ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර යි - මහ බැංකුව පවසයි

Central bank

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර බව ශ්‍රී ලංකා මහ බැංකුව අද අවධාරණය කළේ ය.

සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකින් පසු මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ රාජ්‍ය බැංකුවල කටයුතු සුමට ලෙස සිදුවන බව යි.

මෙරට රාජ්‍ය බැංකුවක් ණය ගෙවීම් පැහැර හැරීමේ තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැ යි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ දී විවාදයට එක්වෙමිනි.

"ඉතාම කණගාටුවෙන් මම මේ කතාව කියන්නේ දැන්. අපිට ආරංචි වෙලා තියෙනවා රජයේ බැංකුවක් ඩිෆෝල්ට් කරල තියනවා කියල අද උදේ. කරුණාකරලා වහාම මේ ගැන හොයලා බලන්න," ඔහු ප්‍රකාශ කළේ ය.

"මම මේ පාර්ලිමේන්තුවේ කතාවක් කරා මාස තුනකට කලින්. මම කිව්වා බයි සෙල් ස්වොප් කරනවා, ඒ කියන්නේ අමනෝඥ නීතියක් දාලා තිබුණා රුපියල් දෙසීයට වඩා ඩොලර් එක විකුණන්න බැහැ කියලා. බැංකුවලට 200ට වඩා කළු කඩෙන් ගන්න හැකියාවකුත් නැහැ. හැබැයි ඒ කට්ටියට ඩොලර් ඕනේ. ඒගොල්ලො මොකද කළේ, සමහර බැංකු රුපියල් 200ට ගත්තා මාස තුනකින් රුපියල් 185ට ඒවා විකුණන්න නම් කියන පොරොන්දුවෙන් ස්වොප් කළා. ඉට් වොස් අ නෙගටිව් ප්‍රිමියම්. සාමාන්‍යයෙන් ඉස්සරහට යනකොට අද දෙසීයට ගන්නවා නම් අපි දන්නවා උද්ධමනය මෙච්චර වැඩියි, මෙච්චර සල්ලි අච්චු ගහනවා, රුපියල අවප්‍රමාණය වෙනවා, එහෙමනම් අපි රුපියල් දෙසීයට ගන්නවා නම් 200ට 201ට තමයි ඇග්‍රිමන්ට් එකට එන්නේ. හැබැයි මේ බැංකුව කිව්වා 185ට විකුණනවා කියලා. මම මෙතන ලොකු කතාවක් කරල කිව්වා මේක ඉතාමත් අවදානම්, මුළු බැංකු පද්ධතියම කඩා වැටෙන්න පුළුවන් කියලා. සත පහකට ගණන් ගත්තේ නැහැ."

"හැබැයි මේ වෙලා තියෙනව කියන කතාව ඇත්ත නම්, මේක ව්‍යසනයක මුල. අද 185ට ගන්න බැහැ ඩොලර්. අද ඩොලර් එක 285 යි, 290 යි. එතකොට එක ඩොලර් එකකට බැංකුවට රුපියල් සීයක පාඩුවක් තියෙනව නම් කාගේ සල්ලිද මේ බැංකුවල තියෙන්නේ? මේ බැංකුවල තියෙන්නේ නිවාඩ් කබ්රාල්ගේ සල්ලි ද? බැංකුවේ සභාපතිගේ සල්ලි ද? එහෙම නැත්නම් මේ වැඩ කරන මේ රටේ ජනතාවගේ සල්ලි ද? රටේ ජනතාවගේ සල්ලි. ඒවට ප්‍රශ්නවලට උත්තර දෙන්න එන්නේ නැත්නම් කොහොන්ද මේවා අහන්නේ, කාට ද මේවා කියන්නේ?" මන්ත්‍රීවරයා පර්ලිමේන්තුව අමතමින් ප්‍රශ්න කර සිටියේ ය.

