රටේ මතුවී ඇති අර්බුදයට විසඳුම් ආණ්ඩු වෙනසක් ද?

NPP protest in Colombo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මාර්තු 18 දා ජාතික ජන බලවේගය විසින් කොළඹ දී පැවැත්වූ රැළියක දී පවතින රජයට විරෝධතා එල්ලවිය

රටේ පවතින ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ ආණ්ඩු වෙනසකින් හෝ ජාතික ආණ්ඩුවකින්ද? එය මේ දිනවල පවතින සංවාදාත්මක මාතෘකාවකි. පවතින අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුවක් කැඳවු අතර එය අමතමින් හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ආණ්ඩු මාරු කළේ නැත්නම් මින් ඉදිරියට කිසිම ආයෝජකයෙකු මෙරටට නොඑනු ඇති බවයි.

"හානිය ආපස්සට හැරවීමට හැකි එකම මාර්ගය වන්නේ රටේ ආර්ථිකය ප්‍රතිපත්තියට අදාළ මූලධර්ම සම්බන්ධයෙන් සම්මුතියක් තිබෙනවා නම් පමණයි. දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ගත් කළ අපි ක්‍රියා යුත්තේ මේ රාමුව තුළය," සර්ව පාක්ෂික සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ පවසා සිටියේය.

"අපි රාමුවක් තුළ ක්‍රියා කළේ නැත්නම්, ආණ්ඩු මාරු කරන් නැත්නම් මින් පස්සේ කිසිම ආයෝජකයෙක් මේ රටට එන්නේ නැහැ." හිටපු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ "රට සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන දිගුකාලීන ප්‍රතිපත්ති පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ ජාතික සම්මුතියකට පැමිණිය යුතුයි. මෙය විවෘත සංවාදයක් විය යුතුයි. පාර්ලිමේන්තු පක්ෂ ජාතික සම්මුතියකට පැමිණිය යුතුයි." යනුවෙනි.

"සිද්ධ වෙමින් තියෙන්නේ ආණ්ඩු බිඳ වැටීමකට වඩා රාජ්‍ය බිඳ වැටීමක්"

මේ සම්බන්ධයෙන් බීබීසීය සමග අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසා සිටියේ "මේ සිද්ධ වෙමින් තියෙන්නේ ආණ්ඩු බිඳ වැටීමකට වඩා ලංකාවේ රාජ්‍ය බිඳ වැටීමක්" බවයි.

"මේක සාමාන්‍යයෙන් සිදුවන දෙයක් නෙමෙයි. ආණ්ඩුවක් වැටුණොත් ආණ්ඩුවක් බලයට එනවා. රාජ්‍යක් වැටුණොත් රාජ්‍යයක් බලයට එන්නේ නැහැ. රාජ්‍යක් බිඳ වැටෙනවා කියන්නේ විශාල ප්‍රශ්නයක් රටකට. මේ ලංකාව මුහුණ දීලා තියෙන්නේ විශාල ප්‍රශ්නයකට."

ඔහු පෙන්වා දුන්නේ, මෙම ප්‍රශ්නය ශ්‍රී ලංකාව නූතන යුගයට එළඹීමෙන් පසු මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය බවයි.

"එල්.ටී.ටී.ඊ, ජේ.වී.පී මේ ඔක්කම අර්බුද එකට ගත්තත් මෙච්චර විශාල නැහැ. මේක ගොඩ ගන්න පුළුවන් වෙන්නේ සියලු දෙනා එකට එකතුවෙලා විශාල විදිහේ ව්‍යුහමය වැඩසටහනකට යොමු කිරීමෙන්." වික්ටර් අයිවන් පවසා සිටියේය.

"ගෙවුම් ශේෂ අර්බුදය මේ අර්බුදයේ එක අංගයක් පමණයි. මතුපිටින් පෙනෙන්නේ ගෙවුම් ශේෂ අර්බුදය ඇත්තටම මේකේ යට තියෙන බරපතල අර්බුදය තමයි, සමාජ ක්‍රමයේ හා දේශපාලන ක්‍රමයේ තියෙන අර්බුදය. ඔහු පෙන්වා දුන්නේය.

"සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ ඇයි? මේක පවත්වාගෙන යන්න බැරිතරම් අවුලක තියෙන බව ඒ ගොල්ලන්ට වහංගු කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ නැහැ ගැඹුරු න්‍යායික අවබෝධයක් තියෙනවා කියලා මේ අර්බුදය ගැන, ආණ්ඩුවට. එහෙම තියෙනවා නම්, මේ විදහට මේ තරම් මෝඩ විදිහට හැසිරෙන්නේ නැහැ," යනුවෙන් බීබීසීය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රශ්න කර සිටියාය.

