දේශපාලන අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකවට IMF සහය මග හැරෙයිද ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ මේවන විට උද්ගතව ඇති දේශපාලන අස්ථාවරත්වය හමුවේ ජාත්‍යන්තර මුළ්‍ය අරමුදලෙන් සහය ලබා ගැනීම ප්‍රමාද විය හැකි බව ආර්ථික විශ්ලේශකයින් පෙන්වා දෙයි. කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු කැබිනට් අමාත්‍යවරුන් 04 දෙනෙකු පත් කෙරුණු නමුත් ඉන් මුදල අමාත්‍යවරයා පැය 24ක් ඉක්මවායමට මත්තෙන් ඉල්ලා අස්වීමෙන් පසු මේ දක්වා මුදල් අමාත්‍යවරයෙක් පත් කර නැත.
මේ අතර රටේ ප්‍රධානම ආර්ථික මර්මස්ථානය ලෙස සැලකෙන බලශක්ති කේෂත්‍රය සඳහාද මේ දක්වා අමාත්‍යවරයෙකු පත් කර නොමැත. මෙම තත්ත්වය තුළ ජාත්‍යතර මුළ්‍ය අරමුදල සමග සාකච්ඡා ඉදිරියට පවත්වා ගෙන යන්නේ කෙසේද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.
ආර්ථික හා දේශපාලන අර්බුදය මැද නව අර්බුදයක්
නව මහබැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යාංශ නව ලේකම්වරයා ලෙස කේ. එම්. එම්. සිරිවර්ධන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් අප්‍රේල් 07 දා පත්වීම් ලබා ගත්හ. එහෙත් මේ දක්වා මුදල් අමාත්‍යවරයෙකු පත් කර නොමැත. මහජන උපයෝගිතා කොමිසන් සභාව දිගින් දිගටම ඉල්ලීම් කළද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙකු ද මෙතෙක් පත් කර නොමැත.
වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසා සිටියේ, "දේශපාලනික අස්ථාවරවයට විසඳුම් හොයන්න ගිහිල්ලා. අපි අලුත් අර්බුදයක් නිර්මාණය කරගෙන යනවා දැන්. ඒ අර්බුදය තමයි, පාරේ බලපුවම, දවස් තුන හතර ටිපර් නවත්තලා, බස් නවත්තලා, ලොරි නවත්තලා ලංකාවේ සමස්ත ආර්ථික නිශ්පාදන ක්‍රියාවලියම කඩා වැටෙනවා."
"ටිපර් එකක් නවත්තලා තියෙනවා කියන්නේ. ඒ මිනිස්සු ඉස්සරහට ලීසින් ගෙවන්න ඕනේ. බස් කර්මාන්තය වැටෙනවා මේවා ගෙවා ගන්න බැහැ. අනික් පැත්තෙන් විදුලිය නැතිව ගාමන්ට් ටික වැටෙනවා. අනෙකුත් කර්මාන්ත වැටෙනවා. මේකේ අවුට් පුට් එක තාම දැණුනේ නැහැ. මේකේ අවුට් පුට් එක දැනෙන්නේ මේ කාර්තුව අගදී අපි දළ දේශීය නිශ්පාදනය හදනකොට." ඔහු කියා සිටියේය.
මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, "එනර්ජි සෙක්ටර් එක කියන්නේ ඕනෑම රටක මර්ස්ථානයනේ. බලශක්ති කියන්නේ හැමෝටම බලපානවානේ. ඉතින් මේ එනර්ජි සෙක්ටර් එකට තමා අඩුම අවදානය යොමු කරලා තියෙන්නේ."
"දැන් ආර්ථික ක්‍රියාවලිය නවත්තලා තියෙන්නේ. මේ එනර්ජි ප්‍රශ්නය නිසා, අපේ කන්ස්ට්‍රක්ෂන් දුවන්නේ නැහැ. ට්‍රාන්ස්පෝට් වැඩි කරන්නේ නැහැ. කර්මාන්ත දුවන්නේ නැහැ. මේ බලශක්කි අර්බුදය නිසා. අපි එනර්ජි එකට සොලූෂන් හොයන්නේ නැති නිසා. මේ වෙන කොට ව්‍යවාපාරවල ලාභය අඩුවෙලා. ව්‍යාපාර ගණනාවක් වැහෙන්න පුළුවන්. වැහැණම සේවකයෝ ගෙදර යන්න පුළුවන්. ලොරි ටික දුවා ගන්න බැරුව ලීස් ටික ගෙවන්න බැරිවෙනවා. ඒක මේ තියෙන ආර්ථික අර්බුදය නෙමේ. මේක අලුත් එකක්. අලුත් අර්බුදයක් නිර්මාණය වෙනවා." ඔහු පෙන්වා දුන්නේය.
