අගමැති මහින්ද රාජපක්ෂ මේ සතිය තුළ ඉල්ලා අස්වෙයිද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ සතිය තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කර ආණ්ඩුවේ වෙනසක් සිදුවනු ඇතැ යි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එහෙත් මේ දක්වා අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත්වීමට තීරණය කිරීම සම්බන්ධ පුවත අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වශයෙන් තහවුරුකර නැත.
සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ද පවසන්නේ මේ සතිය තීරණාත්මක බව යි. ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් අද (මැයි 03) වැනි දා කතානායකවරයා වෙත භාර දෙනු ලැබීය.
අගමැති අස්වෙයිද?
මේ අතර කිසිදු දේශපාලනඥයෙකුට තමන් වහන්සේ බැහැ දැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් තීරණය කර ඇත.
ත්‍රෛනිකායික මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ එකඟතාව මත පවතින අර්බුදයෙන් රට මුදවා ගැනීම පිණිස තාවකාලිකව සර්වාපක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනපති, අගමැති හා පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු ත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම ඊට හේතුවී ඇතැයි මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් ලියැවිල්ල මහ නා හිමිවරුන්ට පිළිගැන්වීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා මහනුවරට පැමිණි අවස්ථාවේ ඒ මහතාට මල්වතු මහනාමිහියන් බැහැ දැකීම සඳහා අවසර නොලැබිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ද පසුගියදා මල්වතු මහ නා හිමියන් බැහැ දැක පවතින අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා ඇතුළත් ලියැවිල්ලක් පිළිගැන්වීමට අවසර ඉල්ලා ඇති අතර ඔවුන්ට ද මහ නා හිමියන් වේලාවක් ලබා දී නොමැති බවට මල්වතු මහ නා හිමියන්ගේ කාර්යාලයේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමග පැවසිය.
මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පිළිබඳව සලකා බලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් ඉවත්වීමට තීරණයක් ගැනීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ පසුගියදා පැවති හමුවේදී සඳහන් කළ බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.
අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ගීත් කාසිලිංගම් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ
"අග්‍රාමාත්‍යවරයා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවට පසුගිය දිනවල වාර්තා පළ වුණා.එහි අලුත්ම එක තමයි මීළඟට පාර්ලිමේන්තුව රැස්වෙනකොට විශේෂ ප්‍රකාශයක් කරලා ඉල්ලා අස්වෙන එක. මේක බොරුවක්. මෙවැනි කටකතා පතුරවන අයට (පවසන්නේ) කරුණාකර ප්‍රථමයෙන් එම පුවත නිරවද්‍යතාව තහවුරුකරගන්න."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
රජයේ ස්ථාවරය: විවිධ කණ්ඩායම් වලින් කරන ප්‍රකාශ පමණයි
ජනාධිපතිතුමා ඉවත් වන්නේද? අග්‍රාමාත්‍යවරයා ඉවත් වන්නේද රජයේ ස්ථාවරය කුමක් දැයි මාධ්‍යවේදීන් අද කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයාගෙන් විමසීය. එහිදී කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ "ජනාධිපතිවරයා රටේ පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන කුඩා කැබිනට් මණ්ඩලයක් පත්කර තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලය සහ ජනාධිපතිතුමා, රජය පවත්වාගෙන යනවා වෙනත් කිසිදු වෙනසක් වෙලා නැහැ. එයයි මේ අවස්ථාවේ රජයේ ස්ථාවරය."
"ඉදිරියේ සිද්ධවෙන්නේ කුමක්ද, හෙට දිනයේ සිද්ධවෙන්නේ කුමක්ද? ලබන සතියේ සිද්ධවෙන්නේ කුමක්ද කියන එක ගැන නිශ්චිතව ජනතාවට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. තවත් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතයි ඉදිරි දිනවල." අමාත්‍යවරයා පැවසීය.
ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට එකඟත්වයක්
මැයි 02 වැනිදා, ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසක් අතර සාකච්ඡාවක නිරත විය.
ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජාතික සහයෝගීතා ආණ්ඩුවක් සඳහා සංකල්පමය එකඟතතාවකට පැමිණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගාර කාරියවසම් කියා සිටියේ ය.
