මිළ ඉහළ ගිය භාණ්ඩ ලැයිස්තුව තවත් දිගුවෙයි

women for rights protest colombo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය සංවිධානය කළ උද්⁣ඝෝෂණ පෙලපාලිය

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 30 කට වැඩි අගයකින් දැඩි ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් ඉන්ධන හා ගෑස් මිළ ගණන් ඉහළ යෑම නිසා මේ වන විට භාණ්ඩ වර්ග රැසක මිළ ඉහළගොස් ඇත.

පානීය ජල බෝතලයේ සිට ගෑස් සිලින්ඩරය දක්වාම මෙම මිළ ඉහළයෑම බලපා තිබේ.

මුව ආවරණ මිළ 30%කින් ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයින්ගේ සංගමය පැවසීය.

එම සංගමයේ සභාපති විදුර අල්ගම පැවසුවේ මාර්තු 21දා සිට එම මිළ ඉහළයාම ක්‍රියාත්මක වන බව යි.

නිෂ්පාදන අමුද්‍රව්‍ය හිඟය, ඉන්ධන මිළ, සහ හිස් බෝතල් හිඟවීම ඇතුළු හේතූන් මත ජල බෝතලයක මිළ ඉහළ දැමීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ජල බෝතල්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.

ලීටර් එකහමාරේ පානීය ජලය බෝතලයක මිළ රුපියල් 120ක් දක්වා වැඩිවන බව එම සංගමය පැවසුවේ ය. ලීටර් 5ක ජල බෝතලයක නව මිළ රුපියල් 300ක් වනු ඇත.

කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයේ මිළ ඉහළ දැමීටම ලාෆ්ස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,199ක් දක්වා මිළ ඉහළ දමා ඇතිබව ලාෆ්ස් සමාගම පැවසීය.

කෙසේ වෙතත් ලිට්‍රෝ සමාගම මේ දක්වා ගෑස් මිළ ඉහළ දමා නැත.

දේශීය කිරිපිටිවල මිළත් ඉහළට

පැල්වත්ත කිරිපිටි සමාගම 400g කිරිපිටි පැකට්ටුවක මිළ රුපියල් 105කින් ඉහළ දමා තිබේ. ඒ අනුව නව මිළ රුපියල් 625කි.

කිරිපිටි හා ගෑස් මිළ ඉහළ දැමීම හේතුවෙන් කිරි තේ එකක මිළ රුපියල් 100ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කළේ ය.

පවතින තත්ත්වය හමුවේ ආපන ශාලාවල කිරි තේ ලබාදීම අත්හිටුවීමට ද සිදුවන බව ද එම සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ ය.

මේ අතර, පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් ප්‍රකාශ කරන්නේ දේශිය කිරිපිටි මිළ වැඩි කිරීමට මෙතෙක් කිසිදු අනුමැතියක් දී නැතිබව යි.

දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාල අංශවලට උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියේ ආනයනික කිරිපිටි මිළ ආසාධාරණ ලෙස ඉහළ දමා ඇත්නම් පාරිභෝගික ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට අමාත්‍යාංශය මැදිහත් වන බව ය.

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිළ රුපියල් 250කින් ඉහළ දැමිමට කිරිපිටි ආනයනයකරුවන්ගේ සංගමය මාර්තු 19 දා පියවර ගත්තේ ය.

ඒ අනුව, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිළ රුපියල් 790කි. කිලෝග්‍රෑම් එකේ කිරිපිටි පැකට්ටුවක නව මිළ රුපියල් 1945කි.

ජාත්‍යන්තර දුරකතන ඇමතුම් ගාස්තු ඉහළ දමා තිබේ.

තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ දුරකතන සමාගම් මේ පිළිබඳව අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව යි.

ඩොලරයට සාපේක්ෂව රුපියල 30%කින් පමණ අවප්‍රමාණය වීම හමුවේ දුරකතන සමාගම් ‍ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු මෙලෙස ඉහළ දමා තිබේ.

‍කෙසේ වෙතත් දේශීය ඇමතුම් ගාස්තු හෝ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් කිසිදු අනුමැතියක් ලබා දී නැතැ යි තාක්ෂණික අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

සිමෙන්ති 50kgක කොට්ටයක මිළ ද රුපියල් 350කින් වැඩිකර රුපියල් 1850ක් දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් පසුගිය දා පියවර ගත්තේ ය.