වික්ටර් අයිවන් පෙන්වා දුන්නේ "දේශපාලන නායකයෝ අතර සමහර අංශ වලින් තමන්ගේ තත්ත්වය ආරක්ෂා කර ගැනීමට අසමත් වුණත්, මේ ප්‍රශ්නය ගැඹුරින් විග්‍රහ කිරීමේ හෝ තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ රනිල් වික්‍රමසිංහට. ඒක එයා දිගින් දිගටම පෙන්වලා තියෙන දෙයක්. එකෙන් මම කියන්නේ නැහැ එයා තමා ගැලවුම්කාරයා කියලා. නමුත් මෙතෙන ඉන්න පරිනත මිනිසුන්ගෙන් එක්කෙනෙක් එයා."

"මේක විශාල, ප්‍රබල ඒකාග්‍ර උත්සායකින් විසඳා ගතයුතු ප්‍රශ්නයක් කියලයි මම දකින්නේ" ඔහු වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුවේ කාර්ය භාරය

මේ අතර විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රයේ නීතිඥ භවානි ෆොන්සේකා පවසා සිටියේ සර්වපාක්ෂික සමුළුව තුළින් ජාතික ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි තමා අදහස් නොකරන බවයි. "සාකච්ඡාව පටන් ගත්ත එක හොඳයි."

ඇය පෙන්වා දුන්නේ "පාර්ලිමේන්තුවට වැදගත් කාර්ය භාරයක් තියෙනවා මේ දවස්වල. පාර්ලිමේන්තුවෙන් තමා ප්‍රශ්න අහන්න ඕනේ. පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ මේ සාකච්ඡාව. මොකද ඔක්කම පක්ෂ පාර්ලිමේන්තුවේ ඉන්නවා නේ. ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන එක වෙනස් දෙයක්. ඒකත් අවශ්‍යයයි. සාකච්ඡාව අවශ්‍යයි. හැම තිස්සෙම සාකච්ඡාව ගෙනියන්න ඕනේ. නමුත් පාර්ලිමේන්තුවට රෝල් එකක් තියෙන්න ඕනේ. විපක්ෂ දේශපාලන පක්ෂවලට ඒක කරන්න පුළුවන් නම් හොඳයි."

"ප්‍රොටෙස්ට් කරන එක විතරක් මදි. පාරට ගිහිල්ලා ප්‍රොටෙස්ට් කරන එක විතරක් මදි. විරුද්ද පක්ෂය මේක ගේන්න ඕනේ පාර්ලිමේන්තුව මාර්ගයෙන්" ඇය පැවසුවාය.

භවානී ෆොන්සේකා පෙන්වා දුන්නේ, "සමහර අය කියනවා 225 වැඩක් නැහැ. පාර්ලිමේන්තුව වැඩක් නැහැ. මුකුත් කරන් නැහැ කියලා. එතනත් භයානක තත්ත්වයක් තියෙනවා. මොකද සමහර අය හදන්නේ, පාර්ලිමේන්තුවට පිටින් කටයුතු කරන්න. ඒක කරන්නැතිව මේ සාකච්ඡා පාර්ලිමේන්තුව මාර්ගයෙන් ගෙන එක වැදගත්. ලංකාවට මේ මොහොතේ විතරක් නෙමේ ඉස්සරහට යන්නත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයයි. මේක ව්‍යවස්ථානූකූළ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නේ."

විපක්ෂ මන්ත්‍රීවරුන් දස දෙනෙක් රනිල් වික්‍රමසිංහ සමග එක්වෙයිද?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ළඟ සිටින මන්ත්‍රීවරුන් දහ දෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දසදෙනකු රනිල් වික්‍රමසිංහ සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා අරඹා ඇතැයි පැවසූ අමාත්‍යවරයා මන්ත්‍රීවරුන් දසදෙනකු රනිල් වික්‍රමසිංහ එකතුවීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති බවද ඔහු පැවසීය.

අලුත්ගමගේ අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටේ ආහාර ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී ඇතිවූ සංවාදයකදීය.

"හර්ෂ ද සිල්වා මැතිතුමත් අපේ පැත්තට එන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ වැඩ කරන්න උදව් කරන්න." යනුවෙන් ඔහු පැවසීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, "මම විතරක් නොවෙයි. අපේ කණ්ඩායමම ඔය පැත්තේ අසුන් ගන්නවා"

අලුත්ගමගේ අමාත්‍යවරයා එයට පිළිතුරු ලෙස පැවසුවේ: "ඒව ඉතින් දවල් හීන. මුදල් ඇමැතිකම ගන්න මෙයා දැන් ත්‍රීවිල් එකේ යනවා."

"හොඳට මතක තියා ගන්න තව මාස දෙක තුනක් යනකොට බලාගන්න පුළුවන් සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තුමාගේ කීදෙනෙක් ගැලවිලා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක හිට ගන්නවාද කියලා බලමු. තව සුමාන දෙකයි. කැට තියලා කියන්නම්. සුමාන දෙකයි. නම් ටික අහගන්න ඕනේද? එන අයගේ නම් ටික කියන්නද? 8 දෙනෙයි දැනට 10ක් එක්ක කතා කරලා ඉවරයි."