බැසිල් රාජපක්ෂ සිටින ආණ්ඩුවක නැවත අසුන් ගන්නේ නැතැ යි කී, රාජපක්ෂවරු සමග සිය දේශපාලන ගමන අවසන් බව අවධාරණය කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ උදය ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීවරු පිරිස ජනාධිපතිවරයා සහ බැසිල් රාපක්ෂ අතර නව ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡා කර ඇත්තේ කෙසේදැයි දේශපාලන විචාරකයින් ප්‍රශ්නකරයි.
ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ සමග සාකච්ඡාවට අනුර ප්‍රියදර්ශන යාපා, ටිරාන් අලස් යන මන්ත්‍රීවරුන් ද සහභාගීව ඇත.
සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මෙසේ කියා සිටියේ ය: "සංකල්පයක් හැටියට ඔවුන් ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවන්න - ඒ කියන්නේ මෙයට පාර්ලිමේන්තු නියෝජනය වන සියලුම පක්ෂ නියෝජනය වෙන ආකාරයේ - රජයට සෘජුව සම්බන්ධ වෙලා ඇමතිකමක් ගන්න හරි, ඒ වගේ තැනකට එකඟ නොවුණත් වෙනත් ආකාරයකට හරි එම පාලනයේ තීන්දු තීරණ ගැනීමේ දී සම්බන්ධ වෙන විදිහේ ක්‍රියාදාමයක් සහිතව, මේ ආර්ථිකය දැනට තියෙන ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ ඒම සඳහා යම්කිසි කාලසීමාවක් සඳහා ඒ වගේ අන්තර් සහයෝගීතා ආණ්ඩුවක් පත් කිරීමේ ඒ මූලික සංකල්පයට, අපි සංකල්පයක් හැටියට පක්ෂ එකඟතාව පළකළා. මූලික වශයෙන් මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කළේ මේ රටේ මහනායක හාමුදුරුවෝ. ඉන්පසුව අපි දැක්කා කාදිනල්තුමා මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කළා."
"ඒ වගේම මේ රටේ සමාජ කණ්ඩායම්, විවිධ සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් මේ සංකල්ප ඉදිරිපත් කළා. එතකොට මේ අවස්ථාවේ දී මම හිතන්නේ මේ රට වැටිල තියෙන තත්ත්වයෙන් රට ගොඩගන්න යම්කිසි පාර්ශ්වයක් මෙවැනි දෙයකට එකඟ වන්නේ නැත්නම් ඉතින්, ඒ සම්බන්ධයෙන් මූලික වගකීමක් මම හිතන්නේ තියෙනවා ඒ වගේ සංකල්පයක් යෝජනා කරපු පාර්ශවයට. ඒ වගේම ජනතාවටවත් වගකීමක් තියෙනවා ඔවුන් ඒ සඳහා පෙළඹවීමට රට වෙනුවෙන්," ප්‍රධාන ලේකම් කාරියවසම් ප්‍රකාශ කළේ ය.
මේ අතර මාධ්‍ය වාර්තා කර තිබුනේ බැසිල් රාජපක්ෂ ස්වාධීන වූ මන්ත්‍රී වරුන් සමග පැවති හමුවේදී සඳහන් කර ඇත්තේ අගමැතිවරයා ඉල්ලා අස්වී කෙටි කලක් සඳහා පත්වන නව ආණ්ඩුවේ අගමැතිවරයා කවුදැයි පක්ෂ නායක කමිටුවකින් නාම යෝජනා විමසන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහින්ද රාජපක්ෂ හැර වෙන අයෙකුගේ නමක් යෝජනා නොකරන බවය. ඔහු පවසා ඇත්තේ පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාව අතරට ගෙන ගිය සම්මුතිය වුයේ අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂට හිමිවිය යුතු බව බැවින් එම ජනතා වරමට පිටස්තරව වෙනත් අයෙකුගේ නමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කිරීමට සුදානම් නැති බවයි.
ආණ්ඩුවට හා ජනපතිට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක්
සමගි ජනබලවේගය අද (මැයි 3) ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා දෙකක් කතානායක මහින්ද යපා අබේවර්ධන වෙත භාර දෙනු ලැබීය.
අද සවස එම විශ්වාසභංග යෝජනා සමගි ජනබලවේගය විසින් භාර දෙනු ලැබුවේ කතානායක නිල නිවසේදීය.
එම අවස්ථාවට සමගි ජනබලවේගය නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන් සහභාගි වූහ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2











