සීනි බදු මගඩිය: විගණකාධිපති නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුබව මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි

Cartoon - Gotabaya hugging a sugar sack, naked

ඡායාරූප මූලාශ්‍රය, Shanika Somatilake

සීනිබදු අඩු කිරීමෙන් රජයට අහිමි වූ ආදායම අදාළ පර්ශවවලින් අයකර ගතයුතු බවට විගණකාධිපතිවරයා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයැ යි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ ස්වයං මැදිහත්වීමක් සිදුකිරීම සඳහා පවතින ප්‍රතිපාදන අනුව විගණකාධිපතිවරයා විසින් සීනි බදු සම්බන්ධයෙන් පවතින ගැටළුකාරී තත්ත්වය පිළිබඳව කරුණු ඇතුළත්ව ඉදිරිපත් වාර්තාව ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය අවධානය යොමුකර ඇති බව යි.

ඒ අනුව රාජ්‍ය බලය අයුතු සහ අත්තනෝමතික ලෙස භාවිතා කිරීම ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආර්ථික, සමාජයීය, හා සංස්කෘතික අයිතිවාසිකම් උල්ලංඝනයවිමට ඉඩ ඇති බැවින්, රජය විගණකාධිපතිවරයා විසින් උක්ත කරුණ සම්බන්ධයෙන් ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරිය රජයට අවධාරණය කර සිටියා ය.

විගණකාධිපතිවරයාගේ නිර්දේශ

සීනි බද්ද අඩු කිරීම මගින් රජයට අහිමි වූ බදු ආදායම අදාළ පාර්ශවයන්ගෙන් නැවත අයකර ගත යුතු බව ජාතික විගණන කාර්යාලය රජයට නිර්දේශ කර තිබේ.

ජාතික විගණන කාර්යාලය නිර්දේශය ඉදිරිපත් කරනු ලැබුවේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25ක් දක්වා අඩු කිරීමෙන් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට ලැබුණේදැ යි අධ්‍යයනය කිරීම උදෙසා සිදුකළ විශේෂ විගණනයට අදාළව යි.

2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට එතෙක් සීනි කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමට රජය පියවර ගනු ලැබීය.

අදාළ විගණනයේ දී අනාවරණය වී ඇත්තේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25ක් දක්වා අඩු කළ 2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට, සීනි සඳහා පැවැති පාලන මිල ඉවත් කළ 2021 වසරේ පෙබරවාරි 08 වැනිදා දක්වා වූ සිව්මසක කාලය තුළ පමණක් රජයට රුපියල් මිලියන 16,763ක බදු ආදායමක් අහිමි වී ඇති බව යි.

මාස කිහිපයක කෙටි කාලසීමාව තුළ පමණක් ලංකා සතොස ආයතනය වරින් වර පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් වැඩි මිලට සීනි මිල දී ගෙන අඩු මිලට අලෙවි කිරීම මඟින් රුපියල් මිලියන 102ක පමණ අලාභයක් වාර්තා කර ඇතැ යි රජයේ විගණකාධිපතිවරයා නිකුත් කළ විශේෂ වාර්තාවේ දැක්වෙයි.

කෙසේ නමුත්, පසුගිය වසරේ මාර්තුවේ දී මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශකර සිටියේ එවන් පාඩුවක් සිදුවී නොමැති බව යි.

එය ආදායම් අහිමිවීමක් නොව නොව "ප්‍රතිපත්තිය" බව ඔහු එවක සඳහන් කර සිටියේ ය.

2020 වසරේ ඔක්තොබර් සිට 2021 වසරේ පෙබරවාරි දක්වා වූ මාස කිහිපය තුළ පමණක් පිරමිඩ් විල්මා ආයතනයේ සීනි ආනයනය 1,222%කින් අසාමාන්‍ය ලෙස ඉහළගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් අනාවරණය කර තිබේ.

සීනි සඳහා වූ බදු අඩු කිරීමෙන් රජය අපේක්ෂා කළ පාරිභෝගික සහන සැලසිමේ අරමුණ යටපත් වී ආනයනකරුවන් සහ වෙළෙඳුන් කිහිප දෙනෙකු පමණක් ආර්ථික වාසියක් උදාකරගෙන ඇතැ යි විගණන කාර්යාලය තවදුරටත් අනාවරණය කර ඇත.

විගණන කාර්යාලය නිර්දේශ කර ඇත්තේ සීනි සඳහා වූ බද්ද අඩු කිරීමට සාපේක්ෂව එම වාසිය පාරිභෝගිකයින්ට ලබා නොදී තමන් අත රඳවාගත් පාර්ශව නිසි පරිදි හඳුනාගෙන, එම ආර්ථික වාසිය ජනතාවට ලබාදීම පිළිබඳව අවධානය යොමු කිරීම හෝ, එසේ නොමැති නම් රජය කැපකළ බදු ආදායම තමන් වෙත රඳවාගත් පාර්ශවවලින් යළි රජයට ලබා ගැනිමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කිරීම යුතු බව යි.