"විපක්ෂ නායකතුමනි. මම ඒ යන අයගේ නම් කියන්නද. නම්වල මුල් අකුරු විතරක් කියන්නම්. හ යන්නෙන් එක්කෙනයි. එ යන්නෙන් එක්කෙනයි. ර යන්නෙන් එක්කෙනයි. ස යන්නෙන් එක්කෙනයි. දැන් ඔය නම් ටික බලා ගත්ත නම් හරි."

"ආණ්ඩුවට තිබෙන 113ක බහුතරය නැති කරනවා."

"මෙවැනි උද්දච්ච - අවලස්සන ඇමරිකානුවකු මුදල් අමාත්‍ය ධුරයෙහි තබාගෙන මේ රටට තවදුරටත් ඉදිරියට යා නොහැකි" බවත් තමන් ඇතුළු පක්ෂ 11ක එකමුතුව ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තිබෙන 113ක බහුතරය නැතිකර, "මේ උද්දච්ච පාලනය අවසන් කරන" බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අවධාරණය කළේය.

"මෙහෙම උද්දච්ච - අවලස්සන ඇමරිකානුවකු තියාගෙන මේ රටට තවදුරටත් ඉදිරියට යන්න බැහැ. අපි ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තිබෙන 113ක බහුතරය නැතිකර, මේ උද්දච්ච පාලනය අවසන් කරනවා."

මාර්තු (24) වැනිදා මහනුවර මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් වෙත 'මුළු රටම හරිමගට' ජාතික වැඩපිළිවෙළ පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේබව පවසා සිටියේය.

"පවතින ආර්ථික අර්බුදයෙන් එළියට ඒමේ මාවතක් 'මුළු රටම හරි මගට' නමින් අපි ආණ්ඩුවට පෙන්වා දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අමාත්‍යවරුන් දෙදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් කෙරුණා. අපි එය සතුටින් භාරගත්තා. පක්ෂ 11ක එකමුතුව විදිහට ඉහත කී 'මුළු රටම හරි මගට' ජාතික වැඩපිළිවෙළ මහනාහිමිවරුන්ට පිළිගැන්වීමටයි අද දින මහනුවරට පැමිණියේ. එමගින් අපේ ඉදිරි වැඩපිළිවෙළ මහනාහිමිවරුන්ට අපි ඉදිරිපත් කරනු ලැබුවා," යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ සඳහන් කළේය.

"ආණ්ඩුව පත්ව ඇති අර්බුදයෙන් ගොඩඒමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යොදාගන්නා බවක් සර්ව පාක්ෂික සමුළුවේදී දැකගත හැකි වු බවක්" මාධ්‍යවේදීන් මෙහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයාගෙන් විමසා සිටි අවස්තාවේදී ඊට පිළිතුරු දුන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා සිටියේ, "රනිල් වික්‍රමසිංහ මහත්තයාව පාවිච්චි කරනවාද, එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමැත්තෙන් පාවිච්චි වෙනවාද, කියන එක මෙතැන වැදගත් නැහැ. කොහොම නමුත් එම සර්ව පාක්ෂික සමුළුවේදීත් මුදල් අමාත්‍යවරයාගේ හැසිරීමෙන් පෙන්වූ දෙයයි වැදගත්."

"සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා, සමගි වෙලා වැඩ කරන්න. එකතු වෙලා, සමගි වෙලා වැඩ කිරීම කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍යවරයකුට 'ඔයා' කියා කතා කරන්න මම සුදානම් නෑ යුවෙන් පෙන්වීමට තරම් තමන් උද්දච්ච මිනිහෙක් බව මුදල් අමාත්‍යවරයා එහිදී පෙන්වූවා. එතැනදීත් මුදල් අමාත්‍යවරයාට අවශ්‍ය සමගිය නොවෙයි ගැටුම. මෙහෙම අවලස්සන, උද්දච්ච ඇමරිකානුවකු තියාගෙන අපේ රටට ඉදිරියට යන්න බැහැ. අපි ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තිබෙන 113ක බහුතරය නැති කරනවා, ඔය උද්දච්ච පාලනය අවසන් කිරීමට."

විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ "අනේ මේ ඔය මොන රාජපක්ෂ කෙනෙක්වත් මේ රටේ පාලනතන්ත්‍රයට ගෙනඒමට අපි නම් ජීවිතේට කඩේ යන්න බලාපොරොත්තුවක් නැහැ. අපි මෙහෙම ක්‍රියාමාර්ගයක් ගැනීම නිසා විපක්ෂයේ ඇතැමුන් තමන්ට තිබෙන 'මාකට් ෂෙයා' එකට පහර වදීවි කියා බිය වී සිටින නිසයි එහෙම බොරු පද හදන්නේ. අපි මේ රටට ආදරේ නිසයි දේශපාලනය කරන්නේ, අපේ තනතුරු ගැන වද නොවෙන්නේ, තනතුරු අත්හරින මානසිකත්වයක් අපට තිබෙන්නේ."