ඩොලරයේ අගය මේවන විට රුපියල් 320 දක්වා ඉහළ ගොස් ඇත. කලු වෙළෙඳපොලේ ඩොලරයක අගය රුපියල් 400 - 460ත් අතර වන බවත්, පවතින තත්ත්වය හමුවේ කෝටි පන් ලක්ෂ දසදහසකින් විදෙස් ණය වැඩි වී ඇති බවද මහාචාර්ය අමින්ද මෙත්සිල සඳහන් කළේය. ඔහු කියා සිටියේ රජයේ සේවක වැටප් ගෙවීම සඳහා රජය රුපියල් බිලියන 119ක් අඟහරුවාදා අලුතින් මුදල් මුද්‍රණය කර ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
IMF සහය ප්‍රමාද වෙයිද?
ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල පසුගියදා නිවේදනය කළේ ශ්‍රී ලංකාවේ වර්ථමාන ආර්ථික තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරන බවයි. මේමස දී ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරය තුළදී ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට සූදානම් බවද ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල සඳහන් කළේය.
කෙසේවෙතත් අගමැති හැර අන් සියලු කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමෙන් පසු, ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයෙකු ඇතුලු කැබිනට් අමාත්‍යවරුන් 04 දෙනෙකු පත් කළ අතර, මුදල් අමාත්‍ය ධුරයට පත් කළ ජනාධිපති නීතිඥ අලි සබ්රි එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දී පැය 24ක් ගත වීමට මත්තෙන් ධුරයෙන් ඉල්ලා අස්විය.
මහාචාර්ය අමින්ද මෙත්සිල විමසා සිටියේ "පාර්ලිමේන්තුවවේ බහුතරය නොමැතිව දේශපාලනිකව අරාජික වෙච්ච තැනක IMF එක මේ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරයිද? පිටින් බලනවා මොකද්ද හෙට වෙන්නේ කියලා. IMF සාකච්ඡා භාගයක් යනකොට ආණ්ඩුවක් වෙනස් වුනොත් මොකද වෙන්නේ. එතකොට IMF එකත් කල් ඉල්ලයි. විසඳුමක් දෙන්න. අපි IMF යනකොට අපිට ප්‍රෝගෑම් එකක් ඕනේ. ඒක සම්මත කරගෙන තමා යන්න ඕනේ. දැන් අලුත් මහ බැංකු අධිපති කෙනෙක් ඉන්නේ. ඒයාට පුළුවන්ද ඒක මේ දවස් ටිකේ කරන්න. පළපුරුද්දක් තියෙන කෙනෙක් වුණත් ඔය වගේ වාර්තාවක් මේ තරම් ඉක්මනට හදන්න පුළුවන්ද?"
"බදු අදායම කොච්චර අඩුවෙයිද? මේ මාසයේ ඔක්කම ආයතන පාඩු ලබනවානේ. ඉදිකිරීම් සමාගම් ඔක්කම පාඩු ලබනවා නේ. අපි මේ කතා කරන්නේ රටේ සිමෙන්ති, තෙල් ඔක්කම රුපියල් 200ට ඩොලර් එක තිබුණ කාලේ ගැන අපි මේ කතා කරන්නේ. ඊළඟට තොගය එන්නේ ඩොලර් එක රුපියල් 300ට. 300 කියන්නේ 1/3ක් වැඩි වෙන්න ඕනේ. ඊළඟ මාසයේ ඉඳන් අලුත් අර්බුදයක්. ආනයන වියදම් වැඩි වෙලා."
ණය අර්බුදයට විසඳුම් සොයන්න ජනපතිගෙන් උපදේශක කණ්ඩායමක්:
බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විශේෂඥතාව පිළිබඳ කීර්තිමත් කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබීය එහි සාමාජිකයින් වන්නේ.
- ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
- ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ සංවර්ධන පරිචය පිළිබඳ මහාචාර්ය සහ ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්තා දේවරාජන්
- ආයතනීය ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ IMFහි අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ෂාර්මිනි කුරේය.
ජනාධිපතිවරයා හමු වූ එම උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සහ අදාළ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තර සන්නිවේදන කටයුතු පවත්වා ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු සාකච්ඡාවට ලක් කෙරිණ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකික ආයතන හා නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම, වර්තමාන ණය අර්බුදයට පිළියම් යෙදීමට සහ තිරසර ලෙස ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබා දීම ජනාධිපති උපදේශක කණ්ඩායමට පැවරී ඇති වගකීමයි.
හියුමන් රයිට් වොච් සංවිධානයෙන් ශ්‍රී ලංකාව ගැන IMF කළමනාකාර අධ්‍යක්ෂ වෙත ලිපියක්
නිව් යෝක් මූලස්ථානය කරගත් හියුමන් රයිට් වොච් සංවිධානය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්, ජාත්‍යන්තර මුළ්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ වෙත ලිපියක් යවා ඇත.
අප්‍රේල් 04 වැනිදා යවන ලද එම ලිපියේ දක්වා ඇත්තේ ශ්‍රී ලකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ මිනිසුන් මංමුලා සහගත දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි.
හියුමන් රයිට් වොච් සංවිධානය දශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කර ඇති අතර, 26 වසරක සිවිල් යුද්ධයේදී දෙපාර්ශ්වය විසින්ම බරපතල මානවහිමිකම් උල්ලංඝනයන් ලේඛනගත කරමින්, නැවත නැවතත් අවතැන් වූ සහ ජීවනෝපාය සඳහා ප්‍රවේශය අහිමි වූ පවුල්වලට එහි බලපෑම ගැන කටයුතු කර ඇති බව හියුමන් රයිට් වොච් සංවිධානය පෙන්වා දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2009 දී යුද්ධය අවසන් වූ දා සිට, ජාත්‍යන්තර කැපවීම් නොතකා, පත් වූ සියලු ශ්‍රී ලංකා ආන්ඩු ඵලදායී හා විනිවිදභාවයෙන් යුත් පාලනයක් සඳහා තීරණාත්මක වන අධිකරණ සහ ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු ස්වාධීන ආයතන වලපල්ලට දමා ඇත.
2019 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ දා සිට මෙම ප්‍රවණතා වඩාත් නරක අතට හැරී ඇත.
දිගු කලක් ආර්ථික වශයෙන් කොන් වී ඇති වාර්ගික දෙමළ ජනතාව ඇතුළු සුළුතර ප්‍රජාවන් ඉලක්ක කරගත් සිද්ධි ගණනාවක් ලේඛනගත කර ඇතැයි ද හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.
පරිපාලනය ද නීතියේ ආධිපත්‍යය බිඳ දමන ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත
හියුමන් රයිට් වොච් සංවිධානය පවසන්නේ, පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට සහය ලබා ගැනීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කරමින් සිටින බව තමන්ට අවබෝධ වන බවයි.
එම සන්දර්භය තුළ, "අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම" සඳහා IMF අවධානය යොමු කිරීම තමන් සාදරයෙන් පිළිගන්නා බවත්, ශ්‍රී ලංකාවේ තත්ත්වය සඳහා කේන්ද්‍රීය වැදගත්කමක් වන පාලනය ශක්තිමත් කිරීම සහ දූෂණ අවදානම් අවම කිරීම සඳහා IMF අවධානය යොමු කිරීම ද සාදරයෙන් පිළිගන්නා බව හියුමන් රයිට්වොච් අවධාරණය කළේය.
එම සංවිධානය පෙන්වා දෙන්නේ මුල් බැසගත් දූෂණය, තිරසාර සහ ආර්ථික වර්ධනය අඩාල කරන බවයි."
ශ්‍රී ලංකාවේ ඕනෑම නව වැඩසටහනක් ආරම්භ කිරීමට පෙර මෙම ගැටළු විසඳීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග සාකච්ඡා කර ඕනෑම වැඩසටහනක පෙර කල් ඇතිව එම වැඩසටහන සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරන බවට සහතික වන ලෙස හියුමන් රයිට් වොච් සංවිධානය ජාත්‍යන්නර මුළ්‍ය අරමුදලෙන් ඉල්ලා ඇත.