තිරිඟු පිටි මිලත් ඉහළට - බත් පැකට්ටුවත්, කොත්තුවත් ගිනි ගණන්

රුපියල අවප්‍රමාණය වීම හමුවේ ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව ප්‍රීමා සමාගම රුපියල් 35 - 45 අතර අගයකින් ද, සෙරන්ඩිබ් සමාගම රුපියල් 35කින් ද තිරිඟු පිටි මිල ඉහළ දමා ඇත.

තිරිඟු පිටි මිල වැඩිවීම හමුවේ මාර්තු 12 වැනිදා සිට පාන් රාත්තලක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පියවර ගත්තේ ය.

ඒ අනුව පාන් රාත්තලක නව මිල රුපියල් 110 - 130 අතර වේ. මීට පෙර පාන් රාත්තලක් රුපියල් 70-90ත් අතර මිල ගණන්වල පැවතියේ ය. නව මිල සංශෝධනය යටතේ බනිස් ඇතුළු සෙසු බේකරි නිශ්පාදන මිල ද රුපියල් 10කින් ඉහළ දමනු ලැබුණි.

බත් පැකට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගත්තේ ය.

කොත්තු මිල රුපියල් 10කින් හා කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේ ය.

ඔහු කියා සිටියේ ගෑස්, සහල් හා සෙසු කුළුබඩු වර්ගවල ද මිල ගණන් බොහෝ සෙයින් ඉහළගොස් ඇති බව යි.

ඖෂධ මිලත් ඉහළට

ඖෂධ මිල 29%කින් ඉහළ දැමීමට මිල පාලන කමිටුවේ අවසරය දුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පසුගිය දා ප්‍රකාශ කළේ ය.

ඔහු කියා සිටියේ නිසි ක්‍රමවේදයට අනුව සාධාරණ ලෙස මිල ඉහළ දැමීමට ඉඩ දෙන බව යි. ඒ අනුව වෙළෙඳපොලේ ඖෂධ හිඟයක් ඇති නොවනු ඇතැ යි ඔහු සඳහන් කළේ ය.

ජංගම දුරකථන හා උපාංග මිල ඉහළ යයි

ආනයනය කරනු ලබන ජංගම දුරකථන හා උපාංගවල මිල 30%කින් ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

එම මිල ඉහළ දැමීම ඉදිරියේ දී ආනයනය කරනු ලබන ඇනවුම්වලට අදාලවන බව එම සංගමය පවසයි. ඒ අනුව තවත් සති දෙකකින් පමණ නව මිල ගණන් අපේක්ෂා කළ හැකි බව ඔහු පැවසීය.

මිල වැඩිකිරීම යටතේ රුපියල් 20,000ක ජංගම දුරකථනයක මිල රුපියල් 26,000 දක්වා ඉහළ යනු ඇතැ යි සංගමය සඳහන් කළේ ය.

ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට

ගුවන් ප්‍රවේශපත් ගාස්තු 27%කින් ඉහළ දමා ඇතැ යි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ය. එම අධිකාරිය පැවසුවේ ඩොලරයේ අගය ඉහළ යාමට සාපේක්ෂව එම පියවර ගත් බව යි.

සිමෙන්ති මිල ඉහළට

සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක කොට්ටයක මිල සියයට 34.5 කින් ඉහළ දමා රුපියල් 1850 දක්වා වැඩි කළ බවට සිමෙන්ති සමාගම් පවසයි. ඇතැම් සමාගම් රුපියල් 1900 දක්වා සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇත.

2022 ජනවාරි 01 වැනිදා රුපියල් 100කින් මිල වැඩි කිරීමත් සමග සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375 දක්වා ඉහළ ගියේ ය. අනතුරුව නොදන්වාම සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1500 දක්වා ඉහළ දමා තිබුණි.

බස් ගාස්තු වැඩිවෙයි - ත්‍රිරෝද රථ කුලී ගාස්තු ඉහළ නගියි

මාර්තු 14 දා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ, බස් සංගම් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව යි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා පැවසුවේ ගාස්තු සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා බව යි.

ඒ අනුව මාර්තු 14 දා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 15% කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 20ක් වන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය. මෙතෙක් අවම බස් ගාස්තුව පැවතියේ රුපියල් 17/= ක් ලෙසයි. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ දමා ඇත.

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පැවසීය.

ඔහු කියා සිටියේ ආරම්භක කිලෝමීටරය සඳහා රුපියල් 80ක් සහ දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 50කින් ගාස්තු ඉහළ දැමීමට පියවර ගත් බව යි.

බහාලුම් ප්‍රවාහන ගාස්තුව ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීටම සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව, මාර්තු 13 දා සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 60%කින් ඉහළ දැමීමට තීරණය වී ඇත.