"මේ රට වෙනත් රටක කොලනියක් වෙන්න - මේ රටේ සම්පත් ටික විජාතිකයන්ට බිලි දෙන්න ඉඩ දී අපට නිහඩව සිටීමට බැහැ. ඒ නිසයි අපි මේ අවංක ක්‍රියාමාර්ග ගන්නේ. එහෙම ක්‍රියාමාර්ග ගනිද්දිත් කවුරුහරි ඔය වගේ ගොන් කතා කියනවා නම් ඒ අයගෙන් ඇසිය යුතුයි, 'ඇයි ඔයාලා ඔය තරම් ගොන්?' කියා."

මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියේ, 2019 ජනාධිපතිවරණ වේදිකාවේදී කියූ දේ සම්බන්ධයෙන් ජනතාවගෙන් මන්ත්‍රීවරයා සමාව ඉල්ලිය යුතු නොවේද යන්න පිළිබඳවයි.

මෙහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේ, "ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනේ මේ වැරැද්ද දැකදැක ඔහේ සිටියානම්. ඒ වැරැද්දට එරෙහිව නැගිටපු අපට සමාව ඉල්ලන්න අවශ්‍යතාවක් නැහැ. අපි එදත් කිව්වා, අපි පත් කරන ආණ්ඩුව වැරැද්දක් කළොත් ඊට එරෙහිව හිටගන්නවා, කියා. එහෙම කියලා ඒක නොකර හිටියොත් තමයි සමාව ගත යුත්තේ. සජිත් ප්‍රේමදාස හදන්න ගිය 'සුරංගනා ලෝකයට' වඩා මේ හැදිච්ච සුරංගනා ලෝකය භයානකකමින් අඩුයි. එයා හදන්න ගිය සුරංගනා ලෝකය හැදුණා නම් මෙහෙමවත් රට ඉතිරි වෙන්නේ නැහැ."

පාර්ලිමේන්තුව තුළින් ආණ්ඩුව පෙරළා දැමිය හැකිද?

පාර්ලිමේන්තුව තුළින් ආණ්ඩුව පෙරළා දමන්නේ කෙසේදැයි 43 සේනාංක නායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පසුගියදා හෙළිදරව් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව තුළ වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සරළ බහුතරය අහිමි වීම සඳහා තවත් ඇත්තේ මන්ත්‍රී ආසන 3 ක වෙනසක් පමණක් බවය.

"හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් සිදු කරන විවේචන මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිට පසුගියදා අමාත්‍ය ධුරයන්ගෙන් ඉවත් කරන ලද විමල් - ගම්මන්පිල ප්‍රමුඛ පක්ෂ 11 සන්ධානය බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් දැන් සිදු කරන ප්‍රකාශ සැබෑ අවංක විවේචනයන් නම්, සමගි ජන බලවේගය තුළ සිටින පැහැදිලිව වත්මන් ආණ්ඩුව එළවා දැමීම සඳහා අවංකව කටයුතු කරන අය යන මේ සියල්ලන් පාර්ලිමේන්තුව තුළ වත්මන් ආණ්ඩුවට එරෙහිව අවංකව කටයුතු කරන්නේ නම් ආණ්ඩුවේ සරළ බහුතරය අහිමි වීම පැහැදිලිව නුදුරේදීම සිදු විය හැක්කක්" බව චම්පික රණවකගේ අදහසය.

ඔහු පෙන්වා දුන්නේ "රාජපක්ෂවරු යවන ක්‍රමය ගැන කතා කරන සර්වපාක්ෂික සමුළුවක් තිබේ නම් තමන් ඉතා කැමැත්තෙන් ඊට සහභාගී" වන බවය.

"රටට දැන් අවශ්‍යයි පුළුල් සන්ධානයක්. පොදු එකඟතාවයක්. මේ අර්බුධයෙන් ගැලවෙන්න මේ තනි මතවලට, තනි ගමන් වලට වඩා සාමූහික ප්‍රයත්නයක් රටට දැන් අවශ්‍යයි. එකිනෙකට වෙනස් මත තියෙන අය එකතු කරගන්න එක ඉතාම දුෂ්කර දෙයක්. නමුත් මේ මොහොතේ රටට අවශ්‍ය කාරණය ඒක තමයි. ඒ සඳහා අපි එක්සත් ජාතික පක්ෂය එක්ක විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජපක්ෂවරු නොවන වෙනස් අදහස් දරන ප්‍රගතිශීලී සියලු දෙනා එක්කම කටයුතු කරන්න සූදානම්."

"එක්ව කටයුතු කරමු"

"රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු" යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙමළ ජාතික සන්ධානය සමග අද පැවති සාසාකච්ඡාවේදී පැපැවසීය.