2016-19 වැඩසටහනේ අත්දැකීම් පෙන්නුම් කරන පරිදි, ඉතිරිව සිදු කළ යුතුව ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීමට බොහෝදුරට ඉඩ ඇති බවට ඔවුන් පවසයි. එසේ කීමට හේතුවේ ලෙස එම සංවිධානය දක්වන්නේ එවකට අරමුදල සමග පැවති වැඩසටහනේ ප්‍රවේශයේ මූලික කරුණක් වුයේ මහ බැංකුවේ ස්වාධීනත්වය ඇතිකිරීමයි. කෙසේ වෙතත්, එහිදී පොරොන්දු වූ මහ බැංකු පනත කිසි විටෙකත් සම්මත නොවූ අතර, අවසානයේ 2021 ජුනි මාසයේදී වත්මන් රජය විසින් එම පනත අවලංගු කරන ලදී.
සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකම්, ජීවිත සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම IMF වැඩසටහනකට ඇතුළත් කළ යුතු නිර්දේශ කිහිපයක් ද හියුමන් රයිට් වොච් සංවිධානය පෙන්වා දෙයි.
නිර්දේශ:
- ඕනෑම ගැලපීමක පිරිවැය අවම කිරීම සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහන් ප්‍රමාණවත් ලෙස පුළුල් කර ඇති බවට සහතික වන්න.
- රජය විසින් ඉහළ සමාජ වියදම් සඳහා සහාය වීම සහ කාර්ය සාධනය මත පදනම්ව ඇගයීම් අවශ්‍ය වේ.
- රාජ්‍ය වැය සහිත මාතෘ නිවාඩු ලබා දීම සහ දැරිය හැකි මාසික සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශය ඇතුළු බාධක අඩු කිරීම මගින් කාන්තාවන්ගේ රැකියා ප්‍රවේශය වැඩි කිරීමට ප්‍රතිපත්ති ඉල්ලා සිටින්න.
- දරිද්‍රතාවයේ වෙසෙන ජනතාවට තවදුරටත් බරක් නොවන පරිදි ප්‍රගතිශීලී බදු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම.
- ප්‍රතිසංස්කරණවලට පෙර අඩු ආදායම්ලාභීන් සඳහා දැරිය හැකි මිලක් සහතික කිරීම සඳහා ප්‍රගතිශීලී ආකාරයකින් හෝ ප්‍රමාණවත් වන්දි ක්‍රමයක් සමඟින් යම් සහනාධාර අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් ක්‍රියාත්මක කරන්න.
දූෂණය සහ වගවීම
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි නවතම දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව 102 වන ස්ථානයට පත්ව ඇති අතර එය 2019 වසරේ 93 වැනි ස්ථානයේ සිට පහත වැටී ඇත.
IMF IV වැනි වගන්තියේ වාර්තාව නිර්දේශ කරන්නේ "ආණ්ඩුව ශක්තිමත් කිරීමට සහ දූෂණ අවදානම් අවම කිරීමට දරන ප්‍රයත්නයන් දිගටම පැවතිය යුතු බවයි."
ස්වාධීන ආයතන දුර්වල කරමින් සහ විමර්ශන සහ නඩු පැවරීම් වැලැක්වීමට මැදිහත් වෙමින් මූල්‍ය විනිවිදභාවය සහ වගවීම අවහිර කිරීමට ගෝඨාභය රාජපක්ෂ පාලනය නැවත නැවතත් ක්‍රියා කර ඇති යථාර්ථය මෙයින් සනාථ වන බවද හියුමන් රයිට් වොච් සංවිධානය ජාත්‍යන්තර මුළ්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ වෙත යවන ලද ලිපියේහි දැක්වෙයි.
2020 දී සම්මත කරන ලද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මගින්, ජ්‍යෙෂ්ඨ විනිසුරුවන් සහ නිලධාරීන්ගේ පත්වීම් ඇතුලුව ජනාධිපතිවරයාට අසීමිත පාලනයක් ලබා දීමෙන් අධිකරණයේ මෙන්ම ජාතික විගණන කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) ඇතුළු ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය හෑල්ලු කළ බවටද හියුමන් රයිට් වොච් චෝදනා නඟා තිබේ.
