ඩොලර් හිඟය මැද උඩුදුවන ඖෂධ හිඟයෙන් ප්‍රතිකාර සේවා බිඳ වැටෙයිද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්ධන, ගෑස් , කිරිපිටි පෝලිම් මැද ශ්‍රී ලංකාවේ තවත් බරපතල අර්බුදකාරී තත්ත්වයක් මේවන විට උද්ගතවී ඇත. ඒ ඖෂධ හිඟයයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ, මේවන විට රජයේ රෝහල්වල සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ අත්‍යාවශ්‍ය ඖෂධ, ප්‍රතික්‍රියාකාරක, උපකරණ සහ පාරිභෝජන ද්‍රව්‍යවල උග්‍ර හිඟයක් පවතින බවයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය සමත් ධර්මරත්න උත්සව සමයේ රෝහල්වල ඇති ඖෂධ හිඟය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බීබීසීය වෙත පවසා සිටියේ, "දෙයියනේ කරුණාකරලා බොන්න එපා. ගෙවල්වලට වලා ඉන්න. ට්‍රිප් යන්න එපා. තුවාල කර ගන්න එපා. ලෙඩ වෙන්න එපා. අපි දැන් අවුරුදු දෙකක්ම පුරුදුවෙලා නේ තියෙන්නේ ගෙවල්වලට වෙලා ඉන්න, මාස් දාගෙන ඉන්න. ප්‍රවේශමෙන් ඉන්න. තව මාස 06ක් වත් ඒක මේන්ටේන් කරන්න. රතිඤ්ඤා පත්තුව එහෙම හිතන්නවත් එපා. තුවාල වුණොත් ඉස්පිරිතාලේ ගිහිල්ලා බලලා එන්න තමා වෙන්නේ. බීලා ගහගෙන ඔළු පලා ගත්තොත් ඉස්පිරිතාලේ ගිහාම මහන්න මැහුම් එහෙමත් නැති වෙන්න පුළුවන්."
"ඊ.ටී ටියුබ් නැහැ. අඩුබර උපත ලබන දරුවන්ට දෙන බෙහෙත්. සැත්කම් කරනකොට සිහිය නැති කරන බෙහෙත් තියෙනවා. සිහිය ගන්න බෙහෙත් නැහැ. සැත්කම්වලට මේවා බලපානවා. සැත්කම් කල්දාන්න වෙලා තියෙනවා." මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
"සෞඛ්‍යයට ප්‍රමුඛතාව දිය යුතුයි"
මහාචාර්ය සමත් ධර්මරත්න අවධාරණය කළේ, "ප්‍රධානම කාරණය තමා අපි ළඟ මුදල් තියෙනවා නම් ප්‍රමුඛතාව දෙන්න ඕනේ සෞඛ්‍යයට. හෙල්ත් එක නැතිවුණොත් මැරෙනවා. ඩීසල් නැතිවුණොත් මැරෙන්නේ නැහැ. කන්න නැතිවුණොත් මැරෙන්නේ නැහැ. මොකද වේල් එකක් කාලා මිනිහෙක්ට ඉන්න පුළුවන් ඕනේ නම්. හාට් ඇටෑක් එකක් හැදිලා ගියොත් බෙහෙත් නැත්නම් මැරෙනවා."
සෑම රෝහලක්ම නවීණ පහසුකම් සහිත සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"සල්ලි තිබ්බත් අමාරුවක් වුණොත්, සිංගප්පුරු යන්න ඉස්සෙල්ලා මැරෙන එකක් හැඳුනොත් බුදුසරණයි. හොඳම දේ තමයි ළඟම තියෙන ඉස්පිරිතාලේ හොඳම උපරිමයට හදන එක. මැරෙන්නැතිව බේරගන්න පුළුවන් එතන්නට විතරයි. අපේ අයට ඒක තේරෙන්නේ නැහැ. අපේ අය හිතනවා සිංගප්පුරු යන්න. සිංගප්පුරු යන්න පේලේන් එකක යන්න ඕනේ නේ, මඟ මැරුණොත්?." ඔහු පෙන්වා දුන්නේය.
"අපේ සල්ලි ප්‍රයොරටයිස් කරන්න ඕනේ හෙල්ත් එකට. අනිත් ඒවට වෙන්කරන්න කලින් සෞඛ්‍යයට සල්ලි වෙන් කරන ඕනේ."
"ජනපතිට ලිපියක්"
පවතින ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් සාමාන්‍ය ශල්‍යකර්ම වැනි සමහර සේවාවන් සීමා කිරීමට මෙන්ම ජීවිතයට තර්ජනයක් වන රෝගවලට අදාළව පවා ඇතැම් සැපයුම් සීමා කිරීමට දැනටමත් තීරණ ගෙන ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ අන්තර් වෛද්‍ය විද්‍යාලීය කමිටුව විසින් ජනපති වෙත යවන ලද ලිපියට විවිධ කේෂත්‍ර නියෝජනය කරමින් වෛද්‍ය විශේෂඥයින් 16 දෙනෙකු අත්සන් තබා ඇත.
ඖෂධ හිඟය මඟ හැරවීම සඳහා හදිසි සැලැස්මක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපතිවරයා හමුවීමට හදිසි හමුවීමක් ලබා දෙන ලෙසද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ අන්තර් වෛද්‍ය විද්‍යාලීය කමිටුව ජනපතිගෙන් ඉල්ලා තිබේ.