තමා සමස්ත රටවැසියන්ගේ නායකයා ලෙස සියලු ජනතාව කෙරෙහි එක ලෙස අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේය.

දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය ක්‍රියා කරමින් ඇති බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

තවදුරටත් එක් ව කටයුතු කිරීමෙන් උතුරු - නැගෙනහිර ඇතුළු රටේ සමස්ත ජනතා අරමුණු ඉටු කර, රට සංවර්ධනය කරා ගෙන යා හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ශ්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමඟින් රට සෞභාග්‍යය කරා යාම තම අපේක්ෂාව බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සඳහන් කළේය.

රටක් ලෙස අප එකතු විය යුතුයි. එක රටක්, එක ජාතියක් ලෙස ක්‍රියා කරමින් පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව සම්බන්ධන් එහිදී පවසා සිසිටියේය. ශ්‍රී ලංකාව පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත් වනු දැකීමට තමන් කැමැත්තෙන් පසුවන බව සම්බන්ධන් පැවසූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේය.

දීර්ඝ කාලයක් අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ සිටින පිරිස් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර, දීර්ඝ කාලයක් වගා සඳහා යොදා ගත් ඉඩම් ඒ සඳහා නිදහස් කිරීම, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම, නව ව්‍යවස්ථාව දෙමළ සහ සිංහල භාෂාවන්ට පරිවර්තනයෙන් පසු ඊට එක් විය යුතු සංශෝධන සාකච්ඡා කිරීම, උතුරු - නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානයට යොමු කෙරිණි ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

නිදහස් පක්ෂයේ ස්ථාවරය

දැනට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් මෙරට ගොඩගැනීමට තමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට යෝජනා කළ සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීමට ජනාධිපතිතුමා ගත් තීරණය අතිශයින්ම අගය කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් පවතින රටක, සර්ව පාක්ෂික සමුළු කැදවන්නේ ජාතික ආපදාවක්, ආර්ථික අර්බුධයක් වැනි අසීරු අවස්ථාවකදී පුළුල් පෙරමුණක් ලෙසින් ඒකී අර්බුධකාරී තත්ත්වය සමනය කිරීම සදහා අදහස් හා යෝජනා ලබාගැනීම සඳහාය.

ඒහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන දේශපාලන පක්ෂ, කණ්ඩායම් මෙන්ම උද්ගත තත්ත්වය සම්බන්ධයෙන් උනන්දු සියලු පාර්ශව එක්ව සාකච්ඡා කිරීම සාමාන්‍ය සම්මතය බව මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙයි.

වර්තමානෙය් ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති තත්ත්වය බරපතල ආර්ථික සමාජ හා දේශපාලනික අර්බුධයක් වුවත්, එය අර්බුධයක් ලෙසින් ප්‍රකාශයට පත් නොකිරීම කිසිසේත්ම ප්‍රඥා ගෝචර නොවේ යනුවෙන් ඔහු පැවසීය.

මෙම තත්ත්වය තුළ යෝජිත සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලබන්නේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සමනය සදහා බවට ඔහු පවසයි.

එසේම මෙම සමුළුව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දෙන පහත සදහන් යෝජනා බහුතරයක් කෙටිකාලීන යෝජනා වන අතර, ඒම යෝජනාවන්හි ප්‍රගතිය මත ඉදිරි මධ්‍ය හා දිගු කාලීන යෝජනා ශ්‍රී ලංකා පක්ෂය ඉදිරිපත් කෙරෙනු ඇත යනුවෙන් නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.

"සර්ව පාක්ෂික සමුළුවෙහි අපේක්ෂිත කාර්ය සාධනය ප්‍රාමාණික හා සාධනීය වනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි."