මෙම සංශෝධනය මගින් අගමැති කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලය විගණනය කිරීම සඳහා විගණකාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත බලය ඉවත් කර ඇති අතර, අල්ලස් කොමිසමෙහි ව්‍යවස්ථාමය තත්ත්වය ඉවත් කර ඇත. එහෙත් එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අහෝසි කළ හැකි බවට හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.
මෙම වෙනස්කම් රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් අය දූෂණයට වගකිව යුතු වීම දුෂ්කර වන අතර මහජනතාවට තම රජයේ වියදම් තීරණ සුරක්ෂිතව නිරීක්ෂණය කිරීමේ හැකියාවට තර්ජනය කරන බවට ඔවුන් පවසයි.
හියුමන් රයිට්ස් වොච් විසින් ලේඛනගත කර ඇත්තේ රාජපක්ෂ පරිපාලනය විසින් ක්‍රියාකාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන දැඩි සෝදිසි කිරීම්වලට සහ බිය ගැන්වීම්වලට ලක් කරමින් සිවිල් සමාජය ආක්‍රමණශීලී ලෙස මර්දනය කර ඇති බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 දී තේරී පත්වන අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයට අදාළ දූෂණ චෝදනාවලට මුහුණ දී සිටි බවද අදාළ ලිපියෙහි දැක්වෙයි.
Pandora Papers නමින් හැඳින්වෙන මූල්‍ය වාර්තා හෙළිදරව් වීමෙන් හෙළි වූයේ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන්, ආණ්ඩු කරන රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වන අතර, ඔවුන් අවම වශයෙන් ඩොලර් මිලියන 17ක් පමණ කලින් හෙළි නොකළ මුදල් අක්වෙරළ භාරවල තබාගෙන ඇති බවයි.
2019 දෙසැම්බර් මාසයේදී වංචා විමර්ශන සඳහා පසුගිය රජය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කරන ලද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) අහෝසි කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කරන ලදී.
හියුමන් රයිට් වොච් සංවිධානය අයි.එම්.එෆ් කළමනාකරණ අධ්‍යක්ෂ වෙත යවන ලද ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, 2020 ජනවාරි මාසයේ දී, ජනාධිපති රාජපක්ෂ විසින් පසුගිය පාලනය යටතේ තම ඥාතීන්ට සහ දේශපාලන හිතවතුන්ට එරෙහිව ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ දූෂණ පිළිබඳ විමර්ශන අඩාල කිරීම සඳහා දේශපාලන පලිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමේ විමර්ශන කොමිෂන් සභාව පිහිටුවන ලද බවයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය පැවසුවේ 2020 දෙසැම්බර් 8 වැනි දින ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද කොමිෂන්සභා වාර්තාව "මේ රටේ නීතියේ ආධිපත්‍යය හෑල්ලූවට ලක් කිරීමටත්, අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීමටත්, අපක්ෂපාතී හා කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය නැති කිරීමටත් හේතු විය හැකි බවයි.
නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේ විභාග වෙමින් පවතින අල්ලස් හා දූෂණ නඩු 40කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලා අස්කර ගැනීමට නිර්දේශ කර ඇති බවට ඔවුන් පවසයි.
"අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හෝ නීතිපතිවරයා විසින් බොහෝ ප්‍රමුඛ දූෂණ නඩු ඉල්ලා අස්කර ගෙන ඇත. නැතහොත් අධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත."
නිදසුනක් වශයෙන්, දක්වා ඇත්තේ, 2022 ජනවාරි 21 දින, අධිකරණයක් විසින් අල්ලස් චෝදනා ලැබූ පුද්ගලයන් 11 දෙනෙකු නිදහස් කරනු ලැබු බවයි.
ඒ, නඩු පැවරීමේ ලියකියවිලිවලට අල්ලස් කොමිසමේ සාමාජිකයින් තිදෙනා විසින්ම අත්සන් කර නොතිබූ බැවිනි.
දුෂණය හා වගවීම් සම්බන්ධයෙන් ද හියුමන් රයිට් වොච් සංවිධානය වෙනමම නිර්දේශ කිහිපයක් දක්වා ඇත.
ප්‍රධාන නිර්දේශ:
- ආර්ථික වර්ධනයට සහ දූෂණයට එරෙහිව සටන් කිරීමට ප්‍රධාන වන අධිකරණය, විගණකාධිපති, නීතිපති සහ අල්ලස් කොමිසම ඇතුළු ආයතනවල ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ඇතුළත් කරන්න.