"බැංකු පද්ධතිය ඉලක්ක කරගෙන බොරු චෝදනා එල්ල කරනවා"

විපක්ෂය නියෝජනය කරන පිරිස් මෙරට බැංකු පද්ධතිය ඉලක්ක කරමින් අසත්‍ය චෝදනා එල්ල කරන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී චෝදනා කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ එය අනුමත කළ නොහැකි බව යි.

"රාජ්‍ය බැංකු කඩා වැටෙනවා කිව්වම මේ ජනතාව ඇවිස්සෙනවා. අසත්‍ය ප්‍රකාශ සමාජගත කරන්න එපා," අමාත්‍ය විජේසේකර ප්‍රකාශ කළේ ය.

මේ අතර මහජන බැංකුවේ සභාපති වරයා මාධ්‍යවෙත පවසා ඇත්තේ තම බැංකුව එවැනි ගැටළු ඇති කරන ආයතනයක් නොවන බවත් මිනිස්සු නොමග යවන්න බොරු ප්‍රචාර කරන බවයි.

"මහජන බැංකුව අර්බුදයක පවතින බව අමූලික බොරුවක්. මේ දවස්වල රටේ ඩොලර් හිඟයත් එක්ක ණයවර ලිපි දෙක තුනක් (LCs) ඇනහිටලා තිබුණා. නමුත් අද අවශ්‍ය ඩොලර් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා දෙනවා. ඉතින් ඒ ප්‍රශ්නය අදින් ඉවරයි. වෙන ප්‍රශ්නයක් නෑ. රුපියලෙත් ප්‍රශ්නයක් නෑ, මේවා සම්පූර්ණ අසත්‍ය ප්‍රචාර. කලබල විය යුතු නැත, මහජන බැංකුව ගැටළු ඇති කරන ආයතනයක් නොවේ. මේවා මේ මිනිස්සු නොමග යවන්න කියන බොරු," මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ ලංකානිවුස්වෙබ් වෙබ් අඩවියට පවසා තිබුණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

"ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර යි"

මහ බැංකුව අද නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියේ, බැංකු පද්ධතිය ස්ථාවර බව මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ට තහවුරු කර සිටින බව යි.

රාජ්‍ය බැංකුවල කටයුතු සුමටව සිදුවන බවට සහතික වන බව ද මහ බැංකුව සඳහන් කළේ ය.

බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදුකර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන බවද අදාල නිවේදනයේ සඳහන් වෙයි.

banks are stable says the central bank

ඡායාරූප මූලාශ්‍රය, Central Bank of Sri Lanka

රුපියල අවප්‍රමාණය වීම අඛණ්ඩව

අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය තවදුරටත් අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් පවතියි.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කළ විනිමය අනුපාතික අගයන්වලට අනුව අමෙරිකානු ඩොලරයක අද (මාර්තු 24) ගැණුම් මිල රුපියල් 279.90කි. එහි විකුණුම් මිල රුපියල් 289.99ක් ලෙස දැක්විණි.

වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසා සිටියේ, රුපියල් 200කට පමණ තිබු ඩොලරයේ අගය රුපියල් 100කින් වැඩිවීම හමුවේ මෙරට ආනයන වියදම අමතර රුපියල් බිලියන 2200 වැඩි වී ඇති බව යි.

ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදෙස් ණය වටිනාකම ද අමතර රුපියල් බිලියන 5600 ඉහළගොස් ඇතැ යි ද ඔහු සඳහන් කළේ ය.

මහාචාර්ය පෙරේරා පවසා සිටියේ "යම් ලෙසකින් ප්‍රධාන බැංකුවක් ඩිෆෝල්ට් වුණොත් ජනතාව මුලින්ම බැංකුවලින් තැන්පතු මුදල් ලබාගනු ඇති බව" යි.

ප්‍රධාන බැංකුවක් කඩා වැටුණහොත් එය සෑම බැංකුවකටම බලපාන බවත්, මූල්‍ය පද්ධතිය බිඳ වැටීමක් සිදුවන බවත් ඔහු පවසා සිටියේ ය.