සර්ව පාක්ෂික සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනා

  • ආර්ථීක කඩාවැටීම ඇතුළු සමකාලීන අර්බුදය පිළිබඳව රජය නොපමාව ජනතාවට සත්‍ය තොරතුරු සම්පාදනය කළ යුතු අතර මෙම අර්බුධකාරී තත්ත්වයෙන් අත්මිදීමේ ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත් පිළිබඳවත් ඒවාට ජනතා සහය කෙසේ හිමිවිය යුතුද යන්න පිළිබඳවත් පුලුල් කතිකාවක් ආරම්භ කළ යුතුයි.
  • හිටපු මහ බැංකු ප්‍රධානීන්, ආර්ථික උපදේශකයන්, මුදල් මණ්ඩල, මුදල් අමාත්‍යාංශ වගකිවයුත්තන් ආර්ථික අර්බුදයක් පිළිබඳ නිවැරදි තොරතුරු කල්තියා අනාවරණය නොකිරීම බරපතල තත්ත්වයකි. එනිසා විෂයානුබද්ධ ප්‍රවීණයන් සමගින් ඉදිරි මාස 06ක් වසරක් හා වසර 02 වත් දක්වා ජාතික ආර්ථිකය, මුළ්‍ය කළමනාකරණය ආදී ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් වලංගු පුරෝකතනයන් සිදුකර ඊට අනුකූළව සැලසුම් කිරීම කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස යි.
  • නිෂ්පාදනයේ කිසිදු ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක ප්‍රසාරණයක් වර්තමානයේ දැකිය නොහැකි බැවින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම වහා සීමා කළ යුතු යැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.
  • විද්වතුන්, විෂයානුබද්ධ ප්‍රවීණයන්, පර්යේෂකයන්, වෘත්තිකයන් ආදීන් සමග ඇති කරගන්නා පුළුල් හා ඉක්මන් සංවාදයක් පදනම් කරගනිමින් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කිරීමේ හා රාජ්‍ය ආදායම වැඩිකරගැනීමේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ක්‍රමෝපාය හඳුනා ගත යුතු අතර එම ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීමට වැඩි ප්‍රමුඛතාවක් ලබාදිය යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි.
  • ආර්ථික අර්බුදයේ කේන්ද්‍රීය කරුණක් වන්නේ විදේශීය ණය ආපසු ගෙවීමේ නොහැකියාව යි. ඩොලර් බිලියන 06කට ආසන්න ණය වාරික ගෙවීමේ අභියෝගය කළමනාකරණය කරනු පිණිස විශේෂ උපදේශක කමිටුවක් මඟින් සියලු ණය ලබාගත් ජාත්‍යන්තර මුල්‍ය සංගත හෝ රාජ්‍යයන් ඇතුළු සියලු පාර්ශව ආමන්ත්‍රණය කර ණය වාරික ගෙවීම ප්‍රතිව්‍යුහගත කරගැනීමේ ක්‍රියාපිළිවෙතක් ඇරඹිය යුතුය. ඒ සදහා සුදුසු විශ්වාසවන්ත ජාත්‍යන්තර සහායක රාජ්‍යයක හෝ ආයතනයක මැදිහත්වීම නොපමාව ලබාගත යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.
  • එවැනි මැදිහත්වීමකදී පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමෝපායික යෝජනාවට එකඟවිය යුත්තේ ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රමවේදය දේශීය වශයෙන් සම්පාදනය කිරීමේ කොන්දේසිය මත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි.
  • ජාත්‍යන්තර සහය ලබාගැනීමේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා පාරදෘෂ්‍යභාවය පිළිබද එම ආයතන සෑහීමකට පත් නොවන්නේ නම්, ඒ සදහා උපයුක්ත ව්‍යවස්ථා සංශෝධන හෝ අනපනත් නොපමාව සම්මත කිරීමට හෝ/හා අවලංගු කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය යි.
  • ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් විය යුත්තේ රාජ්‍ය වියදම් සීමා කිරීමය. ඒ සදහා වත්මන් කැබිනට් අමාත්‍යංශ විෂය පථයන් මනා අධ්‍යයනයකින් පසුව සුදුසු පරිදි ඒකාබද්ධ කොට කැබිනට් මණ්ඩලය සැලකිවයුතු ලෙසින් අඩු කළ යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.
  • වී සහ වෙනත් ආහාර භෝග හා අපනයන භෝග සඳහා පසුගිය කාලයේ ක්‍රියාත්මක කෙරුණු පොහොර ප්‍රතිපත්තිය වහා සමාලෝචනය කළ යුතු අතර යල කන්නය සඳහා අවශ්‍ය රසායනික/කාබනික පොහොර කඩිනමින් ලබාදීම අත්‍යවශ්‍ය වේ.