මහාචාර්ය සමත් ධර්මරත්න ඖෂධ හිඟය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, "බරපතල හදිසි ප්‍රශ්නයක් තියෙනවා. හදිසියේ විසඳන්න විදිහකුත් නැහැ. බෙහෙත් ක්ෂණිකව ගෙනෙන්න බැහැ." ඉදිරි මාස තුනේ සැලැස්ම මොකද්ද? ඔහු විමසා සිටියේය.
නිදහස් සෞඛ්‍ය සේවය බිඳ වැටෙයිද ?
"දැන් මේ රටේ ජනතාව නිරෝගීව ඉන්නේ නිදහස් සෞඛ්‍ය සේවය නිසා. ඒකට ප්‍රධාන හේතුව අපි එක සැරයක් කැස්ස ගමන් අපි ඕ.පී.ඩි එකකට යනවා. ඒකට හේතුව නිකං අපිට හොඳ සේවයක් ලැබෙනවා. ජනතාවට තදබල විශ්වාසයක් තියෙනවා අපේ ඉස්පිරිතාලේ ගැන. මිනිහෙක් එන්න බය නැහැ. එයා දන්නවා බඩගාගෙන හරි, ණය වෙලා හරි, කාර් එකක හරි, ඇවිදගෙන හරි අවොත් මෙතනදී මට බෙහෙත් කරනවා කියලා. එතකොට ඒ විශ්වාසය තමා මේ බිඳී ගෙන යන්නේ" මහාචාර්ය සමත් ධර්මරත්න පෙන්වා දුන්නේය.
ඔහු කියා සිටියේ "අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය හින්දා ලෙඩ්ඩු ලෙඩේ බරපතල වෙන්න ඉස්සෙල්ලා ඉස්පිරිතාලේට එනවා. එතකොට ඒකෙන් රජයට ගොඩක් සල්ලි ඉතුරු වෙනවා. මොකද ළමයෙක් දෙසරයක් කැස්සහාම උණගන්නත් ඉස්සෙල්ලාම ආවාහම අපිට කැස්සට බෙහෙත් දීලා ගෙදර යවන්න පුළුවන්. හැබැයි එහෙම ආවේ නැත්නම් ඒ ළමයා නිව්මෝනියාව හැදිලා එන්නේ. එතකොට ළමයටත් ප්‍රශ්න වැඩී . බෙහෙත් කරන්න රජයටත් යන වියදම වැඩී. නිදහස් සෞඛ්‍ය සේවයෙන් අපි කරලා තියෙන්නේ ඇත්තටම ලෙඩ වැඩි වෙන එක නවත්තලා තියෙන එක. එකෙන් අපි ගොඩක් සල්ලි රජයට හා රටට ඉතිරු කරනවා. එබැයි මේ විදහට ගිහිල්ලා බෙහෙත් නැතිව මිනිස්සුන්ට සැකයක් ඇතිවෙනවා අපේ ඉස්පිරිතාල ගැන."
ශ්‍රී ලංකා "Perinatal" සමාජයේ ඉල්ලීම.
ශ්‍රී ලංකාවේ අලුත උපන් බිළිඳුන් බේරා ගැනීමට සහය ලබාදෙන මෙන් ශ්‍රී ලංකා "Perinatal" සමාජය ඉල්ලා සිටියි.
එම සංගමය පෙන්වා දෙන්නේ, අත්‍යාවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය රෝහල්වල නොමැති තත්ත්වයකට පත්ව ඇති බවයි.
අලුත උපන් බිළිඳුන් රැකබලා ගැනීමේදී මුහුණ දෙන එක් ප්‍රධාන සහ අතිශය තීරණාත්මක ගැටලුවක් වන්නේ ET ටියුබ් හිඟකම බවද "Perinatal" සමාජය පෙන්වා දෙයි.
"ET නල වලින් සියලුම කොටස් පාහේ භාවිතා කර ඇති අතර ET ටියුබ් ඉදිරි සතිවල නොමැති වනු ඇත. පාවිච්චි කරන ලද ET ටියුබ් ඉවත නොදමන ලෙස උපදෙස් දී ඇත. ඒවා නැවත භාවිතා කිරීමට සිදු විය හැකි බැවින් ඒවා පිරිසිදු කර විෂබීජහරණය කරන්න පියවර ගෙන ඇතත්, එය මංමුලා සහගත විසඳුමක් බව ශ්‍රී ලංකා "Perinatal" සමාජය පෙන්වා දෙයි.
"ඖෂධ පරිත්‍යාගවලට ඉඩ"
පවතින තත්ත්වය හමුවේ ඖෂධ ඇතුලු වෛද්‍ය උපකරණ පරිත්‍යාග වශයෙන් භාර ගැනීමද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය පවසා සිටියේ ඇතැම් ඖෂධ සඳහා මාස 06කට තරම් සැපයුම් මේවන විට නොමැති බවයි.
ඇතැම් ඖෂධ මාස 03කට හෝ මාසයකට ප්‍රමාණවත් ලෙස පවතින බව ඔහු පවසා සිටියේය.
කෙසේවෙතත් සමාජ මාධ්‍යවල දක්වා ඇති තරම් හිඟයක් නොමැති බව ඔහු තවදුරටත් පවසා සිටියේය.












