරගොස් ඇත්ද යත් මිනිසුන් එම අසත්‍ය තොරතුරු දැඩිව විශ්වාස කරන අතර, ඒවා ගිරවුන් මෙන් පුනරුච්ඡාරණය කරයි.

මෙසේ පතුරවනු ලබන අසත්‍ය තොරතුරුවල ප්‍රධාන තේමාවක් වන්නේ, මාකෝස්ගේ ඒකාධිපති පාලන යුගය ඇත්ත වශයෙන්ම එරට "ස්වර්ණමය යුගයක්" බව යි - එනමුත් එය එරට ආර්ථිකය බිඳ වැටී, විදේශ බැංකුවලට ද විශාල වශයෙන් ණයවී තිබූ යුගයකි.

"සෝෂල් මීඩියාවල දී එයාලා මාතෘකා වෙනස් කරනවා. පුද්ගලයා දූෂිත ද නැද්ද කියන එකට වඩා, එයා ගොඩනැගිලි හදපු එක කොච්චර ලොකු දියුණුවක් ද කියලා තමයි කතා කරන්නේ. එයාලා එක්ක වාද කරලා වැඩක් නැහැ," ආධුනික නීතීඥ ෂා ෂා රිවාල් පවසයි. තමා ද අයත් වන්නේ මාකෝස්ට ඡන්දය නොදෙනු ඇති "පුංචිම පුංචි සුළුතරයට" බව ඇය පවසයි.

Shoes of former Philippine first lady Imelda Marcos

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉමෙල්ඩා මාකෝස්ගේ කුප්‍රකට සපත්තු එකතුව

සාරා ඩුටර්ටේ

සාරා ඩුටර්ටේ යනු වත්මන් ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ දියණියයි.

බොංබොං මාකෝස් සමග උප ජනපතිධුරයට තරග කරන ඇය, ඔහුත් තමාත් "එක් කණ්ඩායමක්" බවත්, පිලිපීනය යළි නගා සිටුවන බවත් පොරොන්දු දෙයි.

ඇය 18 හැවිරිදි පුද්ගලයන්ට යුද්ධ පුහුණුව අනිවාර්ය කළ යුතු බව පවසද්දී, බොංබොං මාකෝස් පවසන්නේ පුනරුත්ථාපනය කළ නොහැකි අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය පැනවීමට තමා කැමති බව යි.

Sara Duterte

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සාරා ඩුටර්ටේ, වත්මන් ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ දියණිය යි

ලෙනී රොබ්‍රෙඩෝ

බොංබොං මාකෝස් සහ සාරා ඩුටර්ටේ දෙපළගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ පිලිපීනයේ වත්මන් උප ජනාධිපතිනී ලෙනී රොබ්‍රෙඩෝ ය.

රොබ්‍රෙඩෝ, හිටපු නීතීඥවරියක හා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නියකි.

බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් සහ පිලිපීනයේ ප්‍රමුඛ පුද්ගලයින් ද ඇතුළු ඇගේ ආධාරකරුවන් ඇගේ ප්‍රචාරක වර්ණය වන රෝස පැහැයෙන් සැරසී සිටියි.

ඔවුන් බලාපොරොත්තු වන්නේ පවුල් සාරධර්ම සහ නීතියේ ආධිපත්‍යය යළි නගා සිටුවිය හැකි "රෝස විප්ලවයක්" සිදුකිරීම ය.

Leni Robredo announcing her bid for the presidency on October 7, 2021 in Manila

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පවුල් සාරධර්ම සහ නීතියේ ආධිපත්‍යය යළි නගාසිටුවිය හැකි "රෝස විප්ලවයක්" සිදුකිරීමට රොබ්‍රෙඩෝ ආරාධනා කරයි

රොබ්‍රෙඩෝගේ විවේචකයින් පවසන්නේ ඇය පිලිපීනයේ ධනවත් රදලයින් නියෝජනය කරන බව යි. ඇය, සාම්ප්‍රදායිකව රටේ ධනවත්ම සහ බලවත්ම පවුල් සමග බැඳී ඇති ලිබරල් පක්ෂයේ සාමාජිකාවකි.

මැනී පැක්වායෝ

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග වදින තවෙකෙකු වන්නේ, දැන් සෙනට් සභිකයෙකු ද වන කීර්තිමත් බොක්සිං ක්‍රීඩක මැනී පැක්වායෝ ය. ඔහුගේ රසිකයින් ඔහු "පැක්-මෑන්" ලෙස හඳුන්වයි.

ඔහු දුගීබවේ සිට දියුණුවට පත්වූවෙකු නිසා දුප්පත් ඡන්දදායකයින්ගේ සිත් දිනාගෙන ඇත.

ඔහු කුසගින්නෙන් හා දුගී බවින් යුතුව, දකුණුදිග නගරයක් වන ජෙනරල් සැන්ටෝස්හි හැදී වැඩුණු අයෙකු වන අතර, ගැටවරයෙකු ලෙස බොහෝවිට වීදිකොන්වල නිදාගැනීමට සිදුවූ අයෙකි. පසුකලෙක ඔහු ලොව ප්‍රධාන බොක්සිං ශූරතා 12ක් දිනාගෙන, අවසානයේ ලෝකයේ ධනවත්ම ක්‍රීඩකයෙකු බවට පත්විය.

Boxing champion Manny Pacquaio

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මැනී පැක්වායෝ දුප්පත් ඡන්දදායකයින්ගේ සිත් දිනාගෙන සිටියි