  • පසුගිය 2021 වසර අගදී ඉදිරිපත් කළ 2022 අයවැය යෝජනා වහා ප්‍රතිශංශෝධනය කර නව පරිපූරක ඇස්තෙම්න්තුවක් ඉදිරි මුදල් වර්ෂය සදහා ඉදිරිපත් කළ යුතු බවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි. එහිදී ඒම අයවැය යෝජනා අතර ඇති බොහෝ වැය ශීර්ෂ අර්බුදයට සංවේදී දෘෂ්ටි කෝණයකින් හදාරා අනවශ්‍ය වැය ශීර්ෂ කපාහැර තියුණු ලෙස රාජ්‍ය වියදම් ප්‍රමුඛතාකරණය කර 2022 මැයි මස අවසන් වීමට ප්‍රථම නැවත සම්මත කරගත යුතුව තිබේ. උදාහරණ වශයෙන් යෝජිත කුඩා හා මධ්‍යම පරිමාණ සංවර්ධන ව්‍යාපෘති හා ප්‍රතිලාභ බෙදීම් ප්‍රමුඛතා අනුපිළිවෙලකට සකසා ක්‍රියාත්මක කළ යුතුය.
  • ආර්ථික අර්බුදයේ ආසන්නතම අතුරු ඵලය ලෙස කෙටිකාලීන හා දිගුකාලීන තදබල සෞඛ්‍යය ප්‍රශ්න උද්ගත වීම සිදුවනු ඇත. අත්‍යවශ්‍ය ඖෂධ ආනයන නොකිරීමෙන් මෙම තත්ත්වය තවතවත් උග්‍රවනු නොඅනුමානය. මීටම සමගාමීව වෙනත් මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමටද නොහැකි වනු ඇත. එම තත්ත්වය දැඩිව සැලකිල්ලට ගනිමින් මානව සුභසාධනය සඳහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයැයි යෝජනා කරමු. උදාහරණ වශයෙන් හදිසි සෞඛ්‍ය කළමනාකරණ හා මෙහෙයුම් සැළසුමක් මෙන්ම ක්‍රියාන්විතයක් සඳහා සෞඛ්‍ය අංශ සූදානම් කිරීමේ අවශ්‍යතාව දක්විය හැකිය.
  • ආර්ථික අර්බුදයේ සාමාජයීය බලපෑම් උපරිම වන්නේ ඛනිජ තෙල් සැපයුම අඩාලවීමත් සමගය. එහෙයින් ලෝක වෙළඳ පොලෙහි හැසිරීමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල නියාමනය සඳහා මිල සූත්‍ර ක්‍රමවේදය වහා යළිත් ක්‍රියාත්මක කළ යුතුයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.
  • ආර්ථික අර්බුධයේ සමාජ බලපෑම විදුලි අර්බුධය නිසාද උත්සන්න වෙයි. අප රටේ දෛනික ඉහළම විදුලි බල ඉල්ලුම මෙ.වො. 2500 නොඉක්මවයි. මුළු විදුලි නිෂ්පාදන ධාරිතාවය මෙ.වො. 4000 ක් පමණ වේ. එනිසා සත්‍ය වශයෙන්ම විදුලි බල අර්බුදයක් රට තුළ උද්ගත විය නොහැක. එහෙත් සිදුවී ඇත්තේ ජල විදුලි නිෂ්පාදනය අඩුවන විට ප්‍රධාන විකල්පය ලෙස භාවිත වන ඩීසල් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන හිඟ වීමයි. එනිසා ක්ෂණික කෙටි කාලීන හා මධ්‍ය කාලීන වශයෙන් විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධව පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරයි.
  • 2019 සිට කොවිඩ් වසංගතය හා විවිධ හේතූන් නිසා සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සැමරීමට ජනතාවට හැකි වූයේ නැත. ඒම සංස්කෘතික අත්දැකීම වසර කිහිපයක් අත්විඳීමට නොහැකිවීම මනෝ විද්‍යාත්මකව විශේෂයෙන්ම පූර්ව ළමාවියේ හා පසු ළමාවියේ දරුවන්ගේ සංස්කෘතික ස්මෘතිය වර්ධනයට දැඩි ලෙස බලපා ඇත. මෙවර උත්සව සමය සැමරීම පිළිබද විශ්වාශයකින් ජනතාව සිටියද ආර්ථික අවපාතය නිසා ඒම අවස්ථාවද අහිමිවන බව පෙනේ. මෙම තත්ත්වය මත, ළඟ එන උත්සව සමයේදී හෝ හැකි උපරිම සහන ජනතාවට සැලසීම වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය විශේෂ විධිවිධාන යෙදිය යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය යි.
  • පසුගිය වසර 40ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කැපී පෙනෙන නිරීක්ෂණයක් වන්නේ ආදායම් බෙදීයෑමේ විෂමතාව බරපතල ලෙස වැඩිවී තිබීමයි. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3600 ඉක්මවා තිබුණද අන්ත දිළිදු තත්ත්වයේ පසුවන පුරවැසියන්ගේ සංඛ්‍යාව තීරණාත්මක ලෙස වැඩිවී තිබේ. ජාතික ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වරප්‍රසාද ලත් කුඩා පිරිසක් අත පමණක් රැඳී තිබීම මෙවැනි අර්බුධයක සාමාජීය බලපෑම තීව්‍ර කරයි. එබැවින් 'ඇති නැති පරතරය' අවම කිරීම සදහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු නොපමාව ගත යුතුයැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.