- සම්පත් භාවිතය සම්බන්ධයෙන් රජය මහජනතාවට වගකියන ක්‍රියාමාර්ග සැකසීමට සිවිල් සමාජ සංවිධාන සමඟ සමීපව සම්බන්ධ වීම සහ වැඩසටහන ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමේදී සිවිල් සමාජ කණ්ඩායම් සඳහා භූමිකාවක් සහතික කිරීම.
- දූෂණ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණ ප්‍රතිෂ්ඨාපනය කර වගකිවයුත්තන්ට සුදුසු නඩු පැවරීමට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්න.
වගවීම සහ හමුදාවේ කාර්යභාරය
හියුමන් රයිට් වොච් සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යතර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට යවන ලද ලිපියේ දැක්වා ඇත්තේ, ශ්‍රී ලංකාවේ හමුදාව සෞඛ්‍ය, සංවර්ධන සහ කෘෂිකර්මය වැනි අංශ ඇතුළුව සිවිල් රාජ්‍ය කාර්යයන් වැඩි වැඩියෙන් භාරගෙන ඇති බවයි.
හමුදාවේ පාරදෘශ්‍යභාවය නොමැතිකම සහ සීමිත සිවිල් අධීක්‍ෂණය දූෂණයේ සහ වැරදි කළමනාකරණයේ සැලකිය යුතු අවදානම් මතු කරන බවද හියුමන් රයිට් වොච් සංවිධානය පෙන්වා දී තිබේ.
එම සංවිධානය පෙන්වා දී ඇත්තේ, විගණකාධිපතිවරයාට ඇත්තේ හමුදාවේ ගනුදෙනු පිළිබඳ සීමිත අධීක්ෂණයක් පමණක් බවයි.
"මුල්‍ය රෙගුලාසි 237(D) ට අනුව, ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයාට "මුදල් නිසි ලෙස වියදම් කර ඇති බවට සෑහීමකට පත්වී ඇති බව පෙනී යන්නේ නම්, "රහස් සේවා" සම්බන්ධ කාරණා වලදී විගණකාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ මූල්‍ය අධීක්ෂණයට ලක් නොවන බවද හියුමන් රයිට් වොච් සංවිධානය IMF වෙත පෙන්වා දී ඇත.
ප්‍රධාන නිර්දේශ
- රජය සතු ව්‍යවසායන් සඳහා අදාළ වන විනිවිද භාවය පිළිබඳ පියවර හමුදාව සතු ව්‍යාපාර දක්වා ව්‍යාප්ත වන බව පැහැදිලි කරන්න, සහ මෙම හෙළිදරව් කිරීම් සමාලෝචනවල කොටසක් ලෙස සිදු කර ඇති බව ස්වාධීනව තහවුරු කරන්න.
- මිලිටරි වියදම්වල පරිමාණය අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ විගණනය අනෙකුත් දෙපාර්තමේන්තු හා සමාන නිර්ණායක සපුරාලීමට අවශ්‍ය වන අතර, සමාලෝචනවල කොටසක් ලෙස මෙය සත්‍යාපනය කරන්න.
- රාජ්‍ය අරමුදල් භාවිතය වසං කිරීමට භාවිත කළ හැකි "රහස් සේවා" සඳහා විගණන නිදහස් කිරීම්වලට විරුද්ධ වන අතර, අයවැය වගවීම සඳහා වන ජාත්‍යන්තර හොඳම භාවිතයට ආරක්ෂක පියවරයන් අනුකූල විය යුතුය.
ගැඹුරු සහ නරක අතට හැරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වැළැක්වීම සඳහා IMF ශ්‍රී ලංකාව තුළ හදිසි මැදිහත් වීමක් අවශ්‍ය වේ. නමුත් මෙම වැඩසටහන සාර්ථක වීමට නම් අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවිත සහ ජීවනෝපාය ආරක්ෂා කිරීම සහ නීතියේ ආධිපත්‍යයට මුල් බැස ඇති බාධක ආමන්ත්‍රණය කිරීම අවශ්‍ය බව හියුමන් රයිට් වොච් සංවිධානය ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල වෙත යැවු එම ලිපියෙන් පෙන්වා දී ඇත.