  • ආර්ථික අර්බුධයේ බලපෑම උග්‍ර ලෙසම වතුකර, ග්‍රාමීය හා නාගරික දිළිදු ජන කොටස් අන්ත අසරණ තත්ත්වයට පත් කර ඇත. එසේම දැන් එහි බලපෑම පහල මධ්‍යම පන්තික පුරවැසියන් හටද තදින් දැනේ. දෛනික වැටුප් ලබන ශ්‍රමිකයන්, කම්කරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ආදී ප්‍රාථමික ඉපයීම් කණ්ඩායම්ද අකර්මන්‍යය ය. මෙම නිෂ්පාදක කණ්ඩායම්ද අර්බුදයේ වින්දිතයින් වීම හා සහනාධාර අපේක්ෂිතයින් වීම ඉදිරි ආර්ථික ප්‍රතිස්ථාපන සැලසුම් වලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. එසේ හෙයින් නිෂ්පාදන ආර්ථිකයක එබඳු කණ්ඩායම් නගා සිටුවීම සඳහා කළ යුතු මැදිහත්වීම ප්‍රමුඛතාකරණය කළ යුතුයැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.
  • සීමිත පිරිසකට ආනයන බලපත්‍ර ලබාදීමේ පිලිවෙත වෙනුවට ආනයන භාන්ඩ ප්‍රමුඛතාකරණය කිරීම මෙන්ම තීරුබදු ඔස්සේ ඇතැම් භාණ්ඩ ආනයනය සීමා කිරීමට කටයුතු කිරීම වඩාත් උචිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස යි. එහිදී අත්‍යවශ්‍ය ආනයන පිළිබඳව ප්‍රායෝගික ප්‍රමුඛතා ලේඛනයක් පිළියෙල කිරීම සිදු කළ යුතුය. උදාහරණ වශයෙන් ඖෂධ, ළදරු හා අත්‍යවශ්‍ය ආහාර, ඛණිජ තෙල්, කර්මාන්ත අමුද්‍රව්‍ය ආදී දේ හඳුනාගැනීම තුළින් ජනතාව දැඩි අසීරුතාවයකට ලක්වන පෝලිම් තත්ත්වය නිරාකරණය කරගත හැක. මේ සඳහා දැනට රජය පාර්ශවයෙන් යෝජනා වී ඇති ආනයන බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය විනිවිද භාවයෙන් තොර බැවින් බදු පැනවීම හා ලිහිල් කිරීම තුළින් අදාළ ආනයන පාලනය කෙරෙහි ආර්ථික විද්‍යානුකූලව කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වේ.
  • අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල පාලනයකින් තොරවීමද ආන්තික ජනකොටස් අපහසුතාවට පත්වීමට හේතුවී තිබේ. එසේ හෙයින් නියමිත යාන්ත්‍රණ හා ආයතනික ව්‍යුහ ඔස්සේ භාන්ඩ මිල හා භාන්ඩ වල ගුණාත්මය පිළිබඳ නිරතුරුව සොයාබැලීමද කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාශ කරයි.
  • ආර්ථික අර්බුධය නිසා ජනතාව අපහසුතාවන්ට පත්වීමෙන් ඇතිවිය හැකි සමාජ නොසන්සුන්තා, අසසහනකාරී තත්ත්වයන් සංයමයෙන් හා සංවේදීව සමනය කිරීමට සුදුසු ක්‍රමවේද සකස් කිරීමට රජය උත්සුක විය යුතුය.
  • ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුධය පිළිබඳ සැබෑ තත්ත්වය පැහැදිළි කරමින් එම අර්බුධය නිසි කාලරාමුවක් තුළ ජය ගැනීමට අවශ්‍ය ණය හෝ ප්‍රදානයන් නොව, ආර්ථික වෙළඳපොල අවස්ථා දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මිත්‍ර රටවල නියෝජිතයන් කැඳවා රාජ්‍ය තාන්ත්‍රික සමුළුවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස යි.
  • අර්බුදය කළමනාකරණය කිරීම සඳහා බාහිර පාර්ශවයන්ගෙන් ලැබෙන සම්පත් හා ආධාර මෙන්ම අප විසින් යෝජනා කර ඇති අයවැය යෝජනා ප්‍රතිශංශෝධන කිරීමෙන් පසු ඒ ඒ අමාත්‍යාංශ හෝ ආයතන වෙත හිමිවන වැය ශීර්ෂ මනා විනිවිදභාවයකින් යුක්තව කළමනාකරණය කිරීම උදෙසා ප්‍රසම්පාදන කොමිසම හා විගණන කොමිසම කඩිනමින් සක්‍රිය කළ යුතුය.
  • රාජ්‍ය අංශයේ සියලු තලයන්හි සිදුවන දූෂණ අක්‍රමිකතා හා වංචා වැළැක්වීම සඳහා පූර්ණ බලතල සහිත විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත නියාමන කොමිසමක් වහා ස්ථාපනය කළ යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි.

රනිල්ට අගමැතිකම දෙන්නෙ නැහැ

රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමේ කිසිදු සූදානමක් නැතැයි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (මාර්තු 28) අවධාරණය කළේය.

පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසා සිටියේ අගමැති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා මේ වන විට එම තනතුර දරන බවයි.

අගමැති ධුරය සහ ජාතික ආණ්ඩුවක් පිළිබඳව පළ වන වාර්තා පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අදහස් පළ කරමින් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසා සිටියේ රනිල් වික්‍රමසිංහට අගමැතිකම ලබා දීමට තරම් "මොලේ අමාරුවක්" සිය පක්ෂයේ කිසිවෙකුට ඇතැයි, තමන් නොසිතන බවයි.